Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලද ජයග්‍රහණය පසුගිය කාලයේදී සියලු දෙනාගේම කැපවීමේ ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල තරග 3-0කින් ශ්‍රී ලංකාවේදී පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව පසුබැසීමට ලක්වූ අතර, යළිත් ජය මාවතට පිවිසි චන්දිමාල් ප්‍රමුඛ බළඇණිය සටන්කාමී ජයක් ලබා දුන්නේය.
මෙම තරගයේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් මුල් ඉනිමේදී නොදැවී ලකුණු 155ක් රැස් කළ චන්දිමාල් සියලුම ක්‍රීඩකයන් ජයග්‍රහණය වෙනුවෙන් කළ කැපවීම ඉහළින් අගය කළේය.
‘සියලුම ක්‍රීඩකයන් දැඩි කැපවීමකින් පුහුණු වුණා. ඉන්දීය පරාජයෙන් පස්සේ අපිට ටෙස්ට් ජයක් අත්‍යවශ්‍ය වෙලයි තිබුණේ. හැමෝම හොඳ අධිෂ්ඨානයකින් හිටියේ. අවසානයේ අපේ කැපවීමේ ප්‍රතිඵලය ලැබුණා’ යැයි චන්දිමාල් පවසයි.
මෙම ජයග්‍රහණයේ ගෞරවය සියලුම ක්‍රීඩකයන්ට මෙන්ම කළමනාකාරීත්වයටද හිමිවන බව පවසන චන්දිමාල් තරගාවලිය පුරා හොඳ ක්‍රීඩා විලාශයක් පෙන්වීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කරයි.
සිව්වැනි දිනය අවසානයේදී ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් දැවී ගිය අතර, ඉන්පසු පිටියේ දස්කම් දැක්වූ දික්වැල්ල දැක්වූ දක්ෂතාවය චන්දිමාල්ගේ ඇගයීමට ලක්විය.
‘සිව්වැනි දිනයේ නොසිතූ ලෙස කඩුලු වැටුණා. අපිට ලකුණු 160ක් තිබුණොත් රංගන ඉන්න නිසා සටනක් දෙන්න පුළුවන් බව දැනගෙන හිටියා. කඩුලු වැටුණත් දික්වැල්ල විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරලා සටනක් දෙන්න ලකුණු සංඛ්‍යාවක් රැස් කරලා දුන්නා. අවසානයේ රංගන ඒ දේ කළා’ යැයි චන්දිමාල් පවසයි.
රංගන හේරත් සැබෑ වීරයකු බවත්, ඔහු තමන්ගේ ටෙස්ට් දිවිය පුරාම ශ්‍රී ලංකා පි‍ලේ සිටිනු දැකීම තම අපේක්ෂාව බවද චන්දිමාල් පවසයි.
සිය ටෙස්ට් දිවියේ කඩුලු 400 සීමාව පසු කරමින් එම දස්කම කළ ලොව පළමු වමත් දඟපන්දු යවන්නා බවට පත්වූ රංගන පාකිස්තානයට එරෙහිව ටෙස්ට් කඩුලු 100 සීමාවද පසු කළේය. 
රංගන විශිෂ්ට ක්‍රීඩකයකු බවත්, ඔහු සැමවිටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බවත් සෙසු ක්‍රීඩකයන්ට ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකි බවත් පැවැසූ චන්දිමාල් ඔහුට හැකි උපරිම කාලය ක්‍රීඩා කරනු ඇතැයි පැවැසීය.
මෙහිදී ජය පරාජය දෙකේදීම ක්‍රීඩකයන්ව දිරිමත් කරමින් රැඳී සිටි සියලුම ක්‍රීඩා ලෝලීන්ට දිනේෂ් චන්දිමාල් සිය ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සීමාසහිත ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන 11 වැනි “පී්‍රමා ශූරයන්ගේ කුසලාන” අවු. 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබිමට පසුගිය වසරේ අනුශූරතාව දිනාගත් බස්නාහිර පළාත් මධ්‍යම පිල සහ බස්නාහිර පළාත් දකුණ පිල සමත් විය.
අපරාජිත බස්නාහිර පළාත් දකුණ පිල තරග 5කට සහභාගි වී  තරග 4ක් ජයගෙන එක් තරගයක් විසඳුමකින් තොරව අවසන්ව ප්‍රසාද ලකුණු 3ක් ද සමගින් ලකුණු 21ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙස අවසන් සටනට පිවිසුණි.
පළමු වටයේ අවසන් තරගය දක්වා ‘ඒ’ කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි දකුණු පළාත් පිල අභිබවමින් බස්නාහිර දකුණ අවසන් සටනට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණි.
පළමු වටයේ අවසන් තරගයේදී දකුණු පළාත් පිලට එරෙහිව ලකුණු 67ක ජයක් වාර්තා කළ බස්නාහිර දකුණ පිටත  ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනාගත් අතර, දකුණු පළාත් පිල තෙවැනි ස්ථානයට පත්විය.
තරගාවලියේ පළමු වටය ආරම්භයේ සිටම ‘බි’ කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන බස්නාහිර පළාත් මධ්‍යම පිල තරග 5කට සහභාගිවී එම තරග 5ම ජයගෙන අපරාජිතව ප්‍රසාද ලකුණු 4ක් ද සමගින් ලකුණු 24ක් රැස් කරගෙන ‘බි’ කාණ්ඩයේ ශූරයන් ලෙස අවසන් තරගයට සුදුසුකම් ලැබිය.
පළමු වටයේ අවසන් තරගයකදී බස්නාහිර පළාත් මධ්‍යම පිල මධ්‍යම පළාත් පිලට එරෙහිව ලකුණු 25ක ජයක් වාර්තා කළේය.
බස්නාහිර පළාත් දකුණ පිල උතුරු පළාත් පිලට එරෙහිව කඩුලු 7ක ජයක් ලැබූ අතර, බස්නාහිර පළාත් උතුර සහ බස්නාහිර පළාත් උතුර පිටත පිල අතර පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් විය.
බස්නාහිර පළාත් දකුණ පිල සහ බස්නාහිර පළාත් මධ්‍යම පිල අතර අවසන් තරගය දෙදින තරගයක් ලෙසින් ලබන 6 සහ 7 දා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. මෙම තරගය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.
 
