Coss Ear2
lakbima.lk
COSS Ear 1

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංගලිදේශය අතර තරගය අද (8දා) ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව එක් ජයක් හිමිකරගෙන ඉදිරියෙන් පසුවෙයි.
අද තරගයේදී ඉන්දීය පිල රෝහිත් ෂර්මා විසින් මහෙයවනු ලබන අතර බංගලිදේශ පිල මහමදුල්ලා විසින් මෙහෙයවනු ලබයි.
පළමු තරගයේ සිදුවූ පරාජය අමතක කර අද යළිත් සටනට පිවිසෙන බව ඉන්දීය නායකයා පවසා තිබේ.
අද තරගයේදී පන්දු යැවීමේ අංශයේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බවද ඉන්දීය කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
බොහෝ දුරට අද තරගයට අක්ෂා පටෙල් ක්‍රීඩා කිරීමට ඉඩකඩ ඇති බවද වාර්තා වේ. 
මේ අතර බංගලිදේශ නායක මහමදුල්ලා පවසන්නේ හොඳ සටනක් දී තරගය ජය ගැනීමට තම කණ්ඩායම සූදානමින් පසුවන බවයි.
තම පිතිකරුවන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති බව පවසන මහමදුල්ලා පෙර පෙළ ලකුණු අතරට පිවිසීම ජයග්‍රහණයට ඉතා වැදගත් බව පවසයි.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 7.00ට ආරම්භ වෙයි.
 
ඉන්දීය 20-20 සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ෂිකර් ධවාන්, ලෝකේශ් රාහුල්, සුරේෂ්  රයිනා, මනිෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, දීපක් හූඩා, වොෂින්ටන් සුන්දර්, යුස්වෙන්දර් චහාල්, අක්ෂාර් පටෙල්, විජේ ශංකර්,  
ෂර්දූල් තාකූර්, ජයදේව් උනඩ්කට්, මොහොමඩ් සිරාජ්, රිෂාබ් පන්ට්
 
බංග්ලාදේශ 20-20 සංචිතය
මහමදුල්ලා (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සකාර්, ඉම්රුල් කේයස්, මුෂ්ෆිකර් රහීම්, සබිර් රහමන්, මුෂ්ටාෆිසූර් රහමන්, රුබෙල් හොසේන්, ටස්කින් අහමඩ්, අබු හයිඩර්, අබු ජයෙඩ්, අරිෆුල් හක්, නස්මුල් ඉස්ලාම්, නුරුල් හසන්, මෙහෙදි හසන්, ලිටන් දාස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ 20-20 ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. සහ එන්.සී.සී. අතර අවසන් මහා තරගය අද (8දා) පී. සරා පිටියේදී පැවැත්වේ.
ඊයේ පැවැති අවසන් පූර්ව තරගවලදී සී.සී.සී. ලකුණු 42 කින් ටැමිල් යූනියන් පරාජය කරමින්ද, එන්.සී.සී. කඩුලු 6 කින් යුද හමුදාව පරාජය කරමින්ද අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය.
 
සී.සී.සී.-ටැමිල් යූනියන්
ඊයේ (7දා) පෙරවරුවේ පැවැති සී.සී.සී. සහ ටැමිල් යූනියන් අතර පළමු අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සී.සී.සී. පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 173ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටැමිල් යූනියන්ට පන්දුවාර 18.2කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 131ක් පමණි.
සී.සී.සී. වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත් කළ වනිඳු හසරංග පන්දු 41කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය.
මාධව වර්ණපුර ලකුණු 35ක්ද, ලහිරු මධුසංක පන්දු 14කදී නොදැවී ලකුණු 24ක් රැස් කරමින් සී.සී.සී. ලකුණු පුවරුව ඉහළ නැංවීය.
ලකුණු හඹායාමේදී ටැමිල්යූනියන් වෙනුවෙන් මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 35ක්ද, කිත්රුවන් විතානගේ ලකුණු 26ක්ද රැස් කළ අතර සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
සී.සී.සී. වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සචිත් පතිරණ ලකුණු 17ට කඩුලු 4ක් බිඳ හෙළීය.
ලකුණු තත්ත්වය :-
සී.සී.සී. පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 173යි
මාධව වර්ණපුර 35, වනිඳු හසරංග 74, ලහිරු මධුසංක නොදැවී 24, බිනුර ප්‍රනාන්දු 15/2, ප්‍රමෝද් ලියනගමගේ 39/2
ටැමිල් යූනියන් පන්දුවාර 18.2කදී සියලු දෙනා දැවී - 131යි
මනෝජ් සරත්චන්ද්‍ර 35, කිත්රුවන් විතානගේ 26, සචිත් පතිරණ 17/4, නුවන් තුෂාර 32/2
 
