Coss Ear2
lakbima.lk
COSS Ear 1

ප්‍රාථමික සිසුන්ගේ මලල ක්‍රීඩා මූලික දක්ෂතා සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන නෙස්‍ලේ ලංකා සමාගම අනුග්‍රහය දක්වන සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලිය මාර්තු 3දා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ඇරැඹේ.
මෙවර තරගාවලිය සඳහා සියලුම පළාත් නියෝජනය කරමින් 3 සහ 4 ශ්‍රේණි 
ළමා මලල ක්‍රීඩා තරග 3 සහ 4 දිනයන්හි මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, 5 ශ්‍රේණියේ තරග මාර්තු 25දා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේදී පැවැත්වේ.
කුඩා දරුවන්ගේ එදිනෙදා ජීවිතයේ ඇවිදීම, දිවීම, කරකැවීම, විසි කිරීම වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් විද්‍යානුකූල පසුබිමක් යටතේ විනෝදය ලබා ගත හැකි වන ආකාරයට පෙළගස්වා මෙම තරගාවලිය ක්‍රියාත්මක කෙරෙන බැවින් ඔවුන්ට අවශ්‍ය ශාරීරික ව්‍යායාම නිසි පරිදි ලබාදීම මෙහි අරමුණයි.
ශාරීරික ක්‍රියාකාරකම් වැඩසටහන්වල සිසුන් නිරතකරවමින් සිසුන්ට ශාරීරික සහ මානසික සමබර අධ්‍යාපනයක් හැදෑරීමට යෝග්‍ය පරිසරයක් පාසල තුළ ගොඩනැගීම සහ එලෙස ශාරීරික යෝග්‍යතා දියුණු කරගන්නා සිසුන්ගේ ක්‍රීඩා හැකියා ඇති සිසුන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ හැකියා හා කුසලතා ඔපමට්ටම් කිරීම සඳහා ක්‍රීඩා තරග අවශ්‍ය වන බැවින් මෙම තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව සිසුන් අතර එකමුතුකම, කණ්ඩායම් හැඟීම, සුහදශීලී බව වැනි යහපත් ගුණාංග සංවර්ධනයට මාර්ගය සලසා දෙමින් ප්‍රාථමික අධ්‍යාපන අංශයට ආවේණික ‘කිඩ්ස් ඇත්ලටික්ස්’ කණ්ඩායම් තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2015 වසරේදී පාසල් පද්ධතියට හඳුන්වා දුන් අතර, එම තරගාවලිය වර්තමානයේදී 3, 4 සහ 5 ශ්‍රේණිවල කණ්ඩායම් තරග ලෙස පවත්වනු ලබයි. 
2017 වසරේදී පාසල් තරගවලින් අනතුරුව කොට්ඨාස මට්ටමින් තරග 247ක්ද, කලාප මට්ටමින් තරග 74ක්ද, පළාත් මට්ටමින් තරග 7ක්ද, පවත්වා ඇති අතර, ඒ සඳහා සහභාගි වූ මුළු සිසුන් සංඛ්‍යාව 1,75,000කට අධිකවේ.
මෙවර පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සියලුම පළාත් නියෝජනය කරමින් 3 ශ්‍රේණිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1920ක්ද, 4 වන ශ්‍රේණිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2016ක්ද, 5 වන ශ්‍රේණිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2004ක්ද සහභාගි වීමට නියමිතය.
මේ අනුව මෙවර ක්‍රීඩා උළෙලට ශ්‍රේණි 3ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5940ක් සහභාගි වීමට නියමිතව තිබේ.
මෙවර සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා නෙස්‍ලේ ලංකා සමාගම පූර්ණ අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

මුළුතැන්ගෙය තුළින් ආ සුවඳ සඳලි කාමරයෙන් එළියට ගන්නට සමත් වූවේය. අඩියට දෙකට කුස්සිය දෙසට ඇදුණ ඕ අම්මේ තාත්තාගේ බත් මුල හරිදැයි සිය මවගෙන් විමසුවාය. ඔව් දුවේ මේ බත් මුල ඔතනවා යැයි ඇය පැවසුවේ පදමට තව් මැරූ කෙසෙල් කොළයට උණු උණු බත් බෙදනාතුරේය. සැණින් සාලයට දිව ගිය සඳලි පියා කොහේදැයි විමසිලිමත් වූවාය. ලන්තෑරුමට තෙල් දමමින් සාලයේ සිටි පියා මම හරි යැයි කියමින් නැගී සිටියේය.
