Coss Ear2
lakbima.lk
COSS Ear 1

සජිත්-දුමින්ද කැබිනෙට්ටුවේදී ගැටෙති

‍පොළොන්නරුවේ රැස්වීම් කිහිපයක් අවසන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙසැම්බර් තිස්එක් වැනිදා රාත්‍රියේම කතරගම බලා පිටත්ව ගියේය. ඒ අලුත් අවුරුදු උදාවත් සමග ශ්‍රීලනිපය කතරගම හැමදාමත් සංවිධානය කරන ආගමික වතාවන්ට සහභාගි වීමටය. කිරිවෙහෙරේ පැවති සර්ව රාත්‍රික පිරිත් දේශනයට එක්වූ මෛත්‍රී රාත්‍රියේ කතරගම දේවාලයේ පැවැත්වූ විශේෂ අවුරුදු පූජාවට එක්විය. එදින රාත්‍රියේ කතරගම ගත කළ ඔහු පසුදා උදෑසනම මහනුවර බලා පිටත්ව ගියේය. ඒ අස්ගිරි මල්වතු නායක හිමිවරු හමුවී අලුත් අවුරුද්දට ආශිර්වාද ගැනීමටය.
මෛත්‍රී ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණියේ අඟහරුවාදාය. කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා උදෑසන පැවැත්වීමට නියමිතව තිබුණි. අලුත් අවුරුද්දේ අමාත්‍යාංශවල වැඩ කටයුතු ආරම්භ කිරීමත්, කැබිනට් රැස්වීමට සහභාගීවීමට නියමිතව තිබිමත් නිසා ඇමැතිවරු සිටියේ තරමක කාර්යබහුල වැඩසටහනක් තුළය. එහෙත් කලින් දිනයේදී කැබිනට් ‍ලේකම් කාර්යාලයෙන් ඇමැතිවරුන්ට ඇමතුම් ලබාදෙමින් පැවැසුවේ අමාත්‍යාංශවල වැඩ කටයුතු ආරම්භ කර කැබිනට් රැස්වීම පවත්වන බවය. ඒ අනුව මැති ඇමැතිවරු තමන්ගේ අමාත්‍යාංශවල වැඩ කටයුතු ආරම්භ කර ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණීමට වෙලාව තිබුණි.
මෛත්‍රී ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණීමට පෙර ජනාධිපති ‍ලේකම්වරයා ‍ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය සමග අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කළේය. වැඩ ආරම්භ කර ටික වේලාවකින් මෛත්‍රී ‍ලේකම් කාර්යාලයට පැමිණියේය.  මෛත්‍රීට සුබ පැතීමට ‍ලේකම් කාර්යාලයේ නිලධාරීන් ආ විට ඔවුන් සියලු දෙනාටම මෛත්‍රී තෑග්ගක් දුන්නේය. ඒ අඹ පැළය බැගිනි. මේවා අරගෙන ගිහින් විකුණගන්නවා එහෙම නමෛයි. මේ පැළ ගෙවල්වල හිටවලා හොඳට සාත්තු කරන්න ඕන. මම ගෙවල්වලට ඇවිත් මේවා හරියට හදනවාද කියලා හොයලා බලනවා” අඹ පැළ බෙදා දෙමින් මෛත්‍රි කීවේ සිනාසෙමිනි. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුද මෛත්‍රීට සුබ පැතීමට ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණියහ. ඔවුන් සමගත් සුහදව කතා බස් කරමින් සිටි මෛත්‍රී කැබිනට් රැස්වීම ආරම්භ කිරීමට පිටත්ව ගියේය. 
