Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේ මස අවසානයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියේ තරග සටහන ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග 5කින් සහ 20-20 තරග 3කින් සමන්විත වෙයි.
පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් 28දා අබුඩාබිහිදී ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය ඔක්තෝබර් 6දා ඩුබායිහිදී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
මේ අනුව ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව දිවා/රාත්‍රී ටෙස්ට් තරගයකට සහභාගි වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ ලාහෝර්හිදී තෙවැනි 20-20 ක්‍රිකට් තරගය පැවැත්වීම විශේෂත්වයකි.
 
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග සටහන
 
සැප්. 28 - ඔක්. 02 - පළමු ටෙස්ට් තරගය - අබුඩාබි
ඔක්. 6-10 - දෙවැනි ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී) - ඩුබායි
ඔක්. 13 - පළමු එක්දින තරගය - ඩුබායි
ඔක්. 16 - දෙවැනි එක්දින තරගය අබුඩාබි
ඔක්. 18 - තෙවැනි එක්දින තරගය - අබුඩාබි
ඔක්. 20 - සිව්වැනි එක්දින තරගය - සාජා
ඔක්. 23 - 5 වැනි එක්දින තරගය - සාජා
ඔක්. 26 - පළමු 20-20 තරගය - අබුඩාබි
ඔක්. 27 - දෙවැනි 20-20 තරගය-අබුඩාබි
ඔක්. 29 - තෙවැනි 20-20 තරගය-ලාහෝර්

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ලෝඩ්ස්හි පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබූ එංගලන්තය තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය එක් කඩුල්ලක් දැවී අදාළ ඉලක්කය පසු කළේය.
මෙම තරගයේදී පළමු ඉනිමේ කඩුලු 6ක් සහ අර්ධ ශතකයක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් ටෙස්ට් කඩුලු 500 සීමාව පසු කළ ජේම්ස් ඇන්ඩර්සන් සහ කොදෙව් පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ෂායි හෝප් තරගාවලියේ වීරවරයන් ලෙස සම්මාන දිනා ගත්තේය.
 
ලකුණු තත්ත්වය :- 
කොදෙව් මුල් ඉනිම - 123යි
කිරාන් පවෙල් 39, ෂායි හෝප් 29, බෙන් ස්ටෝක්ස් 22/6, ඇන්ඩර්සන් 31/2, රෝලන්ඩ් ජෝන්ස් 32/2
එංගලන්තය මුල් ඉනිම 194යි
ස්ටෝක්ස් 60, බ්‍රෝඩ් 38, කිමාර් රෝච් 72/5, ජේසන් හෝල්ඩර් 54/4
කොදෙව් දෙවැනි ඉනිම  177යි
කිරාන් පවෙල් 45, ෂායි හෝප් 62, ජේසන් හෝල්ඩර් 23, ඇන්ඩර්සන් 42/7, බ්‍රෝඩ් 35/2
එංගලන්තය දෙවැනි ඉනිම 107/1යි
මාක්ස් ස්ටෝන්මන් නොදැවී 40, ටොම් වෙස්ලි නොදැවී 44, බිෂූ 35/1

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු සංගමය සංවිධානය කරන වැඩමුළු 3ක් මෙම සති අන්තයේදී පැවැත්වේ.මේ අනුව වැඩමුළු 2ක් හෙට (9දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අනෙක් වැඩමුළුව 10 වැනි ඉරිදා මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලබන ඔක්තෝබර් මස 1 වැනි දින සිට වෙනස් වන නව ක්‍රිකට් නීතිරීති, අයි.සී.සී. තරග කොන්දේසි සහ පාසල් ක්‍රිකට් තරග කොන්දේසි පිළිබඳව ක්‍රිකට් විනිසුරුවන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව පැවැත්වේ.
බස්නාහිර පළාත් ක්‍රිකට් විනිසුරුවන් සඳහා වැඩමුළුව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවන් සඳහා වැඩමුළුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මධ්‍යම පළාත් සහ කෑගල්ල දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවන් සඳහා වැඩමුළුව ඉරිදා (10දා) අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම වැඩමුළු තුනම පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.
මෙම වැඩමුළු මාලාවේ සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත් වැඩමුළු මේ වන විට පවත්වා අවසන්ව ඇත.

