Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ පන්දුවට පහර දෙමින් සිටි දිල්රුවන් පෙරේරාගේ දැවීයාම සම්බන්ධයෙන් පවතින ව්‍යාකූලතාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙසේ කරුණු පැහැදිලි කර සිටී.
සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ පාර්ශ්වයන් සිදු කරනු ලබන කටකතා සහ උපකල්පනයන්හි සඳහන් වන පරිදි “ක්‍රීඩක විවේකාගාරය වෙතින් කිසිදු පණිවුඩයක්” දිල්රුවන් පෙරේරාගේ දැවීයාම සම්බන්ධයෙන් ඉදිරිපත් කර නොමැති බව වගකීමෙන් දන්වා සිටී.

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හට පැවැති ච්අඉ සමාලෝචනයන් සංඛ්‍යාව අවසන් වී ඇති බව වරදවා වටහා ගනිමින් දිල්රුවන් පෙරේරා ක්‍රීඩාගාරය වෙත හැරී යාමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවෙ අනෙක් අන්තයේ පිතිකරු වූ රංගන හේරත් විසින් විනිසුරු වූ නයිජල් ලෝන් මහතාගෙන් කරුණු විමසීමේදී ශ්‍රී ලංකාව හට සමාලෝචනයන් ඉතිරි වී ඇති බව දැන ගැනීමට ලැබි ඇත.

ඒ අනුව ඩිල්රුවන් සිය දැවීයාම පිළිබඳව සමාචෝලනයක් ඉදිරිපත් කර තිබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සෑම ක්‍රීඩකයකු සහ නිලධාරියකු විසින්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති සහ රෙගුලාසිවලට අනුගත වෙමින් කටයුතු කිරීමට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍යය රැක ගනිමින් ජාත්‍යන්තරව පිළිගත් ආචාර ධර්ම හා මූලධර්මවලට අනුව කටයුතු කිරීමට බැඳී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

මලයාසියාවේ පැවැති සිව්වැනි ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානය ලකුණු 185කින් පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ශූරතාව දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.
ඇෆ්ගනිස්ථාන් ජයග්‍රහණය වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ඉක්රාම් ෆායිසි තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, පාකිස්තානයේ කඩුලු 5ක් ලකුණු 13ක් තුළ බිඳ දැමූ මුජීබ් සද්‍රාන් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණි.

ලකුණු තත්ත්වය :
ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50දී - 248/7යි
රහමන් ගුල් 40, ඉබ්‍රාහිම් සද්‍රාන් 36, ඉක්රාම් ෆායිසි (නොදැවී) 107, මොහොමඩ් මූසා 46/3, ෂහීන් ෂහා අෆ්රිඩි 42/2
පාකිස්තානය පන්දුවාර 22.1කදී - 63යි
මොහොමඩ් තහා 19, හසන් ඛාන් 10, මුජීබ් සද්‍රාන් 13/5, කිව්. අහමඩ් 18/3

පාකිස්තානු ක්‍රිකට් පි‍ලේ පිට දඟ පන්දු යවන්නා වන මොහොමඩ් හෆීස්ට වහාම ක්‍රියාත්මක වන පරිදි පන්දු යැවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
පසුගියදා නිමා වූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගාවලිය අතර තුර හෆීස්ගේ ඉරියව්ව සැක සහිත බව විනිසුරුවෝ චෝදනා කළහ.
ඉන්පසු මොහොමඩ් හෆීස් මේ පිළිබඳ අයි.සී.සී. පරීක්ෂණයට ලක් කෙරුණු අතර, එහිදී තීරණය වී ඇත්තේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදි බවයි.
මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි හෆීස්ගේ පන්දු යැවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16දා) කල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබන අතර, ඉන්දීය පිල විරාත් කෝලි විසින් මෙහෙයවනු ලබයි.
ඉන්දියාව මේ වන විට ලොව ටෙස්ට් ශ්‍රේණියේ අංක 1 ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණියේ අංක 6 ස්ථානයේ පසුවෙයි. 
මේ අනුව සිය අංක 1 රැක ගැනීම සඳහා ශ්‍රී ලංකා අභියෝගයට සාර්ථකව මුහුණ දීමට ඉන්දියාවට සිදුවී තිබේ.
අවසන් වරට ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මුහුණ දුන් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. 
මේ අනුව ශ්‍රී ලංකාව යහපත් මානසික තත්ත්වයකින් යුතුව ටෙස්ට් තරගාවලියට සහභාගි වන නමුත් ඉන්දියාව සිය රටේදී පරාජය කිරීම ඉතා අසීරු කරුණකි.
ඉන්දියාව අවසන් වරට ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීම නිසා මෙවර තරගාවලියේදී නිදහස් මනසකින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවී තිබේ.
අද තරගයට සැකසෙන තණතීරුව වේගවත් තණතීරුවක් බවට වාර්තා පළ වුවද මෙම සටන සුපිරි දඟ පන්දු යවන්නන් වන රවිචන්ද්‍රන් ඇෂ්වින් සහ රංගන හේරත් අතර තරගයක් බව බොහෝ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇෂ්වින් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දුර්වල වන්නා සේම රංගන හමුවේ ඉන්දීය පිතිකරුවන් දුර්වල වීම මෙයට හේතුව වී තිබේ.
අද තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරු අංශයේ වැඩි වගකීම ලකුණු අතර සිටින දිමුත් කරුණාරත්න මෙන්ම නායක චන්දිමාල් සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් වෙත පැවරී තිබේ.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස දිමුත්, සධීර, ධනංජය, මැතිව්ස්, තිරිමාන්න, චන්දිමාල් සහ දික්වැල්ල ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
දඟ පන්දු යවන්නන් ලෙස රංගන සහ දිල්රුවන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, වේග පන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් සමග ලහිරු ගමගේ හෝ විශ්ව ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. 
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙ.ව. 9.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
 
