Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කේප්ටවුන්හිදී පැවැති පළමු තරගයේ එක් දිනයක් ඉතිරිව තිබියදීම පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ලකුණු 72ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.
දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා වූ වර්නන් පිලැන්ඩර් මුල් ඉනිමේදී ලකුණු 33ට කඩුලු 3ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 42ට කඩුලු 6ක් බිඳ හෙළමින් තරගයේ වීරයා බවට පත්විය.
ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 208ක පහසු ඉලක්කයක් හිමි වුවද දකුණු අප්‍රිකානුවන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඉනිම ලකුණු 135කට අවසන් විය.
වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තෙවැනි දිනය පන්දුවාර 20කට සීමා වූ අතර, සිව්වැනි දිනයේදී පන්දුවාර 64ක් තුළදී කණ්ඩායම් දෙකේම කඩුලු 18ක් බිඳ වැටීම කැපී පෙනෙන සිදුවීමක් විය.
වර්නන් පිලැන්ඩර් ඉන්දීය දෙවැනි ඉනිමේ 43 වැනි පන්දුවාරයේදී කඩුලු 3ක් බිඳ දමමින් දකුණු අප්‍රිකානු ජය තහවුරු කළ අතර, ඔහුට අනගි සහයක් ලබා දුන් මෝනි මෝකල් සහ කගිසෝ රබාඩා කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :- 
 
දකුණු අප්‍රිකාව මුල් ඉනිම - 286යි
ඩිවිලියර්ස් 65, ඩුප්ලෙසිස් 62, ඩි කොක් 43, පිලැන්ඩර් 23, මහරාජ් 35, රබාඩා 26, බුවනේෂ්වර් 87/4, 
ඇෂ්වින් 21/2
 
ඉන්දියාව මුල් ඉනිම - 209යි
පුජාරා 26, පාන්ඩ්යා 93, බුවනේෂ්වර් 25, පිලැන්ඩර් 33/3, ස්ටේන් 51/2, මෝකල් 57/2, රබාඩා 34/3
 
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම - 130යි
මාක්රාම් 34, එල්ගා 25, ඩිවිලියර්ස් 35, බුවනේෂ්වර් 33/2, බුම්රා 39/3, ෂමී 28/3, පාන්ඩ්යා 27/2
 
ඉන්දියාව දෙවැනි ඉනිම - 135යි
කෝලි 28, ඇෂ්වින් 37, පිලැන්ඩර් 42/6, මෝකල් 39/2, රබාඩා 41/2

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ එක්දින ක්‍රිකට් නායකයා නම් කිරීම ලබන 9දා සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
අවසන් වරට පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙය වූ තිසර පෙරේරාට නායකත්වය අහිමි වන බව වාර්තා වේ.
පසුගිය කාල වකවානුවේදී ශ්‍රී ලංකා එක්දින පි‍ලේ නායකයා ලෙස උපුල් තරංග නම් කර තිබූ අතර, දිගින් දිගටම තරග පරාජය වීමත් සමගම ඔහුගේ නායකත්වය තිසර පෙරේරාට පැවරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.
ලබන 9දා පත්වන නායකයා ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල්ගෙන් කෙනෙකු බව තේරීම් කමිටු සභාපතිවරයා තමන්ට දැන්වූ බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළ බව ක්‍රිකට් නිවේදනයේ දැක්වේ.
ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර ශ්‍රී ලංකා එක්දින පි‍ලේ නායකත්වය දරා ඇති අතර, මැතිව්ස් ආබාධයට ලක්වූ අවස්ථාවල තරග කිහිපයකදී චන්දිමාල් නායකත්වය හොබවා තිබේ.

මැතිව්ස් වරින්වර ආබාධවලට ගොදුරු වීම නිසා නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබුණි.
මේ අනුව එළැඹෙන 15 දා ආරම්භ වන බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිට 2019 ලෝක කුසලාන තෙක් නව නායකයා කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තා වේ.
නායකයා පත් කිරීම
පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය 3දා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බවද ක්‍රිකට් නිවේදනයේ දැක්වේ.
මෙම සාකච්ඡාවට ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානී කේ. මතිවානන්, ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි, ක්‍රිකට්
කළමනාකරු අසංක ගුරුසිංහ සහ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහත්වරු සහභාගි වූ බව ක්‍රිකට් නිවේදනයේ දැක්වේ.