සඳලි කවීෂාගේ පියා සාගර, කරනුයේ මුහුදු රස්සාවය. තාත්තාගේ රැකියාවට සඳලි කොහෙත්ම කැමැති නැත. එහෙත් මුහුදු යන්නට සැරසෙන තම පියා ඉක්මනින් නිවසින් එළියට ගන්නට ඈ තුළ ඇත්තේ ලොකු හදිසියකි. ඒ තාත්තා සමග වෙරළට යෑමට ඈ තුළ ඇති වුවමනාව නිසාය. සඳලි පියාද කැටිව වෙරළට යන්නේ එහි සිට සැඳෑ සුව විදීමට නොව වෙනත් දෙයකටය. ඒ ක්‍රීඩා පුහුණුවටය.
සඳලි කවීෂා තවමත් පසුවනුයේ පහළොස් වැනි වියේය. ඈ දකුණුලක පරසිදු දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන හපනියකි. ක්‍රීඩා පිටිය මෙන්ම පන්ති කාමරයේද එක සේ දස්කම් පාන සඳලි මේ වන විටත් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ කුසලතා විදහාපාන්නට සමත්ව සිටින්නීය. පාස‍ලේ පුහුණුවීම් නොමැති දිනවල ඈ කෝට්ටේගොඩ වෙරළට ගොස් ක්‍රීඩා පුහුණුව ලබන්නීය. තාත්තා සමග සවස වැල්ලට එන්නට සඳලිට ඉස්පාසුවක් නැත්තේ එවැනි දවස්වලටය.
වෙරළට පැමිණි සඳලි මුලින්ම ඇඟ උණුසුම් කරනා ව්‍යායාම් කරන්නට වූවාය. ඒවා ඇයට හොඳින් කියා දෙන්නේ කීර්ති කුමාර සර්ය. ඒ ඇගේ ක්‍රීඩා පුහුණුකරුය. මූලික ව්‍යායාම් නිම කරනා සඳලි කවීෂා මීටර් සියය දිවීමට සූදානම් වන්නීය.
තාත්තේ අර ඔරුවට මීටර් සියයක් ඇත්ද..? ඈත වෙරළේ නවතා ඇති ඔරුවක් දක්වමින් ඇය තම පියාගෙන් විමසන්නීය.
ඔව් දුවේ ඒ තරම් ඇති තාත්තා 
පිළිතුරු දුන්නේ අනුමානකොටය. සැණින් වැල්ල හරහා ආරම්භක රේඛාව සිය යටි පතුලෙන් සටහන් කළ සඳලි ඒ මත සිටගත්තාය. තාත්තා සැරසෙන් කියද්දී ඈ ධාවනයට සූදානම්ය. ඊළඟ විධානයට ඈ දිවීම ඇරඹුවාය. පියා අතවූ ජංගම දුරකථනය කාල ගණන යන්ත්‍රයක් බවට පත්වන්නේය. මෙලෙස කිහිප විටක් දිව යෑමෙන් අනතුරුව ඇය සිය ප්‍රියතම ඉසව්ව වන දුරපැනීමට සූදානම් වන්නීය.
දුරපැනීමේදී යොදාගන්නා 
පා තැබුම් පුවරුව කෝට්ටේගොඩ වෙරළේ නැත. ඒ අඩුවට වෙරළේ පා සලකුණක් තබා ගැනීම ප්‍රමාණවත්ය. ඊළඟට නියමිත පියවර මැන ගත් සඳලි ධාවනය ඇරඹුවාය. නියමිත තැන පාද තැබූ ඇය සිය සුපුරුදු පිම්ම පැන්නාය.
