Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත්විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී රිච්මන්ඩ් විදුහල හමුවේ බම්බලපිටිය ශා. පීතර විදුහල ලකුණු 29කින් පරාජයට පත්විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් රිච්මන්ඩ් පන්දුවාර 50 දී කඩුලු 9ක් දැවී ලකුණු 201ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශා. පීතරයට පන්දුවාර 46.4කදී සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 172ක් පමණි.
රිච්මන්ඩ් ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 106ක් තුළ දැවී ගොස් අසීරු තත්ත්වයකට පත්ව සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වූ සඳුන් මෙන්ඩිස් සහ දිලුම් සුදීර 7වැනි කඩුල්ල සඳහා ලකුණු 68ක සම්බන්ධතාවයක් ගොඩනංවමින් ඉනිම ශක්තිමත් කළහ.
සඳුන් මෙන්ඩිස් පන්දු 57කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 42ක් රැස් කළ අතර, දිලුම් සුදීර පන්දු 85කදී ලකුණු 39ක් රැස් කරමින් ඉනිම ගොඩනැංවූහ.
ආරම්භක පිතිකරුවන් වූ නායක ධනංජය ලක්ෂාන්  (21) සහ ආදිත්‍ය සිරිවර්ධන (27) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.  
ශා. පීතර වෙනුවෙන් මිෆ්ලාල් අමීන් සහ කණිෂ්ක මධුවන්ත කඩුලු 2ක් බැගින් දවාලූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශා. පීතර ආරම්භක පිතිකරු යුගළය වූ නායක සංතුෂ් ගුණතිලක සහ උප නායක මිෆ්ලාල් අමීන් එක් ලකුණකට දවාලීමට රිච්මන්ඩ් නායක ධනංජය ලක්ෂාන් සමත් විය.
ෂැනොන් ප්‍රනාන්දු පන්දු 91කදී ලකුණු 52ක් රැස් කළ අතර, කණිෂ්ක මධුවන්ත (39) සහ සුලක්ෂණ ප්‍රනාන්දු (25) පිත්තෙන් දායක වූහ.
ෂැනොන් ප්‍රනාන්දු සහ කණිෂ්ක මධුවන්ත 8වැනි කඩුල්ල සඳහා ලකුණු 47ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූ අතර, ෂැනොන් ප්‍රනාන්දු සහ සුලක්ෂණ ප්‍රනාන්දු තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.
රිච්මන්ඩ් වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සඳුන් මෙන්ඩිස් පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 20ට කඩුලු 5ක් දවාලූ අතර, නායක ධනංජය ලක්ෂාන් සහ උප නායක අවිඳු තීක්ෂණ කඩුලු 2ක් බැගින් දවාලූහ.
රිච්මන්ඩ් ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ සඳුන් මෙන්ඩිස් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
තරගාවලියේ ජය සංඛිෙත ප්‍රදානය සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ (අලෙවි) කුමාර් සමරසිංහ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති  නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා,  ශා. පීතර විද්‍යාලයේ ක්‍රීඩා පරිපාලක තිළිණ පැතුම් පියතුමා, රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ‍ලේකම් ඩිල්ෂාන් ද සිල්වා සහ එම සංගමයේ භාණ්ඩාගාරික නිහාල් ප්‍රනාන්දු ඇතුළු යන මහත්වරුන් එක්ව සිටියහ.
 
ලකුණු තත්ත්ය :-
රිච්මන්ඩ්: 201/9 (පන්දුවාර 50) සඳුන් මෙන්ඩිස් 42, දිලුම් සුදීර 39, ආදිත්‍ය සිරිවර්ධන 27, ධනංජය ලක්ෂාන් 21, තවීෂ අභිෂේක් 17, දුවීන් කලංසූරිය 15, මිෆ්ලාල් අමීන් 25/2, කණිෂ්ක මධුවන්ත 34/2
 
ශා. පීතර: 172 (පන්දුවාර 46.4) ෂැනොන් ප්‍රනාන්දු 52, කණිෂ්ක මධුවන්ත 39, සුලක්ෂණ ප්‍රනාන්දු 25, ශලිත් ප්‍රනාන්දු 12, සචින් සිල්වා 12, සඳුන් මෙන්ඩිස් 20/5, ධනංජය ලක්ෂාන් 22/2, අවිඳු තීක්ෂණ 41/2
 