මංගල ධර්මප්‍රේම

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මවුන්ට් මුන්ගනායිහිදී පැවැති තෙවැනි 20-20 තරගයෙන් ලකුණු 119ක ජයක් ලැබු නවසීලන්තය තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මෙම තරගයේදී නවසීලන්තය සිය 20-20 තරග ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව (243) වාර්තා කළ අතර, කොලින් මුන්රෝ සිය තෙවැනි 20-20 ශතකය රැස් කරමින් තරගයේ වීරයා බවට පත්විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 243ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ඉනිම පන්දුවාර 16.3දී ලකුණු 124කට සීමා විය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ පන්දු 53කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 10ක් සමගින් ලකුණු 104ක් රැස් කළ අතර, ඔහුට අනගි සහයක් ලබා දුන් මාටින් ගප්ටිල් පන්දු 38කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 63ක් වාර්තා කළේය.
ගප්ටිල් සහ මුන්රෝ පළමු කඩුල්ල සඳහා ලකුණු 136ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
පිටියට පිවිසි සෑම නවසීලන්ත පිතිකරුවෙක්්ම හයේ පහර එල්ල කිරීම හේතුවෙන්  මුළු ඉනිම පුරා හයේ පහර 17ක් වාර්තා විය.
කොදෙව් වෙනුවෙන් කාලෝස් බ්‍රාත්වේට් ලකුණු 50ට කඩුලු 2ක් බිඳ හෙළීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 244ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරු යුගළය වන චැඩ්වික් වෝල්ටන් සහ ක්‍රිස් ගේල් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩා ගාරය වෙත හරවා යැවීමට ටිම් සවුති සමත් විය.
කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 32කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 46ක් වාර්තා කළ අතර, සෙසු සියලුම පිතිකරුවෝ අසාර්ථක වූහ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටිම් සවුති පන්දුවාර 2.3කදී ලකුණු 21ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ටේ‍රන්ට් බෝල්ට් සහ ඉෂ් සෝඩි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :- 
නවසීලන්තය පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී 243යි
ගප්ටිල් 63, මුන්රෝ 104, බෘෘස් 23, විලියම්සන් 19, බ්‍රාත්වේට් 50/2
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 16.3කදී සියලු දෙනා දැවී 124යි
ෆ්ලෙචර් 46, පවෙල් 16, බ්‍රාත්වේට් 15, සවුති 21/3, බෝල්ට් 29/2, සෝඩි 25/2 

