Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිංගර් කුසලාන අවු. 19න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට රන්දීර රණසිංහගේ නායකත්වයෙන් යුත් කුරුණෑගල ශා. ආනා සමත්විය.
කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල ශා. ආනා කටුගස්තොට ශා. අන්තෝනිට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශා. අන්තෝනි මුල් ඉනිම ලකුණු 183කට සීමා කිරීමට ශා. ආනා පන්දු යවන්නෝ සමත්වූහ. 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශා. ආනා පන්දුවාර 85කදී කඩුලු 7ක් දැවී ලකුණු 239ක් රැස් කිරීමට සමත්විය.
ශා. ආනා වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ පුබුදු ගනේගම ලකුණු 49ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, රන්දීර රණසිංහ ලකුණු 36ට කඩුලු 3ක්ද, රුවන්ත රන්දික ලකුණු 36ට කඩුලු 2ක්ද දවාලීය.
ලකුණු හඹායාමේදී ශා. ආනා වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ වනිත වන්නිනායක පන්දු 183කදී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 97ක් රැස් කළේය.
උප නායක පුබුදු ගනේගම (42) සහ ධනංජය බණ්ඩාර (34) ඉනිම ශක්තිමත් කළහ. 
වනිත වන්නිනායක සහ පුබුදු ගනේගම 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත් වූහ.
ශා. අන්තෝනි වෙනුවෙන් නිම්නක ජයතිලක ලකුණු 60ට කඩුලු 3ක් දවාලීය.
ශා. ආනා ලැබූ මෙම ජයග්‍රහණයත් සමගින් ලබන වසරේ තරගාවලියේදී පළමු කොටසට උසස්වීම් ලැබිය.
 
ශා. අන්තෝනි: පළමු ඉනිම - 183 (පන්දුවාර 57) සතීෂ් වික්‍රමාරච්චි 30, ගිහාන් අචින්ත 29, තීක්ෂ ගුණසිංහ 27, ඩියොන් ස්ටවුටර් 27, නිම්නක ජයතිලක 16, සුනෙර ජයසිංහ 12, පුබුදු ගනේගම 49/4, රන්දීර රණසිංහ 36/3, රුවන්ත රන්දික 36/2
ශා. ආනා: පළමු ඉනිම - 239/7 (පන්දුවාර 85) වනිත වන්නිනායක 97, පුබුදු ගනේගම 42, ධනංජය බණ්ඩාර 34, දිනෙත් චන්දිමාල් 19, රන්දීර රණසිංහ 15, නිම්නක ජයතිලක 60/3
 
