Coss Ear2
lakbima.lk
COSS Ear 1

බහමාස්හිදී පැවැත්වෙන ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාවට දෙවැනි රිදී පදක්කමත් දිනා දීමට කයිල් අබේසිංහ සමත් විය.
මේ අනුව කයිල් අබේසිංහ මීටර් 100 නිදහස් ආර සහ මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව් දෙකෙන්ම ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දිනා දෙමින් ඉතිහාසගත විය.
‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක පිහිනුම් ඉසව්වකදී රිදී පදක්කම් දෙකක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස කයිල් අබේසිංහ වාර්තා ‍පොත් අතරට එක්විය.
පසුගිය 21දා පැවැති මීටර් 100 නිදහස් ආර තරගයේදී තත්පර 50.93ක කාලයක් සටහන් කරමින් කයිල් රිදී පදක්කම දිනා ගනිද්දී එහි රන් පදක්කම ස්කොට්ලන්තයේ ඇලෙක්සැන්ඩර් ස්කොට් (50.46) දිනාගත් අතර, ලෝකඩ පදක්කම සිංගප්පූරුවේ ජොනතන් ටෑනි (51.10) දිනා ගත්තේය.
පෙරේදා 22දා පැවැති මීටර් 50 නිදහස් ආර ඉසව්වේදී තත්පර 23.38ක කාලයක් සටහන් කරමින් කයිල් අබේසිංහ රිදී පදක්කම දිනාගත් අතර, එහි රන් පදක්කම මීටර් 100 නිදහස් ආර ඉසව්ව ජයගත් ස්කොට්ලන්තයේ ඇලෙක්සැන්ඩර්ම (23.10) දිනා ගැනීමට සමත් විය.
මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගෝහි ජෙරන් තොම්සන් (23.43) දිනා ගත්තේය. 
මීට අමතරව මීටර් 50 පසුපස ආර පිහිනුම් අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ අකලංක පීරිස් ශ්‍රී ලංකා වාර්තාවක්ද සමගින් (තත්පර 26.78) 5 වැනි ස්ථානයට පත්විය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික රග්බි පිල කැනඩාව (19-15), ෆීජි (14-7), සමෝවා (36-14) සහ එංගලන්තය (32-5) හමුවේ පරාජය ලැබූ අතර, බහමාස් හමුවේ ලකුණු 76-0ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.
ඉන් අනතුරුව රටවල් 6කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම පිරිමි රග්බි තරගාවලියේ 5 වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 43-5කින් බහමාස් පරාජය කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ එකම බොක්සිං ක්‍රීඩකයා වූ කාවින්ද සංජය (කි.ග්‍රෑම් 46-49 බර පන්තිය) අර්ධ අවසන් පූර්ව වටයේදී වේල්සයේ ක්‍රීඩකයා හමුවේ වට 4-1ක පරාජයක් ලැබූ අතර, කි.ග්‍රෑ. 51 බර පන්තිය යටතේ තරග වැදුණු එරංගා මධුමාලි මූලික වටයෙන්ම ඉවතට විසිවිය.
ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේදී අනීකා සෙනෙවිරත්න වට 2-0කින් බහමාස් ක්‍රීඩිකාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර, එහිදී සයිප්‍රස් ක්‍රීඩිකාව හමුවේ වට 2-0ක පරාජයක් ලැබුවාය.
ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩක විභූදා විජේබණ්ඩාරද දෙවැනි වටයේදී වේල්සය හමුවේ වට 2-0ක පරාජයක් ලැබූ අතර, විභූදා සහ අනීකා සහභාගි වූ මිශ්‍ර යුගල තරගයේදී වට 2-1කින් එංගලන්තය හමුවේ පරාජය ලැබිය. 
ශ්‍රී ලංකාවේ ෂෙහාන් දිලූෂ කාරියවසම් මී. 110 කඩුලු පැනීම අවසන් තරගයේදී මි. 13.93ක කාලයක් ලබමින් සිව්වැන්නා බවට පත්වූ අතර, සචිනි තාරකා කෝරලගේ මී. 100 අර්ධ අවසන් පූර්ව තරගයේදී තත්පර 12.70ක කාලයක් සටහන් කරමින් 7 වැනි ස්ථානයටද, මී. 200 මූලික වටයේ තරගයේදී (26.60) 5 වැනි ස්ථානයටද පත් වූවාය.
 

 

Crick SLIDE

තමන් ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම වුවද ශ්‍රී ලංකාවේදී සටන අභියෝගයක් බව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

“අපි ශ්‍රී ලංකාවේදී මීට පෙර ක්‍රීඩා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේදී සටන් වැදීම අසීරු අභියෝගයක්. මෙවර තරගාවලිය සටන්කාමී තියුණු තරගාවලියක් වෙනවා නොඅනුමානයි” යැයි විරාත් කෝලි පැවැසීය.

