Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජික සනත් ජයසූරිය (සභාපති), අසංක ගුරුසිංහ, රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත සහ රංජිත් මධුරසිංහ යන අය නිවේදනයක් නිකුත් කර තිබේ.
“අප ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව වශයෙන් බරපතල විචාරණයකින් හා සලකා බැලීමකින් පසුව දැන් පැවැත්වන ශ්‍රී ලංකා-ඉන්දීය තරගාවලියෙන් පසුව බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් තේරීම් කමිටුවේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
අප විසින් මෙම තීරණය ගනු ලබන්නේ ක්‍රීඩාවේ උපරිම යහපත පිළිබඳ සැලකිල්ල යොමුකරමින් හා විවිධ පාර්ශ්වයන් මගින් ද්වේශසහගත සිතුවිල්ලෙන් යුක්තව සිදුකරනු ලබන අහිතකර හා අනිසි විවේචන මගින් ක්‍රීඩාවේ නාමයට සිදුවන හානියන් වළක්වා ගැනීමේ අදහසිනි.
ක්‍රීඩාව තුළ වරින් වර සිදුවන විවිධ පසුබැසීම් උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන විවිධ වූ උසිගැන්වීම් මේ වන විට මහජන නොසන්සුන්තාවයන් සඳහාද හේතුවී ඇති අතර, එකී ක්‍රියාමාර්ග මගින් කෙටි හා දිගුකාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බිඳ දමන බවත්, එමෙන්ම එවන් වූ හැසිරීම් මගින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අධෛර්යයට පත්කරලමින් ශ්‍රී ලංකා කණ්ඩායම, පුහුණු කාර්ය මණ්ඩලය, තේරීම් කමිටුව, පරිපාලනය සහ සමස්ත ශ්‍රී ලංකාවම කෙරෙහි වේදනාකාරී සහ වැරදි සහගත චිත්‍රයක් ජාත්‍යන්තරය ඉදිරියේ නිර්මාණය කිරීමට දායක කරනු ලබයි.
පසුගිය ඉරිදා පල්ලෙකැ‍ලේ පැවැති 3 වන එක්දින තරගයේදී අත්දැකීමට සිදුවූ නොසැලකිලිමත් සහ නොහික්මුණු හැසිරීම් අපහට අත්දැකීමට සිදුවූ අවාසනාවන්තම සිදුවීම වන අතර, සංවිධානාත්මක අඳුරු  පාර්ශ්වයන් විසින් ශ්‍රී ලාංකික ජනතාවගේ සිත් තුල ක්‍රෝධය හා පිළිකුල ඇතිකරවමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් අභිමානය විනාශ කරලීමට ප්‍රථමව අප විසිල් ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව අපේ රටට, අපේ ජනතාවට සහ අපගේ ආඩම්බර සංස්කෘතියට හානි පමුණුවනු ලබන කටයුතු වළක්වාලමින් ගෞරවයක් ගෙන ඒමට හැකිවනු ඇතැයි අප අපේක්ෂා කරයි.
පසුගිය මාස 15ක කාලය පුරාවට අප ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපිරිමිත කැපකිරීම් සිදුකරමින්, පවු‍ලේ සහ ව්‍යාපාරික කටයුතු නොසලකමින් ක්‍රිකට් සමග බද්ධව ඇප කැපවී කටයුතු කළ අතර, අප විසින් ගනු ලැබූ සෑම තීරණයකටම ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස අප ලැබූ අත්දැකීම් හා විශේෂඥතාවයන් සංයෝජනය කර යොදාගනු ලැබුවා. වරින් වර ක්‍රීඩකයින් විසින් මුහුණ දෙනු ලැබූ හදිසි ආබාධ තත්ත්වයන් මගින් තේරීම් කමිටුව වන අප හට ක්‍රීඩකයින් තේරීම් කටයුතුවලදී අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවුණා. ප්‍රතිවාදී කණ්ඩායම සඳහා අවශ්‍ය වූ විශේෂිත සංයුතියට ගැළපෙන ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවය එමනිසා සපුරා ගැනීමේ දුෂ්කරතාවන් හට අප මුහුණදුන්නා. එහෙත් අපගේ ජාතික වගකීම ඉටුකරනු වස් ලැබි ඇති ක්‍රීඩකයින් නිසි පරිදි තරග සඳහා සහභාගී කරමින් ක්‍රීඩකයන්ගේ මනා සංයෝජනයත් සහ උපරිම ඵලදායිතාවයන් ලබා ගනිමින් කටයුතු කිරීමට අප සැමවිටම කටයුතු කළා. 
කඳුළු සඟවමින් අප අද ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් ව ගියත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගොඩනගා ඇති අති සාර්ථක උපාය මාර්ගික සැලසුමක් මත පදනම්ව කටයුතු කරන බැවින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගය වඩා ශක්තිමත්ව ඉදිරියට පැමිණෙන බවට වූ දැඩි විශ්වාසය අපට අස්වැසිල්ලක් ගෙනදෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දමා ඇති ශක්තිමත් අඩිතාලම මතින් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමටත්, එකී පියවරයන් හි ප්‍රතිඵල විද්‍යාමාන වීමටත් කාලය ගතවන බව අප හොඳින් දන්නා අතර, ක්‍රිකට් පරිපාලනය විසින් තෝරා ගන්නා ලද සැලසුම් හා සංවර්ධන කටයුතුවලදී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති කෙරෙහි අපි සෑම දෙනාගේම විශ්වාසය ඇත. එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යාම මගින් අද දින ක්‍රිකට් ක්‍රීඩාවේ දක්නට ලැබෙන රළු පැල්ලම් ඉතා ඉක්මණින් සුමට වී ලොව පෙරළිකාර ක්‍රිකට් කණ්ඩායමක් බවට නුදුරේම ශ්‍රී ලංකාව පත්වනු ඇතිබවට අප හට කිසිදු සැකයක් නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ඔවුන් ක්‍රීඩා කරනු ලැබූ සෑම තරගයකදීම ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කොට අප හට සහ සමස්ත ශ්‍රී ලංකාවටම ලබා දුන් සහයෝගය පිළිබඳව අප දැඩි ලෙස ස්තූතිවන්ත වන අතර, ඔවුන්ගේ හැකියාවන් කෙරෙහි සෑම විටම විශ්වාස තැබිමට කටයුතු කරන ලෙසත් මතක් කර දීමට කැමැත්තෙමු.
අප හට නොසැලෙන සහායකින් යුක්තව කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා ඇතුළු විධායක මණ්ඩලයේ සාමාජිකයන් හටත්, අප කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කළ ගරු ක්‍රීඩා ඇමැතිවරයාටත් අපගේ ස්තූතිය පළ කරන්නෙමු. අවසාන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සෑම සියලු ශ්‍රී ලාංකිකයකු හටම ඔවුන්ගේ නොමද සහයෝගය හා ක්‍රිකට් ක්‍රීඩාවෙ දැඩි ඇල්ම හා ආශාව වෙනුවෙන් අපගේ ස්තූතිය පුද කරන්නෙමු. 
“එළිය පතිත වීමට පෙර එය සැමවිටම අඳුරුය” බව සිහිපත් කරමින් අපගේ ඉල්ලා අස්වීම මෙසේ සනිටුහන් කරමු.
- ක්‍රිකට් තේරීම් කමිටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ඇතුළු සියලුම සාමාජිකයන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන රංජිත් මදුරසිංහ, රොමේෂ් 
කළුවිතාරණ, අසංක ගුරුසිංහ සහ එරික් උපශාන්ත මහත්වරුන්ගේ අත්සනින් යුත් ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදුන් බව එම නිවේදනයේ සඳහන්වේ.
මේ අනුව 2017 සැප්තැම්බර් 7 වන දින සිට තේරීම් කමිටුව ඉල්ලා අස්වන බව එහි සඳහන්වේ.