බස්නාහිර මධ්‍යම-මධ්‍යම පළාත
බස්නාහිර මධ්‍යම: 232 (පන්දුවාර 47.2) ටෂික නිර්මාල් 97, නිමාන් උමේෂ් 338, විනුක රූබසිංහ 27, ටිෂාන් හේරත් 3/39, සත්සර නවෝද් 2/29
මධ්‍යම පළාත: 207 (පන්දුවාර 48.3) චමිඳු වික්‍රමසිංහ 74, අභිෂේක් ආනන්දකුමාර් 59, ශක්ති උදාර 2/35, අමිත දාබරේ 2/39, සම්පත් නිශ්ශංක 2/50
බස්නාහිර මධ්‍යම පිලට ලකුණු 25ක ජයක්.
 
බස්නාහිර උතුර-බස්නාහිර උතුර පිටත
බස්නාහිර උතුර: 180 (පන්දුවාර 45.3) රවීන් ද සිල්වා 60, ලසිත් ච්ෙතක 25, දිනෙත් සත්සර 3/33, සිතුම් සිතුමිණ 3/38
බස්නාහිර පළාත් උතුර පිටත : 43/3 (පන්දුවාර 13)
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
බස්නාහිර දකුණ පිටත-දකුණු පළාත
බස්නාහිර දකුණ පිටත: 213 (පන්දුවාර 50) ෂෙවොන් ෆොන්සේකා 66, අමිල පෙරේරා 24, මිතිර තෙනුර 22, ලක්ෂාන් ජයසිංහ 3/40, නවිඳු පැහැසර 2/21, ලොහාන් අරෝෂණ 2/25
දකුණු පළාත: 146 (පන්දුවාර 35.4) කවිඳු නිර්මාණ නොදැවී 32, සුදීර වීරරත්න 26, චාරුක ජයතිලක 4/33, හේෂාන් උමින්ද 2/25
බස්නාහිර දකුණ පිටත පිලට ලකුණු 67ක ජයක්.
 
