Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන ලද 2018 ග්‍රෑන්ඩ් ස්ලෑම් කැරම් තරගාවලියේදී 14 වරක් ජාතික කැරම් ශූරතාව දිනාගෙන සිටි ජාතික ශූර චමිල් කුරේ වට 3-1ක් ලෙස පරාජය කරමින් පළමු වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනා ගැනීමට ෂහීඩ් හිල්මි සමත් විය.
මීට පෙර කිසිදු සම්මේලන ශූරතාවක් දිනා නොසිටි ෂහීඩ් හිල්මි හමුවේ පසුගියදා නිමාවට පත්වූ 50 වැනි ස්වර්ණජයන්ති කැරම් තරගාවලියේද ද්විත්ව ශූරතා දිනාගත් චමිල් කුරේ පරාජය ලැබිම කැපී පෙනුණි.
කාන්තා කේවල අවසන් තරගයේදී ජාතික කැරම් ශූරිය වන ජෝෂප් රොෂිටා වට 2-0කින් පරාජය කරමින් හයවැනි වරටත් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනා ගැනීමට යසිකා රාහුබද්ද සමත් වූවාය.
පසුගියදා කොහුවල කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගතකිරීම් හි ඉදිරියෙන්ම සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනකු සහභාගි වූහ.
(ප්‍රභාත්)

ඕමානයේ මස්කට් නුවරදී චීන තායිපේ හොකී පිල ගෝල 4-1කින් පරාජය කළ ශ්‍රී ලංකා පිරිමි හොකී පිල 2018 ජකාර්තා ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ හොකී තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ඕමානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ හොකී තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිරිමි හොකී පිල මූලික වටයේ සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
මේ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පූර්ව තරගය හෙට (15දා) පැවැත්වේ.
පසුගිය 12දා පැවැති ශ්‍රී ලංකා-චීන තායිපේ අතර තරගයේ පළමු අර්ධය නිමාවන විට ගෝල 2-1ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාව දෙවැනි අර්ධයේදී තවත් ගෝල 2ක් රැස් කරමින් ගෝල 4-1ක් ලෙස ජය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුරාධ සුරේෂ් 
ගෝල 2ක් රැස් කළ අතර, සඳරුවන් ප්‍රියලංකා සහ ඉෂංක ජයසුන්දර එක් ගෝලය බැගින් වාර්තා කළහ.
මෙම තරගාවලියේ ‘බි’ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදී කසකස්ථානයට එරෙහිව ගෝල 6-0ක ජයක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගයේදී ඕමානය හමුවේ ගෝල 5-1ක පරාජයක් ලැබිය.

ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වෙන ආසියානු කුසලානට සුදුසුකම් ලබා ගැනීමේ හොකී තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිරිමි හොකී පිල අද (8දා) කසකස්තානය සමගින් පළමු තරගයට සහභාගි වෙයි.
සුල්තාන් කාබූස් ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය මාර්තු 17දා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකාව, කසකස්තානය, ඕමානය, චීන තායිපේ, බංග්ලාදේශය, හොංකොං, තායිලන්තය සහ ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියට එක්වී සිටියි.
මෙම තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා පිල කසකස්ථානය, ඕමානය සහ චීන තායිපේ සමගින් තරග බිමට පිවිසෙයි.
සඳරුවන් ප්‍රියලංකා ශ්‍රී ලංකා පි‍ලේ නායකයා ලෙස කටයුතු කරන අතර, ජාතික හොකී පුහුණුකරු අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙසද, පුලතිසි ලැනරෝල් මහතා සහය පුහුණුකරු ලෙසද කටයුතු කරයි.
(සපුමල්)

දකුණු පළාත් මෝටර් රථ සංගමය 22 වන වරටත් සංවිධානය කරන ලද 2018 එළියකන්ද කඳු තරණය යතුරු පැදි ධාවන තරගාවලියේ දවසේ වේගවත්ම ධාවකයාට හිමි සම්මානය දිනා ගැනීමට 20 හැවිරිදි දුෂාන් මුදලිගේ  සමත් විය.
දුෂාන් මුදලිගේ සී.සී. 450 කාණ්ඩය යටතේ පැවැති සුපර් මෝටාඩ් විවෘත තරගයේදී තත්පර 35.1කින් තරගය අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, සී.සී. 250 (4ඊ) කාණ්ඩය යටතේ පැවැති සුපර් මෝටාඩ් තරගයේ තෙවැනි ස්ථානයද (38.35) දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