ඊයේට වඩා දුරක් මං පැන්නා නේද තාත්තේ අසමින් සඳලි නැගී සිටියේ සිය ගත රැඳි වැලි පිස දමමිනි. ඔව් දුවේ අද ඔයා ඊයෙට වඩා පැන්නා සාගර සිය දියණියගේ හිස පිරිමදිමින් පැවැසුවේය. මං හරි විදියට කකුල තිබ්බාද බලමු ඇය සිය පියාගේ අතින් ඇදගෙන තමා දිව ආ මග පිරික්සන්නීය. එහෙත් පෙණ කැටි විසුරවමින් නැගී ආ මුරණ්ඩු රළ පහරක් සඳලිගේ පා සටහන් සැණින් මකා දමා හමාරය. සඳලිට නිකම්ම අනේ යැයි කියවිණි. තව ටිකකින් තව පාරක් පනිමු පියා ඈ දිරි ගන්වයි. සුළු විවේකයක් ලබන්නට නතර වූ ඇය අප සමග කතාබහට එක් වූවාය.
මම සඳලි කවීෂා. මගේ අයියා ලහිරු සඳකැළුම්. මල්ලී යෂීන් රවිෂ්ක, අම්මාගේ නම ශාන්ති, තාත්තා සාගර ඈ එක හුස්මට කියාගෙන යන්නීය.
අපිට කියන්නකෝ ඔයාගේ ක්‍රීඩා කටයුතු ගැන. මම පැවසුවෙමි.
මම දැනට මීටර් සියයයි., ලෝන්ග් ජම්ප් එකයි කරනවා. කලින් දෙසීයත් දිව්වා. ඉස්කෝ‍ලේ පුහුණුවීම් නැති දවසට වෙරළට ඇවිත් පුරුදු වෙනවා. තාත්තා ගෙදර නැති දාට අම්මා එක්ක එනවා ඇය සුපුරුදු කෙළිලොල් ස්වරයෙන්ම පවසන්නීය.
සඳලි කවීෂා ක්‍රීඩාවට අත්‍පොත් තබනුයේ දික්වැල්ල විජිත විද්‍යාලයෙනි. මේ පුංචි කෙල්ලගේ ජව වේගය හඳුනාගත් විද්‍යාලයේ විදුහල්පති 
එස්. යූ. රාජසිංහ ප්‍රමුඛ ගුරුවරු ඇය ක්‍රීඩා උපදේශක කේ.එච්. කීර්ති කුමාර වෙත යොමුකරන්නෝය.
කෝට්ටේගොඩ වෙරළේ සිත් සේ දුවපනිමින් සිටි සඳලි රටේම අවධානයට ලක්වනුයේ ඉන්පසුවය.
සඳලි කවීෂාගේ දස්කම් ක්‍රමානුකූලව විශ්‍ලේෂණය කරන්නට පුහුණුකරු කීර්ති කුමාර කරනා මුල්ම ක්‍රියාව වනුයේ සඳලි කවීෂා මීටර් 200න් වහා ඉවත් කිරීමය. ඊට හේතුව ඔහු දක්වනුයේ මෙසේය.
සඳලිගේ ප්‍රධාන ඉසව්ව මීටර් 200 නොවෙයි. දුර පැනීමයි. එහෙත් මීටර් 100, දුරපැනීමට ආධාර වෙන ඉසව්වක්. ඒ වේගය ලබාගැනීමට එය උපකාරී වන නිසා. ඒත් මීටර් 200 ඊට වෙනස්. ඒ නිසා මම සඳලිට මීටර් 200 තහනම් කළා
එතැන් පටන් සඳලි කවීෂාගේ දස්කම් ක්‍රමානුකූලව වර්ධනය වන්නේය.
දැන් මම මීටර් 100 තත්පර 13.03ට දුවනවා. ඒත් දියගම මහින්ද රාජපක්ෂ පිට්ටනියේදී තත්පර 13ට දුවන්න මට පුළුවන් වුණා. සඳලි පවසන්නීය. ඇගේ පුහුණුකරු පවසනුයේ එහි රහස කෘත්‍රිම ධාවන පථය බවය. තණකොළ සහිත පිටිවලදී කෙටිදුර ධාවනයේ උපරිම වේගය ගන්න බෑ ඔහු පවසන්නේය.
මාතරට හරි ගාල්ලට හරි ගියොත් කෘත්‍රිම ධාවන පථයක පුහුණු වන්නට බැරිදැයි අපි විමසුවෙමු.