බස්නාහිර දකුණ-උතුරු පළාත
උතුරු පළාත: 154 (පන්දුවාර 49.2) ටී. දිනෝෂාන් 55, බෙහාන ඉනුක 3/29
බස්නාහිර දකුණ: 155/3 (පන්දුවාර 20.4) විශුද් පෙරේරා නොදැවී 52, දිනුර ප්‍රනාන්දු 40, විනුජ රන්පුල් නොදැවී 29, එස්. ෂහීර්තන් 4/20, ඉෂාන් කුමාර 3/58, මනුල ගෙත්මිණ 2/23
බස්නාහිර දකුණ පිලට කඩුලු 7ක ජයක්.
 
පමෝද් ලසන්ත

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අබුඩාබිහිදී පැවැති පළමු තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඊයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 138කට සීමා වූ අතර, ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට ලබාගත හැකිවූයේ ලකුණු 114ක් පමණි.

පළමු දින හතරේදී දෙපිලම ලකුණු 400 බැගින් රැස් කළද අවසන් දිනයේදී එම තණතීරුවේදීම කඩුලු 16ක් බිඳ වැටීම කැපී පෙනෙන සිදුවීමක් විය.

යළිත් වරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මුල් ඉනිමේ කඩුලු 5ක්ද, දෙවැනි ඉනිමේ කඩුලු 6ක්ද සහිතව කඩුලු 11ක් ලබාගත් රංගන හේරත් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
මොහොමඩ් අබ්බාස්ගේ කඩුල්ල දවා ගත් රංගන හේරත් සිය ටෙස්ට් දිවියේ 400 වැනි කඩුල්ල සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ජයද තහවුරු කරමින් තරගයේ වීරයා බවට පත්විය.

දෙවැනි ඉනිමේ දස්කමත් සමග රංගන කඩුලු 5ක් ලබාගත් 33 වැනි අවස්ථාව වාර්තා කළ අතර, තරගයකදී කඩුලු 10ක් ලබාගත් 9 වැනි අවස්ථාව ලෙසද වාර්තා ‍පොතට එක්විය.
රංගන හේරත්ට අනගි සහයක් ලබා දුන් දිල්රුවන් පෙරේරා ලකුණු 46ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, සුරංග ලක්මාල් එක් කඩුල්ලක් බිඳ දැමීය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ නායක චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ දිමුත් කරුණාරත්නගේ මුල් ඉනිමේ දස්කම් ජයග්‍රහණයට ප්‍රබල ලෙස දායක විය.
යසීර් ෂාගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම බිඳ වැටෙද්දී හුදෙකලා සටනක නිරත වෙමින් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 40ක් වාර්තා කිරීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 138ක් රැස්කර ගත හැකිවිය. මෙම ඉනිමේදී යසීර් ෂා ලකුණු 51ට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.

