Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශාඛාපට්නම්හි පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබූ ඉන්දියාව තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 44.5කදී ලකුණු 215කට දැවී ගිය අතර, ඉන්දියාව පන්දුවාර 32.1කදී කඩුලු 2ට ලකුණු 219ක් ලබමින් ජය වාර්තා කළේය.
සිය එක්දින දිවියේ 12 වැනි ශතකය වාර්තා කළ ෂිකර් ධවාන් පන්දු 85කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 100ක් ලබමින් තරගාවලියේ වීරයා බවට පත්විය.
රෝහිත් ෂර්මා ලකුණු 7කට දැවී යාමෙන් පසු පිටියේ එක්වූ ධවාන් සහ අයියර් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 135ක සම්බන්ධතාවක් තැබූ අතර, පන්දු 63කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 65ක් වාර්තා කිරීමට අයියර් සමත් විය.
හතරේ පහරකින් ඉන්දීය ජය තහවුරු කළ දිනේෂ් කාර්තික් පන්දු 31කදී නොදැවී ලකුණු 26ක් ලබා තිබුණි.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුණු 13කට දැවී ගියද උපුල් තරංග සහ සධීර සමරවික්‍රම එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සම්බන්ධතාවක් තබමින් සාර්ථක අඩිතාලමක් ලබා දුන්නේය.
සධීර ලකුණු 42කට දැවී ගිය අතර, පන්දු 82කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 95ක් ලැබූ තරංග දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුණි. 
පන්දුවාර 27කදී ශ්‍රී ලංකාව ලකුණු 160ක් ලබා සිටියද තරංග දැවී යාමෙන් පසු අවසානයේ ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 215ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූ කුල්දීප් යදාව් ලකුණු 42ට කඩුලු 3ක් බිඳ හෙළමින් තරගයේ වීරයා බවට පත්වූ අතර, යස්වෙන්දර් චහාල් ලකුණු 41ට කඩුලු 3ක්ද බිඳ හෙළීය.
 

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාන්ග්පූර් රයිඩර්ස් සහ ඩකා ඩයිනමයිට්ස් අතර පැවැති අවසන් මහා තරගයේදී ක්‍රිස් ගේල්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ශූරතාව දිනා ගැනීමට රාන්ග්පූර් රයිඩර්ස් සමත් විය.
මීර්පූර්හි පැවැති අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාන්ග්පූර් රයිඩර්ස් පන්දුවාර 20දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩකා ඩයිනමයිට්ස්ට පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149ක් පමණි.
ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ක්‍රිස් ගේල් පන්දු 69කදී හයේ පහර 18ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 146ක් වාර්තා කළ අතර, අනෙක් අන්තයේ සිට ඔහුට අනගි සහයක් ලබා දුන් බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 43කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 51ක් වාර්තා කරමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 201ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
20-20 තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරු ලෙස ක්‍රිස් ගේල් (හයේ පහර 18) නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ලකුණු හඹායාමේදී ඩකා ඩයිනමයිට් වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වන ජහුරුල් ඉස්ලාම් පන්දු 38කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 50ක් වාර්තා කළේය.
රාන්ග්පූර් රයිඩර්ස් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන ලකුණු 25ට කඩුලු 2ක්ද, සොහාග් ගාසි ලකුණු 32ට කඩුලු 2ක්ද, නස්මුල් ඉස්ලාම් ලකුණු 8ට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :- 
රාන්ග්පූර් රයිඩර්ස් පන්දුවාර 20දී - 206/1යි
ක්‍රිස් ගේල් (නොදැවී) 146, බ්‍රෙන්ඩන් මැකලම් (නොදැවී) 51
ඩකා ඩයිනමයිට්ස් පන්දුවාර 20දී - 149/9යි
ෂකිබ් අල් හසන් 26, ජහුරුල් ඉස්ලාම් 50, එවයින් ලුවිස් 15, සුනිල් නාරයින් 14, නස්මුල් ඉස්ලාම් 8/2, ඉසුරු උදාන 25/2, සොහාග් ගාසි 32/2