මේ සතියේ කැබිනට් රැස්වීම උණුසුම් වූයේ ‍පොහොර ප්‍රශ්නය නිසාය. ‍පොහොර ප්‍රශ්නය පසුගිය සති දෙකේදීම කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තිබුණි. මෙවර එය සාකච්ඡා කළේ අඛණ්ඩව තුන්වැනි සතියටය.
“කන්න තුනක් වගා නොකරපු ගොවීන් ඉන්නවා. ඒ අයට නොමි‍ලේ ‍පෝර දෙන්න ඕන”අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන ආවේය. ඒ අතරම මොරගහකන්ද ජලාශයේ පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය ජලය රැස් කර තැබිම නිසා ජලය නොමැතිව ගොවිතැන් කිරීමට නොහැකිවූ ගොවීන්ට රුපියල් දස දහසක වන්දි මුදලක් ලබාදීමට අදාළ යෝජනාවද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය.
“නියඟය නිසා ගොවීන්ට විශාල හානියක් වුණා. ඒ නිසා ඔවුන්ට දැනට ලබාදෙන සලාක මල්ලට අමතර නොමි‍ලේ ‍පොහොර ලබාදෙන්න ඕන”ඇමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය.
“නොමි‍ලේ ‍පොහොර දෙන්න බෑ. දැනටමත් ‍පොහොර මිලදී ගැනීමට මුදල් ලබාදෙනවා. ඒ නිසා අලුතින් දැන් නොමි‍ලේ ‍පොහොර ලබාදීමට හැකියාවක් නෑ” මංගල සමරවීර ඇමැතිවරයා නොමි‍ලේ ‍පොහොර ලබාදීමේ යෝජනාවට සිය විරෝධය දැක්වූවේය.
මේ අතර ‍පොහොර හිඟය පිළිබඳවත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවිය
“‍පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයට පැවරීම නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ. දැන් ‍පොහොර ගෙන්වීම රජයෙන් අයින් කරලා. රජයත් ‍පොහොර දිගටම ගෙන්වූවා නම් මේ වගේ ‍පොහොර හිඟයක් ඇතිවෙන්නේ නෑ. කොහොම නමුත් දැන් මේ හිඟයට විසඳුම් විදියට පුද්ගලික අංශයෙන් ‍පොහොර මෙට්්‍රක් ටොන් හතළිස් දහසක් ගෙන්වනවා. රජයත් මෙට්්‍රක් ටොන් තිස් පන්දහසක් ගෙන්වනවා”දුමින්ද ‍පොහොර හිඟයට හේතු දැක්වූවේය.
“මේක ඡන්දයක් තියෙන වෙලාව. ‍පොහොර හිඟයක් තියාගෙන අපිට ගමට යන්න බෑ. ඒ නිසා ඉක්මනට මේකට විසඳුමක් ඕන කරනවා”සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කීවේය.
“ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට දැනටමත් මැදිහත්වෙලා ඉන්නේ. පාකිස්තානයේ අගමැතිතුමා එක්ක කතා කරලා ‍පොහොර ගෙන්වීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා”දුමින්ද කීවේය.
“මේ ගෙන්වන ‍පොහොර රුපියල් තුන්සිය පනහට දෙන්න ඕන”සජිත් යෝජනා කළේය.
“කඩිනමින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න ඕන. හැකි ඉක්මනින් ‍පොහොර ගෙන්වලා ගොවීන්ට අවශ්‍ය ‍පොහොර ලබාදෙන්න ඕන”මෛත්‍රී, සජිත් සහ දුමින්ද අතර ඇතිවූ වාග් සංග්‍රාමයට තිත තැබුවේය.
 
