Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ මේ දිනවල කාගේත් විශාල අවධානයක් යොමුව ඇති කාරණයක් වන්නේ උතුරු කොරියානු නායක කිම් ජොං-උන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවීමට නියමිත ඓතිහාසික රාජ්‍ය නායක හමුවයි. එය ලබන ජුනි 12 වෙනි දින සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම දෙරටේ නායකයින් දෙදෙනෙකු මේ ආකාරයෙන් හමුවීමට යන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. කෙසේ නමුත් මේ පිළිබඳ ජාත්‍යන්තර අවධානය වැඩෙමින් තිබියදී පසුගිය සතියේ එයට කිසියම් බාධාවක් එල්ල වන ආකාරයේ සිදුවීම් කිහිපයක්ද දිග හැරෙන්නට විය. එයට හේතු වූයේ තමා මෙම සාකච්ඡා සඳහා සහභාගි නොවන්නට ඉඩ ඇති බවට කිම් ජොං-උන් විසින් සිදු කරන ලද ප්‍රකාශයයි. ඒ අතර පසුගිය 16 වෙනි දින උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ ඉහළ පෙළේ නියෝජිතයින් දෙපිරිසක් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක්ද හදිසියේම අවලංගු කර දැමීමට උතුරු කොරියාව පියවර ගත්තේය.
බොහෝ දෙනෙකු බලා‍පොරොත්තු නොවූ මෙම තත්ත්වය ඇති වීමට බලපෑ හේතු කිහිපයක් තිබිණි. එයින් එකක් වූයේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව පසුගිය දිනවල දකුණු කොරියානු කලාපය තුළ සිදු කළ හමුදා අභ්‍යාස මාලාවයි. සාම සාකච්ඡා ක්‍රියාදාමයක් සඳහා පියවර ගනිමින් සිටියදී මෙවැනි යුද අභ්‍යාස මාලාවක් පැවැත්වීම උතුරු කොරියාවේ නොසතුටට හේතු වූවක් බව පෙනිණි. මෙම යුද අභ්‍යාස වාර්ෂිකවම වාගේ ඇමෙරිකා-දකුණු කොරියා මිතුරන්  විසින් සිදු කරනු ලබන්නකි. උතුරු කොරියාව නිතරම පවසන්නේ මෙය තම රට ආක්‍රමණය කිරීම සඳහා කරන පුහුණු වීමක් බවයි. මෙම යුද අභ්‍යාස සම්බන්ධයෙන් ඔවුන් විරෝධය දැක්වීමට ප්‍රධාන හේතුව එයයි. (නමුත් ඇමෙරිකාවත්, දකුණු කොරියාවත් කියන්නේ මෙය තමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්නක් බවය.) 
මෙම සාම ක්‍රියාදාමයට අදාළව උතුරු කොරියාව පැත්තෙන් මේ වනවිට ඔවුන් සාධනීය පියවර කිහිපයක් ගෙන තිබිමද මෙහිදී අවධානයට ලක්විය යුත්තකි. ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන පර්යේෂණාගාරයක් මෙම සතිය තුළ වසා දමන බවට ‍පොරොන්දු වී ඇති අතර කාලයක් තිස්සේ උතුරු කොරියාවේ රඳවාගෙන සිටි ඇමෙරිකානු ජාතිකයින් තිදෙනකු නිදහස් කර ඇමෙරිකාවට යැවීමට ද ඔවුහු කටයුතු කළහ. මෙම ඇමෙරිකානු ජාතිකයන් රඳවාගෙන සිටියේ ඔත්තු බැලීම පිළිබඳ චෝදනා මතය. තමුන් මේ ආකාරයෙන් කටයුතු කරද්දී ඇමෙරිකාව සහ දකුණු කොරියාව ඔවුන්ගේ පැත්තෙන් කිසිවක් නොකර තවදුරටත් යුද අභ්‍යාස කිරීම උතුරු කොරියාවට පිළිගත නොහැකි කාරණයක් වූ බව පෙනිණි. 