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ හැමිල්ටන්හිදී පැවැති තරගයෙන් ලකුණු 240ක විශිෂ්ට ජයක් වාර්තා කළ නවසීලන්තය තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 444ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 203කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 107ක් රැස් කරමින් සිය 17 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ රොස් ටේලර් තරගයේ වීරයා ලෙස නම් කෙරුණි.
නවසීලන්ත මුල් ඉනිම වෙනුවෙන් ජීට් රාවල් (84) සහ කොලින් ඩි. ග්‍රෑන්ඩ්හෝම් (58) අර්ධ ශතක වාර්තා කළ අතර, ටිම් සවුති (31) සහ ටේ‍රන්ට් බෝල්ට් (නොදැවී 37) ඉනිමේ අවසන් කඩුල්ල සඳහා ලකුණු 61ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත් වූහ.
කොදෙව් වෙනුවෙන් ෂැනොන් ගේබ්‍රියල් ලකුණු 119ට කඩු 4ක් බිඳ හෙලූ අතර, කිමර් රෝච් ලකුණු 58ට කඩුලු 3ක් බිඳ හෙළීය.
කොදෙව් මුල් ඉනිමේ වැඩිම ලකුණු ලභියා වෙමින් කේ‍ර්ග් බ්‍රාත්වේට් ලකුණු 66ක් වාර්තා කළ අතර, ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 73ට කඩුලු 4ක් බිඳ දමමින් කොදෙව් පිතකරුවෝ අසරණ කළහ.
නවසීලන්ත දෙවැනි ඉනිමේදී රොස් ටේලර් පන්දු 198කදී හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 107ක් රැස් කළ අතර, ඔහුට අනගි සහයක් ලබාදුන් නායක කේන් විලියම්සන් ලකුණු 54ක් වාර්තා කළේය.
කොදෙව් දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමින් නීල් වැග්නර් ලකුණු 42ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, සවුති, බෝල්ට් සහ සැන්ට්නර් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :- 
නවසීලන්තය මුල් ඉනිම - 373යි
රාවල් 84, විලියම්සන් 43, ග්‍රෑන්ඩ්හෝම් 58, සවුති 31, බෝල්ට් (නොදැවී) 37, ගේබ්‍රියල් 119/4, රෝච් 58/3, කමින්ස් 57/2
 
කොදෙව් මුල් ඉනිම - 221යි
බ්‍රාත්වේට් 66, ඩව්රිච් 35, බෝල්ට් 73/4, සවුති 34/2, ග්‍රෑන්ඩ්හෝම් 40/2, වැග්නර් 73/2
 
නවසීලන්තය දෙවැනි ඉනිම - 291/8යි
විලියම්සන් 54, ටේලර් (නොදැවී) 107, කමින්ස් 69/3, ගේබ්‍රියල් 52/2, ච්ෙස් 51/2
 
කොදෙව් දෙවැනි ඉනිම - 203යි
ච්ෙස් 64, වැග්නර් 42/3, සවුති 71/2, බෝල්ට් 52/2, සැන්ට්නර් 13/2

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේදී පැවැති ආසියානු සවි එසවීමේ තරගාවලියේදී නව ආසියානු වාර්තාවක්ද සමගින් රන් පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත් වී තිබේ.
කිලෝ ග්‍රෑම් 120 බර පන්තිය යටතේ තරග වැදුණු රන්සිළු ජයතිලක ස්කොට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 285ක් ඔසවමින්ද, ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 315ක් ඔසවමින්ද රන් පදක්කම් දිනා ගත් අතර, සමස්ත තරගයේ කිලෝ ග්‍රෑම් 735ක් ඔසවමින් එම බර පන්තියේ සමස්ත රන් පදක්කමද දිනා ගැනීමට සමත්වී තිබේ.

රන්සිළු ජයතිලක ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 315 බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 120 බර පන්තියේ ආසියානු වාර්තාව සමකිරීමක් ලෙසද වාර්තා  වන අතර, මීට එම වාර්තාව රන්සිළු විසින්ම මෙම වසරේ ජුනි මාසයේ බෙලරූස්හිදී පැවැති ලෝක සවි එසවීමේ තරගාවලියේදී පිහිටුවනු ලැබිය.

