Coss Ear2
lakbima.lk
COSS Ear 1

නවසීලන්තය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියා තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ වෙලින්ටන්හිදී පැවැති නවසීලන්තය සහ එංගලන්තය අතර තරගයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.
නවසීලන්තය මෙම තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණය මෙය වන අතර, එංගලන්තය ලැබූ තෙවැනි පරාජය වෙයි. ඕස්ට්‍රේලියාව සහභාගි වූ තරග 3ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර, ලකුණු 2ක් ලැබූ නවසීලන්තය දෙවැනි ස්ථානයේ පසුවෙයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 196ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 184ක් පමණි.
නවසීලන්ත නායක කේන් විලියම්සන් පන්දු 46කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 72ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්වූ අතර, මාටින් ගප්ටිල් පන්දු 40කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 65ක් රැස් කළේය.
නවසීලන්තය වෙනුවෙන් ටේ‍රන්ට් බෝල්ට්, මිචෙල් සැන්ට්නර් සහ ඉෂ් සෝඩි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :-
නවසීලන්තය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 196යි
ගප්ටිල් 65, විලියම්සන් 72, චැප්මන් 20, වුඩ් 51/2, රෂීඩ් 36/2
එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 9ට ලකුණු 184යි
හේල්ස් 47, මලන් 59, විලී 21, බෝල්ට් 46/2, සැන්ට්නර් 29/2, සෝඩි 49/2
 
 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 215ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ ලකුණු 226ක් රැස් කළ අතර ලකුණු 338ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ ලකුණු 123ක් පමණි.
මේ අනුව නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මුහුණදුන් පළමු ටෙස්ට් තරගාවලියම ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම දෙකේදීම අර්ධ ශතක ලැබූ රොෂේන් සිල්වා තරගයේ වීරයා ලෙස නම් කළ අතර තරගාවලිය පුරා දැක්වූ දස්කම් හේතුවෙන් ඔහු තරගාවලියේ වීරයා ලෙසද නම් කෙරුණි.
මෙම තරගයේදී ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් වමතින් පන්දු යවන්නා ලෙස පාකිස්තානයේ වසීම් අක්රම් කඩුලු 414ක් ලබා තබා තිබූ වාර්තාව බිඳ හෙළමින් කඩුලු 415ක් ලබා ගැනීමට රංගන සමත්විය.
මේ අතර සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අකිල ධනංජය පළමු තරගයේදීම ඉනිමක කඩුලු 5 ක් දවාගැනීම සනිටුහන් කළ අතර මුළු තරගයේදීම කඩුලු 8ක් ලබා වාර්තා ‍පොතට එක්විය.
බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී කිසිදු පිතිකරුවෙකුට සාර්ථකවීමට ඉඩ ලබා නොදුන් රංගන හේරත් සහ අකිල ධනංජය ඉනිම බිඳ දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූහ.
බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 123කට සීමාවූ අතර අකිල ධනංජය ලකුණු 24ට කඩුලු 5ක්ද රංගන හේරත් ලකුණු 49ට කඩුලු 4ක්ද බිඳ හෙළීය.
 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීම දිනේෂ් චන්දිමාල්ට පවරා තිබේ.
ශ්‍රී ලංකා 20-20 නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ අතර, ඒ වෙනුවට මෙම පත් කිරීම සිදු කර තිබේ.
මේ අතර තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නම්කර ඇති අතර, කලකට පසු ජීවන් මෙන්ඩිස් සහ අමිල අ‍පොන්සු කණ්ඩායමට කැඳවා තිබේ.
නවක වේගපන්දු යවන්නෙකු වන අසිත ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවී ඇති අතර, ෂෙහාන් මධුෂංකද කණ්ඩායමට නම්කර තිබේ.
 
ශ්‍රී ලංකා 20-20 සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, 
නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අ‍පොන්සු, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු

නවසීලන්තයේ පැවැති අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 8කින් පරාජය කරමින් සිව්වැනි වරටත් ලෝක කුසලාන දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මන්ජොට් කල්රා නොදැවී ශතකයක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 47.2කදී සියලු දෙනා දැවී ලකුණු 216ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 38.5කදී කඩුලු 2ක් දැවී ලකුණු 220ක් රැස් කරමින් ජය වාර්තා කළේය. 
මන්ජොට් කල්රා පන්දු 102කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 101ක් රැස් කළ අතර, ෂුබ්මාන් ගිල් ලකුණු 31ක්ද, හාවික් දේසායි නොදැවී ලකුණු 47ක්ද රැස් කළහ.
 
