Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ සමත්විය.
කොළඹ සහභාගි වූ තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 8ක් සමගින් ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර, ගාල්ල සහ මහනුවර එක් තරගයක් බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා දෙවැනි සහ සිව්වැනි ස්ථානයන්හි පසුවෙයි. දඹුල්ල සහභාගි වූ තරග දෙකම පරාජයට පත්විය.
පසුගියදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කොළඹ හමුවේ මහනුවර ලකුණු 58කින් පරාජය ලැබූ අතර, සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දඹුල්ලට එරෙහිව ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 11ක ජයක් ලැබූ ගාල්ල සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේය.
මෙම තරගවලදී ෂෙහාන් ජයසූරිය (කොළඹ) සහ අශාන් ප්‍රියන්ජන් (දඹුල්ල) ශතක රැස් කිරීමට සමත් වූහ.
 
කොළඹ-මහනුවර
පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 299ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවරට පන්දුවාර 43.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 241ක් පමණි.
කොළඹ ජයග්‍රහණය වෙනුවෙන් ෂෙහාන් ජයසූරිය පන්දු 100කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 110ක් රැස් කළ අතර, චාමර සිල්වා ලකුණු 87ක් රැස් කළේය.
ෂෙහාන් ජයසූරිය සහ චාමර සිල්වා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 165ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ.
මහනුවර වෙනුවෙන් ජීවන් මෙන්ඩිස් ලකුණු 38කට කඩුලු 4ක් බිඳ හෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර වෙනුවෙන් මහේල උඩවත්ත (71) සහ නිරෝෂන් දික්වැල්ල (60) අර්ධ ශතක රැස් කළ අතර, මහේල උඩවත්ත සහ ඇන්ජෙලෝ මැතිව්ස් (27) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.
කොළඹ වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් ලකුණු 59කට කඩුලු 4ක් දවාලීය.
ලකුණු තත්ත්වය :-
කොළඹ: 299 (පන්දුවාර 49.2)
ෂෙහාන් ජයසූරිය 110, චාමර සිල්වා 87, ළහිරු තිරිමාන්න 25, තිසර පෙරේරා 18, ලසිත් අබේරත්න 16, ඩිල්ෂාන් මුණවීර 11, ධනංජය ද සිල්වා 2, දිල්රුවන් පෙරේරා 1, ලක්ෂාන් සඳකැන් 1, ලසිත් ඇඹුල්දෙණිය 1, ජීවන් මෙන්ඩිස් 38/4, ඉසුරු උදාන 35/1, ලහිරු කුමාර 53/1, සචිත් පතිරණ 48/1
මහනුවර: 241 (පන්දුවාර 43.4) මහේල උඩවත්ත 71, නිරෝෂන් දික්වැල්ල 60, ඇන්ජෙලෝ මැතිව්ස් 27, ප්‍රියමාල් පෙරේරා 23, පැතුම් නිශ්ශංක 22, ජීවන් මෙන්ඩිස් 16, ඉසුරු උදාන 6, 
රමේෂ් මෙන්ඩිස් 2, සචිත් පතිරණ 0, මධුක ලියනපතිරණගේ (නොදැවී) 0, ලහිරු කුමාර 0, ලක්ෂාන් සඳකැන් 59/4, දිල්රුවන් පෙරේරා 34/2, ෂෙහාන් ජයසූරිය 55/2, තිසර පෙරේරා 36/1, තික්ෂිලද සිල්වා 26/0, ඩිල්ෂාන් මුණවීර 6/0, ලසිත් ඇඹුල්දෙණිය 19/0
 