පමෝද් ලසන්ත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලය සමත්විය.
කොළඹ ශා. ජෝශප් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලය හමුවේ රත්ගම දේවපතිරාජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 65කින් පරාජය ලැබිය.
ශා. අන්තෝනි ජයග්‍රහණය වෙනුවෙන් නවෝද්‍ය විජේකුමාර තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ කෙරුණු මෙම තරගය එක් පිලකට පන්දුවාර 32කට සීමාවිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශා. අන්තෝනි පන්දුවාර 32දී කඩුලු 7ක් දැවී ලකුණු 196ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රත්ගම දේවපතිරාජය වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර  26කදී කඩුලු 9ක් දැවී ලකුණු 118ක් ලබා සිටියේය.
ශා. අන්තෝනි වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක් දියත්කළ නවෝද්‍ය විජේකුමාර පන්දු 69කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 99ක් රැස් කළේය. පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 9ට කඩුලු 2ක් බිඳ හෙළීය.
ඩියොන් ස්ටවුටර් (26) සහ සුනෙර ජයසිංහ (26) ශා. අන්තෝනි ඉනිම ගොඩ නැංවීමට දායක වූ අතර, දේවපතිරාජය වෙනුවෙන් සුදීර වීරරත්න ලකුණු 18ට කඩුලු 2ක් දවාලීය.
දේවපතිරාජය වෙනුවෙන් සුදීර වීරරත්න ලකුණු 32ක් රැස් කළ අතර, පැතුම් මධුසංක (25) සහ රවීන් යසස් (24) ඉනිම ගොඩනැංවීමට දායක වූහ.
ශා. අන්තෝනි වෙනුවෙන් නිම්නක ජයතිලක ලකුණු 26කට කඩුලු 3ක් දවාලූ අතර, නවෝද්‍ය විජේකුමාර සහ සසිත් හිරුදික කඩුලු 2ක බැගින් දවාලූහ.
මේ අනුව කටුගස්තොට ශා. අන්තෝනි සහ කුරුණෑගල ශා. ආනා අතර අවසන් පූර්ව තරගය ඉදිරි දිනයන්හිදී පැවැත්වීමට නියමිත අතර, කළුතර තිස්ස මැදි විදුහල මේ වන විටත් අවසන් මහා සටනට සුදසුකම් ලබා සිටියි.
 
ලකුණු තත්ත්වය :-
ශා. අන්තෝනි: 196/7 (පන්දුවාර 32) නවෝද්‍ය විජේකුමාර නොදැවී 99, ඩියොන් ස්ටවුටර් 26, සුනෙර ජයසිංහ 26, සුදීර වීරරත්න 18/2
 
දේවපතිරාජ: 118/9 (පන්දුවාර 26) සුදීර වීරරත්න 32, පැතුම් මධුසංක 25, රවීන් යසස් 24, නිම්නක ජයතිලක 26/3, නවෝද්‍ය විජේකුමාර 9/2, සසිත් හිරුදික 23/2
 
