Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (3දා) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
පළමු තරගයෙන් ලකුණු 304 ක ජයක් වාර්තා කළ ඉන්දියාව මේ වන විට තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.
තරගාවලියට අවතීර්ණ වීමට ශ්‍රී ලංකාවට අද තරගය ජය ගැනීම අත්‍යවශ්‍යවී ඇති අතර ඉන්දියාව ජය ගතහොත් තරගාවලියේ ජය ඉන්දියාවට හිමිවෙයි.
පළමු තරගයේදී ආබාධ සහ දුර්වල පිතිහරඹය මැද පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර අද තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිතව තිබේ.
එස්.එස්.සී. තණතීරුවට අනුව අද ශ්‍රී ලංකා පිලට දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නායක දිනේෂ් චන්දිමාල් හෙළි කළේය.
“අද මලින්ද පුෂ්පකුමාර ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තියෙනවා. රංගනත් සුවය ලබා සිටිනවා. රංගන සමග ක්‍රීඩා කිරීමෙන් මලින්දට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි” යැයි චන්දිමාල් පවසයි.
යම් හෙයකින් රංගන ක්‍රීඩා නොකළහොත් ඒ වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් සූදානමින් පසුවෙයි.
මේ අතර අසේල ගුණරත්නගේ ස්ථානයට අද ධනංජය ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර චන්දිමාල් කණ්ඩායමට පැමිණීමෙන් ධනුෂ්ක ගුණතිලකට ස්ථානය අහිමි වෙයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ පිතිකරුවන් ලෙස තරංග, දිමුත්, කුසල්, චන්දිමාල් මැතිව්ස්, ධනංජය සහ දික්වැල්ල ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
පන්දු යවන්නන් ලෙස රංගන, දිල්රුවන්, මලින්ද සහ නුවන් ප්‍රදීප් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
පළමු තරගයේ පරාජය අමතක කර මෙම තරගය ජයගෙන තරගාවලිය සමකර පල්ලෙකැ‍ලේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් සටනට පිවිසීමට තම ක්‍රීඩකයන් දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවද චන්දිමාල් පැවැසීය.
ඉන්දියාව අද තරගයේදී ජයග්‍රාහී පිලම ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතත් උණ රෝගය නිසා පළමු තරගයට ක්‍රීඩා නොකළ ලෝකේෂ් රාහුල් සුවය ලබා සිටින බැවින් ඔහු ක්‍රීඩා කළහොත් අබිනව් මුකුන්ඩ්ගේ ස්ථානය අහිමි වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන විරාත් කෝලි පවසන්නේ අද පෙරවරුවේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු අවසන් තීරණය ගන්නා බවයි. රාහුල් පසුගිය තරගාවලි කිහිපයේදීම සාර්ථක වූ පිතිකරුවකු බව පවසන කෝලි සියල්ල අද පෙරවරුවේදී තීරණය වන බව පවසයි.
තණතීරුවේ දඟ පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක් ඇත්නම් වේග පන්දු යවන්නෙකු වෙනුවට කුල්දීප් යදාව් ක්‍රීඩා කිරීමට ඉඩකඩ තිබේ.
මේ අනුව ඉන්දීය පිතිකරුවන් ලෙස ධවාන්, රාහුල් හෝ මුකුන්ඩ්, පුජාරා, කෝලි, රහනේ, විදිමන් සහා සහ පාන්ඩ්යා ක්‍රීඩා කරති.
පන්දු යවන්නන් ලෙස අෂ්වින්, ජඩේජා, ෂමී සහ උමේෂ් යදාව් හෝ කුල්දීප් යදාව් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
මෙම තණතීරුව මීට පෙර පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද එකලෙස සහය වී ඇති බැවින් හොඳ තරගයක් ඇති බවත් තම පිල මෙවන් තණතීරුවල ක්‍රීඩා කිරීමට ප්‍රියකරන බවත් කෝලි පවසයි.

මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.