අලුත් අවුරුද්දට කලින් මෛත්‍රීට ආ ඇමතුම 
 
මෛත්‍රී ‍පොළොන්නරුවේ සිටින අතරවාරයේදී දයාසිරි ජයසේකර ඇමැතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය. ඒ තිස් එක්වැනිදා සවසය.
“සර් ‍පොඩි ප්‍රශ්නයක්”දයාසිරි කීවේය.
“ඒ මොකක්ද” මෛත්‍රී ඇසුවේ පරණ අවුරුද්ද අවසානයේදී ඇති ප්‍රශ්නය කුමක් දැයි සිතාගත නොහැකිවය.
“අපිරිසිදු හා නොයෙක් දේවල් ලියලා තිබෙන නෝට්ටු කොළ අදින් පස්සේ ගන්නේ  නෑ කියලා මහ බැංකුව කියලා තිබෙනවා. මේ නිසා මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. මිනිස්සුන්ට කරන්න දෙයක් නැතිව ඉන්නවා. මේ ගැන අපිට පියවරක් ගන්න වෙනවා” දයාසිරි කීවේය.
“මම මේ ගැන මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම් එක්කයි මහ බැංකු අධිපති එක්කයි කතා කරන්නම්” මෛත්‍රී සහතිකයක් දුන්නේය.
ඒ අනුව මෛත්‍රී මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාටත් මහ බැංකු අධිපතිවරයාටත් දුරකථන ඇමතුම් ගත්තේය.
“අපිරිසිදු කරන ලද නෝට්ටු භාරගැනීම අදින් අවසන් කරන තීරණය කල් දාන්න. මේක මාර්තු 31 වැනිදා වෙනකම් කල් දාන්න. දෙසැම්බර් තිහ තිස් එක දවස් දෙක වැටිලා තියෙන්නේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකක. අනෙක පළමුවෙනිදාත් නිවාඩු දවසක්. ඒ නිසා මේ තීරණය මාර්තු 31 වැනිදා දක්වා කල් දාන්න. ඒ කාලය ඇතුළත ජනතාව මීට වඩා වැඩියෙන් දැනුවත් කරන්න”මෛත්‍රී උපදෙස් දුන්නේය. 
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ උපන්දිනය යෙදී තිබුණේ ජනවාරි පළමු වැනිදාටය. එදින උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ගෙන ඔහුට සුබ පැතුවේය.ප්‍රසන්නට සුභ පැතූ මහින්ද ඇසුවේ ඒ වන විට ප්‍රසන්න විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ අලවා තිබූ ‍පෝස්ටරයක් ගැනය.
“මොක්ද මේ ප්‍රසන්න ජනතාවගේ නායකයා අගමැති කරමු කියලා ගහලා තියෙන ‍පෝස්ටර් එක”මහින්ද ඇසුවේය.
“මම තමයි ඔය ‍පෝස්ටර් එක ගැහුවේ. මේක තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ තේමාව. අපි ‍පෝස්ටර් ලක්ෂ තුනක් ගහලා තියෙනවා” ප්‍රසන්න කීවේය.
‍පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ සමුළුවක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ පසුගිය අඟහරුවාදාය. එම සමුළුව සංවිධානය කිරීමේ වගකීම පැවරී තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේට සහ රෝහිත අබේගුණවර්ධනටය.
සමුළුව ආරම්භ කළත් රෝහිතට සමුළුවට එක්වීමට නොහැකි විය. ඒ වෝකිටෝකි යන්ත්‍රයක් අතේ තබාගෙන සමුළුවේ සංවිධාන කටයුතුවලට එක්වීමට ඔහුට සිදුව තිබූ නිසාය. සමුළුව අවසන්වූ පසුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ගියේ මහින්දගේ විජේරාම මාවතේ පිහිටි නිවසටය.
“ඔයාලා ගොඩක් මහින්සිවෙලා මේ සමුළුව සංවිධානය කරලා තිබුණා. ඔයාල එක්ක ඉස්සරහට ගිහින් අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්” මහින්ද කීවේ බලා‍පොරොත්තු දල්වාගෙනය.
“අද රටම ‍පොහොට්ටුව ගැන කතා වෙනවා”පවිත්‍රා කියන විට අනෙක් අය කීවේද ජයග්‍රහණය ගැන තිබෙන බලා‍පොරොත්තුය.
“අපිට මැතිවරණ නීතිය අනුව කටයුතු කරන්න දෙන්නෙත් නෑ. පක්ෂ කාර්යාලයක් පිහිටුවන්න, පත්‍රිකා බෙදීමටවත් අපිට ඉඩක් නෑ. අපේ පක්ෂයේ අයට ලොකු අසාධාරණකම් සිදුවෙනවා” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේ තමන්ට සිදුවන අකටයුතුකම් ගැනය.
“දැන් සර්ගේ මූණට ලොකු ඉල්ලමුක් තියෙනවා. පුළුවන්නම් යූ.එන්.පී. කාරයොත් සර්ගේ මූණ දාලා ‍පෝස්ටර් ගහවි”ප්‍රසන්න කීවේය.
“ඕන කෙනෙකුට මගේ මූණ දාලා ‍පෝස්ටර් ගහන්න පුළුවන්. හැබැයි අයිතිය නිල වශයෙන් තියෙන්නේ ‍පොහොට්ටුවේ අපේක්ෂකයින්ට විතරයි කියලා මම කිව්වේ ඒකයි” මහින්ද කීවේ සිනාවක් මුහුණට නංවා ගනිමිනි.
 