මුළු දකුණු පළාතටම එහෙම ධාවන පථයක් නෑ. දික්වැල්ල විජිත විද්‍යාලයේ තව දක්ෂ ළමුන් ගණනාවක් මා ළඟ පුහුණු වෙනවා. ඒ ඔක්කොමට මේ ප්‍රශ්නේ බලපානවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ගිය මංජුල කුමාරත් පුහුණුව ලැබුවේ මගෙන්. එයත් දික්වැල්ල විජිත විද්‍යාලයේ ආදි සිසුවෙක්. මංජුල කුමාර ආසියානු මට්ටමෙන් දෙවරක් පදක්කම් දිනුවා ඔලිම්පික් ගියා. සඳලිගේ දස්කම් ඊට දවෛනි නෑ. අඩුම ගානේ දුර පනින්නටවත් කෘත්‍රිම ධාවන තීරුවක් මේ ඉස්කෝලෙට ලැබෙනවා නම් වටිනවා. කීර්ති කුමාර පවසන්නේය.
අපි අනතුරුව සඳලිගේ දුරපැනීමේ කුසලතා විමසා බැලුවෙමු. 
මං තරග වදින්නේ 16න් පහළ තරගවලට. 2017 ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේදි මීටර් 5.48ක දුරක් පැනලා මම එම උළෙ‍ලේ වාර්තාවක් තිබ්බා. ඊට අමතරව ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ 16න් පහළ දුරපැනීමේ තරගයෙන් මීටර් 5.49ක් පැනලා වාර්තාවක් තිබ්බා. 
සඳලි වෙනුවෙන් දරනා වියපැහැදම් ගැන අපි ඇගේ පියා වන සාගරගෙන් විමසා සිටියෙමු.
මං රස්සාව කරන්නේ ටැංකි බෝට්ටුවක. එක සැරයක් දියඹට ගියාම සති තුනක් විතර ඉන්නවා. මම හොයන දේවල් ඔක්කොම දරුවෝ තුන්දෙනාට උගන්වන්න තමයි වියදම් කරන්නේ. මගේ බිරිඳත් රස්සාවක් කරන්නේ නෑ
ජාත්‍යන්තර කෙළිබිම ජයගන්නට සිහින මවන මේ පුංචි හපනියට තම පියා දරනා බර පිළිබඳ එතරම් හැඟීමක් නැත. මට ඕන ස්‍පෝර්ට් ඇඳුම්, සපත්තු ඔක්කොම තාත්තා මුහුදු ගිහිං ගන්න සල්ලිවලින් ගෙනත් දෙනවා ඇය සිනහ මුසු මුහුණින් පවසන්නීය. එහෙත් ඒ 
පිළිබඳ ඇගේ පුහුණුකරු ඊට වඩා බරපතළ ලෙස හිතන්නේය. මේ දරුවාගේ වියදම් තවමත් දෙමාපියන් දරනවා. ඊට අමතරව දික්වැල්ල විජිත විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවෙන් මාසිකව රු 5000ක් ඇයට පිරිනමනවා. ඒක ලොකු දෙයක්. ඒත් අනාගතයේදී මීට වඩා බරපතළ වියදම් සඳලි වෙනුවෙන් දරන්න වෙයි. මොකද මේ දස්කම් අනුව ඉක්මනින්ම ඇය දකුණු ආසියා මට්ටමට එන බව මට විශ්වාසයි. ඒ නිසා ඈ වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් ඕන කරනවා. යැයි කීර්ති කුමාර පවසන්නේය.
දැන් කීර්ති කුමාර සර් වැඩ කරන්නේ  රුහුණු විශ්වවිද්‍යාලයේ. ඒ හින්දා හැමදාම ඉස්කෝ‍ලේ එන්නේ නෑ. සර් අපි ගැන හිතලා සති අන්තයේ කිසිම දීමනාවක් නැතිව අපිව ට්‍රේනිං කරනවා සඳලි පවසන්නීය.
