Coss Ear2
lakbima.lk
COSS Ear 1

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.බි.පී. හේරත් මහතාගේ සේවය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
පසුගිය 5 සහ 6දා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනාට සහ ක්‍රීඩා උපදේශකයන් 15 දෙනාට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අ‍පොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරයේ නේවාසික පහසුකම් සලසා තිබූණු අතර, එහි විදුලිය බිඳ වැටී ජල පහසුකම්ද අඩාල වී තිබිම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.
මෙම සිදුවීම පිළිබඳව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ පිහිටි තරු 4 හෝටලයක නවාතැන් පහසුකම් සපයා දීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ උදාසීන ආකාරයත්, එයින් අත්වූ තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතිවූ අපහසුතාවය සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට සහ එම ධුරයෙන් නෙරපා හැරීමට අමාත්‍යාංශ ‍ලේකම්ට ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ මෙහෙයවීමෙන් බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී පැවැති ජාතික කනිෂ්ඨ සවි එසවීමේ තරගාවලියෙහි බාලක සහ බාලිකා ශූරතා දෙකම දිනා ගැනීමට මාත‍ලේ විජය විද්‍යාලය සමත් විය.
විජය විද්‍යාලයීය ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 28ක්ද, ක්‍රීඩිකාවන් ප්‍රසාද ලකුණු 15ක්ද හිමිකර ගනිමින් ශූරතා දිනා ගැනීමට සමත් වූහ.
ජාතික කනිෂ්ඨ සවි එසවීමේ තරග ඉතිහාසයේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම එකම පාසලක් දිනාගත් පළමු අවස්ථාව මෙය වීම කැපී පෙනෙයි.
විජය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකත්වය හොබවන හර්ෂ ඒකනායක මෙම තරගාවලියේ අවුරුදු 23න් පහළ දක්ෂතම සවි උසුලන්නා ලෙස සම්මාන ලැබිය.
ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම්.එල්. ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු මහතා යටතේ පුහුණුව ලබන අතර, සාලින්ද ප්‍රභාත් මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාත‍ලේ විජය විද්‍යාලයීය විදුහල්පති රංජිත් සිරිවර්ධන, නියෝජ්‍ය විදුහල්පති ජානක තේනුවර, ක්‍රීඩා පරිපාලක අනුරුද්ධ හේරත් බණ්ඩාර සහ පුහුණුකරුවන් සමග ඡායාරූපයෙන් දැක්වේ.
 
සපුමල් වීදිය බණ්ඩාර

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහ ලෝක චෙස් සම්මේලනයේ අධීක්ෂණය යටතේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි චෙස් සංගමය විසින්  8 වැනි වරටත් සංවිධානය කළ දම්සෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ ඉන්ටර්නැෂනල් මාස්ටර් සී. ආර්.ජී. ක්‍රිෂ්ණා සමත්වූ අතර, එස්. නෙවිංකා ද සිල්වා කනකරත්න (ශ්‍රී ලංකාව) කාන්තා අංශයේ ශූරතාව දිනා ගැනීමට සමත් වූවාය.
ධර්මාශෝක විද්‍යාලයීය තෝමස් ද සිල්වා අනුස්මරණ ශාලාවේදී දින 6ක් පුරා පැවැති මෙම චෙස් තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 372ක් සහභාගි වූහ.
ඉන්ටර්නැෂනල් මාස්ටර් සී.ආර්.ජී. ක්‍රිෂ්ණා (ඉන්දියාව) තරග වට 9 තුළදී ලකුණු 8.5ක් හිමි කරගත් අතර, ඉන්ටර්නැෂනල් මාස්ටර් මාර්කෝස් ලන්සා වේගා දෙවැනි ස්ථානයද (ස්පාඤ්ඤය), කැන්ඩිඩේට් මාස්ටර් කෙවින් රනිඳු සිල්වා (ශ්‍රී ලංකාව) තෙවැනි ස්ථානයද දිනා ගත්හ.
විවෘත කාන්තා තරගාවලියේදී තරග වට 9 තුළදී පළමු ස්ථාන තුන දිනාගත් ක්‍රීඩිකාවන් තිදෙනාම ලකුණු 6.5ක් බැගින් හිමිකර ගත්තද තරගාවලියේ නීතිරීති අනුව නෙවිංකා ද සිල්වාට පළමු ස්ථානයත්, බි.කේ.ඩී. ලියනගේ සහ එන්.ටී. අබේවර්ධනට දෙවැනි සහ තෙවැනි ස්ථානත් හිමි වූහ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති හසිත කේෂර වෙත්තිමුණි මහතා, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශෂික ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ ‍ලේකම් බුද්ධි පනාගොඩ මහත්මියගේ සහභාගිත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණි.
 