බැඳුම්කර වාර්තාව ගැන ඒකාබද්ධයේ අවධානය 
 
බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකළ බදාදා සවස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සිටියේ මහින්දගේ විජේරාම නිවසේය. 
“ජනතාව බලාගෙන හිටියේ බැඳුම්කර වාර්තාවෙන් මීට වඩා වැඩි දෙයක් එළිවේවි කියලයි” එතැන සිටි මන්ත්‍රීවරයෙක් කීවේය.
“ඒක නම් ඇත්ත. බැඳුම්කර මගඩියේ ලොකු මොළකාරයෝ බේරලා තමයි වාර්තාව ලියලා තියෙන්නේ. හරි නම් අර්ජුන් මහේන්ද්‍රන්ව සිංගප්පූරුවේ ඉඳලා මෙහේ ගෙනාපු අගමැතිට වගේම එයාට මහ බැංකු අධිපතිකම දීපු ජනාධිපතිවරයාත් මේවාට වගකියන්න ඕන” ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
“කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට යැව්වා කියලා ජනාධිපතිවරයා කියනවා. කොමිසම ඉස්සරහ අගමැතිවරයාගෙන් සාක්ෂි ලබාගන්නකොට නීතිපතිවරයා දක්වපු ලිහිල අපි දැක්කානේ. ඉතින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා කියලා කිව්වට අපිට ඒවා විශ්වාස කරන්න නම් බෑ” නාමල් කීවේය.
“කොහොම හරි මෙයාලා 2020 පහු වෙනකම් මේ නඩුව ඇදගෙන යන්න බලාවි”මහින්දානන්ද කීය.
“ඔය කොමිසම් වාර්තාවේ කොනක හරි මහින්ද මහත්තයාගේ නම ගෑවිලා තිබුණා නම් බලන්න තිබුණා. එහෙම නම් දැන් නඩුත් අහලා දඬුවමුත් දීලා ඉවරයි” ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේය.
“බැඳුම්කර මගඩියට විරුද්ධව මුලින්ම හඬ නැගුවේ ඒකාබද්ධ විපක්ෂයයි. අපේ විරෝධය නිසා තමයි කොමිසමක් පත් කළේ. බැඳුම්කර ගනුදෙනුව ගැන මුලින්ම හොයපු ඩිව් ගුණසේකර මහත්තයාගේ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට එන්න තිබුණ දවසට කලින් දවසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒකෙන් අගමැතිවරයා බේරුණා. අන්තිමේදී හැමදාම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් දරපු ඩිව් ගුණසේකර මහත්තයාට මන්ත්‍රී ධුරය නැතිවුණ එක විතරයි වුණේ” මහින්දානන්ද කීවේය.
මේ අතර ‍පොහොර ප්‍රශ්න ගැනත් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවිය.
“කෘෂිකර්ම අමාත්‍යාංශයට කෝටි ගණනක කුලී ගෙව්වට ගොවීන්ට හරියට ‍පොහොර ටිකවත් දෙන්න බෑ” ජොන්ස්ටන් කීවේය.
“අද ‍පොහොර ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. 2005 දී මම ‍පොරොන්දු වුණේ වී ‍පොහොරවලට විතරක් සහනාධාර දෙන්න විතරයි. හැබැයි මම 2015 දී අයින් වෙනකොට වීවලට විතරක් නමෛයි අනෙකුත් වගාවන්ටත් ‍පොහොර සහනාධාරය දෙමින් සිටියා. මේ ආණ්ඩුව ඒවා දැන් කප්පාදු කරලා තිබෙනවා” මහින්ද පැහැදිලි කළේය.
 