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ලහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, 
නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා 
 
ඉන්දීය සංචිතය
විරාත් කෝලි (නායක), මුරලි විජේ, ලෝකේෂ් රාහුල්, ෂිකර් ධවාන්, චෙටස්වර් පුජාරා, අජින්කෙයා රහානේ, රෝහිත් ෂර්මා, විදිමන් සහා, රවිචන්ද්‍රන් ඇෂ්වින්, රවින්ද්‍ර ජඩේජා, කුල්දීප් යදාව්, මොහොමඩ් ෂමී, හාර්දික් පාන්ඩ්යා, උමේෂ් යදාව්, 
ඉෂන්ට් ෂර්මා, බුවනේෂ්වර් කුමාර්

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් වීමේ ගැටලු කිහිපයක්ද ඇති බව ඇමැතිවරයා පැවැසීය.
හතුරුසිංහ සමග කටයුතු කළ තිලාන් සමරවීර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස එකතු වී සිටින බවත්, එයත් හොඳ දෙයක් බවත් පැවැසූ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීමත් බලාපාරොත්තු වන බව පැවැසීය.
“බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහට ඇමෙරිකානු ඩොලර් 40,000ක පමණ වැටුපක් ලැබෙනවා. නමුත් ඔහු අපේ රටට සේවයක් කළ යුතු බව පවසා තිබෙන නිසා එතරම් විශාල වැටුපක් අවශ්‍ය නොවන බවද හතුරුසිංහ පැවැසුවා. ඒ නිසා ඔහුට විශේෂ ගෞරවයක් පුදකළ යුතු යැයි”ද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
අද ක්‍රිකට් ගැන කතා කරන අය රජකරපු කාලෙදි තමයි හතුරුසිංහව කණ්ඩායමෙන් එලෙව්වේ. එදා ඔහු අපේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස හොඳින් කටයුතු කරමින් සිටි බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.
 
පානුක රාජපක්ෂ

මලයාසියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශය, නේපාලය,  ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය සමත් විය.
මේ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදුණු හිටපු ආසියානු ශූර ඉන්දියාවට සහ ‘බි’ කාණ්ඩයෙන් තරග වැදුණු හිටපු අනුශූර ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය.
ඊයේ ‘බි’ කාණ්ඩය යටතේ පැවැති ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තීරණාත්මක තරගයෙන් ලකුණු 134ක ජයක් වාර්තා කරමින් ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
‘බි’ කාණ්ඩයේ ලකුණු සටහනට අනුව පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව ලකුණු 4 බැගින් ලබා සිටියද ශුද්ධ ලකුණු වේගය අනුව ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමිවිය.
මෙම තරගාවලියේදී පාකිස්තානය පරාජය කර සිටි ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබුවද ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ පරාජය ලැබිමත් සමගම ‘බි’ කාණ්ඩයේ තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ඉසිලීය.
මේ අනුව ඊයේ පැවැති තීරණාත්මක ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් අතර තරගයේදී ඉහළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සමගින් ජයගත් ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබූ බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 6ක් හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර, තරග දෙකක් පරාජයට පත් වූ හිටපු ශූර ඉන්දියාවට හිමිවූයේ ප්‍රසාද ලකුණු 2ක් පමණි.
ඉන්දියාව මෙම තරගාවලියේදී නේපාලය හමුවේද පරාජය ලැබිම කැපී පෙනුණු සිදුවීමක් විය.
මේ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලබන 16දා බංග්ලාදේශය සහ පාකිස්තානය අතරද, දෙවැනි අවසන් පූර්ව තරගය ලබන 17දා ඇෆ්ගනිස්ථානය සහ නේපාලය අතරද පැවැත්වේ.
අවසන් මහා තරගය ලබන 19 වැනි ඉරිදා පැවැත්වේ.
 