මේ අතර උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ඇමෙරිකාව දරන බව පෙනෙන ආකල්පයක්ද ඔවුන්ගේ නොසතුටට හේතු වී ඇති බව පෙනේ.  ඇමෙරිකාව, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඉදිරියට යමින් ඇති සාකච්ඡා ක්‍රියාදාමයෙහි ප්‍රධාන අරමුණක් වන්නේ උතුරු කොරියාව සතු න්‍යෂ්ටික අවි ඉවත් කර ගැනීමයි. මෙය ඇමෙරිකාවේත්, දකුණු කොරියාවේත් ප්‍රධාන අවශ්‍යතාව වන අතර උතුරු කොරියාවට අවශ්‍යව ඇත්තේ තමුන්ට එරෙහිව ඇමෙරිකාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු වෙළෙඳ සම්බාධක ඉවත් කර ගැනීමය. පසුගිය කාලයේ මෙම සම්බාධක පැනවුණේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට විරෝධය පෑමක් වශයෙනි. කෙසේ හෝ වේවා ඇමෙරිකාව සිතන බව පෙනෙන්නේ තමුන් මෙම සම්බාධක ඉවත් කිරීමට පෙර උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි මුළුමනින්ම ඉවත් කරගත යුතු බවය. නමුත් උතුරු කොරියාව මෙයට සූදානම් බවක් නොපෙනේ. ඔවුන් සිතනු ඇත්තේ එය අනතුරුදායක බවයි. මෙහිදී උතුරු කොරියාව නිතර පෙන්වා දෙන නිදසුනක් වන්නේ කලකට පෙර ලිබියානු නායක මුවම්මර් ගඩාෆිට අත් වූ ඉරණමයි. ගඩාෆිද මේ ආකාරයෙන්ම ඔහුගේ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළ අත්හැර දැමූ අතර ඊට ටික කලකට පසු ඔහු බලයෙන්ද විසිවී මරණයට ද පත් විය. මෙම සිදුවීම්වලට ඇමෙරිකාවද වගකිව යුතු බවට චෝදනා එල්ල විය. උතුරු කොරියාව සිතන්නේ තමුන්ද ඇමෙරිකාව කියන විදියට ඒක පාර්ශ්වීයව න්‍යෂ්ටික අවි ඉවත් කරගතහොත් තම රටට ද ලිබියාවට සිදු වූ දේම සිදුවිය හැකි බවයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ඉවත් කර ගැනීම පමණක් නොව කිම් ජොං-උන් පාලනය පෙරළා දමා ඇමෙරිකානු හිතවාදී පාලනයක් එහි ඇති කරගැනීමද ඇමෙරිකාවේ අරමුණ බව උතුරු කොරියානු පාලකයින්ගේ විශ්වාසයයි. මෙම තත්ත්වය තුළ ඔවුන් කිසිසේත් ඒක පාර්ශ්වීයව න්‍යෂ්ටික අවි ඉවත් කරගනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකි නොවේ. ඔවුන්ගේ අභිලාෂය බව පෙනෙන්නේ පියවරෙන් පියවර දෙපාර්ශ්වයම එකිනෙකාගේ වුවමනාවන් ඉටු කරමින් ඉදිරියට යන ක්‍රියාදාමයකි. නිදසුනක් ලෙස තමුන් ඇමෙරිකානු රැඳවියන් නිදහස් කිරීම වෙනුවෙන් ඇමෙරිකාවද ඔවුන්ගේ පැත්තෙන් යමක් ඉටු කරනු ඇතැයි ඔවුන් සිතනවා විය හැකිය. තත්ත්වය මෙසේ තිබියදී පසුගිය දිනෙක ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ද ඇවිළෙන ගින්නට පිදුරු දමන ප්‍රකාශයක් කළේය. එනම් උතුරු කොරියාව සම්බන්ධයෙන්ද  ලිබියාවේ මොඩලයම ක්‍රියාත්මක කිරීමට සලකා බැලිය හැකි බවයි. දැන් කිම් ජොං-උන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡාවලට අදිමදි කිරීමට මෙම සිදුවීමද ප්‍රබල බලපෑමක් කර ඇති බව පෙනේ. මේ අතර කොරියානු කලාපයේ සාමය පිළිබඳව ලොකු බලා‍පොරොත්තුවක් තබාගෙන සිටි බව පෙනුණු දකුණු කොරියාව පැත්තෙන්ද බෝල්ටන්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව නොසතුට පළ වී ඇත්තේ එය මේ වනතෙක් ඉදිරියට යමින් තිබූ ක්‍රියාදාමයට බාධා කරන්නක් ලෙස හඳුන්වමිනි.