(පමෝද්)

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව තුළින් මෙරට ජාතික ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා පළමු කොටසේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන පාසල්හි ක්‍රිකට් භාර ආචාර්යවරුන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් වින්ටේජ් ක්‍රිකටර්ස් සර්කල් විසින් සංවිධානය කළ වැඩමුළුවක් කොළඹ වෙළෙද සේවා ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් වන රොෂාන් මහානාම, කුමාර් ධර්මසේන සහ මහේල ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවීනම ක්‍රිකට් පුහුණුකරුවකු වන නෙල්සන් මෙන්ඩිස් මහතාගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ‍ලේකම් කපිල ජයලත්, ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජිත ගාමිණී වික්‍රමසිංහ මහතා ද සහභාවූහ.

(පමෝද්)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ (6දා) පැවැති 20-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
මේ අනුව මෙවර තරගාවලියේ ටෙස්ට්, එක්දින සහ 20-20 තරග සියල්ලම ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
20-20 තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 දී කඩුලු 7 ට ලකුණු 170 ක් ලබා ගත් අතර ඉන්දියාව පන්දුවාර 19.2 කදී කඩුලු 3 ට ලකුණු 174 ක් ලබමින් ජය ගත්තේය.
ඉන්දියාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ කෝලි සහ මනීෂ් පාන්ඩේ ජය තහවුරු කළ අතර චහාල් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 43 ට කඩුලු 3 ක් බිඳ දැමීය.
ලකුණු හඹා යාමේදී කඩුලු 2 ක් ලකුණු 42 ක් තුළ බිඳ වැටුණද නායක කෝලි සහ පාන්ඩේ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 119 ක සම්බන්ධතාවක් තබමින් ජය තහවුරු කළහ.
කෝලි හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 82 ක්ද පාන්ඩේ පන්දු 36 කදී හෙතරේ පහර 4ක් සහ හයේ පහරක් සහිතව නාදැවී ලකුණු 51 ක්ද වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව මුණවීරගේ ප්‍රහාරයෙන් පළමු පන්දුවාර 6 දී ලකුණු 60 ක් රැස් කළද කඩුලු බිඳ වැටීමෙන් වේගය අඩාල විය. එහෙත් ප්‍රියංජන් සහ ඉසුරු උදාන අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රහාරයක් දියත් කිරීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 170 ක් රැස් කර ගත හැකිවිය.
නායක තරංග ලකුණු 5 කට සහ දික්වැල්ල ලකුණු 17 කට දැවී ගිය අතර මැතිව්ස්ගේ ඉනිම ලකුණු 7 කට සීමාවිය.
සිය ප්‍රථම 20-20 අර්ධ ශතකය වාර්තා කළ ඩිල්ෂාන් මුණවීර පන්දු 29 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සහිතව ලකුණු 53 ක් වාර්තා කළේය.
යළිත් ශ්‍රී ලංකා මැද පෙල අසාර්ථකවූ අතර තිසර (11) සීක්කුගේ (11) සහ ශානක (00) අසාර්ථක වීමෙන් කඩුලු 7 ක් ලකුණු 134 ක් තුළ බිඳ වැටුණි.
8 වැනි කඩුල්ල වෙනුවෙන් ප්‍රියංජන් සහ උදාන ලකුණු 36 ක සම්බන්ධතාවක් තැබූ අතර ප්‍රියංජන් පන්දු 40 දී හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සහිතව නොදැවී ලකුණු 40 ක් ලැබූ අතර උදාන නොදැවී ලකුණු 19 ක් වාර්තා කළේය.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ චහාල් කඩුලු 3 ක්ද කුල්දිප් යදාව් කඩුලු 2 ක්ද බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් වර්තමානයේ කටයුතු කරන ගරු තිලංග සුමතිපාල මහතා සූදු කර්මාන්තයේ නිරතව සිටින බවට සඳහන් කරමින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා  ප්‍රචාරය සහ සංසරණය කරනුලබන අපකීර්තිමත්, අපහාසාත්මක හා දුෂ්ට ලිපි සහ කතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව ප්‍රතික්ෂේප කර සිටී.
ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හට අපහාස කිරීමේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින්  ෆේස්බුක් සහ ට්විටර් හරහා උසිගන්වන ලබන චෝදනා ගැනත්, විශේෂයෙන්ම 2017.09.04 දිනැති සිලෝන් ටුඩේ සහ 2017.09.03 දිනැති සන්ඩේ ටයිම්ස්  පුවත්පත්වල පළ වූ ලිපි වන“Is is the end of the innings for Sumathipala at SLC” සහ “Sumathipala accepts connection to betting company”පිළිබඳව පහත දැක්වෙන පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
 