දකුණු පළාත් මෝටර් රථ සංගමයයේ සංවිධායකත්වයෙන් පසුගියදා පැවැති මෙම ධාවන තරගාවලියට මෝටර් රථ අංශයෙන් ඉසව් 12ක්ද, යතුරු පැදි අංශයෙන් ඉසව් 11ක්ද පැවැති අතර, දිවයිනේ ප්‍රබලතම ක්‍රීඩකයින් රැසක් ඊට සහභාගි වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා 67වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු 2, 3 සහ 4 යන දිනයන්හි පැවැත්වේ.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන මෙවර පාපැදි සවාරිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පාපැදි ක්‍රීඩකයන් 150කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.
දින තුනක් පුරා ක්‍රියාත්මක පිරිමි පාපැදි සවාරියේ පළමු දිනය වන මාර්තු 2දා කොළඹ සිට පුත්තලම දක්වා කිලෝ මීටර් 124.9ක් දුරට පැවැත්වෙන අතර, දෙවන අදියර මාර්තු 3දා පාලවි සිට හිඟුරක්ගොඩ (කිලෝ මීටර් 172.6) දක්වාද, තෙවැනි සහ අවසන් අදියර මාර්තු 4දා 
‍පොළොන්නරුව සිට අම්පාර තරුණසේවා මධ්‍යස්ථානය (කි.මී. 149.9) දක්වා පැවැත්වේ.
පිරිමි පාපැදි සවාරියේ මුළු දුර කිලෝ මීටර් 445.9ක දුරකින් යුක්ත වන අතර, කිලෝ මීටර් 65.2ක දුරකින් යුත් කාන්තා පාපැදි තරගයක්ද පැවැත්වේ.
මාර්තු 4දා මඩකලපුව කල්ලඩි පාලම අසලින් ආරම්භ කෙරෙන කාන්තා පාපැදි තරගය අම්පාර තරුණ සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටින් අවසන් කෙරේ.
සියලුම තරගකරුවන් සහ තරගකාරියන්ට, කණ්ඩායම් 
කළමනාකරුවන් සඳහා දිනකට රු. 2000කට වැඩි මුදලක් පාරිතෝෂිත දීමනාවක් ලෙස ලබාදීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
පිරිමි සවාරියේ ප්‍රථමයාට රු. 1,00,000ක්ද, දෙවැන්නාට රු. 75,000ක්ද, තෙවැන්නාට රු. 50,000ක්ද සමගින් 15 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග පිරිනැමේ. අදියර ත්‍යාගයන් ලෙස ප්‍රථමයාට රු. 15,000ක්ද, දෙවැන්නාට රු.10,000ක්ද, තෙවැන්නාට රු. 5000ක්ද පිරිනැමේ.
ස්ප්‍රින්ට් ශූරතාව සඳහා රු. 10,000ක් පිරිනැමෙන අතර, සමස්ත ස්ප්‍රින්ට් ශූරතාවට රු. 20,000ක්ද, අවු. 23න් පහළ දක්ෂතම යොවුන් ක්‍රීඩකයාට රු. 40,000ක මුදල් තිළිණයක් ද පිරිනැමේ.
තරගයේ ජයග්‍රාහී කණ්ඩායම සඳහා රු. 75,000ක මුදලක්ද, අනුශූරතාවට රු. 50,000ක මුදලක්ද පිරිනැමීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ. 
කාන්තා තරගයේ ප්‍රථම ස්ථානයට රු. 50,000ක්ද, දෙවැන්නාට රු. 30,000ක්ද, තෙවැන්නාට රු. 20,000ක් සහ 5 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, ස්ප්‍රින්ට් ශූරතාවට සහ කණ්ඩායම් ශූරතාවටද මුදල් තිළිණ පිරිනැමේ.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය මාර්තු 4දා සවස 6.00ට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වේ.
 
ප්‍රභාත් විදානපතිරණ

ජාතික ඔලිම්පික් කමිටුවේ 2018-21 වසර සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරාපත්කර ගැනීමේ නිලවරණයේදී සුරේෂ්
සුබ්‍රමනියම් මහතා වැඩි ඡන්දයෙන් සභාපති ධුරයට තේරී පත්විය.
ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ උප සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඡන්ද 18ක් ලබාගත් අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වූ රොහාන් ප්‍රනාන්දු මහතාට හිමිවූයේ ඡන්ද 12ක් පමණි.
මැක්ස්වෙල් ද සිල්වා මහතා ඡන්ද 19ක් හිමිකර ගනිමින් ‍ලේකම් ධුරයට තේරී පත්වූ අතර, සුරේෂ් සුබ්‍රමනියම් පාර්ශ්වයට උප සභාපති ධුරයක් හැර සෙසු සියලු තනතුරු හිමිවීම කැපී පෙනෙයි.
රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඡන්ද 18ක් හිමිකර ගනිමින් උප සභාපති ධුරයකට තේරී පත්විය.
රහස් ඡන්දයෙන් පැවැති මෙවර ඔලිම්පික් කමිටු නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රීඩා සංගම් 31ක් සුදුසුකම් ලබා සිටියේය.
ජාතික ඔලිම්පික් කමිටුවේ
නව නිලධාරී මණ්ඩලය (2018/2021)
සභාපති - සුරේෂ් සුබ්‍රමනියම් (ටෙනිස්)
‍ලේකම් - මැක්ස්වෙල් ද සිල්වා (ජූඩෝ)
භාණ්ඩාගාරික - සේනක රණසිංහ (පා පැදි)
උප සභාපතිවරු (4) - ජෝශප් කෙනි (රුවල් ඔරු), මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු (මලල ක්‍රීඩා), අසංග සෙනෙවිරත්න (රග්බි), හිටපු ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සුමිත් එදිරිසිංහ (හොකී)
උප ‍ලේකම් - චන්දන ලියනගේ (පැසිපන්දු - නිතරගයෙන්)
උප භාණ්ඩාගාරික - නිශාන්ත ජයසිංහ (බැඩ්මින්ටන්)
කමිටු සාමාජික (3) - චානක හෂන්ත, ෆසිල් හුසෙන් (බේස්බෝල්), අජිත් තමෙර (බර ඉසිලීම)

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.