Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෙරට පැරණිතම සහ ලොව දෙවැනියට පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරගය වන රාජකීය-ශා. තෝමස් 139 වැනි ‘නිල් මහා සටන’ට අඛණ්ඩව සිව්වැනි වරටත් ඩයලොග් අනුග්‍රාහකත්වය පිරිනමා තිබේ.
“ඩී. එස්. සේනානායක කුසලාන” වෙනුවෙන් පැවැත්වෙන මෙම නිල් මහා සටන මාර්තු මස 8, 9 සහ 10 යන තෙදින කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.
නිල් මහා සටනට ඩයලොග් අනුග්‍රාහකත්වය ලබාදෙන 12 වැනි අවස්ථාව මෙය වන අතර, මෙවර සෑම ලකුණක් සඳහාම රු. 1000 බැගින්ද, සෑම කඩුල්ලක් සඳහා රු. 10,000ක් බැගින්ද පිරිනැමීමට ඩයලොග් ආයතනය කටයුතු යොදා තිබේ.
රාජකීය නායක පසිඳු සූරියබණ්ඩාර සහ ශා. තෝමස් නායක ඩිලොන් පීරිස් ‘ඩී.එස්. සේනානායක අනුස්මරණ කුසලාන’ මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කළ අයුරු ඡායාරූපයෙන් දිස්වේ.
ශා. තෝමස් විදුහල්පති මාර්ක් බිලිමෝරියා පියතුමා සහ රාජකීය විදුහල්පති බි.ඒ. අබේරත්න මහතාද මෙම අවස්ථාවට එක්විය.

ජාතික ඔලිම්පික් කමිටුවට 2018-22 වසර සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ නිලවරණය අද (23දා) කොළඹ ඔලිම්පික් නිවහනේදී ප.ව. 5.00ට ආරම්භ වේ.
මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා ද්වන්ද සටනක් නිර්මාණය වී ඇති අතර, ඒ සඳහා රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වය සහ සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් පාර්ශ්වය සටන් වදියි.
ඔලිම්පික් කමිටුවේ වර්තමාන ‍ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් පාර්ශ්වයෙන් මෙම නිලවරණයේදී ‍ලේකම් ධුරයට තරග වැදීම හේතුවෙන් නිලවරණ සටන උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
මෙම නිලවරණය සඳහා ජාතික ක්‍රීඩා සංගම් 31ක් සුදුසුකම් ලබා ඇත. ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතා ඔලිම්පික් නිලවරණ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේම හිටපු ‍ලේකම්වරුන් වන එස්. විරිතමුල්ල සහ එස්. ලියනගම යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.

ශ්‍රී ලංකා පාසල් අවුරුදු 18න් පහළ බාලක පාපන්දු තරගාවලියේ පළමු පෙළ ශූරතාව දිනා ගැනීමට කොළඹ ශා. ජෝසප් විදුහල සමත් විය.
මූලික වටයේ සිටම පෙරළිකාර ක්‍රීඩා රටාවක නිරත වූ යාපනය ශා. පැට්‍රික් විදුහලට අනුශූරතාව හිමිවීම කැපීපෙනුණි.
ශා. ජෝසප් සහ ශා. පැට්‍රික් අතර කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අවසන් මහා තරගයේ පළමු භාගය අවසන් වන විට ගෝල 2-1ක් ලෙස පෙරමුණේ පසු වූ ශා. ජෝසප් තරගය අවසන් වන විට ගෝල 3-1ක ජයක් වාර්තා කළේය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ වැඩිම ගෝල් රැස් කළ ක්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගැනීමට අසේල මධුශාන් (ශා. ජෝසප්) සමත් වූ අතර, දක්ෂතම ගෝල් රකින්නා ලෙස ඵමාර්ෂල් කොඩිකාර (ශා. ජෝසප්) සම්මාන ලැබිය. 
අවසන් පූර්ව තරගවලදී ශා. ජෝසප් දඬුවම් පහර ආශ්‍රිතව ගෝල 10-9කින් මරදාන සහිරා පරාජය කරමින්ද, ශා. පැට්‍රික් විදුහල ගෝල් 1-0කින් බම්බලපිටිය ශා. පීතර පරාජය කරමින්ද අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.
සහිරා සහ ශා. පීතර අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගයේදී දඬුවම් පහර ආශ්‍රිතව ගෝල 4-3ක ජයක් වාර්තා කළ ශා. පීතරට තෙවැනි ස්ථානය හිමිවිය.
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් පැවැති මෙම පළමු පෙළ පිරිමි තරගාවලියට දිවයිනේ ප්‍රධාන පාසල් 14ක් සහභාගි විය.
 
