Coss Ear2
lakbima.lk
COSS Ear 1

29 වැනි මහවැලි ක්‍රීඩා උළෙල ‍පොළොන්නරුවේදී

ජාතික මහා ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන 29 වැනි මහවැලි ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 9 සහ 10 දෙදින ‍පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
මෙවර තරගාවලියට මහවැලි කලාප 10ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට ආසන්න පිරිසක් සහභාගි වන අතර, මලල ක්‍රීඩා තරග සඳහා පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට ආසන්න පිරිසක් සහභාගි වන බව ඊයේ (4දා) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති ක්‍රීඩා උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී අනාවරණය විය.
ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙන් උදෑසන 6.00ට දල්වා ගන්නා ඔලිම්පික් ගිනිසුළුව සොනාලි කුමාරි වීරසේකර සහ ගයාන් සමීර දිසානායක යන දෙපළ ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක දිනය වන 9දා උදෑසන ඔලිම්පික් පහන දැල්වීම සිදු කරති.
10දා උදෑසන 6.00ට පිරිමි සහ කාන්තා පාපැදි තරග ආරම්භ කෙරෙන අතර, පිරිමි තරගය කිලෝ මීටර් 160ක දුරකින්ද, කාන්තා තරගය කිලෝ මීටර් 20ක දුරකින්ද යුක්තවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 10දා පස්වරු 2.00ට ක්‍රීඩා උළෙ‍ලේ සමාප්ති උත්සවය පැවැත්වේ.
මහවැලි කලාපවල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයටත්, එතැනින් ජාත්‍යන්තර තලයටත් ගෙනඒමේ අරමුණින් මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරන බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ධීවර හා ජල සම්පත් අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අමරවීර මහතා සඳහන් කර සිටියේ ශ්‍රියානි කුලවංශ මුලින්ම මහවැලි ක්‍රීඩා උළෙල ආශ්‍රිතව ජාතික තලයට ප්‍රවේශ වූ බවත්, තවත් එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මහවැලි ක්‍රීඩා උළෙලින් රටට දායාද කර ඇති බවත්, එවැනි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට දායාද කිරීමට මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරන බවයි.

ප්‍රභාත් විදානපතිරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.