Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි පැවැත්වෙන 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී බොක්සිං ක්‍රීඩක තිවංක රණසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ සමත් විය.
කිලෝ ග්‍රෑම් 46-49 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී වැනිආටු දේශයේ ක්‍රීඩකයාව පරාජය කළ තිවංක ලබන 13දා එංගලන්ත ක්‍රීඩකයා සමග අවසන් පූර්ව සටනට පිවිසෙයි.
මීට අමතරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ජනක විමලසිරි දුර පැනීමේ අවසන් වටයට සුදුසුකම් ලබාගත් අතර, රුමේෂිකා රත්නායක මීටර් 200 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.
ජනක විමලසිරි මූලික වටයේ තරගයේදී මීටර් 7.84ක දක්ෂතාවක් දක්වමින් අද (11දා) පැවැත්වෙන අවසන් වටයට සුදුසුකම් ලබාගත් අතර, රුමේෂිකා රත්නායක තත්පර 23.42ක කාලයකින් මීටර් 200 ඉසව්ව අවසන් කරමින් අද පැවැත්වෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය.
ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලා‍පොරොත්තුවක් වන බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු (කි.ග්‍රෑම් 45-48 බර පන්තිය) අද ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් සමග අවසන් පූර්ව වටයට සහභාගි වන අතර, දුලානි ජයසිංහ (කි.ග්‍රෑම් 51 බර පන්තිය) කෙන්යානු ක්‍රීඩිකාව සමගද, ඉෂංක බණ්ඩාර (කි.ග්‍රෑම් 52 බර පන්තිය) ලෙසතෝ රාජ්‍යයේ ක්‍රීඩකයා සමගද අද අර්ධ අවසන් පූර්ව තරගවලට සහභාගි වෙති.
ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික ශූර මංජුල කුමාර අද අවසන් වටයේ තරගයට සහභාගි වන අතර, දිල්හානි ‍ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ අවසන් වටයට සහභාගි වෙයි.
ඊයේ බොක්සිං අර්ධ අවසන් පූර්ව තරගවලට සහභාගි වූ කේෂානි හංසිකා (කි.ග්‍රෑම් 57 බර පන්තිය) නවසීලන්ත ක්‍රීඩිකාව හමුවේද, පී.වී. දිනිදු (කි.ග්‍රෑම් 64 බර පන්තිය) නැමීබියානු ක්‍රීඩකයා හමුවේද පරාජය ලැබිය.
ඊයේ ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිය තරග ඉසව් සඳහා සහභාගි වූ අතර එහිදී එරන්දි වරුසවිතාන, ඉෂාරා මධුරංගි, හංසනී කපුගීකියන කේවල තරග ඉසව්වලදී මුල් තරය ජය ගත්තද දෙවැනි තරගයෙන් හංසනී පමණක් කැනඩා ක්‍රීඩිකාවට එරෙහිව 4-1ක ජයක් වාර්තා කිරීමට සමත් වූවාය.
මේසපන්දු පිරිමි කේවල තරග ඉසව් සඳහා සහභාගි වූ බුවනෙක ජයසිංහ, ඉමේෂ් රණසිංහ, රොහාන් සිරිසේන මූලික වටයේ පළමු තරගයෙන් ජය වාර්තා කළ අතර, දෙවැනි වටයේ තරගවලදී බුවනෙක ජැමෙයිකාව 4-3කින්ද, රොහාන් සිරිසේන වැනිආටු දේශයේ ක්‍රීඩකයා 4-0කින්ද පරාජය කළ අතර, ඉමේෂ් 4-3කින් අයර්ලන්ත ක්‍රීඩකයාට පරාජය විය.
ඊයේ බැඩ්මින්ටන් තරග ඉසව් රැසකටද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර, එහිදී නිලූක කරුණාරත්න, දිනූක කරුණාරත්න කේවල මූලික වටයේ තරගයන්ගෙන් ජයගත් අතර, අද දෙවැනි වටයේ තරග සඳහා සහභාගි වෙති.
බැඩ්මින්ටන් කේවල මූලික වටයේ තරගයන්ට සහභාගි වූ හෂිනි අම්බලන්ගොඩ සහ බුවනෙක ගුණතිලක පළමු වටයේ තරග ජය ගනිමින් අද පැවැත්වෙන දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර, මිශ්‍ර යුගළ තරග සඳහා සහභාගි වූ බුවෙනක ගුණතිලක/කාවින්දි සිරිමාන්නගේ සහ සචින් ඩයස්/තිළිණි හෙන්දහේවා මූලික වටයේ තරගයන් ජය ගනිමින් අද දෙවැනි වටය සඳහා තරග වදියි.

