Coss Ear2
lakbima.lk
COSS Ear 1

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සෙන්චූරියන්හිදී පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 135ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 287ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 151කට සීමා කිරීමට ලුන්ගි නිගිඩි සහ කගිසෝ රබාඩා සමත් වූහ.

ලුන්ගි එන්ගිඩි ලකුණු 39කට කඩුලු 5ක් සහ රබාඩා ලකුණු 47කට කඩුලු 3ක් දවා ගනිමින් ඉන්දීය දෙවැනි ඉනිම බිඳ දැමූ අතර, මෝනි මෝකල් ඉන්දීය මුල් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 60ක් තුළ බිඳ දැමීය.
දකුණු අප්‍රිකාව මුල් ඉනිම වෙනුවෙන් ඒඩ්න් මාක්රම් (94), හෂීම් අම්ලා (82) සහ ඩුප්ලෙසිස් (63) අර්ධ ශතක වාර්තා කළ අතර, දෙවැනි ඉනිමේදී ඩීන් එල්ගා (61) සහ ඒ.බි. ඩිවිලියර්ස් (80) අර්ධ ශතක වාර්තා කළහ.
ඉන්දීය මුල් ඉනිමේදී සටන්කාමී පිතිහරඹයක නිරත වූ නායක විරාත් කෝලි ලකුණු 153ක් රැස් කළ අතර, දෙවැනි ඉනිමේදී සියලුම පිතිකරුවෝ අසාර්ථක වූහ.

ලකුණු තත්ත්වය :-
ද. අප්‍රිකාව මුල් ඉනිම - 335යි
ඒඩ්න් මාක්රම් 94, හෂීම් අම්ලා 82, ෆැෆ් ඩුප්ලෙසිස් 63,
රවිචන්ද්‍රන් ඇෂ්වින් 113/4, ඉෂන්ට් ෂර්මා 46/3

ඉන්දියාව මුල් ඉනිම - 307යි
මුරලි විජේ 46, විරාත් කෝලි 153, මෝනි මෝකල් 60/4

ද. අප්‍රිකාව දෙවැනි ඉනිම - 258යි
ඩීන් එල්ගා 61, ඒ.බි. ඩිවිලියර්ස් 80, ෆැෆ් ඩුප්ලෙසිස් 48, මොහොමඩ් ෂමී 49/4, ජස්ප්‍රිට් බුම්රා 70/3, ඉෂන්ට්
ෂර්මා 40/2

ඉන්දියාව දෙවැනි ඉනිම - 151යි
රෝහිත් ෂර්මා 47, මොහොමඩ් ෂමී 28, ලුන්ගි එන්ගිඩි 39/6, කගිසෝ රබාඩා 47/3

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 290ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාවට පන්දුවාර 48.1කදී සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 278ක් පමණි.

සිම්බාබ්වේ වෙනුවෙන් හැමිල්ටන් මසකඩ්සා සහ සිකන්දර් රාසා අර්ධ ශතක වාර්තා කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ චටාරා කඩුලු 4ක් බිඳ හෙළීය.
ලකුණු හඹා යාමේදී ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් ජනිත් පෙරේරා පන්දු 83කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 80ක් ලබාගත් අතර, අවසන් මොහොත දක්වා සටනක් දුන් තිසර පෙරේරා පන්දු 37කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 64ක් ලබා ගත්තේය.

තරගයේ 47 වැනි පන්දු වාරයේදී තිසර දැවී යාමත් සමගම ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු සුන් වූ අතර නායක මැතිව්ස් ලකුණු 42ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක්ද ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූහ.
මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ වෙනුවෙන් මසකඩ්සා සහ මීරේ මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සම්බන්ධතාවක් තැබූ අතර, මසකඩ්සා පන්දු 83කදී හතරේ පහර 10ක් සහිතව ලකුණු 73ක් ලබා ගත්තේය.
කඩුලු 4ක් බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි සිකන්දර් රාසා පන්දු 67කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 81ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අසේල ගුණරත්න කඩුලු 3ක්ද, තිසර පෙරේරා කඩුලු 2ක්ද බිඳ හෙළීය.