ලකුණු හඹා යාමේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ පාකිස්තානු ඉනිම බිඳ වැටුණු අතර, හැරිස් සොහෙල් දෙවැනි ඉනිමේදීද පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 34ක් වාර්තා කළේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය 6දා සිට 10දා දක්වා දිවා රාත්‍රී තරගයක් ලෙස ඩුබායිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහිදි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (01දා) දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 69ක් ලබා කඩුලු 6ක් අතැතිව ලකුණු 66ක් ඉදිරියෙන් පසුවිය.
ශ්‍රී ලංකාව මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 419ට පිළිතුරු වශයෙන් පාකිස්තානය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 422ක් රැස් කිරීමට සමත් වූ අතර, පාකිස්තානු දඟ පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පෙර පෙළ බිඳවැටුණි. 
මුල් ඉනිමේ ශතකලාභී චන්දිමාල් ඇතුළු පෙර පෙළ පිතිකරුවන් සිව්දෙනකු දැවී ගිය අතර, අද කඩුල්‍ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් සහ මීළඟට පිටියට පිවිසීමට සිටින නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා පිල ගොඩ ගැනීමේ වගකීම පැවැරී තිබේ.
ඊයේ සිය ටෙස්ට් දිවියේ 32 වැනි වරටත් කඩුලු 5ක් දවා ගැනීමේ අවස්ථාව සනිටුහන් කළ රංගන හේරත් සිය ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 394 දක්වා ඉහළ නංවා ගත්තේය.
පාකිස්තානය වෙනුවෙන් පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ හැරිස් සොහේල් ලකුණු 76ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව පසු කිරීමට ප්‍රබල ලෙස දායක විය.
පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වන සමී අස්ලාම් (51) සහ ෂාන් මසූඩ් (59) අර්ධ ශතක වාර්තා කරමින් මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 114ක සම්බන්ධතාවක් තැබූ අතර, සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ අසාර් අලී පන්දු 226කදී හතරේ පහර 4ක් සහිතව ලකුණු 85ක් වාර්තා කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රංගන කඩුලු 5ක්ද, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින්ද, දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක්ද බිඳ දැමූ අතර, ලක්ෂාන් සඳකැන්ට කඩුලු හිමි නොවීය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී දිමුත් (10) සහ චන්දිමාල් (7) පිටියෙන් ඉවත් කිරීමට යසීර් ෂා සමත් වූ අතර, යළිත් අසාර්ථක වූ තිරිමාන්නගේ කඩුල්ල අසාඩ් ෂෆීක්ටද, කෞෂාල් සිල්වාගේ (25) කඩුල්ල හැරිස් සොහේල්ටද හිමි විය.
අද තරගයේ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සීමාසහිත ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන 11වැනි “පී්‍රමා ශූරයන්ගේ කුසලාන” අවු. 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට ‘ඒ’ සහ ‘බි’ කාණ්ඩයන්හි පෙරමුණ ගැනීමට දකුණු පළාත සහ බස්නාහිර පළාත් මධ්‍යම පිල සමත්වී සිටියි.
දකුණු පළාත් පිල මේ වන විට තරග 4කට සහභාග වී ඉන් තරග 3ක් ජයගෙන එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කරමින් ප්‍රසාද ලකුණු 3ක් ද සමගින් ලකුණු 17ක් රැස් කරගෙන ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි.
බස්නාහිර මධ්‍යම පිල මේ වන විට තරග 4කට සහභාගි වී එම තරග 4ම ජයගෙන අපරාජිතව ප්‍රසාද ලකුණු 4ක් ද සමගින් ලකුණු 20ක් රැස් කරගෙන ‘බි’ කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි.
මෙම තරගවලදී බස්නාහිර පළාත් මධ්‍යම පිල වයඹ පළාත් පිලට එරෙහිව කඩුලු 9ක ජයක් ලැබූ අතර, බස්නාහිර දකුණ පිටත පිල උතුරු පළාත් පිලට එරෙහිව කඩුලු 9ක ජයක් ලැබිය.
බස්නාහිර පළාත් දකුණ පිල නැගෙනහිර පළාත් පිලට එරෙහිව ලකුණු 116ක ජයක් ලැබූ අතර, උතුරු මැද පළාත් පිල පෙරළිකාර ජයක් වාර්තා කරමින් බස්නාහිර පළාත් උතුර පිටත පිලට එරෙහිව කඩුලු 2ක් ජය ලැබිය.
දකුණු පළාත් පිල ඌව පළාත් පිලට එරෙහිව ලකුණු 55ක ජයක් වාර්තා කළේය.
මෙම තරගය්දී දකුණු පළාත් ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ නවෝද් පරණවිතාන ලකුණු 79ක් සහ ලකුණු 29ට කඩුලු 3ක් බිඳ හෙළීය.
 
