ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24දා) නාග්පූර්හිදී ආරම්භ වෙයි.
පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා තරගාවලියේ පෙරමුණ ගැනීමට අද තරගය දෙපිලටම වැදගත් වී තිබේ.
අද තරගය සඳහාද වේගපන්දු යවන්නන්ට වාසිදායක කොළ පැහැති තණතීරුවක් ලබාදී ඇති බව අලුත්ම වාර්තා සඳහන් කරයි.
මෙම තරගයට පෞද්ගලික හේතූන් මත ඉන්දීය පිලේ ප්‍රබල ක්‍රීඩකයන් වන ෂිකර් ධවාන් සහ බුවනේෂ්වර් කුමාර් ක්‍රීඩා නොකරති.
ධවාන් පළමු තරගයේදී දෙවැනි ඉනිමේදී ලකුණු 94ක් වාර්තා කළ අතර, තරගයේදී කඩුලු 8ක් බිඳ හෙලූ බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයා විය.
මේ අනුව අද තරගයට මුරලි විජේ සහ ඉෂන්ට් ෂර්මා ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ ද අද වෙනස්කම් 2ක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මේ අනුව පළමු තරගයේදී අසාර්ථක වූ සධීර සමරවික්‍රම වෙනුවට ධනංජය ද සිලවා ද, ලහිරු ගමගේ වෙනුවට විශ්ව ප්‍රනාන්දු ද ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වේ.
කෙසේ වුවද අද පෙරවරුවේ අවසන් වරට තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු මෙම තීරණය ගැනීමට නියමිතව තිබේ.
පළමු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර අද දිමුත්, මැතිව්ස් සහ චන්දිමාල්ගෙන් දිගු ඉනිමක් අනිවාර්ය වී තිබේ.
තරගය පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසන්නේ හොඳ තරගයක් ලබා දීමට තම පිල සූදානමින් පසුවන බවයි.
තරගය අද පෙ.ව. 9.30ට අරම්භ වෙයි.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ලහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා
ඉන්දීය ටෙස්ට් සංචිතය
විරාත් කෝලි (නායක), ලෝකේශ් රාහුල්, මුරලි විජේ, චෙටස්වර් පුජාරා, අජින්කෙයා රහානේ, රෝහිත් ෂර්මා, විදිමන් සහා, රවිචන්ද්‍රන් ඇෂ්වින්, රවින්ද්‍ර ජඩේජා, කුල්දීප් යදාව්, මොහොමඩ් ෂමී, උමේෂ් යදාව්, ඉෂන්ට් ෂර්මා, විජේ ශංකර්
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.