01. සම්පූර්ණ අධිකරණ වාර්තාවේ සඳහන් කරුණු අතරින් තෝරාගත් කරුණු පමණක් පළ කරමින් හිතාමතාම සහ අසාධාරණ ලෙස සත්‍ය කරුණු සඟවමින් සහ/හෝ අවනිශේධනය කරමින් ‍පොදු මහජනතාව වෙතට වෙනස් වූ මතයක් ගෙන යාමේ  උත්සහයක් මෙම ලිපි මගින් සිදු කර ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ගරු තිලංග සුමතිපාල  මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඔහු සහ ඔහුගේ පවු‍ලේ අය සූදු කර්මාන්තයේ නිරතව සිටින බවට වූ පිළිගත් ‍පොදු මතයක් ජනතාව තුළ පවතින බවත්, ඔහු සෘජු හෝ වක්‍රව එකී කිසිදු සූදු ව්‍යාපාරයන් හට සම්බන්ධ වී නොසිටින බවයි. (2012/1/24 අධිකරණ වාර්තාවෙන් උපුටා දක්වා ඇත.)
02. උක්ත සඳහන් කළ තෝරාගත් කොටස  ගරු සුමතිපාල මහතා විසින් මෑතකදී සිදු කරන ලද්දක් බවට හුවා දැක්වීමේ  උත්සහයක් ගෙන ඇති අතර, සත්‍ය වශයෙන්ම  එම ප්‍රකාශයන් සිදුකර ඇත්තේ වර්ෂ 2011 පෙබරවාරි මස අදාළ නඩුවේ සාක්ෂි දෙමින් වන අතර එනම් වර්ෂ 2016 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති  ධුරයට  පත්වීමට බොහෝ කලකට පෙරය.
03. ගරු තිලංග සුමතිපාල මහතා විෂයෙහි අපහාසාත්මක වන උක්ත කී පුවත්පත ලිපි විකෘතිව නිර්මාණය කර ඇත්තේ අහෝසි කරන ලද ක්‍රීඩා නීති හා රෙගුලාසි මත පිහිටා බවත්, එමගින් සත්‍ය කරුණු සඟවා මහජනයාගේ සිත් තුළ වැරදි  සහ  අපහාසාත්මක හැඟීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වෙත ඇති කිරීමට කටයුතු කර ඇත. 
04. ඉහත සඳහන් කරුණුූ වලට අමතරව, ගරු තිලංග සුමතිපාල මහතා 2015 වර්ෂයේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති  තනතුර සහ ඔහුගේ නාම යෝජනා භාර දීමේ දින  වන විට එකී රෙගුලාසිවල සඳහන් වූ සියලු සුදුසුකම් සපුරා සිටි අතර කිසිදු නුසුදුසු කමකට භාජනය වී නොතිබිණ.
05. තවද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  (ICC) විධායක කමිටුව ගරු තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පිළිගැනීමට පෙර එහි ආචාරධර්ම නිලධාරියා  විසින් පවත්වන ලද පරිපූර්ණ පරීක්ෂණයකින් පසු එහි ආචාර ධර්ම සංග්‍රහය යටතේ අදාළ සියලුම අදාළ වගන්තිවලට ගරු සුමතිපාල මහතා අනුකූලතාවය දක්වන බවට පිළිගෙන ඇත. 
06. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කරනු ලැබූ  නිසි පරීක්ෂණ වලින් අනතුරුව ගරු තිලංග සුමතිපාල මහතා සූදු කර්මාන්තය සඳහා සෘජුව හෝ වක්‍රව හෝ සම්බන්ධයක් නොමැති බවට කිසිදු සැකයකින් තොරව තහවුරු වී ඇත. 