පමෝද් ලසන්ත

සුපිරි 4 අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩකයන්ට දස්කම් පෙන්වා ජාතික පිලට ඇතුළුවීමේ දොරටුවක් බව පළාත් කණ්ඩායම් හතරේ නායකයෝ පවසති.
මෙම තරගාවලිය ලබන 30දා ආරම්භ වන අතර, දිනේෂ් චන්දිමාල් කොළඹ කණ්ඩායමේද, ඇන්ජලෝ මැතිව්ස් මහනුවර කණ්ඩායමේද, සුරංග ලක්මාල් ගාල්ල කණ්ඩායමේද, දිමුත් කරුණාරත්න දඹුල්ල කණ්ඩායමේද නායකයින් ලෙස කටයුතු කරති. 
ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ටෙස්ට් නායක චන්දිමාල් පැවැසුවේ තමන්ද ජාතික පිලට එක්වූයේ අන්තර් පළාත් තරගාවලියේදී දැක්වූ දස්කම් මත බවයි.
තමා මෙන්ම අජන්ත මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලිය හරහා ජාතික පිලට එක්වූ බවත් මෙවරද ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් හිමිවී ඇති බවත් චන්දිමාල් පැවැසීය.
රටේ සිටිනා හොඳම ක්‍රීඩකයන් 80ක් එක්වී සටන් වදින මෙම තරගාවලිය තුළින් ක්‍රිකට් ක්‍රීඩාව පෙරට ගැනීමට හොඳ අවස්ථාවක් උදාවනු ඇති බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ මෙම තරගාවලිය ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණුකරුවන්ටද හොඳ අභියෝගයක් බවයි.
තරගාවලියේ හොඳින් ක්‍රීඩා කර ජාතික පිලට එක්වීමට තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට ක්‍රීඩකයන් වගබලාගත යුතු බව සුමතිපාල මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ටතම පුහුණුකරුවන් සිව්දෙනෙකු වන හෂාන් තිලකරත්න, අවිශ්ක ගුණවර්ධන, පියල් විජේතුංග සහ සුමිත්‍ර වර්ණකුලසූරියට අභියෝගයක් ලබාදී ඇති බවත්, හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ජාතික පිලට දායාද කිරීම ඔවුන්ගේ වගකීම බවත් සුමතිපාල මහතා පැවැසීය.
පසුගිය වකවානුවේ අන්තර් ක්‍රීඩා සමාජ තරග සඳහා නියමිත කාල වකවානුවන්වත් නොතිබූ බව පැවැසූ සුමතිපාල මහතා දැන් සියල්ල යථා තත්ත්වයකට පත් කර අදාළ දිස්ත්‍රික් සඳහා සියලුම පහසුකම් ලබාදී ඇති බවත් පැවැසීය.
ඉදිරියේදී සියලුම පළාත් සඳහා පිහිනුම් තටාක, ගෘහස්ථ තණතීරු සහ සෙසු පහසුකම් ලබාදී ක්‍රිකට් මධ්‍යස්ථාන ලෙස ඉදිරියට ගෙන යන බවද සුමතිපාල මහතා පැවැසීය.
මෙම තරගාවලියේ අත්දැකීම් තුළින් මේ වසරේ ලන්කන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සාර්ථකව පැවැත්වීමට සූදානමින් පසුවන බව පැවැසූ සුමතිපාල මහතා මීට පෙර පැවැත්වූ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අසාර්ථකත්වයට බලපෑ අඩුපාඩු අඩුකරගෙන සාර්ථක තරගාවලියකට සූදානම් වන බවද පැවැසීය.
මින් ඉදිරියට අවු. 13 සිටම තම පළාතට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් යොමු කරන බවත්, තම පළාත ගැන හැඟීමක් ඇති කිරීමට ප්‍රදේශවල නම්වලින් කණ්ඩායම් නම් කළ බවද සුමතිපාල මහතා පැවැසීය.
ජාතික කණ්ඩායමේ දියුණුවට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය රැක ගැනීමට මෙම තරගාවලිය ඉතා වැදගත් බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගනිමින් ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් හුරුවිය යුතු බවද සුමතිපාල මහතා පැවැසීය.
මෙම තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස රංජිත් මධුරසිංහ මහතා කටයුතු කරන බවද සුමතිපාල මහතා මෙහිදී අනාවරණය කළේය. 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ පළමු කොටසේ සීමිත පන්දුවාර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශා. තෝමස් සමත්විය.
ශා. පීතර විදුහල් ක්‍රීඩාගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශා. තෝමස් හමුවේ කැලණිය ගුරුකුල ලකුණු 98කින් පරාජය ලැබිය.
ශා. තෝමස් වෙනුවෙන් ආරම්භක පිතිකරු උපනායක දුලිත් ගුණරත්න පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 94ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ ඩිල්මින් රත්නායක ලකුණු 39කට කඩුලු 5ක් බිඳ හෙළීය.
 
ශා. තෝමස්-ගුරුකුල
ශා. තෝමස්: 244 (පන්දුවාර 48.1) දුලිත් ගුණරත්න 94, කිෂාන් මුණසිංහ 44, ශලින් ද මෙල් 32, පෘතුවි රුසාර 30/4, ලක්ෂාන් සසංග 2/2
ගුරුකුල: 146 (පන්දුවාර 37.1) පෘතුවි රුසාර 28, කෙමිර නයනතරු 25, ලක්ෂාන් සසංග 22, ඩිල්මින් රත්නායක 39/5, ෂැනොන් ප්‍රනාන්දු 14/2, ඩිලන් පීරිස් 23/2
ශා. තෝමස්ට ලකුණු 98ක ජයක්.
 

පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සටනේදී පෙෂාවර් සල්මි කඩුලු 3කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් සමත් විය.

තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ ලුක් රොන්කි මෙම අවසන් සටනේදීද පන්දු 26කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 52ක් රැස් කරමින් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් පෙෂාවර් සල්මි පන්දුවාර 20දී කඩුලු 9ට ලකුණු 148ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉස්ලාමාබාද් යුනයිටඩ් පන්දුවාර 16.5කදී කඩුලු 7ට ලකුණු 154ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
සහිබ්සඩා ෆර්හාන් පන්දු 33කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 44ක් රැස් කරමින් ලුක් රොන්කි සමග ආරම්භක කඩුල්ලට ලකුණු 96ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ඉස්ලාමාබාද්ට ජයග්‍රාහී මාවත විවර කර දුන්හ.

අසීෆ් අලී පන්දු 6කදී හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 26ක් රැස් කළ අතර, ෆාහිම් අෂ්රෆ් හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජය තහවුරු කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් පෙෂාවර් සල්මි වෙනුවෙන් ක්‍රිස් ජෝඩ්න් (36), ලියම් ඩව්සන් (33) සහ වහාබ් රියාස් පන්දු 14කදී නොදැවී ලකුණු 18ක් රැස් කරමින් දස්කම් දැක්වූහ.

ඉස්ලාමාබාද් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂඩාබ් ඛාන් ලකුණු 25ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, සමිට් පටෙල් සහ හුසේන් ටැලට් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ලකුණු තත්ත්වය :-
පෙෂාවර් සල්මි පන්දුවාර 20දී - 148/9යි
ෆ්ලෙචර් 21, ජෝර්ඩ්න් 36, ඩව්සන් 33, වහාබ් රියාස් (නොදැවී) 28, ෂඩාබ් ඛාන් 25/3, සමිට් පටෙල් 26/2, හුසේන් ටැලට් 18/2
ඉස්ලාමාබාද් යුනයිටඩ් පන්දුවාර 16.5කදී - 154/7යි
ලුක් රොන්කි 52, සහිබ්සඩා ෆර්හාන් 44, අසීෆ් අලී (නොදැවී) 26, ෆාහිම් අෂ්රෆ් (නොදැවී) 6

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ සිද්ධියේ වගකීම භාරගත් ස්ටීවන් ස්මිත්ව නායකත්වයෙන් ඉවත් කළ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මීට අමතරව උප නායක ඩේවිඩ් වෝනර්ටද සිය තනතුර අහිමි වී ඇති අතර, එළැඹෙන තරගයේ සහ මෙම තරගයේ ඉතිරි දින දෙකෙහි නව නායකයා ලෙස කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් පත්කර තිබේ. 
මෙම සිදුවීම සැලවූ වහාම ස්ටීවන් ස්මිත්ව නායකත්වයෙන් ඉවත් කරන ලෙස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ අතර, ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කොමිසමද ස්මිත්ව නායකත්වයෙන් වහාම ඉවත් කරන ලෙස දන්වා තිබුණි.
මේ අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීම ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක්වී ගත් තීරණයක් බවත් එයට 