ලබන මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය සඳහා සහභාගි වන බංග්ලාදේශ පිලට නිල වශයෙන් ආරාධනා කිරීම පසුගියදා බංග්ලාදේශයේදී සිදු කෙරුණි.
මෙහිදී ශ්‍රී ලංකා එක්දින සහ 20-20 නායක ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශ 20-20 නායක ෂකිබ් අල් හසන්ට නිල වශයෙන් ආරාධනා කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
පන්දුවාර 48කට සීමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 207ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 37.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 208ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ඊයේ (14දා) වන්ගරෙයි කෝබාම් ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ වමත් ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් නොදැවී ශතකයක් (101) සහ තුන් ඉරියව් දස්කම් දැක්වූ නායක කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.
ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ (0) සහ නිපුන් ධනංජය (1) ඒරන් කොව්ලි හමුවේ දැවී යාමෙන් කඩුලු 2ක් ලකුණු 9ක් තුළ බිඳ වැටී ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් විය.
ඉන්පසු ධනංජය ලක්ෂාන් සමග එක්වූ ක්‍රිෂාන් සංජුල තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 17කට දැවී යාමෙන් ශ්‍රී ලංකාවේ කඩුලු 3ක් ලකුණු 51ක් තුළ බිඳ වැටුණි.  
ඉන්පසු පිටියේ එක්වූ ධනංජය ලක්ෂාන් සහ නායක කමිඳු මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 157ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.
මිනිත්තු 151ක කාලයක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 120කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 101ක් රැස් කළ ධනංජය ලක්ෂාන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
කමිඳු මෙන්ඩිස් පන්දු 73කදී හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 74ක් රැස් කළ අතර, පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 35ට කඩුලු 3ක් බිඳ හෙළීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ජැමී ග්‍රාසි පන්දු 117කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 75ක් රැස් කළේය.
ලකුණු තත්ත්වය :-
අයර්ලන්ත අවු. 19න් පහළ පිල: 207/8 (පන්දුවාර 48) ජැමී ග්‍රාසි 75, මාර්ක් ඩොනෙගන් 36, ජොශුවා ලිට්ල් 25, නිපුන් මාලිංග 39/1, ජෙහාන් ඩැනියෙල් 38/1, කමිඳු මෙන්ඩිස් 35/3
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල: 208/3 (පන්දුවාර 37.3) ධනංජය ලක්ෂාන් නොදැවී 101, හසිත බෝයගොඩ 0, නිපුන් ධනංජය 1, ක්‍රිෂාන් සංජුල 17, කමිඳු මෙන්ඩිස් නොදැවී 74, ඒරන් කොව්ලි 26/2, මැක්ස් නෙවිල් 51/1

(සටහන :- පමෝද්)

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පැවැති මහනුවර සහ සී.ආර්. අතර තරගයෙන් ලකුණු 50-15 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර සමත් විය.
පළමු භාගයේදී ලකුණු 21-03 ක් ලෙස පෙරමුණ ගෙන සිටි මහනුවර අවසානයේ උත්සාහක දිනුම් 8 ක් සහිතව විශිෂ්ට ජයක් ලැබිය.
මහනුවර වෙනුවෙන් රිචඩ් ධර්මපාල (2) තරිඳු චතුරංග, ධනුෂ්ක රංජන්, උචිත ජයසූරිය, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නයිජල් රත්වත්ත සහ ජේසන් දිසානායක උත්සාහක දිනුම් වාර්තා කළ අතර නයිජල් රත්වත්ත ප්‍රවර්ථන 5 ක් සාර්ථකව නිම කළේය.
සී.ආර්. වෙනුවෙන් රීසා රිෆයිඩීන් සහ චරණ චාමිල්කර උත්සාහක දිනුම් වාර්තා කළ අතර තරින්ද රත්වත්ත ප්‍රවර්ථනයක්ද රීසා රිෆයිඩීන් දඬුවම් පහරක්ද සාර්ථකව නිම කළේය.
සී.එච්.-ගුවන් හමුදාව
සී.එච්. සහ ගුවන් හමුදාව අතර පැවැති තරගයෙන් ලකුණු 28-12 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. සමත් විය.
පළමු භාගය අවසන් වන විට සී.එච්. ලකුණු 10-09 ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර සී.එච්. ගෝල 2ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබා ගත් අතර ගුවන් හමුදාව දඬුවම් පහර 4 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
සී.එච්. වෙනුවෙන් අවිශ්ක ලී, ප්‍රදීප් කුරුකුලසූරිය සහ ලී කීගල් උත්සාහක දිනුම් වාර්තා කළ අතර සැමුවෙල් මධුවන්ත ප්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
ගුවන් හමුදාව වෙනුවෙන් චරිත් සෙනවිරත්න දඬුවම් පහර 4 ක් සාර්ථකව නිම කළේය.
නාවික හමුදාව-‍පොලිසිය
නාවික හමුදාව සහ ‍පොලිසිය අතර තරගයෙන් ලකුණු 45-26 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
පළමු භාගයේදී ලකුණු
17-12 ක් ලෙස නාවික හමුදාව පෙරමුණ ගෙන සිටි අතර නාවික හමුදාව ගෝල 5 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින්ද, ‍පොලිසිය ගෝල 3 ක් සහ උත්සාහක දිනුමක් මගින්ද ලකුණු ලබා ගත්තේය.
නාවික හමුදාව වෙනුවෙන් ස්ටීවන් ගේ‍රගරි (2), තිළිණ වීරසිංහ (2), චරිත් සිල්වා, සුපුන් ඩිල්ෂාන් සහ හර්ෂ මධුරංග උත්සාහ දිනුම් වාර්තා කළ අතර ‍පොලිසිය වෙනුවෙන් ජනිත් චානක (2), ජනිත් චන්දිමාල් සහ උදය සංජුල උත්සාහක දිනුම් වාර්තා කළ අතර සංදේශ් ජයවික්‍රම ප්‍රවර්ථන 3 ක් සාර්ථකව නිම කළේය.
හැව්ලොක්ස්-යුද හමුදාව
හැව්ලොක්ස් සහ යුද හමුදාව අතර තරගයෙන් ලකුණු 27-08 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් සමත් විය.
හැව්ලොක්ස් ගෝල 3 ක්, දඬුවම් පහරක් සහ ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබාගත් අතර යුද හමුදාව උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
හැව්ලොක්ස් වෙනුවෙන් අස්මීර් තජුඩීන්, ලසිඳු කරුණාතිලක සහ චානක බණ්ඩාර උත්සාහක දිනුම් වාර්තා කළ අතර රීසා මුබාරක් ප්‍රවර්ථන 3 ක් දඬුවම් පහරක් සහ ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබා ගත්තේය.
යුද හමුදාව වෙනුවෙන් අසෝක ජයලාල් උත්සාහක දිනුමක් ලබා ගත් අතර ගයාන් සාලින්ද දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.

මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ එක්දින සහ 20-20 නව නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කළ බව ඊයේ (9දා) පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.
නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පත්වීමෙන් පසු දීර්ඝ කාලීන හා කෙටි කාලීන සැලසුම් යටතේ මැතිව්ස් නැවතත් නායකත්වයට පත් කළ බවත්, ඒ පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමිවූ බවත් සුමතිපාල මහතා පැවැසීය.
මීට මාස 6කට පෙර මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූ අතර, මීළඟ ලෝක කුසලානට නව නායකයකු යටතේ කණ්ඩායම ගොඩනැංවීමට තමන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කළේය.
මේ අතර දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරන අතර, එක්දින හා 20-20 උප නායකයා ලෙසද නම් කර තිබේ.
නායකත්වයට පැමිණීම පිළිබඳව අදහස් දක්වන මැතිව්ස් පවසන්නේ නැවත නායකත්වය ගැනීමට අදහසක් නොතිබූ නමුත් රටේ අවශ්‍යතාවය සලකා බලා මෙම තීරණය ගත් බවයි.
“මම ගියේ ආයෙත් නායකත්වයට එන්න ‍නෙවෙයි. ඒත් ක්‍රිකට් සභාපතිතුමායි, හතුරුසිංහ අයියයි කතා කරලා කිව්වා නායකත්වය භාර ගන්න කියලා. දින කිහිපයක් කල්පනා කරලා මම එකඟ වුණා.” යැයි මැතිව්ස් පැවැසීය. 
2008-10 කාලය තුළ ශ්‍රී ලංකා ‘ඒ’ පි‍ලේ පුහුණුකරු වූ හතුරුසිංහ සමග වැඩකර ඇති බව පැවැසූ මැතිව්ස් ඉන්පසු ශ්‍රී ලංකා පි‍ලේදීද හතුරු සමග වැඩ කර ඇති බැවින් ඔහු ගැන හොඳින් දන්නා බවද පවසයි.
මේ අවස්ථාවේ නායකත්වය භාර ගැනීමට හොඳම සුදුස්සා මැතිව්ස් බව පවසන පුහුණුකරු චන්දික හතුරුසිංහ ආබාධ සුව කරගෙන කණ්ඩායමේ රැඳී සිටීමට ඔහුට උදව් කිරීමට සූදානම් බවද පවසයි.
 
මංගල ධර්මප්‍රේම

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.