ගාල්ල-දඹුල්ල
පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 257ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල පන්දුවාර 46කදී කඩුලු 8ක් දැවී ලකුණු 250ක් ලබා සිටියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නවතා දැමීමට සිදුවිය.
ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ගාල්ලට පන්දුවාර 46කදී ලකුණු 240ක ඉලක්කයක් හිමි වූ අතර, ඒ වන විටත් ඔවුන් එම ඉලක්කය පසුකර තිබුණි.
ගාල්ල ජයග්‍රහණය වෙනුවෙන් නායක උපුල් තරංග පන්දු 79කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 86ක් රැස් කළේය. 
උපුල් තරංග සහ රොෂේන් 
සිල්වා (24) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ජයග්‍රාහී මාවත විවර කර දුන්හ.
දඹුල්ල වෙනුවෙන් අසිත ප්‍රනාන්දු ලකුණු 63ට කඩුලු 3ක් බිඳ හෙළීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක් දියත් කළ අශාන් ප්‍රියංජන් පන්දු 120කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 101ක් රැස් කළේය.
අශාන් ප්‍රියංජන් සහ මිලින්ද සිරිවර්ධන (45) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ.
ගාල්ල වෙනුවෙන් දසුන් ශානක ලකුණු 42ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, සුරංග ලක්මාල් සහ නිසල තාරක කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු තත්ත්වය :-
දඹුල්ල: 257/8 (පන්දුවාර 50) අශාන් ප්‍රියංජන් 101, මිලින්ද සිරිවර්ධන 45, කෝසල කුලසේකර 30, නිශාන් මධුෂ්ක 16, කුසල් මෙන්ඩිස් 15, ජෙෆ්රි වැන්ඩර්සේ (නොදැවී) 12, ලහිරු මධුෂංක 7, සංගීත් කුරේ 0, අමිල අ‍පෝන්සු (නොදැවී) 1, දසුන් ශානක 42/3, සුරංග ලක්මාල් 38/2, නිසල තාරක 47/2, මලින්ද පුෂ්පකුමාර 42/1, සම්මු අශාන් 26/0, සීක්කුගේ ප්‍රසන්න 12/0, චතුරංග ද සිල්වා 46/0
ගාල්ල: 250/8 (පන්දුවාර 46) උපුල් තරංග 86, රමිත් රඹුක්වැල්ල 29, දසුන් ශානක 26, සම්මු අශාන් 26, රොෂේන් සිල්වා 24, සීක්කුගේ ප්‍රසන්න 17, චතුරංග ද සිල්වා 16, සධීර සමරවික්‍රම 5, මලින්ද 
පුෂ්පකුමාර (නොදැවී) 7, නිසල තාරක (නොදැවී) 2, අසිත ප්‍රනාන්දු 63/3, අමිල අ‍පෝන්සු 34/2, ලහිරු මධුෂංක 37/1, කෝසල කුලසේකර 31/1, ජෙෆ්රි වැන්ඩසේ 61/1, මිලින්ද සිරිවර්ධන 2/0, සචිත්‍ර සේරසිංහ 17/0 
 