සපුමල් වීදිය බණ්ඩාර

කොළඹ රාජකීය මාස් බොක්ෂිං වලල්‍ලේදී පසුගියදා අවසන් වූ 92වැනි ජාතික ශූරතා බොක්ෂිං තරගාවලියේ පිරිමි ශූරතාව යුද හමුදාව දිනාගත් අතර, කාන්තා ශූරතාව දිනා ගැනීමට යුනිචෙලා ක්‍රීඩා සමාජය සමත් විය.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පී.ඩී.ඩී. මධුරංග (යුද හමුදාව) සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අනුරාධා ජයසිංහ (යුනිචෙලා) සම්මාන ලැබුවාය.
දක්ෂතම පරාජිත ක්‍රීඩකයා ලෙස නාවික හමුදාවේ ආර්.ජී.එස්. කුමාරසිංහ සම්මාන ලැබූ අතර, දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස යුද හමුදාවේ එච්.එස්. ප්‍රියදර්ශනී සම්මාන ලැබුවාය.
(සපුමල්)

ලෝක ක්යොකුශින් බුදොකායිහි නායක කන්චෝ පේඩ්රෝ රොයිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පුහුණු සම්මන්ත්‍රණයක් පෙබරවාරි මුල් සතියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මහරගම ජාතික තරුණ සේවා සභාවේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන අතර, පෙබරවාරි පළමුවෙනිදා සිට 5දා තෙක් ඒ මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.
ජාත්‍යන්තර ක්යොකුශින් බුදොකායි සංවිධානය ලාබ නොලබන සංවිධානයක් වන අතර, එහි මූලික අරමුණ වනුයේ ලෝක ව්‍යාප්ති පුහුණු මධ්‍යස්ථානයන් (ඩෝජෝ) සඳහා සහාය ලබාදීම, පුහුණුවීම්, ප්‍රචාරණය, ව්‍යාප්තිය ඒකාබද්ධ කිරීම සහ සම්බන්ධීකරණය කිරීමයි.
ලෝක ක්යොකුශින් බුදොකායිහි ශ්‍රී ලංකාවේ ප්‍රධාන උපදේශක වන සෙන්සේ සම්පත් ලසන්ත මහතා විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇති අතර, අවුරුදු 25කට වැඩි කාලයක් කරාතේ පුහුණුකර ඇති ඔහු දැනට කළු පටි 4 වන ශ්‍රේණියේ සිටියි.

ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාගාරයේදී පසුගියදා නිමාවට පත්වූ ජාතික කනිෂ්ඨ (අවු. 20න් පහළ) බර ඉසිලීමේ තරගාවලියේ දක්ෂතම බර උසුලන්නා ලෙස ගුවන් හමුදාවේ රුචිර රංගිත් ජයසේන සම්මාන දිනාගත් අතර, දක්ෂතම බර උසුලන්නිය ලෙස මහනුවර හෙල්ත් සෝන් ක්‍රීඩා සමාජයේ ශ්‍රීමාලි සමරකෝන් සම්මාන ලැබුවාය.
රුචිර ජයසේන කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය යටතේ කිලෝ ග්‍රෑම් 241ක බර එකතුවක් සටහන් කර ගනිමින්ද, ශ්‍රීමාලි සමරකෝන් කිලෝ ග්‍රෑම් 48 බර පන්තිය යටතේ කිලෝ ග්‍රෑම් 136ක බර එකතුවක් සටහන් කර ගනිමින්ද අදාල සම්මානයන් දිනා ගත්හ.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියෙහි ලකුණු 15ක් හිමිකරගත් මහනුවර ත්‍රිත්ව විදුහල පිරිමි සමස්ත ශූරතාව දිනා ගත් අතර, ලකුණු 16ක් හිමිකරගත් ‍පොළොන්නරුව බර ඉසිලීමේ සමාජය කාන්තා සමස්ත ශූරතාව දිනා ගත්තේය.
පිරිමි අනුශූරතාව ගුවන් හමුදාව (ලකුණු 13) සතු වූ අතර, ලකුණු 5 බැගින් ලබාගත් යාපනය බර ඉසිලීමේ සමාජය, ගාල්ල බර ඉසිලීමේ සමාජය, යුද හමුදාව සහ මහනුවර හෙල්ත් සෝන්ට කාන්තා සම අනුශූරතාව හිමි විය.
 
සපුමල් වීදිය බණ්ඩාර

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.