Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදාව සමත් විය.
තුරඟ තරග පිටියේදී දින 2ක් පුරා පැවැති මෙම තරගාවලියේ අවසන් තරගයෙන් සී.ආර්.ට එරෙහිව ලකුණු 21-17ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
පළමු භාගය අවසානයේ සී.ආර්. ලකුණු 14-12ක් ලෙස පෙරමුණේ පසුවුවද දෙවැනි භාගයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වූ නාවික හමුදාව තරගය ජය ගත්තේය.
මෙම තරගාවලියේ පළඟ ශූරතාව ගුවන් හමුදාව ලකුණු 22-19කින් පරාජය කළ ‍පොලීසියටත්, බඳුන ශූරතාව යුද හමුදාව ලකුණු 26-12කින් පරාජය කළ හැව්ලොක්ස්ටත්, පළිහ ශූරතාව ගුවන් හමුදා ‘බි’ පිල ලකුණු 36-0කින් පරාජය කළ සී.ආර්. ‘බි’ පිලත් දිනා ගත්හ.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන 2017 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලිය මේ මස 9 වැනි දින සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
මෙවර පාසල් ලීග් ශූරයන් වන කොළඹ රාජකීය විදුහල් පිල ජනාධිපති කුසලාන තරගාවලියට සහභාගි නොවීමට තීරණය කර ඇති බැවින් තරගාවලිය කණ්ඩායම් 7ක් අතර පැවැත්වීමට සිදුවී තිබේ.
පසුගියදා පැවැති බ්‍රැඩ්බි පළිහ තරගාවලියේදී රාජකීය ක්‍රීඩකයන් කිහිපදෙනකුම ආබාධයන්ට ගොදුරුවීම හේතුවෙන් රාජකීය විදුහල් කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගි නොකිරීමට තීරණය කර ඇති බව රාජකීය විදුහල්පති බි.ඒ. අබේරත්න මහතා පෙරේදා (6දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.
කොළඹ වෙස්ලි - ශා. ජෝශප්, මහනුවර ත්‍රිත්ව - බම්බලපිටිය ශා. පීතර, ඉසිපතන - මහනුවර ශා. අන්තෝනි අතර අර්ධ අවසන් පූර්ව තරග මේ මස 9, 10 සහ  11 දිනයන්හිදී පැවැත්වෙන අතර, 12 වැනිදා පැවැත්වෙන තරගයට රාජකීය පිල සහභාගි නොවන බැවින් මහනුවර ධර්මරාජ විදුහලට  නිතරග ජයක් හිමිවී තිබේ.
තරගාවලියේ අවසන් පූර්ව තරග 17 සහ 18 දිනයන්හිදීද, අවසන් මහ තරගය 24වැනි දිනද සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප්‍රිමියර් කුසලාන සහ සභාපති කුසලාන තරගාවලියද ජුනි 9දා ආරම්භ කෙරේ. 
 
ජනාධිපති කුසලාන තරග සටහන
9දා - වෙස්ලි - ශා. ජෝශප්
10දා - ත්‍රිත්ව - ශා. පීතර
11දා - ඉසිපතන - ශා. අන්තෝනි
12දා - ධර්මරාජ - රාජකීය  (ධර්මරාජට නිතරග ජයක්)
17දා - පළමු අවසන් පූර්ව තරගය 
18දා - දෙවැනි අවසන් පූර්ව තරගය
24දා - අවසන් මහ තරගය
 
සුනිල් අභයවර්ධන

කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව අතර බ්‍රැඩ්බි පළිහ රග්බි තරගයේ දෙවැනි අදියරයෙන් ලකුණු 13-8ක ජයක් වාර්තා කළ රාජකීය බ්‍රැඩ්බි පළිහ දිනා ගැනීමට සමත් විය.
පළමු අදියරයේදී ලකුණු 22-17ක ජයක් වාර්තා කළ රාජකීය විදුහල අදියර දෙක අවාසනයේදී ලකුණු 35-25ක ජයක් හිමිකරගෙන තිබුණි.
දෙවැනි අදියර තරගයේදී රාජකීය වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කිරීමට සසිත කරුණාරත්න සහ හිමන්ත හිරුෂාන් සමත් වූ අතර, මොහොමඩ් ෂරීක් දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
ත්‍රිත්ව වෙනුවෙන් අවිශ්ක ප්‍රියංකර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, ලෂේන් විජේසූරිය දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.