පමෝද් ලසන්ත

මෙවර පැවැත්වෙන සුපිරි 4 අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී නවක ක්‍රීඩකයන්ට ජාතික තලයේ ක්‍රීඩකයන් සමග අත්දැකීම් බෙදා ගැනීමට හොඳ අවස්ථාවක් උදා වී ඇති බව කණ්ඩායම් නායකයින් පවසයි.
සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ඊයේ (3දා) පැවැති මාධ්‍ය හමුවේදී පළාත් කණ්ඩායම් නායකයන් අදහස් දක්වමින් එසේ පැවැසීය.
මෙම අවස්ථාවට මහනුවර නායක ඇන්ජලෝ මැතිව්ස්, ගාල්ල නායක උපුල් තරංග, දඹුල්ල නායක කුසල් ජනිත් පෙරේරා සහ කොළඹ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට එහි උප නායක තිසර පෙරේරා සමගින් ක්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා සහභාගි වූහ.
එහිදී මහනුවර නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසුවේ පසුගිය 2දා ඇරඹුණු සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක් බවයි.
තව වසරකින් පසු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන බවත්, ශ්‍රී ලංකාවේ සිටින හොඳම 60 දෙනා මෙහිදී ක්‍රීඩා කරන බැවින් ලංකාවේ ක්‍රිකට් ඉදිරියට යාමට මෙවන් තරගාවලියක් අවශ්‍ය බව මැතිව්ස් පැවැසීය.
ආරම්භක තරග දෙකේදී හොඳ ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායම් දෙකම රැස් කළ බව පැවැසූ මැතිව්ස් අත්දැකීම් බහුල ජාතික තලයේ ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී ක්‍රීඩා කරන බැවින් නවක ක්‍රීඩකයන්ට ඔවුන් සමග අත්දැකීම් බෙදා ගැනීමට හොඳ අවස්ථාවක් උදාවී ඇති බව පවසයි.
ආධුනික ක්‍රීඩකයන් සමග එම අත්දැකීම බෙදා ගැනීමට ප්‍රවීණයින් සැවොම ඉතා සතුටින් පසුවන බවද මැතිව්ස් වැඩිදුරටත් පැවැසීය.
නවක ක්‍රීඩකයන් රැසක් සිව් දින තරගාවලියේදී ඉස්මතු වූවා මෙන් එක්දින තරගාවලියේදීත් ඉස්මතු වනු ඇතැයි තමා විශ්වාසය පළකරන බව ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
නවක ක්‍රීඩකයන්ට ජාතික තලයේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරමින් දස්කම් දක්වා හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනගා ගත හැකි බව පැවැසූ ගාල්ල නායක උපුල් තරංග නැවත කණ්ඩායමට පැමිණීමට බලා සිටින ක්‍රීඩකයන්ට සහ නවකයන්ට මෙය හොඳ තරගාවලියක් වන බවත්, පසුගිය වසරේ මෙන්ම මෙවර තරගාවලියත් හොඳ තරගාවලියක් වනු ඇති බවත් පැවැසීය.
මෙවන් තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පළමුවෙන්ම තම ස්තූතිය පළ කර බව පැවැසූ කොළඹ උප නායක තිසර පෙරේරා පළාත් තරගාවලියක් මේ ආකාරයෙන් පැවැත්වීමෙන් ආධුනික ක්‍රීඩකයන් සමග බොහෝ කාලයක් ගත කිරීමේ අවස්ථාව උදාවන බවද පැවැසීය.
තරගාවලිය ආරම්භ කරමින් පැවැති කොළඹ සහ දඹුල්ල අතර තරගයේදී පන්දුවාර 40ක් ක්‍රීඩා කළද කණ්ඩායම් දෙකම පන්දුවාර 50ක ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට හැකි වූ බව පැවැසූ තිසර මෙම තරගාවලිය රූපවාහිනියේ විකාශය කිරීම සෑම ආධුනික ක්‍රීඩකයකුටම මනා පිටිවහලක් බවද පැවැසීය.
කණ්ඩායමේ නායකයින් සිව්දෙනා මෙන්ම සෑම ක්‍රීඩකයකුම තමන්ගේ ක්‍රිකට් ජීවිතය ඉදිරියට ගෙන යාමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් කරගනු ඇති බව තිසර විශ්වාසය පළ කළේය.
මෙම තරගාවලියේදී නවක ක්‍රීඩකයන් හොඳින් දස්කම් දක්වන බැවින් එය ක්‍රිකට් අනාගතයට යහපතක් බව දඹුල්ල නායක කුසල් ජනිත් පෙරේරා මෙහිදී සඳහන් කළේය.
වර්ණ ඇඳුම් භාවිතා කරමින්, සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන මෙම තරගාවලිය සඳහා රුපියල් මිලියන 43ක මුදලක් ක්‍රිකට් ආයතනය වැය කරන බවත්, අවසන් මහා තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පවත්වන බවත් ක්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.
මෙවර අන්තර් පළාත් එක්දින තරගාවලිය සඳහා අවු. 19න් පහළ ක්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත් බවද මොහාන් ද සිල්වා මහතා වැඩිදුටත් පැවැසීය.

