
- Hits: 453
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ අබුඩාබිහිදී පැවැති පළමු තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව සමත් විය.
ඊයේ ශ්රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 138කට සීමා වූ අතර, ජයග්රහණය වෙනුවෙන් ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට ලබාගත හැකිවූයේ ලකුණු 114ක් පමණි.
පළමු දින හතරේදී දෙපිලම ලකුණු 400 බැගින් රැස් කළද අවසන් දිනයේදී එම තණතීරුවේදීම කඩුලු 16ක් බිඳ වැටීම කැපී පෙනෙන සිදුවීමක් විය.
යළිත් වරක් ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මුල් ඉනිමේ කඩුලු 5ක්ද, දෙවැනි ඉනිමේ කඩුලු 6ක්ද සහිතව කඩුලු 11ක් ලබාගත් රංගන හේරත් ජයග්රහණයේ නියමුවා බවට පත්විය.
මොහොමඩ් අබ්බාස්ගේ කඩුල්ල දවා ගත් රංගන හේරත් සිය ටෙස්ට් දිවියේ 400 වැනි කඩුල්ල සනිටුහන් කරමින් ශ්රී ලංකාවේ ජයද තහවුරු කරමින් තරගයේ වීරයා බවට පත්විය.
දෙවැනි ඉනිමේ දස්කමත් සමග රංගන කඩුලු 5ක් ලබාගත් 33 වැනි අවස්ථාව වාර්තා කළ අතර, තරගයකදී කඩුලු 10ක් ලබාගත් 9 වැනි අවස්ථාව ලෙසද වාර්තා පොතට එක්විය.
රංගන හේරත්ට අනගි සහයක් ලබා දුන් දිල්රුවන් පෙරේරා ලකුණු 46ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, සුරංග ලක්මාල් එක් කඩුල්ලක් බිඳ දැමීය.
මෙම තරගයේදී ශ්රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ නායක චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ දිමුත් කරුණාරත්නගේ මුල් ඉනිමේ දස්කම් ජයග්රහණයට ප්රබල ලෙස දායක විය.
යසීර් ෂාගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්රී ලංකා දෙවැනි ඉනිම බිඳ වැටෙද්දී හුදෙකලා සටනක නිරත වෙමින් සාර්ථක ඉනිමක් ක්රීඩා කළ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 40ක් වාර්තා කිරීමෙන් ශ්රී ලංකාවට ලකුණු 138ක් රැස්කර ගත හැකිවිය. මෙම ඉනිමේදී යසීර් ෂා ලකුණු 51ට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.
ලකුණු හඹා යාමේදී ශ්රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ පාකිස්තානු ඉනිම බිඳ වැටුණු අතර, හැරිස් සොහෙල් දෙවැනි ඉනිමේදීද පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 34ක් වාර්තා කළේය.
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය 6දා සිට 10දා දක්වා දිවා රාත්රී තරගයක් ලෙස ඩුබායිහිදී පැවැත්වේ.