ආසියානු සවි එසවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ ඉන්දික පරණගම කිලෝ ග්‍රෑම් 105 බර පන්තිය යටතේ ස්කොට් ක්‍රමයට රිදී පදක්කමක්ද, ධනුෂ්ක කොඩිකාර කි.ග්‍රෑම් 93 බර පන්තිය යටතේ ස්කොට් ක්‍රමයට ලෝකඩ පදක්කමක්ද දිනාගෙන ඇති අතර, ප්‍රවීණයන්ගේ අංශයෙන් තරග වැදුණු අතුල විජේවික්‍රම සමස්ත තරගයේ රන් පදක්කමද, හිරාන් ප්‍රනාන්දු එහි ලෝකඩ පදක්කමද දිනාගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ධරම්ශාලාහිදී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
එක්දින තරග 12ක් පිට පිටම පරාජය වී සිටි ශ්‍රී ලංකාව නව නායක තිසර පෙරේරා යටතේ පළමු තරගයේදීම ජය මාවතට පිවිසීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙම තරගයේදී සුරංග ලක්මාල් ඇතුළු පන්දු යවන්නන් දැක්වූ විශිෂ්ට දක්ෂතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් අත්කර ගැනීමට හැකිවිය.
පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් ඉන්දීය ඉනිම ලකුණු 112කට සීමා වූ අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 20.4කදී කඩුලු 3ට ලකුණු 114ක් ලබමින් ජය වාර්තා කළේය.
සුරංග ලක්මාල් සහ ඇන්ජලෝ මැතිව්ස් නව පන්දුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, ඉන්පසු ප්‍රදීප්ගේ සහයෙන් කඩුලු 7ක් ලකුණු 29ක් තුළ බිඳ දැමීය.
පළමු පන්දුවාර 10 තුළදී ඉන්දියාවට රැස්කරගත හැකිවූයේ ලකුණු 12ක් පමණක් වූ අතර, එය එක්දින තරගයකදී පළමු පවර් ප්‍ලේ පන්දුවාර 10 තුළ ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා ‍පොතට එක්විය.
ෂිකර් ධවාන් ලකුණු ලබා ගැනීමට පෙර මැතිව්ස් හමුවේ දැවී ගිය අතර, රෝහිත් ෂර්මා (2), දිනේෂ් කාර්තික් (0), මනිෂ් පාන්ඩේ (2) පිටියෙන් ඉවත් කිරීමට ලක්මාල් සමත් වීමෙන් කඩුලු 4ක් ලකුණු 16ක් තුළ බිඳ වැටුණි.
හර්දික් පාන්ඩ්යා ලකුණු 10කට දවා ගත් ප්‍රදීප් ශ්‍රියාස් අයියර් ලකුණු 9කට දවා ගත් අතර, ලක්මාල් සිය සිව්වැනි කඩුල්ල ලෙස බුවනේෂ්වර් කුමාර් දවා ගැනීමෙන් කඩුලු 7ක් ලකුණු 29ක් තුළ බිඳ වැටුණි.
ඉන්පසු පිටියේ එක්වූ දෝනි සහ කුල්දීප් යදාව් ලකුණු 41ක සම්බන්ධතාවක් තැබිම නිසා ඉන්දියාවට ලකුණු 100 සීමාව පසු කිරීමට හැකි විය.
ධනංජය ක්‍රියාත්මක වීමෙන් කුල්දීප් ලකුණු 19කට දැවී ගිය අතර, බුම්රා ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට සචිත් පතිරණ සමත් විය.
පන්දු 87කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 65ක් ලබාගත් දෝනි තිසරගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන් ඉන්දීය ඉනිම ලකුණු 112ට අවසන් විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ලක්මාල් ලකුණු 13කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, නුවන් ප්‍රදීප් ලකුණු 37ට කඩුලු 2ක් බිඳ හෙළීය. මැතිව්ස්, තිසර, ධනංජය සහ සචිත් පතිරණ එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
ලකුණු 113ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පි‍ලේ ධනුෂ්ක ගුණතිලක (1) බුම්රා හමුවේ දැවී ගිය අතර, තිරිමාන්න ලකුණු නොලබා බුවනේෂ්වර්ට ගොදුරු වීමෙන් කඩුලු 2ක් ලකුණු 19ක් තුළ බිඳ වැටුණි.
තරංගට එක්වූ මැතිව්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක් රැස් කළ අතර, පන්දු 46කදී හතරේ පහර 10ක් සහිතව ලකුණු 49ක් ලැබූ තරංග දවා ගැනීමට පාන්ඩ්යා සමත් විය.
ඉන්පසු පිටියේ එක්වූ මැතිව්ස් සහ දික්වැල්ල නොබිඳුණු ලකුණු 49ක සම්බන්ධතාවක් තබමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළ අතර, මැතිව්ස් නොදැවී ලකුණු 25ක්ද, දික්වැල්ල නොදැවී ලකුණු 26ක්ද ලබා සිටියේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි එක්දින තරගය 13දා මොහාලිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති අතර, අසේල ගුණරත්න   සහ කුසල් ජනිත් පෙරේරා සංචිතයට එක්කර තිබේ.
ආබාධයක් හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී අසේල විවේක ගන්වා තිබූ අතර, මිලින්ද සිරිවර්ධනට ස්ථානය අහිමි වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරගය ලබන 10දා ධරම්සාලාහිදී පැවැත්වේ.
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
තිසර පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.