Coss Ear2
lakbima.lk
COSS Ear 1
බහමාස්හිදී පැවැත්වෙන ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාවට දෙවැනි රිදී පදක්කමත් දිනා දීමට කයිල් අබේසිංහ සමත් විය.
මේ අනුව කයිල් අබේසිංහ මීටර් 100 නිදහස් ආර සහ මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව් දෙකෙන්ම ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දිනා දෙමින් ඉතිහාසගත විය.
‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක පිහිනුම් ඉසව්වකදී රිදී පදක්කම් දෙකක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස කයිල් අබේසිංහ වාර්තා ‍පොත් අතරට එක්විය.
පසුගිය 21දා පැවැති මීටර් 100 නිදහස් ආර තරගයේදී තත්පර 50.93ක කාලයක් සටහන් කරමින් කයිල් රිදී පදක්කම දිනා ගනිද්දී එහි රන් පදක්කම ස්කොට්ලන්තයේ ඇලෙක්සැන්ඩර් ස්කොට් (50.46) දිනාගත් අතර, ලෝකඩ පදක්කම සිංගප්පූරුවේ ජොනතන් ටෑනි (51.10) දිනා ගත්තේය.
පෙරේදා 22දා පැවැති මීටර් 50 නිදහස් ආර ඉසව්වේදී තත්පර 23.38ක කාලයක් සටහන් කරමින් කයිල් අබේසිංහ රිදී පදක්කම දිනාගත් අතර, එහි රන් පදක්කම මීටර් 100 නිදහස් ආර ඉසව්ව ජයගත් ස්කොට්ලන්තයේ ඇලෙක්සැන්ඩර්ම (23.10) දිනා ගැනීමට සමත් විය.
මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගෝහි ජෙරන් තොම්සන් (23.43) දිනා ගත්තේය. 
මීට අමතරව මීටර් 50 පසුපස ආර පිහිනුම් අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ අකලංක පීරිස් ශ්‍රී ලංකා වාර්තාවක්ද සමගින් (තත්පර 26.78) 5 වැනි ස්ථානයට පත්විය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික රග්බි පිල කැනඩාව (19-15), ෆීජි (14-7), සමෝවා (36-14) සහ එංගලන්තය (32-5) හමුවේ පරාජය ලැබූ අතර, බහමාස් හමුවේ ලකුණු 76-0ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.
ඉන් අනතුරුව රටවල් 6කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම පිරිමි රග්බි තරගාවලියේ 5 වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 43-5කින් බහමාස් පරාජය කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ එකම බොක්සිං ක්‍රීඩකයා වූ කාවින්ද සංජය (කි.ග්‍රෑම් 46-49 බර පන්තිය) අර්ධ අවසන් පූර්ව වටයේදී වේල්සයේ ක්‍රීඩකයා හමුවේ වට 4-1ක පරාජයක් ලැබූ අතර, කි.ග්‍රෑ. 51 බර පන්තිය යටතේ තරග වැදුණු එරංගා මධුමාලි මූලික වටයෙන්ම ඉවතට විසිවිය.
ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේදී අනීකා සෙනෙවිරත්න වට 2-0කින් බහමාස් ක්‍රීඩිකාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර, එහිදී සයිප්‍රස් ක්‍රීඩිකාව හමුවේ වට 2-0ක පරාජයක් ලැබුවාය.
ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩක විභූදා විජේබණ්ඩාරද දෙවැනි වටයේදී වේල්සය හමුවේ වට 2-0ක පරාජයක් ලැබූ අතර, විභූදා සහ අනීකා සහභාගි වූ මිශ්‍ර යුගල තරගයේදී වට 2-1කින් එංගලන්තය හමුවේ පරාජය ලැබිය. 
ශ්‍රී ලංකාවේ ෂෙහාන් දිලූෂ කාරියවසම් මී. 110 කඩුලු පැනීම අවසන් තරගයේදී මි. 13.93ක කාලයක් ලබමින් සිව්වැන්නා බවට පත්වූ අතර, සචිනි තාරකා කෝරලගේ මී. 100 අර්ධ අවසන් පූර්ව තරගයේදී තත්පර 12.70ක කාලයක් සටහන් කරමින් 7 වැනි ස්ථානයටද, මී. 200 මූලික වටයේ තරගයේදී (26.60) 5 වැනි ස්ථානයටද පත් වූවාය.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.