ජෝන් රනිල්ට සුබ පැතූ හැටි 
 
නත්තල් නිවාඩුව නුවරඑළියේ ගත කළ අගමැති රනිල් වික්‍රමසිංහ කොළඹ පැමිණ නිල කටයුතු ආරම්භ කළේ පසුගිය අඟහරුවාදාය. අඟහරුවාදා උදෑසන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට මෙන්ම තමන්ට හිතවත් මාධ්‍යවේදීන් කණ්ඩායමකටද අරලියගහ මන්දිරයට එන්නැයි රනිල් ආරාධනා කර තිබුණේ ඔවුන් සමග එක්ව අලුත් අවුරුද්දේ වැඩ කටයුතු ආරම්භ කිරීමටය. 
අරලියගහ මන්දිරයට පැමිණි රනිල් ආගමික වතාවත් මැද වැඩ කටයුතු ආරම්භ කළේය. මැතිවරණ සමයේදී මාධ්‍ය කටයුතු කළ යුතු ආකරය ගැන සඳහන් මාධ්‍ය උපමාන නීතිගත කිරීම සඳහා රනිල් අත්සන් කළේද අලුත් අවුරුද්දේ කැවුම් කිරිබත් කන අතරවාරයේදීය. තිනියාවල පාලිත හිමියන් වෙතින් පිරිත් නූලක් ගැට ගසාගත් රනිල් ආවේ මනෝ ගනේෂන් සිටි තැනටය. එතැන රවුෆ් හකීම් ඇමැතිවරයාද විය. පසුගිය අය වැය විවාදයේදී ඡන්දය නොදුන් හකීම් හා මෙවර පළාත් පාලන මැතිවරණයේදී එ.ජා.ප.ය අතහැර කොළඹට වෙනම තරග කරන මනෝ ළඟට අගමැතිවරයා මුලින්ම යාම ගැන කාගේත් අවධානය යොමුවිය.
අගමැති කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ද පැමිණ රනිල්ට සුබ පතමින් සිටින අතරවාරයේදී ජෝන් අමරතුංග ඇමැතිවරයා එතැනට පැමිණියේය. ඔහු එන විට රනිල් වටා සිටියේ අගමැති කාර්ය මණ්ඩලයයි. අගමැති කාර්ය මණ්ඩලයේ අය අතින් ඈත් මෑත් කරමින් ආ ජෝන් දෙතුන් දෙනෙකුගේ කර උඩින් අත දමා රනිල්ට සුබ පැතුවේය.
“සර් බැඳුම්කර වාර්තාවේ මොනවද තියෙන්නේ”මැති ඇමැතිවරු මෙන්ම මාධ්‍යවේදීහු රනිල්ගෙන් විමසූහ.
“මම කොහොමද දන්නේ. ජනාධිපතිතුමාටනේ වාර්තාව භාරදුන්නේ. ඒකේ තියෙන වැදගත්කම ගැන කරුණු රටට හෙළිකරන්න එතුමා සූදානමින් ඉන්නවානේ”රනිල් කීවේ සිනාසෙමිනි.
 
රනිල් ආසන සංවිධායකවරු කැඳවති 
 
රනිල් පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු කොළඹට කැඳවීය. ඒ පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡා කිරීමටය.
“මේ ඡන්දයේදී හැම ආසන සංවිධායකයෙක්ම ගමට ගිහින් තමන්ගේ ආසනයේ මැතිවරණ වැඩ කටයුතු කරන්න. මේ බර කරට අරගෙන වැඩ කරන්න”රනිල් උපදෙස් දුන්නේය.
මේ අතර මැතිවරණ ව්‍යාපාරයේ ස්වභාවය ගැනත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය. 
“පක්ෂ සම්මේලනය තියෙනවා. ඒකටත් අපි කටයුතු කරන්න ඕන”රනිල් පක්ෂ සම්මේලනය ගැනත් අදහස් දැක්වූවේය. 
මේ අතර රනිල් බ්‍රහස්පතින්දා දිනයේදී තමන්ට හිතවත් ඇමැතිවරු පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා තිබුණේය. ඒ වන විට බැඳුම්කර කොමිසම පිළිබද මෛත්‍රී සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබූ නිසා කාගේත් අවධානය ඒ දෙසට යොමුවී තිබුණි.
“මම අරජුන පත් කිරීම නීත්‍යනුකූල බව කොමිසම පිළිගෙන තිබෙනවා. ඒත් මම පාර්ලිමේන්තුවේදී අර්ජුන හා සමරසිරි ගැන කතා කළා කියලා ඒ වාර්තාවේ තිබිලා තිබෙනවා. වගකීමක් ඇතිව වැඩ කරන්න පත් කරපු නිලධාරීන් මට කියපු දේවල් තමයි මම පාර්ලිමේන්තුවේදී කිව්වේ. අර්ජුන මහ බැංකු අධිපතිවරයා. සමරසිරි නියෝජ්‍ය අධිපති හා ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියායි. ඔවුන් නොමග යැව්වද නැද්ද කියලා මම අදටත් දන්නේ නෑ”රනිල් පැහැදිලි කළේය.
“රවිට අල්ලස් පනත යටතේ හා අපරාධ නීතිය යටතේ නඩු දැමිය යුතු බවට කොමිසමේ වාර්තාව කියන එක තමයි දැන් ප්‍රශ්නයකට තියෙන්නේ”වජිර අබේවර්ධන ඇමැතිවරයා කතාවට එක්විය.
“රවි එල්ලන්න සමහරුන්ට උවමනා වුණාට ඒකට පසුබිමක් නෑ”රනිල් කීවේ රවි කරුණානායක බේරාගැනීම ගැන ඉඟියක් සපයමිනි. 
 
