Coss Ear2
lakbima.lk
COSS Ear 1

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ නෙස්ටමෝල්ට් සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත් තරගාවලියේ බාලක ප්‍රථම ස්ථානය නාරම්මල මයුරපාද විදුහ‍ලේ එල්.ආර්. දේවින්ද දිනාගත් අතර, බාලිකා ප්‍රථම ස්ථානය කුලියාපිටිය මධ්‍ය මහා විදුහ‍ලේ එච්.එම්.බි.ඒ. හේරත් දිනාගනු ලැබුවාය.
බාලක දෙවන ස්ථානය කටුගස්තොට ශ්‍රී රාහුල ජාතික පාස‍ලේ ජී.ඩී.සී.ඩී. අල්විස් දිනාගත් අතර, තෙවැනි ස්ථානය නිකවැරටිය මහසෙන් මහා විදුහ‍ලේ කේ.පී.එස්.කේ. සිරිවර්ධන සතුවිය.
බාලිකා දෙවන ස්ථානය මහනුවර මහාමායා බාලිකා විදුහ‍ලේ පී.ජී. ඩිලානි විජේරත්නද, තෙවැනි ස්ථානය නාලන්ද මහා විදුහ‍ලේ කේ.ජී.එල්. නෙත්මිණිද දිනා ගත්හ.
නෙස්‍ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය පසුගිය සෙනසුරාදා (23දා) දඹුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර, එහිදී මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2500කට ආසන්න පිරිසක් සහභාගි වූහ.
මෙම තරගාවලියට සමගාමීව පැවැති කිලෝ මීටර් 5 ක දුරකින් යුත් මිනි මැරතන් තරගාවලියේ බාලිකා
පළමු ස්ථාන 6 ම දිනා ගැනීමට වලල ඒ. රත්නායක මැදි විදුහල් ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙනුණි.
එහි ප්‍රථම ස්ථානය එම්.අයි.එන්.කේ. බස්නායකද, දෙවැනි ස්ථානය එම්.සී.එස්. හේරත්ද, තෙවැනි ස්ථානය එම්.ජේ.එම්. කනගරත්න තෙවැනි ස්ථානයද දිනා ගත්හ.
මිනි මැරතන් බාලක තරගයේ ප්‍රථම ස්ථානය නිකවැරටිය කනිෂ්ඨ විදුහ‍ලේ ඒ.ජී. ජයසිංහ දිනාගත් අතර, දෙවැනි ස්ථානය වලල ඒ. මැදි විදුහ‍ලේ එච්.ජී.ඕ. ද සිල්වා ද, තෙවැනි ස්ථානය රත්නදිවල විද්‍යාලයේ ජී.ආර්.ඩී. විජේසූරියද දිනා ගත්හ.

(ප්‍රභාත්)

ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව මෙවරත් දිනා ගැනීමට බස්නාහිර පළාත සමත්විය.
රන් පදක්කම් 102ක් රිදී 81ක් සහ ලෝකඩ 76ක් දිනා ගත් බස්නාහිර පළාත මෙවරත් ශූරයින් බවට පත්වන විට රන් පදක්කම් 46ක් රිදී 41ක් සහ ලෝකඩ 45ක් දිනාගත් මධ්‍යම පළාතට අනුශූරතාව හිමිවිය.
වයඹ පළාත රන් පදක්කම් 27ක් රිදී 28ක් සහ ලෝකඩ 52ක් දිනා ගනිමින් තෙවැනි ස්ථානයට පත්විය.
වසර 8කට පසුව දකුණු පළාතට සත්කාරකත්වය ලැබුණු මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී රන් පදක්කම් 22ක් දිනාගත් දකුණු පළාතට 5වැනි ස්ථානය හිමිවිය.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල නව තරග වාර්තා දෙකකට පමණක් සීමා වූ අතර, ජාතික රිටි පැනීමේ ශූරිය වන උතුරු පළාතේ අනීතා ජෙගතීෂ්වරන් මීටර් 3.48ක දක්ෂතාවයක් දක්වමින් තමන් විසින්ම තබා තිබූ මීටර් 3.47ක්වූ වාර්තාව බිඳ හෙළීමට සමත්වූවාය.
කාන්තා මිටිය විසිකිරීමේ ඉසව්වෙන් අයේෂා මධුවන්ති තබා තිබුණු මීටර් 48.08ක්වූ දුර ප්‍රමාණය අභිභවමින් මීටර් 48.76ක දක්ෂතාවයක් දැක්වූ දකුණු පළාතේ ශානිකා මනෝජි අමරසිංහ ක්‍රීඩා උළෙ‍ලේ දෙවැනි නව වාර්තාව පිහිටුවීමට සමත්වූවාය.
කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.31ක දක්ෂතාවක් දැක්වූ බස්නාහිර පළාතේ විදූෂා ලක්ෂානි 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූ අතර, පිරිමි දුර පැනීම ඉසව්වෙන් මීටර් 7.83ක දක්ෂතාවක් දැක්වූ මධ්‍යම පළාතේ ජනක ප්‍රසාද් විමලසිරි දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබිය. 
මෙම වසරේ සිය ස්වර්ණජයන්තිය සමරණ ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමාප්ති උත්සවය සහ ජයසංකේත ප්‍රදානය විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(පමෝද් ලසන්ත)