එන්.සී.සී.-යුද හමුදාව
ඊයේ සවස පැවැති එන්.සී.සී. සහ යුද හමුදාව අතර අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදාව පන්දුවාර 17.1කදී ලකුණු 102 කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එන්.සී.සී. පන්දුවාර 14.2කදී කඩුලු 4ට ලකුණු 108ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ජයග්‍රාහී එන්.සී.සී. වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල පන්දු 19කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 27ක් රැස් කළ අතර, භානුක රාජපක්ෂ ලකුණු 25ක්ද, ලහිරු උදාර ලකුණු 27ක්ද රැස් කළහ.
එන්.සී.සී. වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 14ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, සචින්ත පීරිස් ලකුණු 18ට කඩුලු 2ක් බිඳ හෙළීය.
ලකුණු තත්ත්වය :-
යුද හමුදාව පන්දුවාර 17.1කදී සියලු දෙනා දැවී 102යි
හිමාෂ ලියනගේ 23, ලක්ෂාන් එදිරිසිංහ 16, ජනිත් සිල්වා 16, ලසිත් මාලිංග 14/3, සචින්ත පීරිස් 18/2
එන්.සී.සී. පන්දුවාර 14.2කදී කඩුලු 4ක් දැවී 108යි
නිරෝෂන් දික්වැල්ල 27, භානුක රාජපක්ෂ 25, ලහිරු උදාර 27

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (6දා) ආර් ප්‍රේමදාස පිටියේ පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු 5 ක 
විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 දී කඩුලු 5 ට ලකුණු 174 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව පන්දුවාර 18.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 175 ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ලකුණු හඹා යාමේදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් අඩිතාලම දැමූ කුසල් ජනිත් පෙරේරා පන්දු 37කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සහිතව ලකුණු 66 ක් ලබා ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
කුසල් මෙන්ඩිස් ලකුණු 11 කට පිටියෙන් ඉවත් වීමෙන් පසු පිටියට පිවිසි කුසල් ජනිත් තාකූර් යැවූ පළමු පන්දු වාරයට ලකුණු 27 ක් ලබා ප්‍රහාරය ඇරඹූ අතර සිය අර්ධ ශතකය පන්දු 22 කදී වාර්තා කළේය.
කුසල් ජනිත් සහ ධනුෂ්ක ගුණතිලක අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21 කදී ලකුණු 58 ක සම්බන්ධතාවයක් වාර්තා විය.
ධනුෂ්ක ලකුණු 19 කට උනද්කට්ට ගොදුරු වූ අතර චන්දිමාල් ලකුණු 14 කට පිටියෙන් ඉවත් කිරීමට චහාල් සමත් වීමෙන් පසු කුසල් ජනිත්ගේ ප්‍රහාරාත්මක ඉනිම අවසන් කිරීමට වොෂින්ටන් සුන්දර්ට හැකිවිය.
සිය දෙවැනි කඩුල්ල ලෙස තරංග ලකුණු 17 කට පිටියෙන් ඉවත් කිරීමට චහාල් සමත් වීමෙන් ශ්‍රී ලකාවේ 5 වැනි කඩුල්ල ලකුණු 136 දී බිඳ වැටුණි.
ඉන් පසු පිටියේ එක්වූ දසුන් ශානක (නොදැවී 15) සහ තිසර පෙරේරා (නොදැවී 22) 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සම්බන්ධතාවයක් තබමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළේය.
මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට චමීර සමත් වූ අතර සුරේෂ් රයිනා එක් ලකුණකට දවා ගැනීමට ප්‍රදීප් සමත් වීමෙන් ලකුණු 9 කට කඩුලු 2 ක් බිඳ වැටුණි.
ඉන් පසු පිටියේ එක්වූ ධවාන් සහ මනිෂ් පාන්ඩේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවයක් තැබූ අතර පන්දු 35 කදී ලකුණු 37 ක් ලැබූ පාන්ඩේ පිටියෙන් ඉවත් කිරීමට ජීවන් මෙන්ඩිස් සමත් විය.
ධවාන්ට එක්වූ රිෂාබ් පන්ට් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු පන්දු 49 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 6 ක් සහිතව ලකුණු 90 ක් ලැබූ ධවාන් දවා ගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත් විය. මෙය ධවාන්ගේ 20-20 දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
පන්දු 23 කදී ලකුණු 23 ක් ලැබූ පන්ට් ඉනිමේ අවසන් පන්දුවේදී චමීර හමුවේ දැවී ගිය අතර දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 13 ක් ලබා සිටියේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ දුෂ්මන්ත චමීර ලකුණු 43 ට කඩුලු 2 ක් බිඳ හෙලූ අතර ප්‍රදීප්, ජීවන් සහ ධනුෂ්ක එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.
 
