Coss Ear2
lakbima.lk
COSS Ear 1

තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (25දා) කොදෙව් දූපත් බලා පිටත්ව යයි.
ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියට පෙර මහනුවරදී සති දෙකක විශේෂ පුහුණු කඳවුරකට සහභාගි විය.
මෙවර ශ්‍රී ලංකා පිලට ආබාධවලට ලක්වී සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් පූර්ණ සුවය ලබා එක්වී සිටිති.
මේ අනුව පිතිකරණ අංශය මෙන්ම පන්දු යැවීමේ අංශයටද අත්දැකීම් පිරි මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ සේවය ලැබිම සතුටුදායක තත්ත්වයකි.
මැයි 30දා සිට ජුනි 1දා දක්වා පළමු තුන්දින පුහුණු තරගය ට්‍රිනිඩෑඩ් බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජුනි 6දා සිට 10දා දක්වා ට්‍රිනිඩෑඩ්හිදී පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් තරගය ජුනි 14 සිට 18දා දක්වා ශා. ලුසියාහිදී පැවැත්වේ.
තෙවැනි ටෙස්ට් තරගය දිවා/රාත්‍රී තරගයක් වන අතර, එය කොදෙව් දේශයේ පැවැත්වෙන පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය ලෙස වාර්තා ‍පොතට එක්වෙයි.
එම තරගය ජුනි 23දා සිට 27දා දක්වා බාබඩෝස් හි ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල මේ වන විට ලකුණු 94ක් ලබා ටෙස්ට් ශ්‍රේණියේ 6 වැනි ස්ථානයේ පසුවන අතර, කොදෙව් පිල ලකුණු 67ක් ලබා ශ්‍රේණියේ 9 වැනි ස්ථානයේ පසුවෙයි.
මෙම ටෙස්ට් තරගාවලිය ජය ගෙන එක් ස්ථානයක් ඉහළට පැමිණීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.
තරගාවලිය පිළිබඳව අදහස් දක්වන නායක දිනේෂ් චන්දිමාල් පවසන්නේ මහනුවරදී සති 2ක ලැබූ පුහුණුව තරගාවලියට ඉතා වැදගත් බවයි.
මෙහිදී කොදෙව් තණතීරුවල ආකාරයේ තණතීරුවල පුහුණුවීමේ අවස්ථාව හිමිවූ බවත් වේගපන්දු යවන්නන් ඉන් හොඳ ප්‍රයෝජනයක් ලබාගත් බවත් චන්දිමාල් පවසයි.
අත්දැකීම් පිරි පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පූර්ණ සුවය ලබා කණ්ඩායමට එක්වීම වාසියක් බවත්, තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමට සියලුම ක්‍රීඩකයන් සූදානමින් පසුවන බවත් චන්දිමාල් පවසයි.

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ළහිරු ගමගේ, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු

තරග සටහන
මැයි 30-ජුනි 1දා- තුන්දින පුහුණු තරගය - ට්‍රිනිඩෑඩ්
ජුනි 6-10දා- පළමු ටෙස්ට් තරගය - ට්‍රිනිඩෑඩ්
ජුනි 14-18දා - දෙවැනි ටෙස්ට් තරගය - ශා. ලුසියා
ජුනි 23-27දා - තෙවැනි ටෙස්ට් තරගය - බාබඩෝස්

මංගල ධර්මප්‍රේම

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සමග අවසන් මහා සටනට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය කිරීමේ කල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය අද (25දා) කල්කටාහිදී පැවැත්වේ.
අවසන් වටයේ පළමු තරගයෙන් චෙන්නායි හමුවේ පරාජය වූ සන්රයිසස්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට තවත් අවස්ථාවක් හිමිවූ අතර, රාජස්ථාන් රෝයල්ස් ලකුණු 25කින් පරාජය කළ කල්කටා නයිට්රයිඩර්ස් මෙම තරගයට සුදුසුකම් ලබා සිටියි.
මේ අනුව අද පැවැත්වෙන කල්කටා සහ හයිද්‍රාබාද් අතර තරගයේ ජයග්‍රාහකයා සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර අවසන් මහා තරගය 27දා මුම්බායිහිදී පැවැත්වේ.
කල්කටා සහ රාජස්ථාන් අතර තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් කල්කටා කඩුලු 7ට ලකුණු 169ක් ලබාගත් අතර, රාජස්ථාන් රෝයල්ස්ට පන්දුවාර 20දී ලබාගත හැකිවූයේ කඩුලු 4ට ලකුණු 144ක් පමණි.
කල්කටා වෙනුවෙන් සාර්ථක ඉනිමක නිරත වෙමින් පන්දු 25කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සහිතව නොදැවී ලකුණු 49ක් ලබා සිය පන්දුවාර 3දී ලකණු 22ක් පමණක් ලබා දුන් ඔන්ඩේ්‍ර රසල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ජයග්‍රාහී කල්කටා වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් ලකුණු 52ක් ලබාගත් අතර, ෂුබ්මන් ගිල් ලකුණු 28ක් ලබා ගත්තේය.
පරාජිත රාජස්ථාන් වෙනුවෙන් සංජු සැම්සන් ලකුණු 50ක්ද, අජින්කෙයා රහානේ ලකුණු 46ක්ද වාර්තා කළ නමුත් ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා ගැනීමට අ‍පොහොසත් වීමෙන් අවසානයේ කඩුලු 6ක් අතැතිව තිබියදී පරාජයට පත්වන්නට සිදුවිය.
ලකුණු තත්ත්ව :-
කල්කටා පන්දුවාර 20දී - 169/7යි
ක්‍රිස් ලින් 18, කාර්තික් 52, ගිල් 28, රසල් නොදැවී 49, ගෞතම් 15/2, ආචර් 33/2, ගෝපාල් 34/1, ලවුලින් 35/2
රාජස්ථාන් පන්දුවාර 20දී - 144/4යි
රහානේ 46, ත්‍රිපාති 20, සංජු සැම්සන් 50, ක්ලාසන් නොදැවී 18, චව්ලා 24/2,
ක්‍රිෂ්ණා 28/1, කුල්දීප් යදාව් 18/1