ප්‍රභාත් විදානපතිරණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (5දා) පැවැත්වේ.
මේ අනුව කොළඹ-මහනුවර තරගය ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන අතර, දඹුල්ල-ගාල්ල තරගය සී.සී.සී. පිටියේදී පැවැත්වේ.
තරගාවලිය ආරම්භ කරමින් පසුගිය 2දා පැවැති තරගවලදී දඹුල්ලට එරෙහිව කොළඹද, ගාල්ලට එරෙහිව මහනුවරද ජය වාර්තා කළේය.
කොළඹ පිල දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේද, ගාල්ල පිල උපුල් තරංගගේ නායකත්වය යටතේද, මහනුවර පිල ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේද, දඹුල්ල පිල කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය යටතේද තරග බිමට පිවිසෙයි.

හෙට තරග (මැයි 5දා)
කොළඹ සහ මහනුවර අතර - ආර්. ප්‍රේමදාස පිටියේදී
දඹුල්ල සහ ගාල්ල අතර - සී.සී.සී. පිටියේදී

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (2දා) පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට කොළඹ සහ මහනුවර සමත් විය.
කොළඹ පී. සරා ක්‍රීඩා පිටියේ පැවැති ගාල්ල සහ මහනුවර අතර තරගයෙන් මහනුවර ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 28ක ජයක් වාර්තා කළ අතර, ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති කොළඹ සහ දඹුල්ල අතර තරගයෙන් කොළඹ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 4ක ජයක් වාර්තා කළේය.
කොළඹ ජයග්‍රහණය වෙනුවෙන් ලහිරු තිරිමාන්න ශතකයක් (නොදැවී 107) රැස් කළ අතර, මහේල උඩවත්ත ශතකයක් (116) රැස් කරමින් සහ ඉසුරු උදාන කඩුලු 5ක් බිඳ හෙළමින් මහනුවර ජයග්‍රහණයට දායක වූහ.
ඊයේ පැවැති තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ගාල්ල-මහනුවර තරගය පන්දුවාර 36කට සීමාවූ අතර, කොළඹ-දඹුල්ල තරගය පන්දුවාර 40කට සීමා විය. 
 
ගාල්ල-මහනුවර
පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල පන්දුවාර 35.4කදී සියලු දෙනා දැවී ලකුණු 250ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර පන්දුවාර 30කදී කඩුලු 2ට ලකුණු 217ක් ලබා සිටියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නවතා දැමීමට සිදුවිය.
ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට මහනුවරට පන්දුවාර 30දී ලකුණු 190ක ඉලක්කයක් හිමිවූ අතර, ඒ වන විටත් ඔවුන් එම ඉලක්කය පසු කර තිබුණි.
ජයග්‍රහණය සඳහා ලකුණු 251ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහනුවර ආරම්භක පිතිකරු යුගළය වන නිරෝෂන් දික්වැල්ල සහ මහේල උඩවත්ත මුල් කඩුල්ලට ලකුණු 137ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත් වූහ.
මහේල උඩවත්ත පන්දු 96කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 116ක් රැස් කළ අතර, නිරෝෂන් දික්වැල්ල පන්දු 58කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 75ක් රැස් කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල වෙනුවෙන් රොෂේන් සිල්වා (55), සම්මු අශාන් (72) අර්ධ ශතක රැස් කළ අතර, මහනුවර වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉසුරු උදාන ලකුණු 59ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, කසුන් රාජිත කඩුලු 3ක්ද, ලහිරු කුමාර කඩුලු 2ක්ද බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :-
ගාල්ල පන්දුවාර 35.4කදී - 250යි
උපුල් තරංග 0, රමිත් රඹුක්වැල්ල 12, සධීර සමරවික්‍රම 25, ඇන්ඩි සොලමන්ස් 23, රොෂේන් සිල්වා 55, සම්මු අශාන් 72, දසුන් ශානක 12, චතුරංග ද සිල්වා 29, සීක්කුගේ ප්‍රසන්න 5, නිසල තාරක 4, සුරංග ලක්මාල් (නොදැවී) 2, ඉසුරු උදාන 59/5, කසුන් රාජිත 63/3, ලහිරු කුමාර 56/2, ජෙහාන් ඩැනියෙල් 15/0, සචිත් පතිරණ 29/0, 
රමේෂ් මෙන්ඩිස් 26/0
මහනුවර පන්දුවාර 30කදී - 217/2යි 
නිරෝෂන් දික්වැල්ල 75, මහේල උඩවත්ත 116, ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 20, සුරංග ලක්මාල් 41/0, රමිත් රඹුක්වැල්ල 28/0, නිසල තාරක 35/0, සම්මු අශාන් 33/0, දසුන් ශානක 36/1, සීක්කුගේ ප්‍රසන්න 28/0, චතුරංග ද සිල්වා 14/1
 