ඇෆ්ගනිස්ථානය-එමීර් රාජ්‍යය
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 20කට කර ඊයේ පැවැති ඇෆ්ගනිස්ථානය සහ එමීර් රාජ්‍යය අතර තීරණාත්මක තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය අබ්දුල් රසූල්ගේ වේගවත් ශතකය හේතුවෙන් පන්දුවාර 20දී කඩුලු 3ට ලකුණු 224ක් වාර්තා කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍යයට කඩුලු 9ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 90ක් පමණි.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අබ්දුල් රසූල් පන්දු 38කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 105ක් වාර්තා කළේය.
රසූල්ට අනගි සහයක් ලබා දුන් රහමනුල්ලා ගුරුබාස් පන්දු 39කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59ක් වාර්තා කළේය.
එමීර් රාජ්‍යය වෙනුවෙන් රාහුල් නි‍ලේෂ් ලකුණු 29ට කඩුලු 2ක් බිඳ හෙළීය.
ලකුණු හඹායාමේදී එමීර් වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු ක්‍රිෂ්ණා ලකානි පන්දු 37කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 36ක් වාර්තා කළේය.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් මුජීබ් උර් රහමන්, නවීන් උල් හක්, වෆඩාර් මොමෑන්ඩ් සහ තරික් ස්ටැනික්සායි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු තත්ත්වය :-
ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20දී - 224/3යි
රහමනුල්ලා ගුරුබාස් 59, ඉක්රාම් අලී 23, අබ්දුල් රසූල් (නොදැවී) 105, නිෂාරුල් හක් (නොදැවී) 26, රාහුල් නිලීස් 39/2
එමීර් රාජ්‍යය පන්දුවාර 20දී - 90/9යි
ක්‍රිෂ්ණා ලකානි 36, මොහොමඩ් අලී 12, මුජිබ් උර් රහමන් 18/2, නවීන් උල් හක් 17/2, වෆඩාර් මොමෑන්ඩ් 14/2, තරික් ස්ටැනික්සායි 10/2
 
ඉන්දියාව-බංග්ලාදේශය
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 32කට සීමා කර පැවැති ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 8ට ලකුණු 187ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 190ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් පන්දුවාර 28කදී කඩුලු 2ක් දැවී ලකුණු 191ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භක පිතිකරු පිනක් ගෝෂ් පන්දු 77කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 81ක් වාර්තා කළේය.
ගෝෂ්ට අනගි සහයක් දැක්වූ නයිම් ෂෙයික් ලකුණු 38ක්ද, තව්හිඩ් රිඩෝයි නොදැවී ලකුණු 48ක් වාර්තා කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් අන්ජු රාවට් ලකුණු 34ක්ද සල්මන් ඛාන් නොදැවී ලකුණු 39ක්ද වාර්තා කළහ.
බංග්ලාදේශය වෙනුවෙන් රෙබියුල් හක් ලකුණු 43ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, නයීම් හසන් සහ අෆිෆ් හොසේන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු තත්ත්වය :- 
ඉන්දියාව පන්දුවාර 32කදී - 187/8යි
හිමන්ෂු රානා 15, අන්ජු රාවට් 34, රියාන් පරාග් 19, හාර්වික් දේසායි 21, සල්මන් ඛාන් (නොදැවී) 39, ෂිවා සිංග් 17, රොබියුල් හක් 43/3, නයීම් හසන් 38/2, අෆිෆ් හොසේන් 38/2
බංග්ලාදේශය පන්දුවාර 28කදී 191/2යි
පිනක් ගෝෂ් (නොදැවී) 81, නයිම් ෂෙයික් 38, තව්හිඩ් රිඩෝයි (නොදැවී) 48, මන්දීප් සිං 36/2

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.