ලොව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය කේන්ද්‍රකර ගනිමින් අද (4දා) උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරේ.
අද ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක උත්සවය පමණක් පැවැත්වෙන අතර, තරග ඉසව් හෙට (5දා) සිට අප්‍රේල් 15දා දක්වා පැවැත්වේ.
මෙවර ක්‍රීඩා උළෙල රටවල් 71ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500කගේ සහභාගිත්වයෙන් දින 11ක් පුරා පැවැත්වේ.
මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී ක්‍රීඩා 19ක් වෙනුවෙන් ඉසව් 275ක් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩා 15ක් වෙනුවෙන් සහභාගි වේ.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 51ක්ද, ක්‍රීඩිකාවන් 29ක්ද සමගින් නිලධාරීන් 39ක් මෙවර ‍පොදුරදමඩුලු ක්‍රීඩා උළෙලට සහභාගි වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායම අදියර 5ක් යටතේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර, මලල ක්‍රීඩා කණ්ඩායම සහ පිහිනුම් කණ්ඩායම මීට සති දෙකකට කලින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ විශේෂ උත්සවයක් පසුගිය 2දා ගෝල්ඩ් කෝස්ට් නගරයේදී පැවැති අතර, ඊට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සහභාගි විය.
ඕස්ට්‍රේලියානු සාම්ප්‍රදායික නර්තන අංගයන්ගෙන් අලංකාර වූ එම පිළිගැනීමේ උළෙ‍ලේදී ශ්‍රී ලංකා කණ්ඩායම් භාර නිලධාරී වින්ග් කමාන්ඩර් චන්දන ලියනගේ මහතා සහ ගෝල්ඩ් කෝස්ට් ක්‍රීඩා ගම්මානයේ නගරාධිපතිනිය විශේෂ සමරු ඵළකද හුවමාරු කර ගත්හ.
මේ දිනවල ගෝල්ඩ් කෝස්ට් නගරයට කඩින් කඩ වැසි ඇද හැලෙන අතර, සමාරම්භක උළෙලටද වර්ෂාවෙන් බාධා එල්ලවනු ඇතැයි වාර්තාවේ. 
මේ වන විට සංචාරකයන් 6,70,000කට ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවට ළඟා වී ඇති අතර, ඔවුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන, ආරක්ෂක සහ නවාතැන් පහසුකම් සැපයීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
දින 385ක් පුරා සංචාරයේ යෙදුණු එංගලන්ත රැජිණගේ පණිවුඩය රැගත් යෂ්ටිය කිලෝ මීටර් 2,30,000ක ගමන් මගක් ගෙවා මේ වන විට ඕස්ට්‍රේලියාවට පැමිණ තිබේ. 
පසුගිය වසරේ මාර්තු 13දා ගමන් ආරම්භ කළ මෙම යෂ්ටිය පසුගිය ඔක්තෝබර් 12දා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කගෙන් සමන්විත මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ‍පොදුරදමඩුලු රන් පදක්කම්ලාභී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ කටයුතු කරයි.
චින්තන මෙම කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයකු වන අතර, ඔහු පිට පිටම සහභාගි වන සිව්වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල මෙය වීමද විශේෂත්වයකි. ඔහු 2010 නවදිල්ලි තරගාවලියේද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.
චින්තන ගීතාල් 2006 මෙල්බර්න් ක්‍රීඩා උළෙ‍ලේදී කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය යටතේ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් අතර, 2010 නවදිල්ලි තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය යටතේ රිදී පදක්කමක් දිනා දීමට සමත් විය.
අවසන් වරට පැවැති 2014 ග්ලාස්ගෝව් ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී සුදේශ් පීරිස් කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය යටතේ බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නේය. චින්තන ගීතාල් 2006 දී දිනාගත් රන් පදක්කම ශ්‍රී ලංකාව අවසන් වරට දිනාගත් රන් පදක්කම ලෙසද සටහන් වෙයි.
1938 වසරේ සිට මතෛක් පැවැති ‍පොදුරදමඩුලු ක්‍රීඩා උළෙල 15කදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 4ක්, රිදී 7ක් සහ ලෝකඩ 3ක් දිනාගෙන තිබේ.
මෙවර ශ්‍රී ලංකාවේ වැඩි පදක්කම් බලා‍පොරොත්තුවද බර ඉසිලීම් ක්‍රීඩාව ආශ්‍රිතව රඳවා ඇති අතර, මලල ක්‍රීඩා ඉසව් කෙරෙහිද බලා‍පොරොත්තු රඳවාගෙන සිටියි.
මතෛක් පැවැති ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවල්හිදී වැඩි පදක්කම් සංඛ්‍යාවක් දිනා ගනිමින් ඕස්ට්‍රේලියාව පෙරමුණේ පසුවෙයි. ඔවුන් මේ වන විට රන් පදක්කම් 852ක්, රිදී 716ක් සහ ලෝකඩ 650ක් දිනාගෙන ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන එංගලන්තය රන් පදක්කම් 669ක්, රිදී 670ක්  ලෝකඩ 669ක් දිනාගෙන සිටියි.
රන් පදක්කම් 469ක්, රිදී 476ක් සහ ලෝකඩ 528ක් දිනාගෙන සිටින කැනඩාව තෙවැනි ස්ථානයේ පසුවන අතර, ආසියාවට ගෞරවයක් ගෙන දෙමින් ඉන්දියාව රන් පදක්කම් 155ක්, රිදී 155ක් සහ ලෝකඩ 128ක් සමගින් සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