කොළඹ-දඹුල්ල
පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල පන්දුවාර 40දී කඩුලු 6ට ලකුණු 270ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ පන්දුවාර 39කදී කඩුලු 6ට ලකුණු 262ක් රැස් කර සිටියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නවතා දැමීමට සිදු විය.
ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කොළඹට පන්දුවාර 39දී ලකුණු 259ක ඉලක්කයක් හිමිවූ අතර, ඒ වන විටත් ඔවුන් එම ඉලක්කය පසුකර තිබුණි.
ජයග්‍රහණය සඳහා ලකුණු 271ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොළඹ ආරම්භක පිතිකරු යුගළය ලකුණු 20ක් තුළ දැවී යාමෙන් අසීරු තත්ත්වයකට පත් විය.
ඉන්පසු පිටියේ එක්වූ ලහිරු තිරිමාන්න සහ ධනංජය ද සිල්වා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ජයග්‍රාහී මාවත විවර කර දුන්හ.
ලහිරු තිරිමාන්න පන්දු 99කදී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 107ක් රැස් කළ අතර, ධනංජය ද සිල්වා පන්දු 39කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 41ක් රැස් කළේය.
දඹුල්ල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලහිරු ගමගේ සහ අසිත ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් බිඳ හෙලූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල වෙනුවෙන් නායක කුසල් ජනිත් (59), අශාන් ප්‍රියන්ජන් (50) සහ මිලින්ද සිරිවර්ධන (නොදැවී 51) අර්ධ ශතක වාර්තා කළහ.
කොළඹ වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ විශ්ව ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :-
 
දඹුල්ල පන්දුවාර 40දී - 270/6යි
කුසල් ජනිත් 59, සංගීත් කුරේ 15, ටී.එන්. සම්පත් 18, අශාන් ප්‍රියන්ජන් 50, සචිත්‍ර සේරසිංහ 40, මිලින්ද සිරිවර්ධන (නොදැවී) 51, ලහිරු මධුසංක 22, නිශාන් මධුෂ්ක ප්‍රනාන්දු (නොදැවී) 5, විශ්ව ප්‍රනාන්දු 64/2, දිල්රුවන් පෙරේරා 39/2, තිසර පෙරේරා 44/2, විකුම් සංජය 24/0, ෂෙහාන් ජයසූරිය 32/0, ලසිත් ඇඹුල්දෙණිය 44/0, ධනංජය ද සිල්වා 21/0
 
කොළඹ පන්දුවාර 39කදී - 262/6යි
දිල්රුවන් පෙරේරා 8, ෂෙහාන් ජයසූරිය 11, ලහිරු තිරිමාන්න (නොදැවී) 107, ධනංජය ද සිල්වා 41, ඇන්ජලෝ පෙරේරා 26, චාමර සිල්වා 25, තිසර පෙරේරා 32, ලසිත් අබේරත්න (නොදැවී) 6, ලහිරු ගමගේ 47/2, අසිත ප්‍රනාන්දු 47/2, ලහිරු මධුසංක 34/0, සචිත්‍ර සේරසිංහ 68/0, අමිල අ‍පෝන්සු 49/1, ටී.එන්. සම්පත් 8/0, අශාන් ප්‍රියන්ජන් 7/0