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹදී පවත්වන ලද ජාතික ‍‍‍ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ පිරිමි සහ කාන්තා සමස්ත ශූරතා දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.
පසුගිය වසරේ ශ්‍රී ලංකා යුද හමුදාව සමග සම ශූරතාව දිනාගත් ගුවන් හමුදා පිරිමි පිල මෙවර සමස්ත ශූරතාව දිනාගත් අතර, පසුගිය වසරේ මෙන් මෙවරත් සමස්ත කාන්තා ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පිරිමි අනුශූරතාව යුද හමුදාව දිනාගත් අතර, කාන්තා අනුශූරතාව නාවික හමුදාව සතු විය. පිරිමි සහ කාන්තා තෙවැනි ස්ථාන නාවික හමුදාවට සහ යාපනය බර ඉසිලීමේ සමාජයට හිමි විය.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තිලංක විරාජ් පළඟසිංහ (ගුවන් හමුදාව) සම්මාන දිනාගත් අතර, දක්ෂතම බර උසුලන්නිය ලෙස බි.ඩී. හංසනී ගෝමස් (ගුවන් හමුදාව) තිළිණ ලැබුවාය. 
පළඟසිංහ කිලෝ ග්‍රෑම් 69ට අඩු බර පන්තිය යටතේ ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑම් 125ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 160ක් ඔසවමින් ද, ගෝමස් කිලෝ ග්‍රෑම් 48ට අඩු බර පන්තිය යටතේ ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 63ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 83ක්ද ඔසවමින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනා ගත්හ.
මෙවර තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 11ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර, ක්‍රීඩකයන් තිදෙනෙක් සහ ක්‍රීඩිකාවන් සිව්දෙනකු සුවිශේෂී දස්කම් දැක්වීම කැපී පෙනුණි.
චින්තන ගීතාල් විදානගේ කිලෝ ග්‍රෑම් 85ට අඩු බර පන්තිය යටතේ කිලෝ ග්‍රෑම් 300ක් ඔසවමින් මුළු බර එකතුව සඳහා ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළ අතර, කිලෝ ග්‍රෑම් 77ට අඩු බර පන්තිය යටතේ ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 137ක් ඔසවමින් ඉන්දික දිසානායකද, කිලෝ ග්‍රෑම් 94ට අඩු බර පන්තිය යටතේ ශානක පීටර්ස් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 170ක් ඔසවමින්ද නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත් වූහ.
කාන්තා අංශයේදී කැපී පෙනුණු ධම්මිකා හරිස්චන්ද්‍ර (කිලෝ ග්‍රෑම් 90ට අඩු බර පන්තිය) සහ නෙත්මිණි හපුතැන්න (කිලෝ ග්‍රෑම් 90ට වැඩි බර පන්තිය) නව ශ්‍රී ලංකා වාර්තා 3 බැගින් බිහි කළ අතර, එන්.එස්. රාජපක්ෂ (කි.ග්‍රෑ. 58 බර පන්තිය) සහ ඩී. ආශිකා (කි.ග්‍රෑම් 63 බර පන්තිය) නව ශ්‍රී ලංකා වාර්තාව බැගින් පිහිටුවීමට සමත් වූහ. 
මෙම තරගාවලියේදී කි.ග්‍රෑ. 56 බර පන්තියේදී යූ.ඩී.අයි. කුමාර (යුද හමුදාව), කි.ග්‍රෑ. 62 බර පන්තියේදී ඒ.යූ.ඒ.එම්. විජේසිංහ (ගුවන් හමුදාව), කි.ග්‍රෑ. 69 බර පන්තියේදී තිලංක විරාජ් පළඟසිංහ (ගුවන් හමුදාව), කි.ග්‍රෑ. 77 බර පන්තියේදී ඉන්දික දිසානායක (නාවික හමුදාව), කි.ග්‍රෑ. 85 බර පන්තියේදී චින්තන ගීතාල් විදානගේ (නාවික හමුදාව), කි.ග්‍රෑ. 94 බර පන්තියේදී ශානක පීටර්ස් (ගුවන් හමුදාව), කි.ග්‍රෑ. 105 බර පන්තියේදී ඩී.සී. ජයවික්‍රම (ගුවන් හමුදාව) සහ කි.ග්‍රෑ. 105ට වැඩි බර පන්තියේදී ඩබ්ලිව්.පී. උෂාන් චාරුක (ගුවන් හමුදාව) පිරිමි රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
ගුවන් හමුදාවේ බි.ඩී. හංසනී ගෝමස් (කි.ග්‍රෑ. 48ට බර පන්තිය), ඩබ්ලිව්.එන්.එස්. රාජපක්ෂ (කි.ග්‍රෑ. 58 බර පන්තිය), ඒ.එස්. වික්‍රමසිංහ (කි.ග්‍රෑ. 69 බර පන්තිය) කාන්තා රන් පදක්කම් දිනාගත් අතර, මහනුවර තරුණ ක්‍රිස්තියානි සංගමයේ ධම්මිකා හරිස්චන්ද්‍ර (කි.ග්‍රෑ. 90 බර පන්තිය), ‍පොළොන්නරුව බර ඉසිලීමේ සංගමයේ නෙත්මිණි හපුතැන්න (කි.ග්‍රෑ. 90ට වැඩි බර පන්තිය), යාපනය බර ඉසිලීමේ සමාජයේ ඩී. ආශිකා (කි.ග්‍රෑ. 63 බර පන්තිය), නාවික හමුදාවේ ඩී. චතුරිකා ප්‍රියන්ති (කි.ග්‍රෑ. 75 බර පන්තිය) සහ චමරි වර්ණකුලසූරිය (කි.ග්‍රෑ. 53 බර පන්තිය) රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
 