මංගල ධර්මප්‍රේම
 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට රත්ගම දේවපතිරාජය සමත්විය.
කුරණෑගල මලියදේව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ඊයේ (6දා) අවසන් වූ අර්ධ අවසන් පූර්ව තරගයේදී මහනුවර විද්‍යාර්ථයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් දේවපතිරාජය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දේවපතිරාජය සියල්ලන් දැවී ලකුණු 289ක් රැස් කළ අතර, විද්‍යාර්ථ මුල් ඉනිම ලකුණු 197කට සීමා විය.
ඊයේ තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දේවපතිරාජය කඩුලු 9ක් දැවී ලකුණු 216ක් ලබා සිටියේය.
දේවපතිරාජය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ 14 හැවිරිදි වමත් පා දඟ පන්දු යවන ඉරුෂ්ක තිමිර ලකුණු 49කට කඩුලු 7 ක් බිඳ හෙළීය.
දේවපතිරාජ දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 73ක් රැස් කළ රවීන් යසස් දෙවැනි කොටසේ තරගාවලියේ ලකුණු 1000 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා බවට පත්විය.
රවීන් යසස් මේ වන විට ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 1070ක් රැස්කර සිටියි.
විද්‍යාර්ථ දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මෙදුනක විජේතිලක ලකුණු 76ට කඩුලු 6ක් බිඳ හෙළීය.
ලකුණු තත්ත්වය :-
දේවපතිරාජ: පළමු ඉනිම - 289 (පන්දුවාර 69.3) තිසර ඩිල්ෂාන් 80, කල්ප ච්ෙතිය ගිම්හාන 78, පැතුම් මධුසංක 44, ජීවක ශෂීන් 21, මෙදුනක විජේතිලක 78/3, දුමිඳු ඉමාෂ් 16/2, කසුන් කරුණාතිලක 72/2
විද්‍යාර්ථ: පළමු ඉනිම - 197 (පන්දුවාර 59.2) පුලින ගුණතිලක 55, දුමිඳු ඉමාෂ් 49, ශාමල් ප්‍රියභාෂණ 32, ඉරුෂ්ක තිමිර 49/7, රවීන් යසස් 62/3
දේවපතිරාජ: දෙවැනි ඉනිම-216/9 (පන්දුවාර 49.1) සුදීර වීරරත්න 78, රවීන් යසස් 73, මෙදුනක විජේතිලක 76/6

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලිදේශය අතර පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් අද (6දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00ට ආරම්භ වෙයි.
ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ගොදුරු වීම නිසා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබයි.
විරාත් කෝලි විවේක ගන්වා තිබිම හේතුවෙන් මෙම තරගාවලියේදී ඉන්දීය නායකත්වය රෝහිත් ෂර්මාට පවරා තිබේ.
පසුගිය බංගලිදේශ 20-20 තරගාවලියේදී ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පූර්ණ සුවය ලබා යළිත් ශ්‍රී ලංකා පිලට එක්වී සිටියි. ආබාධයකට ලක්වූ අසේල ගුණරත්නට මෙවර තරගාවලිය අහිමි වී තිබේ.
ඉන්දීය 20-20 නිත්‍ය ක්‍රීඩකයන් වන විරාත් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනි විවේක ගන්වා ඇති අතර, පන්දු යවන්නන් වන ජස්ප්‍රිට් බුම්රා, බුවනේෂ්වර් කුමාර්, හාර්දික් පාන්ඩ්යා සහ දඟ පන්දු යවන කුල්දීප් යදාව්ද විවේක ගන්වා තිබේ.
මේ අනුව අත්දැකීම් අඩු පන්දු යැවීමේ බළඇණියක් සහිතව ක්‍රීඩා කිරීමට ඉන්දියාවට සිදුවී ඇති බැවින් තරගය ජය ගැනීමේ හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.
පසුගිය බංගලිදේශ තරගාවලිය ජයගත් ශ්‍රී ලංකාව යහපත් මානසික මට්ටමකින් අද සටන් බිමට පිවිසී සිටියි.
කෝලි සහ දෝනි නොමැති බැවින් අද තරගයේදී පිතිකරු අංශයේ වැඩි වගකීමක් රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් වෙත පැවැරී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මතෛක් 20-20 තරග 14ක් පවත්වා ඇති අතර, ඉන් තරග 10ක ජය ඉන්දියාවටත්, තරග 4ක ජය ශ්‍රී ලංකාවටත් හිමිවී තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකාවේදී 20-20 තරග 3ක් පවත්වා ඇති අතර, එම තරග තුනේම ජය ඉන්දියාවට හිමිවී තිබේ.
මෙම තරගාවලියේ දෙවැනි තරගය ඉන්දියාව සහ බංගලිදේශය අතර 8දා ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා 20-20 සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), උපුල් තරංග,ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, අකිල ධනංජය, අමිල අ‍පොන්සු, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා

ඉන්දීය 20-20 සංචිතය

රෝහිත් ෂර්මා (නායක), ෂිකර් ධවාන්, ලෝකේශ් රාහුල්, සුරේෂ් රයිනා,මනිෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, දීපක් හූඩා, වොෂින්ටන් සුන්දර්, යුස්වෙන්දර් චහාල්, අක්ෂාර් පටෙල්, විජේ ශංකර්, ෂර්දූල් තාකූර්, ජයදේව් උනඩ්කට්, මොහොමඩ් සිරාජ්, රිෂාබ් පන්ට්

මංගල ධර්මප්‍රේම

මහනුවර ශා. සිල්වෙස්තර සහ විද්‍යාර්ථ දෙවිදුහල් අතර 60 වැනි වරටත් පැවැත්වෙන “සුරතලුන්ගේ සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය 9 සහ 10දා මහනුවර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මතෛක් පැවැති තරග 59 අතුරින් තරග 14ක ජය ලබා ශා. සිල්වෙස්තර වැඩි ගෞරව හිමිකර ගෙන ඇති අතර, විද්‍යාර්ථය ජයගෙන ඇත්තේ තරග 3ක් පමණි.
මෙවර මහ ක්‍රිකට් තරගයේදී අවිඳු හේරත් ශා. සිල්වෙස්තර පිල මෙහෙයවනු ලබන අතර, පුලින ගුණතිලක විද්‍යාර්ථ පිල මෙහෙයවනු ලබයි.
මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කොටස යටතේ තරග වැදුණු ශා. සිල්වෙස්තර  තරග 12කට සහභාගි වී තරග 3ක් පරාජයට පත්ව සෙසු තරග ජය පැරදුමෙන් තොරව අවසන් කර ගත්තේය.
මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරග වාරයේදී දෙවැනි කොටස යටතේ තරග වැදුණු විද්‍යාර්ථය  තරග 11කට සහභාගි වී තරග 2ක් ජයගෙන සෙසු තරග ජය පැරදුමෙන් තොරව අවසන්කර ගත්තේය.
ශා. සිල්වෙස්තර සංචිතය:
අවිඳු හේරත් (නායක), නිම්සර අතරගල්ල (උප නායක), මංජිත් රාජපක්ෂ, මනෝහරන් පවිත්‍රන්, නදීර බාලසූරිය, කණිෂ්ක ජයසේකර, හසිඳු නිශ්ශංක, රශ්මික වඩුගේ, මොහොමඩ් රීසා, පසිඳු ජයකොඩි, අභිෂේක් ඉසුරංග, ශෂික බස්නායක, අභිෂේක් කුමාර්, කසුන් එදිරිතිලක, පසන් හෙට්ටිආරච්චි, චන්ද්‍රබාහු හිරෝෂන්, නිමේෂ විජේසිංහ, චන්දල ජයකොඩි, පසිඳු කෝර‍ලේගෙදර, කෙවින් නිමේෂාන්, එන්. රොද්‍රිගෝ, සදීප අහමඩ්, ඩී. ආකාෂ්, ජාලිය වීරසිංහ මහතා (පුහුණුකරු), පාලින්ද ද සිල්වා මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), පී.එස්.ජී. බණ්ඩාර මහතා (විදුහල්පති)
විද්‍යාර්ථ සංචිතය:
පුලින ගුණතිලක (නායක), ඉසුරු ප්‍රබෝධ (උප නායක), රවිෂ්ක
උපනන්ද, කසුන් කරුණාතිලක, ගිහාන් ජයසේකර, චතුරංග රත්නායක, මෙදුනක විජේතිලක, ඉෂාන් සංගීත්, දුමිඳු ඉමාෂ්, ෂාමල් වෙල්ගමගේ, සහන් සිරිවර්ධන, කවිෂ්ක තෙන්නකෝන්, තරිඳු මහගෙදර, අරෝෂ දිල්හාර, ආදිත්‍ය බණ්ඩාර, සංදීප මාපලගමගේ, නෙත්මාල් විදානගමගේ, සංජය සෙනෙවිරත්න, හසිත මාපලගමගේ, චම්පික සිරිවර්ධන මහතා (පුහුණුකරු), ටී.එල්.සී. රංජන් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), එම්. ආර්. මායාදුන්නේ මහතා (විදුහල්පති)

පමෝද් ලසන්ත

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.