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ අවු. 15න් පහළ සහ 17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි දෙක මෙවර වෙනස්කම් රැසක් සමගින් මැයි මස 20 දා සිට ආරම්ද කිරීමට කටයුතු යොදා තිබේ.
මහේල ජයවර්ධන ඇතුළු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රිකට් කමිටුවේ නිර්දේශ අනුව මෙම වෙනස්කම් සිදුකර තිබේ.
අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට හුරු කිරීම සහ දක්ෂ පන්දු යවන්නන් බිහිකිරීමේ අරමුණින් මෙම වෙනස්කම් සිදුකර තිබේ.
මේ අනුව අවුරුදු 17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ (අයි.සී.සී.) ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නීතිරීති අනුව පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.
තරගාවලියේ පළමු වටය මැයි මස 20 දින සිට දින 40ක් තුලදී අවසන් කිරීමටත්, දෙවැනි වටය දින 20ක් තුළදී අවසන් කිරීමටත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සැලසුම්කර ඇත.
අවු. 15න් පහළ තරගාවලියේ නව වෙනස්කම් 
 
අවුන්ස 4යි 3/4 බරැති පන්දුව යොදා ගැනීම (කලින් දාවිතා කරනු ලැබුවේ අවුන්ස 5 1/2ක් බරැති පන්දුවයි)
 
තරගය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ අවම වශයෙන් පැය 6 විනාඩි 40ක් පැවැත්වීම.
 
දිනය තුළදී අවම වශයෙන් පන්දුවාර 100ක් ක්‍රීඩා කිරීම.
 
එක් පිලකට සම්පූර්ණ දිනය තුල වුවද පන්දුවට පහරදීමට හැකි වීම.
 
වේග පන්දු යවනනකු පන්දුවාර 7ක් යැවීමෙන් පසුව විනාඩි 20ක කාලයක් විවේක ගැනීම අනිවාර්යයි.
 
කණ්ඩායමක් විසින් සම්පූර්ණ කරනු ලබන පන්දුවාර 70ක් තුළදී එක් පන්දු යවන්නකුට යැවිය හැකි පන්දුවාර සංඛ්‍යාව 20කට සීමා වේ.
 
ඉනිමක පළමු පන්දුවර 8 අනිවාර්යයෙන්ම වේග පන්දු යවන්නන් විසින් යැවිය යුතුයි.
 
තරගයේ පූර්ණ ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 8ක් ද, පළමු ඉනිමේ ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 4ක් ද, විසඳුමකින් තොරව අවසන් වුවහොත් ප්‍රසාද ලකුණු 2 බැගින් ද හිමිවේ. 
 
කිසියම් හේතුවක් නිසා තරගය පැවැත්වීමට නොහැකිවුවහොත් ප්‍රසාද ලකුණු හිමි නොවන අතර, පළමු දිනයේ පැවැත්වීමට නොහැකිවූ තරගයක් නැවත වෙනත් දිනයකට කල් දැමීමක් සිදු කිරීමට අවස්ථාව නොලැබේ.
 
කණ්ඩායමක් ලකුණු 200ක් රැස් කළහොත් ප්‍රසාද ලකුණු 2ක් ද, ලකුණු 300ක් රැස් කළහොත් ප්‍රසාද ලකුණු 2.5ක් ද හිමිවන අතර, ලකුණු 300 ඉක්මවා ලකුණු රැස් කිරීමෙන් අතිරේක ප්‍රසාද ලකුණු හිමි නොවේ.
 
කණ්ඩායමක් ප්‍රතිවාදී කඩුලු 10ම දවාගතහොත් ප්‍රසාද ලකුණු 2ක් හිමිවේ.
 