මීට වසර දෙකකට පෙර තමන් නවක කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ අත්දැකීම් පිරි ශ්‍රී ලංකා පිල සමග සටන් වැදී ජයගත් බවත්, එය ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම්ලක්ෂය වූ බව විරාත් කෝලි පවසයි.

“අපි ගියපාර එනකොට අංක 7 හිටියේ. ගාල්ලේ පළමු තරගය පැරදුණා. ඊට පස්සේ අපි සටනක් දීලා තරගාවලිය හොඳට කළා. ඒකෙන් පස්සෙ තමයි අපි ලෝකයේ අංක 1 දක්වා පැමිණියේ. ඒකයි මම කියන්නේ ලංකාව හොඳ සටන්කාමී තැනක් බව.” යැයි කෝලි පැවැසීය.

මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය පිළිබඳව නැගූ පැනයට පිළිතුරු දුන් කෝලි පවසන්නේ කිසිම කණ්ඩායමක් අවතක්සේරු නොකළ යුතු බවත්, තරගයේදී දක්වන දස්කම් මත අවසන් ප්‍රතිඵලය තීරණය වන බවයි.

පසුගිය මාස 6ක පමණ කාලයක් ඉන්දියාවට ටෙස්ට් තරග නොතිබුණු නමුත්, ශාරීරික යෝග්‍යතාවය, පෙර සූදානම සාර්ථකව ඇති බැවින් වෘත්තීය ක්‍රීඩකයන් වශයෙන් සාර්ථක සටනකට සූදානම් බව විරාත් කෝලි පවසයි.

ශ්‍රී ලංකාව පසුගියදා ලොව අංක 1 සිටි ඕස්ට්‍රේලියාව පරාජය කිරීම පිළිබඳව නැගූ පැනයට පිළිතුරු දුන් කෝලි පවසන්නේ එය විශිෂ්ට දස්කමක් බවයි. 

“ඕස්ට්‍රේලියාව හොඳ කණ්ඩායමක්. ඔවුන් ඕනෑම රටකදී සුපිරි දස්කම් දක්වනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ලැබූ ජය විශිෂ්ටයි. ඒත් අපි පසුගිය දේවල් ගැන හිතන්නේ නෑ. මෙම තරගාවලියේදී හොඳින් කරලා ජය ගන්න එක තමයි කණ්ඩායමේ අපේක්ෂාව” යැයි කෝලි පවසයි.

මුරලි විජේ ආබාධයකට ලක්වීමත් සමගම ආරම්භක පිතිකරු ස්ථානවල ප්‍රශ්නයක් ඇත්දැයි විමසූ විට කෝලි පවසන්නේ ලෝකේශ් රාහුල්, අබිනව් මුකුන්ඩ් සහ ෂිකර් ධවාන් ටෙස්ට් තරගවලදී ලකුණු ලබා ගැනීමේ පිපාසයෙන් පෙළෙන බැවින් එය එතරම් ප්‍රශ්නයක් නොවන බවයි.

රංගනගේ පන්දු යැවීම පිළිබඳව විමසූ විට කෝලි පැවැසුවේ රංගන සුපිරි පන්දු යවන්නෙක් වුවත් ඔහුට හොඳින් පන්දුවට පහර දීමට ඉන්දීය වෘත්තීය පිතිකරුවන් කටයුතු කරනු ඇති බවයි.

ලොව අංක 1 කණ්ඩායම ලෙස ලොව ඕනෑම තණතීරුවක ඕනෑම තත්ත්වයක් යටතේ දස්කම් දැක්විය යුතු බව සියලුම ක්‍රීඩකයන් අවබෝධ කරගෙන සිටින බවද කෝලි පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි පැවැසුවේ තමන් පුහුණුකරුවෙකු ලෙස පළමු වරට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබිම ෙදෙවෝපගත සිදුවීමක් බවයි. 

“මගේ පළමු සංචාරය ක්‍රීඩකයකු ලෙස අවුරුදු 18දී පැමිණියේ ලංකාවට. විස්තර විචාරකයකු ලෙස පළමුව කටයුතු කළෙත් ශ්‍රී ලංකාවේදී. පුහුණුකරුවකු ලෙස පළමු සංචාරයත් දැන් ශ්‍රී ලංකාවේදී. මෙය මගේ ජීවිතයේ වැදගත් සිදුවීමක්.” යැයි ශාස්ත්‍රි පැවැසීය.

පුහුණුකරුවකු ලෙස ක්‍රීඩකයන්ට තමන් දෙන අවවාදය වන්නේ ජය ගැනීමටම ක්‍රීඩා කරන ලෙසත්, වෘත්තීය ක්‍රීඩකයන්ට පුහුණුකරුවකු කළ යුත්තේ මානසික ශක්තිය වර්ධන කිරීම පමණක් බවත් ශාස්ත්‍රි පවසයි.

