Coss Ear2
lakbima.lk
COSS Ear 1
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල ඊයේ (24දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය.
නායක දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු නිලධාරීන් සමග සමූහ නිල ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයෙන් පිටත්ව ගියහ.
පාකිස්තානු තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය විශාල අභියෝගයක් බවත්, කණ්ඩායමක් විදිහට එම අභියෝගය භාර ගැනීමට සියලුම ක්‍රීඩකයන් සූදානම් බවයි. 
පසුගිය අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කර යම් අත්දැකීමක් ලබාගත් බව පැවැසූ චන්දිමාල් විදුලි ආලෝක මධ්‍යයේ පුහුණුවීම් සිදුකළ බවද සඳහන් කළේය.
මෙහිදී මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දුන් චන්දිමාල් පවසා සිටියේ ඉන්දීය තරගාවලිය ඉතා අපහසු තරගාවලියක් වුවද, කණ්ඩායමක් ලෙස විශාල අත්දැකීමක් ඉන් ලබාගත් බවයි. 
ඉන්දීය තරගාවලියේදී සිදුවූ අඩුපාඩු සහ වැරදි නිවැරදි කරගෙන පාකිස්තානු තරගාවලියට මුහුණ දීමට සියලුම ක්‍රීඩකයන් සූදානමෙන් පසුවන බවද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා පිලට පරාජිත මාවතෙන් මිදී ජයග්‍රාහී මාවතට පිවිසීමට එක් තරග ජයග්‍රහණයක් අවශ්‍ය බවත්, එම ජයග්‍රහණය වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන් කැපවීමෙන් ක්‍රීඩා කරන බවත් නායක චන්දිමාල් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 28දා අබුඩාබි හිදී ආරම්භ කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඔක්තෝබර් 6දා ඩුබායිහිදී ආරම්භවේ.
 
ප්‍රභාත් විදානපතිරණ 
ඡායාරූප :-මලිත් ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.