කණ්ඩායමක් ලකුණු 75කට අඩු සංඛ්‍යාවකට දවාලුවහොත් අමතර ප්‍රසාද ලකුණු 0.5ක් හිමිවේ.
 
පමෝද් ලසන්ත

ක්‍රීඩා සමාජවල බහුතර කැමැත්ත මත ඉදිරි වසර දෙක සඳහා ක්‍රිකට් සභාපති ධුරය යළිත් භාර ගන්නා බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (1දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ක්‍රීඩා සමාජ 84න් 61ක් තමාගේ නම යෝජනා කර ස්ථිර කර සභාපති ධුරය භාර ගන්නා ලෙස ඉල්ලා ඇති බැවින් ඉදිරියේදී ක්‍රිකට් සංවර්ධනය ඉදිරියට ගෙන යාමට සභාපති ධුරය භාර ගන්නා බව සුමතිපාල මහතා වැඩිදුරටත් පැවැසීය.
“අපි කණ්ඩායමක් ලෙස පසුගිය වසර දෙකේදී සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ක්‍රිකට් සභාපති ධුරයට සුදුසුම පුද්ගලයා මමයි. මම එය ඔප්පු කර පෙන්වා තිබෙනවා.” යැයි සුමතිපාල මහතා පැවැසීය.
තමන් සභාපති ධුරය භාර ගන්නා විට බිලියන 5ක ණයක් තිබූ බවත්, මේ වන විට එම ණය ගෙවා බිලියන 2ක සංචිතයක් ඇතිකර ඇති බවත්, ආදර්ශමත් ලෙස සැලසුම්සහගතව ක්‍රියාත්මක වන බව ඔප්පු කර පෙන්වා ඇති බවත් සුමතිපාල මහතා පැවැසීය.
“මගේ මීළඟ ඉලක්කය 2019 ලෝක කුසලාන දිනා ගැනීමයි. යම් පිරිසක් එම සැලසුම් කඩාකප්පල් කිරීමට කටයුතු කරනවා. එහෙත් අපි ඒ සියලු දෙනාට උත්තර ලබා දෙනවා. සියලු දෙනාගේම සහයෙන් මීළඟ ඉලක්කයත් සම්පූර්ණ කර ගන්නවා යැයි” සුමතිපාල මහතා පවසයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම මත මැයි 19දා පැවැත්වීමට තිබූ නිලවරණය කල් දැමූ බවත්, ඔවුන්ගේ ඉල්ලීම පරිදි මහා සභා රැස්වීමක් පවත්වා සාමාජික ඡන්දයෙන් මැතිවරණ කමිටුව නම් කර නිලවරණය පවත්වන බවද සුමතිපාල මහතා පැවැසීය.
මේ අනුව මැයි 19දා විශේෂ මහා සභා රැස්වීමක් පවත්වන බවත්, එහිදී මැතිවරණ කමිටුව නම් කර මැයි 31දා මහා සභා රැස්වීම සහ නිලවරණය පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවද පැවැසීය.
මේ වන විට නිලවරණය සඳහා නාම යෝජනා කැඳවා අවසන්ව ඇති බැවින් අලුතින් නාමයෝජනා කැඳවීමක් අවශ්‍ය නොවන බවත්, මැතිවරණ කමිටුව පත්වීමෙන් පසු නාම යෝජනා විවෘත කර නිලවරණය පවත්වන බවත් සුමතිපාල මහතා වැඩිදුරටත් පැවැසීය.
ඉදිරි වසර දෙක තුළදී දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රිකට් සංකීර්ණ ඉදිකර නව ක්‍රීඩාංගණ ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩාව දියුණු කිරීමට නව සැලැස්මක් සකස් කර ඇති බවත්, එයට ක්‍රීඩා සමාජවල අනුමැතිය හිමිවී ඇති බවත් සුමතිපාල මහතා පැවැසීය.
 
මංගල ධර්මප්‍රේම 
ඡායාරූපය :- ෆ්‍රෑන්ක් ද සොයිසා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.