තරගාවලිය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින සහ 20-20 නායක උපුල් තරංග පවසන්නේ ලොව අංක 1 කණ්ඩායමට එරෙහිව සාර්ථකව ක්‍රීඩා කර තම ශක්තිය පෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් හිමිවී ඇති බවයි.

මෙම පුවත්පත් සාකච්ඡාවට අසනීප තත්ත්වයක් හේතුවෙන් නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහභාගි නොවීය.

“ඉන්දියාව ලෝකයේ අංක 1 කණ්ඩායම. අපිට දැන් අවස්ථාවක් ඇවිත් තියෙනවා කලින් අංක 1 සිටි ඕස්ට්‍රේලියාව පරද්දලා අවධානය දිනා ගත්තා වගේ යළිත් සාර්ථක වෙන්න. කණ්ඩායමම සූදානමින් ඉන්නේ ඒ වෙනුවෙන්.” යැයි තරංග පවසයි.

“ඉන්දියාවේ ප්‍රබල දඟ පන්දු යවන්නන් රැසක් සිටිනවා. සිම්බාබ්වේ තරගාවලියේදීත් දඟ පන්දු යවන්නන් අපිට අභියෝගයක් වුණා. ඒ පිළිබඳව පුහුණුකරුවන් සමග සාකච්ඡා කරලා සැලසුමක් හදනවා. දඟ පන්දු අභියෝගයට පිතිකරුවන් සූදානම් වෙමින් සිටිනවා.” යැයි තරංග පැවැසීය.

 

 

මංගල ධර්මප්‍රේම 

 

ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නා වන රංගන හේරත් අයි.සී.සී. ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණියේ දෙවැනි ස්ථානය තෙක් ඉහළට පැමිණ තිබේ.
පසුගියදා අවසන් වූ සිම්බාබ්වේට එරෙහි ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් ලබාගත් රංගන හේරත් ලකුණු 866ක් ලබා දෙවැනි ස්ථානයට පැමිණ ඇති අතර, ඉන්දීය පි‍ලේ රවින්ද්‍ර ජඩේජා එහි  පළමු ස්ථානයේද, රවිචන්ද්‍රන් ඇෂ්වින් එහි තෙවැනි ස්ථානයේද පසුවෙයි. 
රංගන මේ වන විට ටෙස්ට් තරග 81කදී කඩුලු 384ක් බිඳහෙළා තිබේ.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් ක්‍රිකට්  තරගය ශ්‍රී ලංකාව කඩුළු 4කින් ජය ගනී.  ලකුණු 388ක වාර්තාගත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 6ට ලකුණු 391ක් ලබා ගත්තේය. අසේල ගුණරත්න නොදැවී ලකුණු 80.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයේදී පාකිස්තානට එරෙහිව ලකුණු 15ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
මෙම තරගාවලියේදී පළමු ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 7 වැනි ස්ථානයට පත්වූ අතර, තරග 7ම පරාජයට පත්වූ පාකිස්තානය 8 වැනි ස්ථානයට පත්විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩිලානි මනෝදරා හතරේ පහර 9ක් සමගින් ලකුණු 84ක් රැස් කළ අතර, චන්දිමා ගුණරත්න ලකුණු 41ට කඩුලු 4ක් බිඳ හෙලුවාය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50දී කඩුලු 7ට ලකුණු 221ක් රැස් කළ අතර, පාකිස්තානයට පන්දුවාර 46.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 206ක් පමණි.
මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමත් විය.
 
ලකුණු තත්ත්වය :-
ශ්‍රී ලංකාව පන්දුවාර 50දී - 221/7යි
නිපුනි හන්සිකා 1, හසිනි පෙරේරා 13, චමරි අතපත්තු 27, සශිකලා සිරිවර්ධන 17, ඩිලානි මනෝදරා 84, ප්‍රසාදිනී වීරක්කොඩි 5, ඒෂානි ලොකුසූරිය 28, අමා කාංචනා (නොදැවී) 21, ශ්‍රීපාලි වීරක්කොඩි (නොදැවී) 4, ඩයනා බෙග් 41/3
පාකිස්තානය පන්දුවාර 46.4කදී - 206යි
ජවෙරියා ඛාන් 24, නයින් අබිඩි 57, අස්මාවියා ඉක්බාල් (නොදැවී) 38, චන්දිමා ගුණරත්න 41/4, අමා කාංචනා 31/2, ඉනෝකා රණවීර 17/1, චමරි අතපත්තු 28/1

ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා උළෙ‍ලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වී තිබේ.
පිරිමි හෙල්ල විසිකිරීමේ එෆ්. 46 ඉසව්වේදී මීටර් 57.93ක දක්ෂතාවක් දක්වමින් දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කම දිනා ගනිද්දී එහි රන් පදක්කම ඉන්දියාවටත්, ලෝකඩ පදක්කම චීනයටත් හිමිවිය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.