තත්ත්වය මේ ආකාරයෙන් නරක අතට හැරෙමින් තිබියදී පසුගිය 22 වෙනි දින තවත් වැදගත් සිදුවීමක් සිදු විය. එනම් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් අතර ධවල මන්දිරයේ පැවැති සාකච්ඡාවයි. ඔවුන්ගේ මෙම සාකච්ඡාවෙහි ප්‍රධාන අරමුණ වූ බව පෙනුණේ ට්‍රම්ප් සහ කිම් අතර හමුව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීමයි. මෙම හමුව අතරතුර ඔවුන් දෙදෙනා මාධ්‍ය සාකච්ඡාවකටද සහභාගි වූ අතර එහි දී මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ගෙන් විමසා සිටියේ (ඇමෙරිකාව සම්බාධක ආදිය සම්බන්ධයෙන් කිසිදු සහනයක් සැලසීමට පෙර) උතුරු කොරියාව ඒක පාර්ශ්වීයව, මුළුමනින්ම න්‍යෂ්ටික අවි ඉවත් කරගත යුතුද යන්නයි. එහිදී ට්‍රම්ප් පැවැසුවේ එසේ සිදුවන්නේ නම් එය වඩාත් හොඳ බවයි. නමුත් එය දැඩිව අවධාරණය කිරීමට ඔහුට වුවමනා නොවූ බවක්ද පෙනිණි. මේ නිසා ඉදිරියේදී වඩාත් නම්‍යශීලී ස්ථාවරයකට ඇමෙරිකාව එළැඹීමට ඉඩ ඇති බවක්ද පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් කලින් යොදාගෙන සිටි පරිදි ජුනි 12 වෙනි දින ට්‍රම්ප්  සහ කිම් අතර සාකච්ඡාව නොපැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පෙනී යයි. කිම් ජොං-උන්ගේ අලුත් විරෝධය හමුවේ තමුන් කළ යුතු දේ සම්බන්ධයෙන් නිශ්චිතව සැලසුම් කරගැනීම සඳහා ඇමෙරිකාවට යම් කාලයක් වුවමනා වී ඇති බවක් දැකිය හැකි වේ.
 
නිහාල් පීරිස් 
  1. චාවේස් හිතවාදී නිකලස් මදුරෝ නැවතත් ජය ගනියි
  2. ඇමෙරිකානූ ජනපතිගේ මැතිවරණ ප්‍රචාර ගැන ඔත්තු බැලුවාද?
  3. මාරාන්තික නිපා වෛරසයෙන් ඉන්දියාවේ නවදෙනෙක් මරුට
  4. උත්කර්ෂවත් අයුරින් නිම වූ හැරී-මේගන් විවාහය
  5. ට්‍රම්ප් සහභාගි වන සමුළුව වර්ජනය කරන බවට උතුරු කොරියාවෙන් තර්ජන
  6. මැ‍ලේසියාවේ අන්වර් ඊබ්‍රාහිම් නිදහස ලබයි
  7. මැද පෙරදිග තවත් උණුසුම් කරමින් ඊශ්‍රායල-පලස්තීන ගැටුම් ඉහළට
  8. ගාසා තීරයේ නැවතත් උද්ඝෝෂණ
  9. ඇමෙරිකානු ජනපති බිරියට වකුගඩු සැත්කමක්
  10. මහතීර්ගේ ජයග්‍රහණයෙන් පසු හිටපු අගමැතිට වැඩ වරදින ලකුණු
  11. ඉන්දුනීසියාවට බෝම්බ ප්‍රහාර වැලක්
  12. පැරීසියේ පිහි ප්‍රහාරයකින් එක් අයෙක් මරුට
  13. ඉන්දුනීසියාවේ දේවස්ථානවල බෝම්බ ප්‍රහාරවලින් නවයක් මරුට
  14. ට්‍රම්ප් සහ කිම් ජොං-උන් අතර හමුව ජුනි 12 දා
  15. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම රැකගැනීමට බටහිර රටවල් උත්සාහයක
  16. ගුවන් ප්‍රහාරය ගැන සිරියාවෙන් ඊශ්‍රායලයට දොස්
  17. ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් උතුරු කොරියාවේ සංචාරයක
  18. 92 හැවිරිදි මහතීර් මොහොමඩ් නැවත මැ‍ලේසියානු අගමැති ‍පොරයට
  19. ජනපති පුටින් රුසියාවේ නිෂ්පාදිත රියකින් ක්‍රෙම්ලිනය වටා යයි
  20. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් නොවන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ‍ලේකම් ට්‍රම්ප්ගෙන් ඉල්ලයි
  21. ඉන්දියාව තුළ ලිංගික අපරාධ ඉහළ යන්නේ ඇයි?
  22. ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොං උන් හමුව ගැන ලොවම විමසිල්ලෙන්
  23. පිලිපීනය කුවේටයට ගෘහ සේවිකාවන් යැවීම තහනම් කරයි
  24. 65 වසරකට පසු උතුරු කොරියානු නායකයෙක් දකුණු කොරියාවට එයි
  25. ට්‍රම්ප් සහ ඉරානය අතර ‘න්‍යෂ්ටික ප්‍රශ්නය’

Page 1 of 176

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.