පමෝද් ලසන්ත

සුපිරි අන්තර් පළාත් ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගාල්ල සමත් විය.
අවසන් සතියේදී කොළඹ පරාජය කරමින් පූර්ණ ජයක් ලැබිමට දඹුල්ල සමත්වුවද ප්‍රසාද ලකුණුූ මත ශූරතාව ගාල්ලට හිමිවිය.
මෙවර තරගාවලියේදී ගාල්ල ප්‍රසාද ලකුණු 37.57ක් ලබමින් ශූරතාව දිනා ගත් අතර ලකුණු 35.53ක් ලැබූ දඹුල්ලට දෙවැනි තැන හිමිවිය.
ප්‍රසාද ලකුණු 22.54 ක් ලැබූ මහනුවරට තෙවැනි තැන හිමිවූ අතර කොළඹට හිමිවුණේ අවසන් ස්ථානයයි.
මෙවර තරගාවලිය පුරා කැපී පෙනෙන පිතිකරුවා බවට පත්වූ රොෂේන් සිල්වා ඉනිම 5 දී ලකුණු 535 ක් ලබා ගනිමින් ගාල්ලට ශූරතාව දිනා දීමට ප්‍රබල ලෙස දායක විය.
ඔහුගේ අහලටවත් පැමිණීමට සෙසු පිතිකරුවන් අසමත් වූ අතර ජාතික පිල නියෝජනය කරන පිතිකරුවන් රැසකට දස්කම් දැක්වීමට නොහැකි වීමද කැපී පෙනුනි.
19 හැවිරිදි පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක් බවට ඔප්පු කරමින් ගාල්ලට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට නොදැවී ලකුණු 188ක් වාර්තා කිරීම විශේෂ සිදුවීමකි.
මනෝජ් සරත්චන්ද්‍ර ද ශතකයක් ලබා පිත්තෙන් දස්කම් දැක්වූ අතර ලහිරු මදුසංඛ (43/5) සහ චාමික කරුණාරත්න (65/5) කඩුලු 5ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ සීමිත පන්දුවාර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබිමට පසුගිය වර ශූර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පෙරේදා (24) සමත්විය.
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 5කින් පැරදවීය.
මෙම අවසන් පූර්ව තරගයේදී රිච්මන්ඩ් නායක ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් තුන් ඉරියව් කැපී පෙනෙන දස්කම් දක්වමින් තම පි‍ලේ ජයග්‍රහණයට ඉහළ දායකත්වයක් දැක්වීය.
කාසියේ වාසිය හිමිකරගත් ගාල්ල රිච්මන්ඩ් පි‍ලේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගල්කිස්ස ශාන්ත තෝමස් පිල නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 221ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල රිච්මන්ඩ් පිල පන්දුවාර 43.2කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 222ක් රැස් කළේය.
ශාන්ත තෝමස් ඉනිම වෙනුවෙන් නායක ඩිලොන් පීරිස් ලකුණු 55ක් රැස් කළ අතර, ශලින් ද මෙල් ලකුණු 52ක් රැස් කළේය. මනීෂ රූපසිංහ ලකුණු 44ක් රැස් කළ අතර, ආරම්භක පන්දු යවන්නාගේ භූමිකාව ඉටුකළ දකුණත් පන්දු යවන්නා ධනංජය ලක්ෂාන් ලකුණු 36ට කඩුලු 5ක් දවාලීය. 
ගාල්ල රිච්මන්ඩ් ඉනිම වෙනුවෙන් වමත් ආරම්භක පිතිකරු ලෙස අගනා පිතිහරඹයක් දියත්කළ ධනංජය ලක්ෂාන් පන්දු 138කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 130ක් රැස් කළේය. ධනංජය ලක්ෂාන් සමගින් එක්වූ තවීෂ අභිෂේක් (36) තම ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක සම්බන්ධතාවයක් ගොඩ නංවමින් තම පි‍ලේ ජයග්‍රහණය සඳහා දායක වූහ. ෂැනොන් ප්‍රනාන්දු ලකුණු 43ට කඩුලු 2ක් දවාලීය. 
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමගින් අවසන් තරගයේදී ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් ඉදිරියේදී තරග වදිනු ඇත.
 
ගල්කිස්ස ශාන්ත තෝමස්: 221/8 (පන්දුවාර 50) 
ඩිලොන් පීරිස් 55, ශලින් ද මෙල් 52, මනීෂ රූපසිංහ 44, මන්තිල විජේරත්න 15, දුලිත් ගුණරත්න 11, ධනංජය ලක්ෂාන් 36/5  ගාල්ල රිච්මන්ඩ්: 222/5 (පන්දුවාර 43.2) 
ධනංජය ලක්ෂාන් නොදැවී 130, තවීෂ අභිෂේක් 36, දිලුම් සුදීර 19, අවිඳු තීක්ෂණ නොදැවී 17, ෂැනොන් ප්‍රනාන්දු 43/2 
 
පමෝද් ලසන්ත

සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කඩුලු 5කින් පරාජය කළ දඹුල්ල තරගාවලියේ පළමු පූර්ණ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
දඹුල්‍ලේදී පැවැති මෙම තරගයේදී ලකුණු 203ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කඩුලු 5ට ලකුණු 205ක් ලබමින් ජය වාර්තා කළේය.
දඹුල්ල වෙනුවෙන් සාර්ථක පිති හරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 62ක් වාර්තා කළ අතර සචිත්‍ර සේරසිංහ ලකුණු 55ක් ලබා ගත්තේය.
කුසල් මෙන්ඩිස් හා සචිත්‍ර සේරසිංහ අතර සිව්වැනි කඩුල්‍ලේ සම්බන්ධතාවය ලකුණු 84ක් විය.
මේ අතර සූරියවැවදී පැවැති ගාල්ල හා  මහනුවර අතර තරගය ගාල්ලට මුල් ඉනිමේ ජයක් හිමිකර දෙමින් ජය පරාජයෙන් තොරව අවසන් විය.
ලකුණු 548ක ඉලක්කයක් හඹාගිය මහනුවර තරගය අවසන් වන විට කඩුලු 3 ට ලකුණු 363 ක් ලබා සිටියේය.
මහනුවර වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 188 ක් ද චරිත් අසංක ලකුණු 62 ක්ද වාර්තා කරමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 148 ක සම්බන්ධතාවයක් තැබිය.
 
