Coss Ear2
lakbima.lk
COSS Ear 1

ක්‍රිකට් ආයතනය ක්‍රිකට් සංවර්ධනය හා මූල්‍ය ප්‍රගතිය කරා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් සංවර්ධනය හා මූල්‍ය ප්‍රගතිය යන ද්විත්ව ඉලක්කයන් කරා සාර්ථකව පියනගමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවක සේවිකාවන් නව වසරේ (2018) රාජකාරි කටයුතු ආරම්භ කළ අවස්ථාවට සහභාගි වෙමින් ඔවුන් ඇමැතූ සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයට තමා තේරී පත්ව වසර දෙකක් ඇතුළත මෙහි සේවක මඬුල්ල හා එක්ව දුර්වලව තිබූ මූල්‍ය තත්ත්වය ස්ථාවර තත්ත්වයකට ගෙන ආ බව පැවැසීය.
“වසර දෙකකට පෙර මේ ආයතනය අප භාර ගත්තේ රුපියල් බිලියන පහක ණය බරක් සහිතවයි. ආයතනය ණය බරින් ගලවාගෙන ලාභ ලබන සේවා ස්ථානයක් බවට පත් කරන්නේ කෙසේද යන ගැටලුවලට අප එදා මුහුණ දුන්නා. නමුත්, මා අද සතුටින් ප්‍රකාශ කරනවා ක්‍රිකට් ආයතනය දැන් ලාභ ලබන ආයතනයක් බව” තමා රාජකාරි භාර ගන්නා අවස්ථාවේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් ශ්‍රී ලංකාවට සාමාජික මුදල් වශයෙන් ගෙවීමට එකඟව සිටියත් සෙසු සාමාජික රටවල සහයෝගයෙන් එම මුදල ඩොලර් මිලියන 120 දක්වා වැඩිකර ගනිමින් ආයතනයේ ආදායම ඉහළ නැංවීමට සමත් වූ බවද ඒ මහතා කීවේය.
වත්කම් කළමනාකරණ අනුබද්ධ සමාගමක් පිහිටුවීම තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු සම්පත් හා මුදල් පරිපාලනය කිරීම සඳහා ආයතනයට සම්බන්ධ වත්කම් කළමනාකරණ අනුබද්ධ සමාගමක් පිහිටුවීමට සැලැසුම් සකස් කර ඇතැයි ද එමගින් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවනු ඇතැයිද පැවැසීය.
ක්‍රීඩාව සංවර්ධනය කිරීම තිලංග සුමතිපාල මහතා තවදුරටත් සඳහන් කර සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පසුගිය වසර දෙක තුළ පියවර ගණනාවක්ම ගෙන ඇති බවයි.
එම පියවර අතර අන්තර් පළාත් හා දිස්ත්‍රික්කවලට තම තමන්ගේ ප්‍රදේශයන්හි ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ බලය බෙදා හැර ඔවුනට සියලු පහසුකම් සැපයීම වැනි දෑ සිදුකර ඇත.
“අප මේ ආයතනය භාර ගන්න විට ආයතනය මගින් ක්‍රිකට් සමාජ 132ක් පාලනය කළා. අප එය 24 දක්වා අඩු කර පළාත් හා දිස්ත්‍රික්කවලට බලය විමධ්‍යගත කර ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔවුනට තීරණ ගැනීමේ හා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය පැවරුවා”යැයි සුමතිපාල මහතා පැවැසීය.
තවද, බිම් මට්ටමින් වයස් සීමා අවුරුදු 15න්, 17න්, 19න්, 21න් සහ 23න් පහළ කණ්ඩායම් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් කණ්ඩායම් පුහුණු හා සංවර්ධනය කිරීමට පියවර ගත් බවත්, දේශීය පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට හා තෝරාගත් පුහුණුකරුවන්ට එතෙර පුහුණුව ලබා දීමට පියවර ගත් බවද සුමතිපාල මහතා කීය.
ක්‍රීඩක කුසලතා හා සුබසාධන කටයුතු පසුගිය වසර දෙක තුළ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් හොඳින් රැකබලා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද සුමතිපාල මහතා කීය. ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට ශක්තිමත් රක්ෂණාවරණයක් ද,දක්ෂතා මත ප්‍රසාද දීමනා ක්‍රමයක් ද, පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් 70 කට කොන්ත්‍රාත් ලබා දීම, ක්‍රීඩකයන්ට සපයා ඇති පහසුම් කිහිපයක් වන බවද තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.