රාස්සිගේ අව්ව කෝට්ටේගොඩ වෙරළ රත් පැහැ ගන්වමින් තිබුණි. සඳලි සිය ෙදෙනික පුහුණුවීම් හමාර කළාය. සිය දියණියට ආපසු නිවසට යන්නැයි පවසමින් සාගර කෝට්ටේගොඩ ධීවර වරායේ නවතා ඇති රෝහණ පුතා යාත්‍රාවට ගොඩ වෙන්නේය. පරිස්සමෙන් ගිහිං එන්න තාත්තේ සඳලි දෙපා නැමද සිය පියාට සමුදුන්නීය. අම්මත් එක්ක ඇවිත් දිගටම පුරුදු වෙන්න. පුතේ පවසමින් සාගරද දියණියට සමුදුන්නීය. දියඹේ ඈත පුංචි තිතක් ලෙස තාත්තා නොපෙනී යද්දී සඳලි ආපසු හැරුණාය. අඳුර ගිලගනිමින් තිබූ වෙරළ දිගේ තවත් අපහැදිලි රුවකි. ඒ දෙසට ඇදෙන ඒ රුව හඳුනාගත් සඳලි සැණින් ඒ දෙසට දිව ගියාය. ඒ සඳලිගේ පමාව විමසන්නට පෙර මගට පැමිණෙමින් සිටි ඇගේ මව ශාන්තීය.
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති 8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙ‍ලේදී එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 1500 ඉසව්වේදී මිනිත්තු 4.26.22ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව දිනාගත් එකම රන් පදක්කමේ හිමිකාරිය බවට පත් වූවාය.
මෙය මීටර් 1500 ගෘහස්ථ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසද වාර්තා ‍පොත් අතරට එක්විය.
කාන්තා මීටර් 800 ඉසව්වේදී මිනිත්තු 2.10.83ක කාලයක් වාර්තා කරමින් නිමාලි ලියනාරච්චි තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් අතර, උපමාලිකා රත්නකුමාරි කාන්තා මීටර් 400 ඉසව්වේදී තත්පර 54.90ක කාලයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත් වූවාය.
පස්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ක්‍රීඩකයා වූ ප්‍රසාද් විමලසිරි දුර පැනීම ඉසව්වේදී මීටර් 7.67ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, හෂිනි ප්‍රබෝදාට (තුන් පිම්ම) පමණක් මෙම තරගාවලියේදී කිසිදු පදක්කමක් හිමි නොවූවාය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කට අධික පිරිසක් යැවීමට අවස්ථාව ඇතත් ක්‍රීඩා උළෙලට සහභාගි කරවන්නේ නියමිත පරිසාධන මට්ටම් ඉක්මවූ අති දක්ෂයන් පමණක් බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ (4දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

“‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් යවන්න අවස්ථාව තියෙනවා. ඒත් නිකරුනේ සල්ලි වැය කරන්නේ නෑ. තෝරා ගන්නා අය විශේෂ කමිටුවක් හරහා පරිසාධන මට්ටම ඉක්මවා ඇත්දැයි පරීක්ෂා කරනවා. ඉන්පසු දක්ෂයන් පමණයි යවන්නේ.” යැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.
ක්‍රීඩා සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ‍පෝෂණ දීමනාවක්ද, ජාත්‍යන්තර තරග ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාගද පිරිනමන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.

නියමිත දක්ෂයන්ගෙන් සපිරි සංචිත නම් කිරීමට තමන් උපදෙස් දී ඇති බවත්, එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහාද සංචිත පිහිටුවා දැන් සිටම සූදානම් විය යුතු බවත් මෙහිදී ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය කර තිබේ.
පසුගිය කාලයේදී දිගින් දිගටම ක්‍රිකට් තරග පරාජය වීම නිසා ප්‍රශ්නකාරී වාතාවරණයක් උද්ගත වූ බවත්, මේ වන විට ලොව පිළිගත් චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බැවින් ඉදිරිය යහපත් වනු ඇති බවත් ක්‍රීඩා ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

ලබන 7දා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී ගෙන එන ව්‍යවස්ථා සංශෝධන මගින් හතුරුසිංහ තේරීම් කමිටුවට එක්වීමට නියමිතව ඇති බැවින් බොහෝ ප්‍රශ්න විසඳෙනු ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.
පාපන්දු බලධාරීන් විසින් දැඩි මුදල් නාස්තියක් සිදුකර ඇති බැවින් වත්මන් පාපන්දු සම්මේලනයට දැඩි මුදල් අහේනියක් ඇති වී ඇති බවත්, කිසිම දෙයකට ගෙවීම් කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් ඇමැතිවරයා පවසා සිටියේය.