07. තවද ගරු සුමතිපාල මහතා හා සූදු කර්මාන්තය  අතර පවතින යැයි චෝදනා කරනු ලැබූ සබඳතා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්වයෙන් සලකා බලනු ලැබූ නිර්ණායකයන් පූර්ණ ලෙස තෘප්තිමත් කර සිටියදී, මින් පෙර විසඳූ කරුණක් සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව වැඩිදුරටත් පෙනී යයි.  
ඉහත කාරණා සැලකිල්ලට ගනිමින් වාර්තාකරණයේ වගකීම හා සාධාරණත්වය ඉටු කරනු වස් විවිධ පාර්ශ්වයන්වල පෙළඹවීම් හරහා සිදුකරන අනුමානයන් හා පුරෝකථනයන් පළ කිරීමෙන් හා ප්‍රකාශයට පත් කිරීමෙන් හා එමගින් ශ්‍රී ලංකාවේ  ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන හානියෙන් වැළකී සිටීමට කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
2016 ජනවාරි මස තේරී පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පාලනාධිකාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් හි පැවැති අස්ථාවරත්වය ප්‍රතිනැංවීමේ කටයුතු කරමින් මේ වන විට  එහි සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇත. වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය වසර 5ක ආයතනික පාලන සැලැස්මක් යටතේ ක්‍රියාත්මක  වන අතර, පැවැති ණය බරෙන්  මේ වන විට පූර්ව ප්‍රකෘර්තිමත් වී ඇත. තවද ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය වෘත්තීය මාර්ගෝපදේශනයක් සහිතව  නිවැරදි දිශාවට මේ වන විට ගමන් කරයි. වර්තමානයේ  පවතින තරගකාරී  පරිසරය තුළ ඇති ඉල්ලුම සපුරාලීමට සම්පූර්ණයෙන්ම  ප්‍රතිව්‍යුහගත කර ඇති ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විශාල මුදල් ආයෝජනයක් හා සම්පත් විශාල වශයෙන්  යොදවා ඇති අතර ඒවායේ ප්‍රතිඵල දෘශ්‍යමාන වීම සඳහා  යම් කාලයක් අවශ්‍යවේ.
ඒ අනුව, පෞද්ගලික න්‍යාය පත්‍රයන් මගින් පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ පරමාර්ථයෙන් සහ ඔවුන්ගේ ආත්මාර්ථකාමී අභිප්‍රායයන් වෙනුවෙන්  ක්‍රියාත්මක වන වැරදි  හා ද්වේශ සහගත කටකතා සහ විවිධ පළකිරීම් සහ ප්‍රචාරයන් මගින් නොමඟ  නොයා සත්‍ය කරුණු මත කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් සෑම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයක් විසින්ම මෙම ප්‍රකාශයට නිසි ප්‍රචාරය ලබාදෙන ලෙසත්, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වන අපකීර්තිය සහ හානිය  වළක්වාලමින්  අප දැඩිව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට සහායදීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටී.
 
ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.