ලෝක ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ආරාධිත ක්‍රිකට් පිල අතර සැප්තැම්බර් 8දා පැවැත්වීමට නියමිතව තිබූ සුහද ක්‍රිකට් තරගය කල්දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් දූ දරුවන්ට ආධාර ලබාදීම පිණිස ක්‍රිකට් ඒඩ් වැඩපිළිවෙළ මගින් මෙම තරගය සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඉදිරියේ කාර්යබහුල තරගාවලි රැසක් පැවැත්වෙන බැවින් මෙම තරගය වෙනත් දිනක පැවැත්වීමට තීරණය කළ බව ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
මේ දිනවල ජාත්‍යන්තර පිටියේ තරගවලට සහභාගි වීමට ඇති බැවින් හිටපු ක්‍රිකට් ශූරයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරද කලින් යොදාගත් දිනයේ පැමිණීමට නොහැකි බව දන්වා තිබුණි.
මේ අනුව මෙම තරගය ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදන බවත්, මේ සඳහා කැමැත්ත පළ කළ විදෙස් ක්‍රීඩකයන්ට සිය ස්තූතිය පළකරන බවත් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කරයි.
මෙම තරගය සඳහා ඉන්දියාවේ සුරේෂ් රයිනා, යූසුෆ් පතාන් සහ රොබින් උතප්පාද, පාකිස්තානයේ ෂහීඩ් අෆ්රිඩි, මිස්බාඋල් හක් සහ අබ්දුල් රසාක්ද, එංගලන්තයේ කයිමාල් මිල්ස්ද, දකුණු අප්‍රිකාවේ ජේ.පී. ඩුමිනි සහ ෆර්හාන් බිහාර්ඩීන්ද, සිම්බාබ්වේ ග්‍රැහැම් ක්‍රීමර්ද, නවසීලන්තයේ ලුක් රොන්කිද කැමැත්ත පළකර තිබුණි.

