Coss Ear2
lakbima.lk
COSS Ear 1

පිතිකරුවන් ජයකෙහෙළි නැංවූ පළමු සටනේ විසඳුමක් නෑ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොංහි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පෞද්ගලික වාර්තා රැසක් බිහි කරමින් ජය පරාජයෙන් තොරව අවසන් විය. 
මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය ලකුණු 513ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 9ට ලකුණු 713ක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු 200ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශය ඊයේ (4දා) තරගය නතර කරන විට කඩුලු 5ට ලකුණු 307ක් ලබා සිටියේය.
මෙම තරගයේදී බංග්ලාදේශය වෙනුවෙන් ඉනිම දෙකේදීම ශතක රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වූ මොමිනුල් හක් බංග්ලාදේශය අසීරු තත්ත්වයෙන් ගොඩ ගැනීමට සමත් විය.
බංග්ලාදේශය දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් ලකුණු 81කට දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටි අවස්ථාවේදී පිටියේ එක්වූ මොමිනුල් හක් සහ ලිට්න් දාස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 180ක සම්බන්ධතාවක් තබමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තේය.
පළමු ඉනිමේදී ලකුණු 176ක් ලබාගත් මොමිනුල් හක් දෙවැනි ඉනිමේදී ලකුණු 105ක් වාර්තා කළ අතර, සාර්ථක පිතිහරඹයක නිරත වූ ලිට්න් දාස් ලකුණු 94ක් ලබා අවාසනාවන්ත ලෙස පළමු ටෙස්ට් ශතකය අහිමි කර ගත්තේය. 
ශ්‍රී ලංකා මුල් ඉනිමේදී විශිෂ්ට ශතක 3ක් වාර්තා වූ අතර, සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ කුසල් මෙන්ඩිස් පන්දු 327කදී හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 196ක් ලබා ගත්තේය. 
සිය සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා පන්දු 229කදී හතරේ පහර 21ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 173ක් වාර්තා කළේය.
සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ රොෂේන් සිල්වා ලකුණු 109ක් ලැබූ අතර, දිනේෂ් චන්දිමාල් (87), නිරෝෂන් දික්වැල්ල (62) අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 700 සීමාව පසු කිරීමට දායක වූහ.
මෙම තරගයේදී පන්දු යවන්නන්ට එතරම් වාසිදායක තත්ත්වයක් හිමි නොවූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් සහ රංගන හේරත්ද, බංග්ලාදේශය වෙනුවෙන් මෙහෙදි හසන් සහ ටයිජුල් ඉස්ලාම්ද වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගත්හ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය 8 දා සිට 12දා දක්වා ධකාහිදී පැවැත්වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.