පාපැදි සහ ජූඩෝ සංගම්වල ඇතිවූ ප්‍රශ්න පිළිබඳව සොයා බලා නිලධාරීන් රැසකට ක්‍රීඩාව තහනම් කිරීමට කටයුතු කළ බවත්, ඔවුන්ට ඉදිරියේදී කිසිදු ක්‍රීඩා සංගමයක කටයුතුවලට සම්බන්ධ විය නොහැකි බවත් ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය කළේය.
ඔලිම්පික් කමිටුවේ ඇතිවී ඇති ප්‍රශ්නය පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග එක්වී එම ප්‍රශ්නය විසඳීමට උත්සාහ ගන්නා බවත් ඔලිම්පික් කමිටුවේ විගණන වාර්තා වසර 5ක් ලබා දී නොමැති බවත්, එය ක්‍රීඩා පනත උල්ලංඝනය කිරීමක් බැවින් අදාළ නිලධාරීන්ට තරාතිරම නොබලා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය කළේය.

2018 වසරේ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම නම්කර ඇති අතර, ඊට ක්‍රීඩකයන් 7ක් සහ ක්‍රීඩිකාවන් 4ක් ඇතුළත් වේ.
පසුගිය සැප්තැම්බර් මස ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පවත්වන ලද ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී දක්වන ලද දක්ෂතා පදනම් කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනකු සුදුසුකම් ලබාගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් මස අසර්බයිජාන්හිදී පැවැති ජාත්‍යන්තර ගෘහස්ථ තරගාවලියේදී ඩබ්ලිව්.පී. උෂාන් (කිලෝ ග්‍රෑම් 105ට වැඩි බර පන්තිය) දක්වන ලද දක්ෂතාව පදනම් කර ගනිමින් ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට නම්කර තිබේ.
මීළඟ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේ බර ඉසිලීමේ තරග 2018 වසරේ අප්‍රේල් මස 4දා සිට 9දා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැත්වේ. 
2006 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැති ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී කිලෝ ග්‍රෑම් 62ට අඩු බර පන්තිය යටතේ රන් පදක්කමක් දිනා ගනිමින් මෙරට බර ඉසිලීමේ ක්‍රීඩාවේ නොමැකෙන සටහනක් තැබූ චින්තන ගීතාල් විදානගේ මෙවර ක්‍රීඩා
උළෙලටද සුදුසුකම් ලබා සිටීම කැපී පෙනෙයි.
එහිදී ඔහු ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 118ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑම්. 153ක්ද ලෙස කි.ග්‍රෑම් 271ක බර එකතුවක් සටහන් කර ගනිමින් රන් පදක්කම දිනා ගත්තේය.
මැන්චෙස්ටර් (2002), මෙල්බර්න් (2006), නවදිල්ලි (2010) සහ ග්ලාස්ගෝව් (2014) ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවල්ද නියෝජනය කරමින් කැපී පෙනුණු චින්තන විදානගේ නවදිල්ලි තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය යටතේ රිදී පදක්කමක්ද දිනා ගැනීමට සමත් විය.
2010 වසරේදී ලෝකඩ පදක්කමක් සහ 2014 දී රිදී පදක්කමක් දිනා ගනිමින් කැපී පෙනුණු ඇන්ටන් සුදේශ් පීරිස් මෙවර ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේ පරිසාධන මට්ටමට ළඟා නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වී නොමැත.
චින්තන ගීතාල්ට අමතරව ඉන්දික චතුරංග දිසානායක (2010, 2014), ශානක මධුශංඛ පීටර්ස් (2010, 2014), තිලංග විරාජ් පළඟසිංහ (2014), චමරි වර්ණකුලසූරිය (2014) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවල් නියෝජනය කරමින් අත්දැකීම් ලබා ඇති අතර, සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනා පළමු වරට සුදුසුකම් ලබා සිටියි.
