Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලක්ෂාන් සහ කමිඳු ශ්‍රී ලංකා ජය තහවුරු කරති

නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
පන්දුවාර 48කට සීමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 207ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 37.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 208ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ඊයේ (14දා) වන්ගරෙයි කෝබාම් ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ වමත් ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් නොදැවී ශතකයක් (101) සහ තුන් ඉරියව් දස්කම් දැක්වූ නායක කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.
ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ (0) සහ නිපුන් ධනංජය (1) ඒරන් කොව්ලි හමුවේ දැවී යාමෙන් කඩුලු 2ක් ලකුණු 9ක් තුළ බිඳ වැටී ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් විය.
ඉන්පසු ධනංජය ලක්ෂාන් සමග එක්වූ ක්‍රිෂාන් සංජුල තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 17කට දැවී යාමෙන් ශ්‍රී ලංකාවේ කඩුලු 3ක් ලකුණු 51ක් තුළ බිඳ වැටුණි.  
ඉන්පසු පිටියේ එක්වූ ධනංජය ලක්ෂාන් සහ නායක කමිඳු මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 157ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.
මිනිත්තු 151ක කාලයක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 120කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 101ක් රැස් කළ ධනංජය ලක්ෂාන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
කමිඳු මෙන්ඩිස් පන්දු 73කදී හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 74ක් රැස් කළ අතර, පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 35ට කඩුලු 3ක් බිඳ හෙළීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ජැමී ග්‍රාසි පන්දු 117කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 75ක් රැස් කළේය.
ලකුණු තත්ත්වය :-
අයර්ලන්ත අවු. 19න් පහළ පිල: 207/8 (පන්දුවාර 48) ජැමී ග්‍රාසි 75, මාර්ක් ඩොනෙගන් 36, ජොශුවා ලිට්ල් 25, නිපුන් මාලිංග 39/1, ජෙහාන් ඩැනියෙල් 38/1, කමිඳු මෙන්ඩිස් 35/3
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල: 208/3 (පන්දුවාර 37.3) ධනංජය ලක්ෂාන් නොදැවී 101, හසිත බෝයගොඩ 0, නිපුන් ධනංජය 1, ක්‍රිෂාන් සංජුල 17, කමිඳු මෙන්ඩිස් නොදැවී 74, ඒරන් කොව්ලි 26/2, මැක්ස් නෙවිල් 51/1

(සටහන :- පමෝද්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.