කොළඹ දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන “ආබාධ සහිත වූවන්ගේ කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩා (පැරා) තරගාවලිය 28දා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙදින පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙ‍ලේදී වයස් කාණ්ඩ දෙකක් යටතේ තරග ඉසව් 52ක් පැවැත්වේ.
මෙම ක්‍රීඩා උළෙල පූර්ණ අන්ධ, ශ්‍රවණ ඌණතා/කථනාබාධ, බුද්ධිමය ඌණතා (සමෛන් මනස වැඩෙන), ඉණෙන් පහළ අප්‍රාණික හෝ එක් පාදයක් අහිමි හා අනෙක් පාදය අප්‍රාණික හෝ පාද දෙකම අහිමි රෝද පුටුවලට සීමා වූවන්, දණහිසට ඉහළ හෝ දණහිසින් එක් පාදයක් අහිමි/දණහිසට පහළින් එක් පාදයක් අහිමි, එක් අතක් හෝ අත් දෙකම අහිමි හෝ අප්‍රාණික ලෙස කාණ්ඩ 6ක් යටතේ ආබාධිත තත්ත්වය වර්ගීකරණය කර පැවැත්වේ.
 
ප්‍රභාත් විදානපතිරණ

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙ‍ලේදී බාලිකා කනිෂ්ඨ මලල ක්‍රීඩා සමස්ත ශූරතාව දිනා ගැනීමට මහනුවර උසස් බාලිකා විදුහල සමත් විය.

ශූරතාව දිනාගත් උසස් බාලිකා විදුහල් ක්‍රීඩිකාවෝ මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ (අධ්‍යාපන) අතුල ජයවර්ධන මහතා ඇතුළු ගුරු මහත්ම මහත්මීන් සමග ඡායාරූපයෙන් දැක්වේ.

(සපුමල්)

ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ‍පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වන ලද 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් විය.
මෙවර තරගාවලියේ අනුශූරතාව මධ්‍යම පළාතට හිමිවූ අතර, තෙවැනි ස්ථානය දකුණු පළාත සතුවිය.
දිවයිනේ පළාත් නවයේම සහභාගිත්වයෙන් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැති මෙම තරගාවලියේ අතිශූරතම ක්‍රීඩිකාව ලෙස බස්නාහිර පළාත වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ හසිතා මෙන්ඩිස් සම්මාන ලැබුවාය.
බස්නාහිර පළාත සහ මධ්‍යම පළාත අතර පැවැති අවසන් මහා තරගය අපේක්ෂා කළ පරිදිම ආරම්භයේ සිටම අවසානය දක්වාම ඉතා තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම කාර්තුව අවසන් වන විට ලකුණු 12-10ක් ලෙස පෙරමුණ ගැනීමට බස්නාහිර පළාත සමත් වුවද දෙවැනි කාර්තුවේදී පෙරමුණ ගැනීමට මධ්‍යම පළාත සමත් විය.
දෙවැනි කාර්තුවේ නිමාව සටහන් වන විට ලකුණු 22-20ක් ලෙසද, තෙවැනි කාර්තුව නිමා වන විට ලකුණු 35-31ක් ලෙසද මධ්‍යම පළාත් ක්‍රීඩිකාවෝ පෙරමුණ ගැනීමට සමත් වූහ. 
එහෙත් සිව්වැනි සහ අවසන් කාර්තුවේදී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ ලකුණු 45-41ක් ලෙස ජයග්‍රහණය සටහන්කර ගනිමින් රන් පදක්කම දිනා ගත්හ.
දකුණු පළාත සහ උතුරු මැද පළාත අතර පැවැති ලෝකඩ පදක්කම සඳහා තරගයේදී ලකුණු 58-29ක් ලෙස ජය ගැනීමට දකුණු පළාත සමත් විය.
අවසන් පූර්ව වටයේදී බස්නාහිර පළාත හමුවේ උතුරු මැද පළාත ලකුණු 79-21ක් ලෙසද, මධ්‍යම පළාත හමුවේ දකුණු පළාත ලකුණු 58-37ක් ලෙසද පරාජය ලැබිය.
 
හොකී 
43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ හොකී තරග ඊයේ කොළඹ 7 රීඩ් මාවතේ පිහිටි කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, එහිදී සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කරමින් කාන්තා අවසන් පූර්ව තරග සඳහා මධ්‍යම පළාත, බස්නාහිර පළාත, උතුරු පළාත සහ දකුණු පළාත සුදුසුකම් ලබා ගත්තේය.
මේ අනුව මධ්‍යම පළාත සහ උතුරු පළාත, බස්නාහිර පළාත සහ දකුණු පළාත  අතර අවසන් පූර්ව තරගය අද පෙරවරුවේ ආරම්භ කෙරේ.
අර්ධ අවසන් පූර්ව වටයේදී මධ්‍යම පළාත හමුවේ නැගෙනහිර පළාත ගෝල් 23-0කින්ද, බස්නාහිර පළාත හමුවේ ඌව පළාත ගෝල් 9-0කින්ද, උතුරු පළාත හමුවේ වයඹ පළාත ගෝල් 4-1කින්ද පරාජය ලැබිය. 
උතුරු මැද පළාත මෙවර තරගාවලියට සහභාගි නොවීම හේතුවෙන් නිතරග ජයක් වාර්තාකර ගත් දකුණු පළාත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
 
සපුමල් වීදිය බණ්ඩාර

යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලියේ බාලක සමස්ත ශූරතාව හොටහේන ශා. බෙනඩික්ට් විදුහලද (ලකුණු 83), බාලිකා සමස්ත ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලද (ලකුණු 112) දිනා ගැනීමට සමත් විය.

වයස් කාණ්ඩ 5ක් යටතේ බාලක සහ බාලිකා ලෙස පැවැති මෙවර තරගාවලියේ ලකුණු 71ක් හිමිකරගත් මීගමුව මාරිස්ටෙලා විදුහල බාලක අනුශූරතාව දිනාගත් අතර, වලල ඒ. රත්නායක මැදි විදුහලට තෙවැනි ස්ථානය (ලකුණු 60) හිමිවිය.
කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල ලකුණු 66ක් හිමිකර ගනිමින් බාලිකා අනුශූරතාව දිනාගත් අතර, ලකුණු 42ක් හිමිකරගත් රත්නපුර සුමන බාලිකාව තෙවැනි ස්ථානයට පත්විය.

තරගාවලියේ බාලිකා ශූරතාව සහ බාලක තෙවැනි ස්ථානය දිනාගනිමින් ලකුණු 172ක් හිමිකරගත් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලට මිශ්‍ර පාසල් ශූරතාවද හිමිවූ අතර, එහි අනුශූරතාව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල (ලකුණු 79) විදුහලටද, තෙවැනි ස්ථානය පන්නිපිටිය ධර්මපාල (ලකුණු 64) විදුහලටද හිමිවිය.

නෙස්‍ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.


සපුමල් වීදිය බණ්ඩාර

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.