සපුමල් වීදියබණ්ඩාර

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න්හිදී පැවැති සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගයේ සිව්වැනි සහ 5 වැනි දිනයන්ට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර,  එංගලන්ත මුල් ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 244ක් රැස් කළ ඇලිස්ටයාර් කුක් තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබිය.
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 327ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 491ක් රැස් කිරීමට සමත් විය.
එංගලන්ත මුල් ඉනිමට වඩා ලකුණු 164ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියාවේ කඩුලු 2ක් ලකුණු 65ක් තුළ බිඳ වැටුණි.
නායක ස්ටීවන් ස්මිත්ගේ සටන්කාමී ඉනිම හේතුවෙන් වර්ෂාවට තරගය නතර කරන විට ඕස්ට්‍රේලියාව කඩුලු 4ට ලකුණු 263ක් ලබා සිටියේය.
ස්ටීවන් ස්මිත් මිනිත්තු 438ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 275කදී හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 102ක් රැස් කළ අතර, පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කළ ඩේවිඩ් වෝනර්ද පන්දු 227කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 86ක් වාර්තා කළේය.
ස්මිත් සහ වෝනර් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම අසීරු තත්ත්වයෙන් ගොඩ ගැනීමට සමත් වූහ.
 
ලකුණු තත්ත්වය :
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම - 327යි
වෝනර් 103, ස්මිත් 76, මාර්ෂ් 61, බ්‍රෝඩ් 51/4, ඇන්ඩර්සන් 61/3, වෝක්ස් 72/2
එංගලන්තය මුල් ඉනිම - 491යි
කුක් (නොදැවී) 244, රූට් 61, බ්‍රෝඩ් 56, කමින්ස් 117/4, ලයන් 109/3, හේසල්වුඩ් 96/3
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - 263/4යි
වෝනර් 86, ස්මිත් (නොදැවී) 102, මාර්ෂ් (නොදැවී) 29

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ක්‍රයිස්චර්ච්හි පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 66ක ජයක් ලැබූ නවසීලන්තය  පිට පිටම තෙවැනි ජයත් වාර්තා කළේය.
මේ අනුව තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 4ට ලකුණු 131ක් ලබා සිටියදී වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉනිම පන්දුවාර 23කට සීමා විය. ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 166ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන්ට කඩුලු 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 99ක් පමණි.
නවසීලන්තය වෙනුවෙන් පන්දු 54කදී හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 47ක් රැස් කළ රොස් ටේලර් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ ටේ‍රන්ට් බෝල්ට් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණි.
මෙම තරගයේදීද ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 18ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, මිචෙල් සැන්ට්නර් ලකුණු 15ට කඩුලු 3ක්ද, මැට් හෙන්රි කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
කොදෙව් ඉනිමෙ කඩුලු 9ක් ලකුණු 73ක් තුළ බිඳ වැටුණු අතර, නිකිටා මිලර් පන්දු 41කදී නොදැවී ලකුණු 20ක් සහ ෂැනොන් ගේබ්‍රියෙල් පන්දු 20කදී ලකුණු 12ක් රැස් කරමින් නොදැවී පිටියේ රැඳී සිටියහ.
 
ලකුණු තත්ත්වය :-
නවසීලන්තය පන්දුවාර 23දී - 131/4යි
වෝකර් 2, මුන්රෝ 21, ටේලර් (නොදැවී) 47, බෘෘම් 2, ‍ලේතම් 37, නිකලස් (නොදැවී) 18, කොට්රල් 19/2
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 23දී - 99/9යි
ගේල් 4, වෝල්ටන් 0, ෂායි හෝප් 2, කයිල් හෝප් 1, මොහොමඩ් 1, හෝල්ඩර් 34, පවෙල් 11, නර්ස් 1, මිලර් (නොදැවී) 20, කොට්රල් 3, ගේබ්‍රියල් (නොදැවී) 12, බෝල්ට් 18/3, සැන්ට්නර් 15/3, හෙන්රි 18/2

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.