ලකුණු තත්ත්වය
 
ගාල්ල-මහනුවර
ගාල්ල මුල් ඉනිම 425 යි
මහනුවර මුල් ඉනිම 185යි
කොළඹ දෙවැනි ඉනිම 306/9යි 
උපුල් තරංග 103 රොෂේන් සිල්වා 89 චාමික කරුණාරත්න 63/5, ලහිරු සමරකෝන් 56/2
මහනුවර දෙවැනි ඉනිම ලකුණු 363/3 යි.
පැතුම් නිශ්ශංක නොදැවී 188 චරිත් අසලංක 62 නිරෝෂන් දික්වැල්ල නොදැවී 56.
 
කොළඹ - දඹුල්ල
කොළඹ මුල් ඉනිම 210යි
දඹුල්ල මුල් ඉනිම 359යි
කොළඹ දෙවැනි ඉනිම 351යි 
කෞෂාල් සිල්වා 38 ෂෙහාන් ජයසූරිය 77 ලහිරු තිරිමාන්න 52, දිනේෂ් චන්දිමාල් 44 චන්ඳු හසරංග 52 ජෙෆ්රි වැන්ඩසේ 101/4 සචිත්‍ර සේනානායක 78/2
දඹුල්ල දෙවැනි ඉනිම 205/5යි
කුසල් මෙන්ඩිස් 62 සචිත්‍ර සේරසිංහ 55 මනෝ සරත්චන්ද්‍ර නොදැවී 27 තික්ෂිල ද සිල්වා 53/3
 
මංගල ධර්මප්‍රේම

“සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ සීමිත පන්දුවාර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය පසුගියදා සමත්විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 3ක ජයක් ලැබිය.
ක්‍රීඩාංගණයේ තෙත් ස්වාභාවය හේතුවෙන් ප්‍රමාද වී ඇරඹුණු මෙම තරගය පන්දුවාර 40කට සීමාවූ අතර, පළමුවෙන් පන්දුවට කරන්දෙණිය මැදි විදුහල් පිල පන්දුවාර 39.5කදී සියල්ලන් දැවී ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ආනා පිල පන්දුවාර 5කදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 164ක් රැස් කළේය.
කරන්දෙණිය මැදි විදුහල් පිල වෙනුවෙන් උප නායක දිමුත් සඳරුවන් ලකුණු 58ක් රැස් කළ අතර, ඉෂාර මධුවන්ත ලකුණු 36ක් රැස් කළේය. පසිඳු තෙන්නකෝන් ලකුණු 11කට කඩුලු 4ක් දවාලූ අතර, රන්දීර රණසිංහ සහ පුබුදු ගනේගම කඩුලු 2ක් බැගින් දවාලූහ.
ශාන්ත ආනා පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක් දියත්කරමින් තම පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට උප නායක පුබුදු ගනේගම සමත්විය. පුබුදු ගනේගම පන්දු 59කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 64ක් රැස් කළ අතර, පසිඳු තෙන්නකෝන් සමගින් 8 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 57ක සම්බන්ධතාවක් පැවැත්වීමටද සමත්විය. ජනෙත් කෞශාල් සහ දිනූප ක්‍රිෂාන් කඩුලු 3ක් බැගින් දවාලූහ.
 
කරන්දෙණිය මමවි: 163 (පන්දුවාර 39.5)
දිමුත් සඳරුවන් 58, ඉෂාර මධුවන්ත 36, ජනෙත් කෞශාල් 20, පසිඳු තෙන්නකෝන් 11/4, රන්දීර රණසිංහ 16/2, පුබුදු ගනේගම 36/2  
ශාන්ත ආනා: 164/7 (පන්දුවාර 35) 
පුබුදු ගනේගම නොදැවී 64, පසිඳු තෙන්නකෝන් නොදැවී 13, ජනෙත් කෞශාල් 33/3, දිනූප ක්‍රිෂාන් 45/3 
 
පමෝද් ලසන්ත

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.