පුහුණුකරුගේ සම්බන්ධතාවක් නොමැති බව නායක ස්ටීවන් ස්මිත් පවසයි. 
මෙම තරගය ජය ගැනීම අත්‍යවශ්‍ය බැවින් වේග පන්දු යවන්නන්ට රිවර්ස් ස්වින්ග් ලබා ගැනීමට පන්දුව පලුදු කළ බව ස්මිත් පවසයි. මෙම ක්‍රියාව නැවත සිදු නොකරන බවද ස්මිත් පවසයි.
මෙම තරගයේදී නවක ක්‍රීඩක කැමරන් බැන්කේ‍රාෆ්ට් සාක්කුවේ දමාගෙන සිටි කහ පැහැති යමකින් පන්දුව පිරිමදින අයුරු රූපවාහිනී කැමරාවට හසුවූ අතර එය තිරයේ දිස්වීමත් සමගම පුහුණුකරු ඩැරන් ලීමන් වෝකිටෝකි යන්ත්‍රයක් මගින් එය අතිරේක ක්‍රීඩකයකු මාර්ගයෙන් ක්‍රීඩකයන්ට දන්වන අයුරුද කැමරාවේ සටහන් විය.
ඉන් පසු බැන්කේ‍රාෆ්ට් එම කහ පැහැති පටිය සිය යට කලිසම ඇතුළේ සඟවන අයුරුද කැමරාවේ සටහන් විය.
දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී නායක ස්මිත් මෙම පන්දුව පලුදු කිරීමේ චෝදනාව පිළිගත් අතර එහි වගකීම තමා ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් භාර ගන්නා බවද පැවැසීය.
මෙම සිදුවීම පිළිබඳව හිටපු ඕස්ට්‍රේලියානු සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් රැසක් සිය අප්‍රසාදය පළකර තිබේ.
මෙම සිදුවීම පිළිබඳව තරග තීරකවරයා අද තීරණයක් ගනු ඇතැයි වාර්තාවන අතර අයි.සී.සී.ය තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම දෝෂදර්ශණයට ලක්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රිමියර් අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එස්.එස්.සී. සමත්විය.
ඊයේ (25දා) කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති අවසන් මහ තරගයේදී එස්.එස්.සී. හමුවේ එන්.සී.සී. කඩුලු 4ක පරාජයක් ලැබිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. ඉනිම පන්දුවාර 48.2කදී ලකුණු 236කට සීමා වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එස්.එස්.සී. පන්දුවාර 45.5කදී කඩුලු 6ට ලකුණු 239ක් රැස් කළේය.
එස්.එස්.සී. ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ ධනුෂ්ක ගුණතිලක පන්දු 122කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය.
එන්.සී.සී. වෙනුවෙන් දුෂ්මන්ත චමීර ලකුණු 41ට කඩුලු 3ක් බිඳ හෙළීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් එන්.සී.සී. වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් පන්දු 123කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 103ක් රැස් කරමින් හුදෙකලා සටනක නිරත විය.
එස්.එස්.සී. වෙනුවෙන් ධම්මික ප්‍රසාද් ලකුණු 42ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, තිසර පෙරේරා සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :- 
එන්.සී.සී.: 236යි (පන්දුවාර 48.2) උපුල් තරංග 4, නිරෝෂන් දික්වැල්ල 33, දිනේෂ් චන්දිමාල් 103, ඇන්ජෙලෝ පෙරේරා 21, මහේල උඩවත්ත 20, චතුරංග ද සිල්වා 0, තරිඳු කෞෂාල් 5, චාමික කරුණාරත්න 10, දුෂ්මන්ත චමීර 2, සචින්ත පීරිස් නොදැවී 15, ලසිත් මාලිංග 15, ධම්මික ප්‍රසාද් 42/3, ජෙෆ්රි වැන්ඩර්සේ 34/2, තිසර පෙරේරා 42/2, දසුන් ශානක 34/1, සචිත්‍ර සේනානායක 43/1
එස්.එස්.සී.: 239/6 (පන්දුවාර 45.5) ධනුෂ්ක ගුණතිලක 119, කෞෂාල් සිල්වා 12, දිමුත් කරුණාරත්න 14, දසුන් ශානක 26, මිනෝද් භානුක 3, මිලින්ද සිරිවර්ධන 3, චරිත් අසලංක (නොදැවී) 27, තිසර පෙරේරා (නොදැවී) 19, දුෂ්මන්ත චමීර 41/3, සචින්ත පීරිස්  42/2,  ලසිත් මාලිංග 54/1
(පමෝද්)

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.