ලකුණු තත්ත්වය :-
ඕස්ට්‍රේලියාව: 216 (පන්දුවාර 47.2) ජොනතන් මෙර්ලෝ 76, පාරම් උප්පාල් 34, ජැක් එඩ්වඩ්ස් 28, නාදන් මැක්ස්වීනි 23, ඉෂාන් ‍පෝරල් 30/2, අනුකුල් රෝයි 32/2, ශිවා සිංග් 36/2, කම්‍ලේෂ් නාගර්කෝටි 40/2
ඉන්දියාව: 220/2 (පන්දුවාර 38.5) මන්ජොට් කල්රා නොදැවී 101, හාවික් දේශායි නොදැවී 47, ෂුබ්මාන් ගිල් 34, ප්‍රිතිවි ෂෝ 29, විල් සදර්ලන්ඩ් 36/1, පාරම් උප්පාල් 38/1
 
(සටහන :පමෝද්)

පසුගියදා කොළඹ කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී අවසන් වූ 58 වැනි ජාතික ශූරතා හොකී තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනා ගැනීමට ආරක්ෂක සේවා හොකී සංගමය සමත් විය.
මෙවර පිරිමි අනුශූරතාව රාජ්‍යසේවා සංගමය දිනාගත් අතර, කොළඹ සංගමයට කාන්තා අනුශූරතාව හිමිවිය.
පිරිමි සහ කාන්තා දෙවන අනුශූරතා වෙළෙඳසේවා සංගමයට සහ මහනුවර දිස්ත්‍රික් සංගමයට හිමිවිය.
ආරක්ෂක සේවා සංගමයේ රජිත කුලතුංග සහ ජී.ජී.ජී. දමයන්ති මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකා සම්මාන දිනා ගැනීමට සමත් වූහ.
ආරක්ෂක සේවා සහ රාජ්‍ය සේවා අතර පැවැති පිරිමි අවසන් තරගයේදී ගෝල 5-0ක පහසු ජයක් වාර්තා කිරීමට ආරක්ෂක සේවා පිල සමත් විය.
ආරක්ෂක සේවා සහ කොළඹ සංගමය අතර පැවැති කාන්තා අවසන් තරගයේදී ගෝල 6-0ක පහසු ජයක් වාර්තා කිරීමට ආරක්ෂක සේවා පිල සමත් විය.
 
සපුමල් වීදියබණ්ඩාර

අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 203ක විශිෂ්ට ජයක් වාර්තා කළ ඉන්දියාව අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය.
මේ අනුව ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය පෙබරවාරි 3දා පැවැත්වේ.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් නොදැවී ශතකයක් රැස් කළ ෂුබ්මන් ගිල් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉෂන් ‍පෝරල් කඩුලු 4ක් බිඳ හෙළීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 272ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු ඉනිම පන්දුවාර 29.3කදී ලකුණු 69කට සීමා විය.
ෂුබ්මන් ගිල් පන්දු 94කදී හතරේ පහර 7ක් සහිතව නොදැවී ලකුණු 102ක් රැස් කළ අතර, මන්ජෝට් කයිරා (47), ප්‍රිත්වි ෂාව් (41), අනුකුල් රෝයි (33) පිත්තෙන් දස්කම් දක්වූහ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉෂන් ‍පෝරල් පාකිස්තානු මුල් පෙ‍ලේ කඩුලු 4ක් ලකුණු 17ක් තුළ බිඳ දැමීය.
 
ලකුණු තත්ත්වය :- 
ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 9ට - 272යි
ප්‍රිත්වි ෂාව් 41, මන්ජෝට් කයිරා 47, ෂුබ්මන් ගිල් නොදැවී 102, අනුකුල් රෝයි 33, මොහොමඩ් මූසා 67/4, අර්ෂාඩ් ඉක්බාල් 51/3
පාකිස්තානය පන්දුවාර 50දී සියලු දෙනා දැවී - 69යි
රොහෙල් නසීර් 18, සාඩ් ඛාන් 15, ඉෂන් ‍පෝරල් 17/4, ශිවා සිං 20/2, රියාන් පරාග් 6/2

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.