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් සටනට  සුදුසුකම් ලැබිම සඳහා පැවැති චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගයෙන් තියුණු කඩුලු 2ක ජයක් ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් සන්රයිසස් පන්දුවාර 20දී කඩුලු 7ට ලකුණු 139ක් ලබාගත් අතර, චෙන්නායි සුපර් කිංග්ස් පන්දුවාර 19.1කදී කඩුලු 8ට ලකුණු 140ක් ලබමින් ජය වාර්තා කළේය.
ලකුණු හඹායාමේදී චෙන්නායි කඩුලු 7ක් ලකුණු 92ක් තුළ බිඳ වැටුණද සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ෆැෆ් ඩුප්ලෙසිස් පන්දු 42කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සහිතව නොදැවී ලකුණු 67ක් ලබමින් චෙන්නායි ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ඔහුට අනගි සහයක් දුන් අංක 10 පිතිකරු ෂල්දූර් ථාකූර් පන්දු 5කදී නොදැවී ලකුණු 15ක් ලබා ගත්තේය.
සන්රයිසස් වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ රෂීඩ් ඛාන් ලකුණු 11ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, සන්දීප් ෂර්මා සහ සිද්ධාර්ත් කෝල් කඩුලු 2 බැගින් බිඳ හෙළීය.
මුලින්ම පන්දුවට පහර දුන් සන්රයිසස් පෙර පෙළ බිඳ දැමීමට චෙන්නායි පන්දු යවන්නන් සමත් වූ අතර, යූසුෆ් පතන් සහ කාලෝස් බ්‍රාත්වේට් සාර්ථක පිතිහරඹයක නිරත වීම නිසා ලකුණු 139ක් රැස්කරගත හැකිවිය.
බ්‍රාත්වේට් පන්දු 29කදී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සහිතව නොදැවී ලකුණු 43ක් ලබාගත් අතර, යූසුෆ් පතන් සහ කේන් විලියම්සන් ලකුණු 24 බැගින් ලබා ගත්තේය.
චෙන්නායි වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 25ට කඩුලු 2ක් බිඳ හෙලීය
 
ලකුණු තත්ත්වය :- 
 
සන්රයිස් පන්දුවාර 20දී - 139/7යි
ෂිකර් ධවාන් 0, ගෝස්වාමි 12, කේන් විලියම්සන් 24, මනිෂ් 
පාන්ඩේ 8, ෂකිබ් අල් හසන් 12, යූසුෆ් පතන් 24, කේ‍ර්ග් බ්‍රාත්වේට් (නොදැවී) 43, බුවනේෂ්වර් කුමාර් 7, චහාර් 31/1, එන්ගිඩි 20/1, ථාකූර් 50/1, බ්‍රාවෝ 25/2, ජඩේජා 13/1
 
චෙන්නායි සුපර් කිංග්ස් පන්දුවාර 19.1කදී - 140/8
ෂේන් වොට්සන් 0, ඩුප්ලෙසිස් (නොදැවී) 67, සුරේෂ් රයිනා 22, අම්බති රයිදු 0, එම්.එස්. දෝනි 9, ඩ්වේන් බ්‍රාවෝ 7, ජඩේජා 3, චහාර් 10, හර්බජාන් සිං 2, ථාකූර් (නොදැවී) 15, බුවනේෂ්වර් කුමාර් 14/1, සන්දීප් ෂර්මා 30/2, සිද්ධාර්ත් කෝල් 32/2, රෂීඩ් ඛාන් 11/2