අන්තර් පාසල් ලීග් රග්බි ප්‍ලේට් තරගාවලිය යටතේ පැවැති කටුගස්තොට ශා. අන්තෝනි සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර තරගයෙන් ලකුණු 43-17ක ජයක් වාර්තා කළ කටුගස්තොට ශා. අන්තෝනි ප්‍ලේට් ශූරතාව දිනා ගැනීමට සමත් විය.
ශා. අන්තෝනි ගෝල 5ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර, විද්‍යා විදුහල ගෝල 2ක් සහ උත්සාහක දිනුම් 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
ප්‍රථම භාගය අවසන් වන වට ශා. අන්තෝනි ලකුණු 22-12ක් ලෙස පෙරමුණේ පසුවිය.
තරග ආරම්භයේදීම දිනුක් අමරසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, විද්‍යා විදුහල වෙනුවෙන් ඉෂාර මධුසංඛ සහ 
රොෂේන් උත්සාහක දිනුම් වාර්තා කිරීම නිසා ලකුණු 12-7ක් ලෙස විද්‍යා පෙරමුණ ගත්තේය.
ඉන්පසු ක්‍රියාත්මක වූ දිනුක් අමරසිංහ සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර, ජනිඳු හිම්සර උත්සාහක දිනුමක් වාර්තා කිරීම හේතුවෙන් ශා. අන්තෝනි ලකුණු 19-12ක් ලෙස පෙරමුණ ගත්තේය.
ප්‍රථම භාගය නිම වීමට ආසන්නයේ සැමුවෙල් මධුවන්ත දඬුවම් පහරක් නිම කිරීම නිසා ශා. අන්තෝනි 22-12ක් ලෙස පෙරමුණ ගත්තේය.
දෙවැනි භාගයේදී යළිත් ක්‍රියාත්මක වූ දිනුක් අමරසිංහ සිය තෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර, එහි ප්‍රවර්ථනය සාර්ථක වීම නිසා ලකුණු 29-12ක් ලෙස ශා. අන්තෝනි පෙරමුණට පැමිණියේය.
ඉන්පසු ජෙහාන් සීලගම සහ ශෂික විජේවර්ධන උත්සාහක දිනුම් වාර්තා කළ අතර, ජෙහාන් සීලගම ප්‍රවර්ථන සාර්ථකව නිම කළේය.
විද්‍යා වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට රොෂේන් සමත් වූ අතර, අවසානයේ ලකුණු 43-17ක් ලෙස විද්‍යා විදුහලට ජය හිමිවිය.
මේ අතර ධර්මරාජ සහ වේල්ස් කුමර අතර පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට ධර්මරාජ සමත් වූ අතර, මහනුවර කිංග්ස්වුඩ් සහ ඩී.එස්. සේනානායක අතර තරගයෙන් ජය ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් සමත් විය.
කටුගස්තොට ශා. අන්තෝනි සහ මහනුවර ධර්මරාජ සම තරග සංඛ්‍යාවක් ජයගෙන තිබුණද වාර්තා කරන ලද වැඩිම උත්සාහක දිනුම් ගණනය කිරීමෙන් ශා. අන්තෝනිට ප්‍ලේට් ශූරතාව හිමිවිය.
 
මංගල ධර්මප්‍රේම

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යටතේ පැවැති තීරණාත්මක තරගයෙන් මහනුවර ත්‍රිත්ව ලකුණු 22-17 කින් පරාජය කළ කොළඹ රාජකීය 2017 ලීග් ශූරතාව දිනා ගැනීමට සමත්විය.
ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේදී පළමු භාගයේදී රාජකීය ලකුණු 10-05 ක් ලෙස පෙරමුණේ පසුවිය.
රාජකීය ගෝල 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළ අතර ත්‍රිත්ව ගෝලයක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
තරගය ආරම්භයේදීම ත්‍රිත්ව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රෂාන් බණ්ඩාරනායක සමත්වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක වීමෙන් ලකුණු තත්ත්වය 5-0 ක් විය.
ඉන් පසු ක්‍රියාත්මක වූ මෙහොමඩ් ෂීරෝස් වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය නිම කිරීමට මොහොමඩ් ෂකීර් සමත්වීමෙන් ලකුණු 7-5 ක් ලෙස රාජකීය පෙරමුණ ගත්තේය.
පළමු භාගය නිම වීමට පෙර දඬුවම් පහරක් නිම කිරීමට ෂකීර් සමත් වීමෙන් රාජකීය ලකුණු 10-05 ක් ලෙස පෙරමුණ ගත්තේය.
දෙවැනි භාගය ආරම්භයේදීම ක්‍රියාත්මක වූ ලෂේන් විජේසූරිය උත්සාහක දිනුමක් වාර්තා කර එහි ප්‍රවර්තනය නිම කිරීමෙන් ත්‍රිත්ව ලකුණු 12-10 ක් ලෙස ඉදිරියට පැමිණියේය.
ඉමන්ත හිරුෂාන් වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක වුවද රාජකීය යළිත් ලකුණු 15-12 ක් ලෙස පෙරට පැමිණියේය.
ඉන් පසු අශේන් ප්‍රනාන්දු වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය නිම කිරීමට ෂකීර් සමත්වීමෙන් ලකුණු 22-12 ක් ලෙස රාජකීය ජය මාවතට පිවිසියේය.
තරගය නිමවීමට මිනිත්තු 5 ක් තිබියදී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට වොරන් වීරකෝන් සමත් වූවද එය ත්‍රිත්ව පරාජය වළක්වා ගැනීමට ප්‍රමාණවත් නොවීය. අවසන් ලකුණු තත්ත්වය 22-17 ක් ලෙස සටහන් විය.
 
ඉසිපතන 28 යි වෙස්ලි 00 යි
හැව්ලොක් පිටියේ පැවැති ඉසිපතන සහ වෙස්ලි අතර තරගයෙන් ලකුණු 28-00 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉසිපතන සමත්විය.
 
ශා. පීතර 25 යි ශා. තෝමස් 25 යි
බම්බලපිටියේ පැවැති ශා. පීතර සහ ශා. තෝමස් අතර තරගය ලකුණු 25-25ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
 
ශා. ජෝසප් 38 යි සහිරා 14 යි
වැලිසරදී පැවැති ශා. ජෝසප් සහ සහිරා අතර තරගයෙන් ලකුණු 38-14 ක ජයක් වාර්තා කිරීමට ශා. ජෝසප් සමත් විය.
 
මංගල ධර්මප්‍රේම

ආසියානු ශූරතා රග්බි තරගාවලියේ තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 22-09 ක ජයක් වාර්තා කළ මලයාසියාව ‘ඒ’ කොටසට උසස්වීමට සමත්විය.
පළමු භාගය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 6-5 ක් ලෙස පෙරමුණ ගෙන සිටියද දෙවැනි භාගයේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට මලයාසියාව සමත්විය.
මලයාසියාව ගෝල 2 ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත් අතර ශ්‍රී ලංකාව දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබා ගත්තේය.

Page 7 of 8

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.