තරග ප්‍රතිඵල
 
විවෘත පිරිමි
1. ඉන්ටර්නැෂනල් මාස්ටර් සී.ආර්ජී. ක්‍රිෂ්ණා (ඉන්දියාව), 2 ඉන්ටර්නැෂනල් මාස්ටර් මාර්කෝස් ලන්සා වේගා (ස්පාඤඤය), 3. කැන්ඩිඩේට් මාස්ටර් කෙවින් රනිඳු සිල්වා (ශ්‍රී ලංකාව)
විවෘත කාන්තා
1. එස්. නෙවිංකා ද සිල්වා කනකරත්න (ශ්‍රී ලංකාව), 2. බි.කේ.ඩී. ලියනගේ, 3. එන්.ටී. අබේවර්ධන
 
පමෝද් ලසන්ත

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ‘ගුවන් හමුදාපති නිවාස ව්‍යාපෘතිය’ යටතේ පාපැදි ශූරියක් වන යූ.ඩී. ශ්‍රියලතාට නව නිවසක් පරිත්‍යාග කරන ලදී.
ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු ඒකකය හා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර විසින් මෙම පරිත්‍යාගය සිදුකර ඇති අතර, එම අවස්ථාවට ගුවන් හමුදාපති, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ සහ ගුවන් හමුදා නිලධාරීන් රැසක් සහභාගි වූහ.
යූ.ඩී. ශ්‍රියලතාට පිරිනමන ලද නව නිවස සහ එම නිල උත්සව අවස්ථාව ඡායාරූපවලින් දිස්වේ.

රාජ්‍ය සේවයේ ආයතන 35කින් කණ්ඩායම් 73 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 280 ක් පමණ සහභාගි වූ සමස්ත ලංකා රාජ්‍ය සේවා කැරම් ශූරතාවලිය පසුගියදා නුගේගොඩ පිහිටි ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම පරදා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය ක්‍රීඩා සමාජය ශූරතාව දිනා ගත්තේය.
ජයග්‍රාහී පාර්ලිමේන්තු කැරම් කණ්ඩායම ප්‍රියන්ත ධර්මසේන, තරගයේ දක්ෂතම ක්‍රීඩක සම්මානය හිමි කරගත් සංජය ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මහ ‍ලේකම් ධම්මික දසනායක, කණ්ඩායම් නායක උපාලි ප්‍රේමචන්ද්‍ර, රසික රාජපක්ෂ සහ අසංක අමරතුංග ජයග්‍රාහී කුසලාන කණ්ඩායම් නායක උපාලි ප්‍රේමචන්ද්‍ර මහතා විසින් පාර්ලිමේන්තු මහ ‍ලේකම් ධම්මික දසනායක මහතාට පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

04 වන දකුණු ආසියා  වුෂු තරගාවලිය 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නාවික හමුදා වුෂු සංචිතයට අනුයුක්ත නාවිකයන් විසින් සුවිශේෂි දක්ෂතා දක්වමින් රන් පදක්කම් 03ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තියක් අත්කර දීමට සමත් විය. 
ඔවුන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ඇගයීමට ලක්විය.
එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නායක නැවි මහේෂ් චන්දික, බල නැවි පැතුම් බලවර්ධන, බල නැවි මලින්ද කුමාර සහ බල ශාරීරික අභ්‍යාසක රිසිත රුමේස් යන නාවිකයින්  සහභාගි වූ අතර, ඔවුන් පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තියක් අත්කර දී තිබේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.