බස්නාහිර මධ්‍යම-වයඹ පළාත
වයඹ පළාත: 52 (පන්දුවාර 32.4) සම්පත් නිශ්ශංක 5/13. කවිඳු පතිරත්න 2/4, අමිත දාබරේ 2/9
බස්නාහිර පළාත් මධ්‍යම: 53/1 (පන්දුවාර 10) තනුක දාබරේ නොදැවී 35
බස්නාහිර පළාත් මධ්‍යම පිලට කඩුලු 9ක ජයක්.
 
බස්නාහිර දකුණ පිටත-උතුරු පළාත
උතුරු පළාත: 88 (පන්දුවාර 27.1) එන්. සරගන් 29, දිනුක අනුපමාල් 3/24, චාරුක ජයතිලක 2/14, ළසිඳු ප්‍රනාන්දු 2/15
බස්නාහිර දකුණ පිටත: 90/1 (පන්දුවාර 18.1) ෂෙවොන් ෆොන්සේකා නොදැවී 47, චමත් චමුපති නොදැවී 27
බස්නාහිර දකුණ පිටත පිලට කඩුලු 9ක ජයක්.
 
බස්නාහිර දකුණ-නැගෙනහිර පළාත
බස්නාහිර දකුණ: 190/9 (පන්දුවාර 50) විශුද් පෙරේරා 58, දිනුර ප්‍රනාන්දු 30, විනුජ රන්පුල් නොදැවී 29, එස්. ෂහීර්තන් 4/20, ඉෂාන් කුමාර 3/58, මනුල ගෙත්මිණ 2/23
නැගෙනහිර පළාත: 74 (පන්දුවාර 33.2) එස්. 
ෂහීර්තන් 24, බෙහාන් ඉනුක 3/17, අශේන් ප්‍රනාන්දු 2/19, විහඟ මෙන්ඩිස් 2/19, කවිඳු හේරත් 2/5
බස්නාහිර දකුණ පිලට ලකුණු 116ක ජයක්.
 
බස්නාහිර උතුර පිටත-උතුරු මැද පළාත 
බස්නාහිර උතුර පිටත: 163 (පන්දුවාර 41.1) ෂෙනා් සංදීප 63, බ්‍රයන් ජුලියන් 32                                                             උතුරු මැද පළාත: 164/8 (පන්දුවාර 45.4) අබ්දුල් සිදුර්ජීන් 52. කවිඳු ඒකනායක නොදැවී 28, තුෂාර මධුෂාන් 4/21
උතුරු මැද පළාත් පිලට කඩුලු 2ක ජයක්.
 
දකුණු පළාත-ඌව පළාත 
දකුණු පළාත: 255 (පන්දුවාර 50) නවෝද් පරණවිතාන 79, ලොහාන් අරෝෂණ 38, උෂාන් තිසාල් 37, සකුණ විමර්ශන 5/36, රවින්ද්‍ර ෂාන් 4/52
ඌව පළාත: 200/8 (පන්දුවාර 50) තෙවින් අමරසිංහ නොදැවී 66, සකුණ නිදර්ශන 40, නවෝද් පරණවිතාන 3/29, නවිඳු පැහැසර 2/29, කසුන් මධුෂාන් 2/28
දකුණු පළාත් පිලට ලකුණු 55ක ජයක්.

වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් පැවැති වැඩමුළුවේ වාර්තාව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත පෙරේදා (27දා) පිළිගන්වනු ලැබිය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, හිටපු අතුරු කමිටු සභාපතිවරයකු වන හේමක අමරසූරිය සහ අරවින්ද ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම වාර්තාවේ සම්බන්ධ කරුණු අධ්‍යයනය කර දෙවසරක සීමාවකට දිගුකාලීන, මධ්‍යකාලීන සහ කෙටිකාලීන සැලසුම් ක්‍රියාවට නැංවීම පිණිස හිටපු අතුරු කමිටු සභාපතිවරයකු වන හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්ද පත්කර ඇත.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරුන් පත්කර තිබේ.
ඉදිරි තෙමස ඇතුළත මෙම  වැඩසටහනේ සැලසුම් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සියලු කටයුතු සඳහා පහසුකම් සපයන බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.