Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගියවර අහිමි වූ කුසලාන මෙවර දිනා ගන්නවා

“මලයාසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට තම කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවත්, පසුගිය වසරේදී දිනා ගත නොහැකි වූ කුසලාන මෙවර දිනා ගන්නා බවත්” ශ්‍රී ලංකා අවු. 19න් පහළ ක්‍රිකට් පි‍ලේ නායක කමිඳු මෙන්ඩිස් ඊයේ (5දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ලබන 10දා මලයාසියාවේදී ආරම්භ කෙරෙන සිව්වැනි ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ නිල ඡායාරූපය ගැනීමේ අවස්ථාවේ පැවැති මාධ්‍ය හමුවේදී කමිඳු මෙන්ඩිස් මෙසේ පැවැසීය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම වෙනුවෙන් මාස 3කට වැඩි කාලයක් පුහුණු සැලසුම් සකස් කර තිබුණා. 2016 වසරේ අපේ රටේ පැවැති තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්ව අපි අනුශූරයන් බවට පත්වුණා. එහෙත් අපිට විශ්වාසයක් තිබෙනවා මෙවර ශූරයන් වෙන්න පුළුවන් කියලා” යැයි කමිඳු පවසයි.
කණ්ඩායමේ 15 දෙනාම දක්ෂ ක්‍රීඩකයන් බවත්,  සියලු දෙනාම හොඳ සූදානමකින් පසුවෙන බවත් පවසන කමිඳු මෙන්ඩිස් මලයාසියානු දේශගුණය ශ්‍රී ලංකාවේ දේශගුණයට සමාන බැවින් එය තමන්ට වාසියක් බවද පවසයි.
මෙවර තරගාවලියේදී ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය සහ ඇෆ්ගනිස්තානය හොඳ සටනක් ලබාදෙනු ඇතැයි තමන් බලා‍පොරොත්තු වන බව කමිඳු මෙන්ඩිස් වැඩිදුරටත් පැවැසීය.
“ලබන ජනවාරි මාසයේ නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය හඳුන්වාදෙන බවත්, එබැවින් මෙම තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමට කණ්ඩායම වගබලාගත යුතු බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා, දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත මෙම කණ්ඩායමට එම ඉලක්කය ජය ගැනීමට අපහසු නොවනු ඇතැයිද පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදුන් බව පැවැසූ සුමතිපාල මහතා ක්‍රීඩකයන් සියලු දෙනා රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බව වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අවු. 19න් පහළ පි‍ලේ පුහුණුකරු රෝයි ඩයස් මහතා පවසා සිටියේ ජාත්‍යන්තර තරග අත්දැකීම් නොමැති නවක ක්‍රීඩකයන් 7 දෙනෙක් කණ්ඩායමට එක්වී සිටියත් ඔවුන් ඉතා දක්ෂ ක්‍රීඩකයන් බවයි.
හොඳ සංචිතයක් මාස තුනක පමණ කාලයක් පවත්වාගෙන ගියද අවසන් දින කිහිපයේදී වර්ෂාව හේතුවෙන් සැලසුම් කළ පුහුණු තරග පවත්වන්නට නොහැකි වූ බව රෝයි ඩයස් මහතා වැඩිදුරටත් පැවැසීය.
 
ශ්‍රී ලංකා අවු. 19න් පහළ සංචිතය
කමිඳු මෙන්ඩිස් (නායක - රිච්මන්ඩ්), ජෙහාන් ඩැනියෙල් (උප නායක-ශා. ජෝෂප්), අශේන් බණ්ඩාර (ශා. ඇලෝසියස්), හසිත බෝයගොඩ (ත්‍රිත්ව), ක්‍රිෂාන් සංජුල (මැසිනෝද්), තිසරු රශ්මික (ත්‍රිත්ව), ප්‍රවීන් ජයවික්‍රම (ශා. සෙබස්තියන්), නිපුන් ධනංජය (ජෝශප් වාස්), ධනංජය ලක්ෂාන් (රිච්මන්ඩ්), කළණ පෙරේරා (ශා. තෝමස්), කේ. කේ. කෙවින් (මහින්ද), රන්දීර රණසිංහ (ශා. ආනා), නිශාන් මධුෂ්ක (මොරටු විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (ශා. සෙබස්තියන්), තිලාන් ප්‍රශාන් (ශා. සර්වේෂස්) 
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.