ශ්‍රී ලංකා පිල තරග ජය ගන්නා විට ලබා දුන් සහයෝගය කණ්ඩායම වැටී සිටින මෙම මොහාතේදීත් ලබා දෙන ලෙසත් තරග ජය ගන්නා දිනය වැඩි ඈතක නොවන බවත් ශ්‍රී ලංකා නායක චාමර කපුගෙදර තෙවැනි එක්දින තරගය පරාජය වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
පසුගිය තරග දෙකේදී ශ්‍රී ලංකා පන්දු යැවීමේ විශාල දියුණුවක් දක්නට ලැබුණු බවත් පිතිකරුවන් සිය යුතුකම් කොටස ඉටුකළ විට ශ්‍රී ලංකාවට නැවත ජය මාවතට පිවිසිය හැකි බවත් කපුගෙදර පවසයි.
මෙම තරග දෙකේදීම ඉන්දීය පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද අත්දැකීම් පිරි දෝනි එම අවදානම් අවස්ථාවේ වගකීම ඉටු කරමින් ජය මාවත විවර කර දුන්නේය.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අංක 1 පන්දු යවන්නා වන ලසිත් මාලිංග පන්දුවාර 5 ක් පමණක් යැවීම අදහාගත නොහැකි සිදුවීමක් විය.
“දෝනිගේ ඉනිම ඉතා වැදගත්. ඔහු අත්දැකීම් උපයෝගි කරගෙන අසීරු අවස්ථා දෙකෙන්ම ගොඩ ගත්තා. අවසන් තරග දෙකම ඔවුන්ට දිනා දුන් ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්” යැයි කපුගෙදර පවසයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් චන්දිමාල් සහ තිරිමාන්න සාර්ථක සම්බන්ධතාවක් තැබුවද ඉන් පසු කඩුලු බිඳ වැටීම ශ්‍රී ලංකාවේ පරාජයට හේතුවිය. අත්දැකීම් පිරි දෝනි වගකීමකින් පන්දුවට පහර දෙද්දී ශ්‍රී ලංකාවේ අත්දැකීම් පිරි මැතිව්ස් අනවශ්‍ය රිවර්ස් ස්වීප් පහරකින් දැවීයාම බිඳ වැටීමේ ආරම්භය විය.
“අපේ මැද පෙළ දුර්වල වුණා. චන්දි-තිරී සම්බන්ධතාවයෙන් පස්සේ අවශ්‍යම වෙලාවේ කඩුලු වැටුණා. මිලින්ද උත්සාහයක් ගත්තා. අපිට ලකුණු 30 ක් 40 ක් මදිවුණා. සැලසුම් කළ විදිහට ඒ දේවල් සිදුවුණේ නෑ. පන්දු යවන්නන්ගේ වර්ධනයක් තියෙනවා. පිතිකරුවන්ගේ වර්ධනයක් දැන් අවශ්‍යයි”යැයි කපුගෙදර පවසයි.
එක දිගට තරග පරාජය වන විට ඉන් ගොඩඒම අසීරු බව පවසන කපුගෙදර ලොව ඕනෑම කණ්ඩායමකට මෙවන් කාල උදාවන බවත් එක් තරගයක් ජයගෙන මෙම තත්ත්වය වෙනස් කිරීමට හැකි බවද පවසයි.
“අපට මෙම තත්ත්වයෙන් ගොඩ එන්න එක ජයග්‍රහණයක් අවශ්‍යයි. ඊට පස්සෙ ජයග්‍රාහී මානසිකත්වය එනවා. අපි හැමෝම ගහන්නේ දිනන්න. ඉදිරි තරග දෙක දිනන්න හැමෝම බලා‍පොරොත්තුවෙන් ඉන්නේ.” යැයි කපුගෙදර පවසයි.
කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් එකාමෙන්ම ශ්‍රී ලංකාවේ ජය වෙනුවෙන් සටන් වදින බව පවසන කපුගෙදර සියලුම දෙනාගේ උත්සාහය ඉදිරි තරග 2 ක ජයගෙන ජය මාවතට පිවිසීම බවද පවසයි.
පුහුණුකරුවන්ට මෙම පරාජය පිළිබඳ දොස් පැවරීම සාධාරණ නොවන බව පවසන කපුගෙදර පිටිය මැදට ගොස් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් මිස පුහුණුකරුවන් නොවන බව පවසයි.
“අපිට සියලුම දේ ලැබෙනවා. සියලු සැලසුම් ලැබෙනවා. ඒත් ඒ සියල්ල අපි පිටිය මැදදී සාර්ථකව කළ යුතුයි. එසේ නොවන විට එහි වගකීම ක්‍රීඩකයන් භාරගත යුතුයි. පුහුණුකරුවන්ට සහ සෙසු අයට දොස් පැවරීම වැඩකට ඇති දෙයක් නොවෙයි” කපුගෙදර පවසයි.
කොළඹ පැවැත්වෙන ඉදිරි තරග දෙක පිළිබඳව සැලසුමක් සකස් කරන බවත් කෙසේ හෝ එම තරග ජයගෙන යළිත් ජය මාවතට පිවිසීම සියලුම ක්‍රීඩකයන්ගේ අධිෂ්ඨානය බවත් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වැඩි ඈතක නොවන බවත් කපුගෙදර පවසයි.

මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැ‍ලේදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී පන්දුවක් අතේ වැදීමෙන් ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල්ට තරගාවලියේ ඉදිරි තරග අහිමිවී තිබේ.
චන්දිමාල්ගේ අතේ අස්ථි බිඳීමක් සිදුවී ඇති බැවින් මෙසේ ඔහුට ඉදිරි තරග අහිමිවී තිබේ.

ලබන මස පාකිස්තානයේ තරග සංචාරයක නිරත වන ලෝක ක්‍රිකට් පිල නම්කර ඇති අතර, එහි නායකත්වය දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆැෆ් ඩුප්ලෙසිස් වෙත පවරා තිබේ.
ක්‍රීඩකයින් 14 දෙනකුගෙන් යුත් මෙම 20-20 ලෝක ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිසර පෙරේරා පමණක් ඇතුළත් වෙයි.
මෙම කණ්ඩායමට නායක ෆැෆ් ඩුප්ලෙසිස් සමගින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් පස්දෙනකු ඇතුළත් වන අතර, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් වෙති.
කොදෙව් ක්‍රීඩකයන් දෙදෙනකුද ලෝක පිලට ඇතුළත් අතර, එංගලන්තය, බංග්ලාදේශය සහ නවසීලන්තයෙන් එක් ක්‍රීඩකයකු බැගින් නම්කර තිබේ.
ලෝක පි‍ලේ පුහුණුකරු ලෙස ඇන්ඩි ෆ්ලවර් නම්කර ඇත.
පාකිස්තානයේ ලාහෝර්හි වත්මන් ආරක්ෂක තත්ත්වය සතුටුදායක බැවින් මෙම ලෝක කණ්ඩායම 20-20 තරග තුනකට සහභාගි වේ.
ශ්‍රී ලංකා පි‍ලේ එළැඹෙන පාකිස්තානු තරගාවලියේදීද එක් 20-20 තරගයක් ලාහොර් හිදී පැවැත්වීමට අදහස් කර ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් පිලද පාකිස්තානයේ 20-20 තරගාවලියක් සඳහා සහභාගි වීමට සූදානමින් පසුවේ.

ලෝක ක්‍රිකට් පිල

ෆැෆ් ඩුප්ලෙසිස් (නායක),හෂීම් අම්ලා, සැමුවෙල් බද්රි, ජෝර්ජ් බේලි, ‍පෝල් කොලින්වුඩ්, බෙන් කටින්, ග්‍රාන්ට් එලියට්, තමීම් ඉක්බාල්, ඩේවිඩ් මිලර්, මෝනි මෝකල්, ටිම් පේන්,තිසර පෙරේරා, ඉම්රාන් තහීර්, ඩැරන් සමී

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.