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ අවු. 17න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මෙවර කණ්ඩායම් 162ක් කාණ්ඩ 30ක් යටතේ තරග බිමට පිවිසෙයි.
පසුගිය වසරේදී තෙවැනි කොටසේ තරගාවලියේ සම ශූරයන් වූ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ ශා. ජෝශප් විද්‍යාල ‘බි’ පිල මෙවර දෙවැනි කොටස යටතේ තරග වදියි.
මීට අමතරව පසුගිය වසරේදී තෙවැනි කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ යාපනය චුන්නාකම් ස්කන්දර්වෝදය මහා විද්‍යාලය සහ කෝට්ටේ ශා. තෝමස් විද්‍යාලය ද, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය, මොණරාගල රාජකීය විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව ‘බි’ සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයද මෙවර දෙවැනි කොටස යටතේ තරග වැදීමට උසස්වීම් ලබා ගත්තේය.
පසුගිය වසරේදී දෙවැනි කොටස යටතේ තරග වැදුණු කල්මුණේ සහිරා විද්‍යාලය මෙවර තෙවැනි කොටසට පහත හෙළා ඇත.
එළැඹෙන සතියේදී ඇරඹෙන මෙම තරගාවලියේ පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, එහිදී දස්කම් දක්වන කණ්ඩායම් දෙවැනි වටයට සුදුසුකම් ලබයි.
මෙම තරගාවලියේ දෙවැනි වටයද ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, එහිදී දස්කම් දක්වන කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි.
 
පමෝද් ලසන්ත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලතම මූල්‍ය ප්‍රගති මත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වැටුප 2018-2019 වසරේදී 34කින් ඉහළ නැංවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.
කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළැඹ ඇති ක්‍රීඩකයන් 33 ට මෙම වැටුප් වැඩි කිරීමට අමතරව ටෙස්ට්, එක්දින සහ 20-20 තරග දීමනාද වැඩි කර ඇත.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී විශාල ලෙස ලාබ ලැබුවා. මෙයට ප්‍රධාන වශයෙන් හවුල්කරුවන් වූයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයන්. ඔවුන්ගේ සේවාවට කෘතගුණ සැලකීමක් ලෙස වැටුප් වැඩි කිරීමට තීරණය කළ බව” ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.
කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් ‘ඒ’, ‘බි’, ‘සී’, ‘ඩී’ සහ ප්‍රිමියර් යනුවෙන් කොටස් පහක් යටතේ බෙදා තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ දිමුත් කරුණාරත්න ‘ඒ’ කාණ්ඩයටත්, උපුල් තරංග හා දිල්රුවන් පෙරේරා ‘බි’ කාණ්ඩයටත් ඇතුළත් වෙති.
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා ‘සී’ කාණ්ඩයටත්, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක සහ නුවන් ප්‍රදීප් ‘ඩී’ කාණ්ඩයටත් ඇතුළත් වෙති.
මේ අතර ප්‍රිමියර් අංශයට සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, ලහිරු තිරිමාන්න, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩසේ, දසුන් ශානක, කෞල්‍ය සිල්වා, ෂෙහාන් මධුෂංක, ලහිරු කුමාර, මලින්ත පුෂ්පකුමාර, අමිල අ‍පොන්සු, වනිඳු හසරංග, ඉසුරු උදාන සහ ඩිල්ෂාන් මුණවීර ඇතුළත් වෙති.

පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර ක්‍රීඩා සමාජය අතර සිදවූ බවට චෝදනා එල්ල වන තරග පාවාදීමේ සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් හෝ අනුබලයක් නොමැති බවත්, ඇතැම් මාධ්‍ය සැලසුම්සහගතව තමාගේ චරිතය ඝාතනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප ‍ලේකම් රවීන් වික්‍රමරත්න මහතා පවසයි.
තමා ක්‍රිකට් ක්‍රීඩාවට කැපවීමෙන් වැඩ කරන බවත්, මේ පසුපස සිටින කවුරුන් හෝ තමාට පහර ගහන බවත් පැවැසූ වික්‍රමරත්න මහතා තමාගේ චරිතයට කැලලක් සිදු නොකරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවීන් වික්‍රමරත්න මහතා
“මම වසර 40ක පමණ කාලයක සිට පානදුර ක්‍රීඩා සමාජය හා සම්බන්ධයි. වසර 10ක් එහි සභාපති ධුරය දැරුවා. 2015දී අයින් වුණා. මේ වන විට මම එහි නිලධාරියකු නොවේ. මෙම කණ්ඩායම් දෙක අතර සිදුවීම මාස හත අටක් පරීක්ෂණයක් පැවැත්වූවා. එයින් මාස දෙකකට පමණ පසු ක්‍රීඩා අමාත්‍යාංශයෙන් යළිත් පරීක්ෂණයක් පැවැත්වූවා. එම වාර්තාවේ මගේ නම සඳහන් කර තිබෙනවා. නමුත් මේ වනතුරු කිසිම දවසක ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මගෙන් මේ ගැන විමසීමක් කර හෝ ප්‍රශ්න කර හෝ කැඳවීමක් කර නැහැ.” යැයි වික්‍රමරත්න මහතා පැවැසීය.
ක්‍රිකට් ආයතනයේ සහකාර ‍ලේකම්වරයකු සහ විධායක කමිටු සාමාජිකයකු වන තමා පිළිබඳව ඇතැම් මාධ්‍ය මෙම තරග පාවාදීමේ සිදුවීමට සම්බන්ධ බවට දිගින් දිගටම ද්වේශසහගතව පහර එල්ල කරන බවද රවීන් වික්‍රම මහතා චෝදනා එල්ල කළේය.
“ක්‍රීඩා අමාත්‍යාංශ වාර්තාවේ මගේ නම ඇතුළත් බව දැන ගත්තේ මාධ්‍ය මගින්. ඉන් පසුව මම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් එහි පිටපතක් ලබා ගත්තා. මෙහි සඳහන් කර තිබෙනවා ක්‍රීඩකයන්ගේ යුක්ති මූලධර්ම උල්ලංඝනය වෙලා තිබෙන බැවින් ක්‍රීඩකයන් නිදහස් කර නිලධාරීන්ට දඬුවම් කරන්න කියා. ක්‍රීඩකයන් නැතිව කොහොමද තරග පාවාදෙන්නේ. එතකොට මට තිබෙන යුක්ති මූලධර්මය මොකක්ද? මෙම වාර්තාවේ සඳහන් දේ මට පැහැදිලි නෑ. ඒ නිසා මේ පිළිබඳව මම ක්‍රිකට් සභාපතිතුමාටත් මගේ නීතිඥයන් මාර්ගයෙන් ලිපියක් යොමු කරන” බව වික්‍රමරත්න මහතා පැවැසීය.
මෙහිදී රවීන් වික්‍රමරත්න මහතා ‘මට පවුලක් ඉන්නවා. 
ළමයි ඉන්නවා. මෙහෙම මඩ ගහලා මනුස්ස ජීවිතයක් නාස්ති කරන්න එපා’ යැයි මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.
“මෙම මාධ්‍යවේදීන්ට මම පෞද්ගලිකව කිව්වා. නමුත් එය දිගින් දිගටම සිදුවනවා නම්නීතිමය වශයෙන් කටයුතු කරනවා. මම මෙම තරග පාවාදීමේ සිද්ධියට සම්බන්ධ නෑ. යම්කිසි පුද්ගලයකු කිවූ පමණින් වැරදිකරුවකු වන්නේ නෑ. ඒ ගැන විමසා බැලිය යුතුයි. අරුණ ද සිල්වා, අනුර වීරසිංහ සහ මම ක්‍රිකට් ප්‍රධානීන් සමග ළඟින්ම වැඩ කරන බැවින් මේක යට ගහන්න හදන බව ඇතැම් අය ඔප්පු කරන්න හැදුවා. මම මේ ගැන විධායක කමිටුවේවත් කතා කළේ නෑ. මම දන්නවා මේ තරගයේදී වැරදි තිබෙන බව. ඒත් එය මට අදාළ නැති නිසා මම කතා කළේ නෑ” යැයි වික්‍රමරත්න මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 
“කවුරුන් හෝ මේ පිටුපස සිටිමින් තිලංග සුමතිපාල මහතාගේ පාලන කාලයට පහර දෙන්න, ක්‍රිකට් ආයතනය ලාබ ලබන විට මේක අඩපණ කරන්න මෙවැනි චෝදනා එල්ල කරනවා. මීට ඉහත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටත් තරග පාවාදීමේ චෝදනා එල්ල කළා. එම පරීක්ෂණ තවමත් පැවැත්වෙනවා. මෙහි කිසිදු තරග පාවාදීමක් නෑ. මෙම පළාත් තරගයේදී ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන පරිදි ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔවුන්ට දඬුවම් කර ඇති බව වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
“මෙම තරගය පිළිබඳව පැවැති අභ්‍යන්තර පරීක්ෂණයේදී ඉතා පැහැදිළිව සඳහන් කර තිබෙනවා කිසිම නිලධාරියකු ගැන චෝදනාවක් නොමැති බව. මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයෙනුත් ත්‍රිපුද්ගල කමිටුවක් මගින් පරීක්ෂණයක් පැවැත්වූවා. මීළඟ විධායක කමිටුවේදී මේ ගැන වාර්තා කරන බවද” රවීන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ප්‍රභාත් විදානපතිරණ

Page 1 of 63

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.