පසුගිය මාර්තු මස 10 වැනිදා තායිලන්තයේ ලාමිපැක් නුවරදි 29 වන ප්‍රවිනයන්ගේ මලල ක්‍රිඩා උලෙල පැවැත්වින ඒ සදහා   ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ (VTA) සුභද්‍රා මානෙල් මෙනවිය සහභාගි වු අතර ඇය  මිටර් 100 කඩුළු මතින් දිවිම තරග ඉසව්වෙන් දෙවන ස්ථානය හිමිකර ගත්තේ තප් . 16.1 ක කාලයක් වාර්ථා කරමිනි. ඒඅනුව ලංකාවට රිදි පදක්කම හිමිවිය.

මෙම ජයග්‍රහනයේ විශේෂත්වය වන්නේ   ඇයට   කිසිදු නිල පුහුණු කරුවකු නොමැතිව තනිව තම පුහුණු කිරිම්කටයුතු කිරිමයි. එමෙන්ම එම තරග සදහා විදෙස්ගතවිමට අදාල ගුනක් ටිකට්පත් හා අමතර විශේෂ අවශ්‍යතා සම්පාදනය කර දෙන ලද්දේ ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය (VTA) විසිනි. මේ වන විට ඇය ඇය ශ්‍ර ි ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ (VTA) ක්‍රිඩා උපදේශක වරියක ලෙස සේවය කරයි.

 

එම දිරි ගැන්විම හරහා ඇය මෙම රිදි ලදක්කමේ ගෞරවය තම දෙමාපියක්ට හා තමා සේවය කරන ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියට (VTA) නිතැතින්ම හිමිවිය යුතු බව අප වෙත අදහස් දක්වමින් සුභද්‍රා මානෙල් මෙනවිය තව දුරටත් තම අදහස් දක්වන ලදි.

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අන්තර් බලගණ වාර්ෂික මලල ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතම බළගණය ලෙස වලගම්බා බළගණය සම්මාන දිනා ගත්තාය. 
අන්තර් බළගණ 6කගේ සහභාගිත්වයෙන් පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක උත්සවය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරාල් අයි.පී. රණසිංහ (ආර්.ඩබ්.පී. - ආර්.එස්.පී.) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, සමාප්ති උත්සවය විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ (යූ.එස්.පී.-පී.එස්.සී.) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මලල ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතම පිටිය ක්‍රීඩකයා සහ මලල ක්‍රීඩකයා ලෙස එම්.කේ.ඒ. පෙරේරාද, දක්ෂතම පිටිය ක්‍රීඩිකාව සහ මලල ක්‍රීඩිකාව ලෙස එම්.ටී.ටී. තන්තිරිමලගේද සම්මාන දිනාගත් අයුරු ඡායාරූපවලින් දිස්වේ.

රත්නපුර ධර්මපාල විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගියදා රත්නුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැති අතර, එහි ශූරතාව දිනා ගැනීමට මයුර නිවාසය සමත් විය.
අනුශූරතාව හංස නිවාසය දිනාගත් අතර, තෙවැනි ස්ථානය කෝකිල නිවාසයට හිමිවිය.
සබරගමුව පළාත් ප්‍රධාන ‍ලේකම් හේරත් පී. කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ක්‍රීඩා උළෙලට විදුහල්පති පී.පී.පී. කළුබෝවිල මහතා සහ ඉන්දියාවේ නෙක්ස්ට් අධ්‍යාපනික ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් කිහිපදෙනෙක්ද සහභාගි වූහ.
 
සුනිල් පියතිලක රත්නපුර 

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා 2018 අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ආධුනික සෙබළ එල්.ජී. ධනංජය (විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව) සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලාන්ස් කෝප්‍රල් ඊ.එම්.එම්. රත්නකුමාරි (5 වන කාන්තා ස්වේච්ඡා බළකාය) සම්මාන දිනාගනු ලැබුවාය.

ක්‍රීඩා උළෙ‍ලේ පිරිමි ශූරතාව දිනා ගැනීමට විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව (ලකුණු 284) සමත් වූ අතර, ලකුණු 211ක් හිමිකරගත් ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුශූරතාව හිමිවිය.
කාන්තා තරගාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා 6වන කාන්තා ස්වේච්ඡා බළකාය දිනාගත් අතර, අනුශූරතාව 4 වැනි කාන්තා ස්වේච්ඡා බළකාය සතුවිය.

මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී නව තරග වාර්තා 13ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් සියලුම බලඇණි නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ක්‍රීඩා උළෙලට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් 48ක් ඇතුළත් වුණි.
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට සමස්ත ශූරතාව පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දිස්වේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.