 
‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
ජේ.ඒ. චතුරංග ලක්මාල් (කි.ග්‍රෑ. 56 බර පන්තිය), තිලංග විරාජ් පළඟසිංහ (කි.ග්‍රෑ. 62 බර පන්තිය), ඉන්දික චතුරංග දිසානායක (කි.ග්‍රෑ. 69 බර පන්තිය), චින්තන ගීතාල් විදානගේ (කි.ග්‍රෑ. 77 බර පන්තිය), ශානක මධුශංඛ පීටර්ස් (කි.ග්‍රෑ. 94 බර පන්තිය), ඒ.ජී. සමන් අබේවික්‍රම (කි.ග්‍රෑ. 105 බර පන්තිය), ඩබ්ලිව්.පී. උෂාන් (කි.ග්‍රෑ. 105ට වැඩි බර පන්තිය), හංසනී ගෝමස් (කි.ග්‍රෑ. 48 බර පන්තිය), චමරි වර්ණකුලසූරිය (කි.ග්‍රෑ. 53 බර පන්තිය), නදීශානි රාජපක්ෂ (කි.ග්‍රෑ. 58 බර පන්තිය), බි. චතුරිකා ප්‍රියන්ති (කි.ග්‍රෑ. 75 බර පන්තිය).
 
සපුමල් වීදිය බණ්ඩාර

ආසියානු පාසල් ක්‍රීඩා සභාවේ මෙහෙයවීමෙන් පසුගියදා හොංකොංහිදී පැවැති තෙවැනි ආසියානු පාසල් අවුරුදු 17න් පහළ රට හරහා දිවීමේ තරගයේ බාලක සහ බාලිකා කණ්ඩායම් ශූරතා ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ආසියානු පාසල් රට හරහා දිවීමේ තරග ඉතිහාසයේ සහභාගි වූ පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමස්ත තරගයේ ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තෙවැනි ස්ථානය, සිව්වැනි ස්ථානය, සත්වැනි ස්ථානය සහ 17 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.
බාලිකා ප්‍රථම ස්ථානය චාමිනී හේරත් දිනාගත් අතර, දෙවැනි ස්ථානය ජයන්ති කණකරත්නටද, තෙවැනි ස්ථානය ප්‍රසාන්ති රත්නායකටද හිමි වූහ.
සිව්වැනි ස්ථානය සුභාෂිණී ප්‍රේමරත්නට හිමිවූ අතර, 7 වැනි ස්ථානය ගිහන්ති ජයසිංහ සතු වූවාය.
කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට දායක වූ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ හසන්ති මධුමාලිට 17 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නු සිදු වූවාය.
මෙහි 1, 2, 3, 4 සහ 7 වන ස්ථාන දිනාගත් ක්‍රීඩිකාවන් මහනුවර ක්‍රීඩා පාසල වන වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කිරීම කැපී පෙනෙයි.
මෙවර බාලක කණ්ඩායම් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කැපී පෙනුණු කෑගල්ල රන්දිවෙල මහා විද්‍යාලයේ චමිදු මධුසංඛ රත්නායක කේවල ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
හර්ෂ කරුණාරත්න (වලල ඒ. රත්නායක මැදි විදුහල) සිව්වැනි ස්ථානයද, සිතුම් සංජය ඩෙන්සිල් (වලල ඒ. රත්නායක)  6 වැනි ස්ථානයද, දම්මික විජේසූරිය (කෑගල්ල රන්දිවෙල මහා විදුහල) 8 වැනි ස්ථානයද, ප්‍රදීප් කුමාර (වලල ඒ. රත්නායක) 15 වැනි ස්ථානයද, කවිෂ්ක එරංග (කළුතර බණ්ඩාරනායක මහ විදුහල) 19 වැනි ස්ථානයද දිනා ගනිමින් බාලක කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වූහ.
ආසියානු පාසල් ක්‍රීඩා සභාව විසින් මෙහෙයවන ප්‍රධානතම රට හරහා දිවීමේ තරගය මෙය වන අතර, ඒ සඳහා චීනය, හොංකොං, ඉන්දුනීසියාව, කසකස්ථානය, මැකාවෝ, මොංගෝලියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.
කණ්ඩායම් බාලක අනුශූරතාව චීනයටද, තෙවැනි ස්ථානය ඉන්දුනීසියාවටද හිමි වූ අතර, බාලිකා කණ්ඩායම් අනුශූරතාව තායිලන්තයටද, තෙවැනි ස්ථානය හොංකොංටද හිමි විය.
(සටහන - සපුමල්)

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.