අලුත් අවුරුද්දට අලුත් වැඩ 
 
එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු අලුත් අවුරුද්දට විවිධ වැඩසටහන් සංවිධානය කරගෙන තිබුණි. ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා අලුත් අවුරුද්දේ අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කර ගියේ කැබිනට් මණ්ඩල රැස්වීමටය. එහෙත් කැබිනට් රැස්වීම ආරම්භයේදී ටික වේලාවක් එහි සිට ඔහු පාර්ලිමේන්තුවට ඒමට පිටත් විය. ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ දහවල් දානයක් සූදානම් කර තිබිම නිසාය. කථානායක කරු ජයසූරියද දානයට පැමිණ සිටියේය.
මේ අතර නවීන් දිසානායක ඇමැතිවරයා අලුත් අවුරුද්දේ අලුත් කොමිටියක් පත් කිරීමට යෝජනා කර තිබුණේය.
“අපි කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා අවශ්‍ය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තීරණ ගන්නවා. ඒත් සමහර තීරණ ක්‍රියාත්මක වෙන්නේ නෑ. තීරණ ක්‍රියාත්මක කිරීමට විධිමත් ක්‍රමයක් අවශ්‍යයි”නවීන් අමාත්‍යාංශ ‍ලේකම්වරයාට අලුත් අවුරුද්දේම කීවේ කැබිනට් තීරණ ක්‍රියාත්මකවීමේ ප්‍රමාදයක් තිබූ නිසාය.
“ඉතාමත් ඉක්මනින් කැබිනට් තීරණ ක්‍රියාත්මක කරන යුනිට් එකක් හදන්න”නවීන් උපදෙස් දුන්නේය. නවීන්ගේ මේ යෝජනාවට අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ලැබුණේද යහපත් ප්‍රතිචාරයකි.
 
රාජිත නවරියන් බැලූ හැටි 
 
බදාදා සවස රාජිත සේනාරත්න ඇමැතිවරයා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේය. ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එම මාධ්‍ය හමුව අවසන්වූ වහාම රාජිතට දුරකථන ඇමතුමක් ආවේය. දුරකථනයේ එහා කෙළවරේ සිටියේ මෛත්‍රීය.
“‍පොහොර ප්‍රශ්නය ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇහුවාද”මෛත්‍රී ඇසුවේය.
“දයාසිරි ඇමැතිතුමා ඒකට හොඳට ෆේස් කළා. ඒ නිසා ප්‍රශ්නයක් වුණේ නෑ”රාජිත කීවේය.
“ඩොක්ටර් මම අට වෙනිදා මොරගහකන්දේ සහ ‍පොල්ගොල්‍ලේ උත්සව දෙකකට යනවා. ඔබතුමත් මාත් එක්ක හෙලිකොප්ටරයේ යන්න එන්න. ‍පොල්ගොල්‍ලේ තියෙන උත්සවයේදී ඩොක්ටර් කතාවක් කරන්න. අගමැතිතුමාට එන්න විදියක් නැහැ කියලා කිව්වා. ඒ නිසා අගමැතිතුමා වෙනුවෙන් ඔයා කතා කරන්න” මෛත්‍රී කී විට රාජිත ඒ ආරාධනයත් 
පිළිගත්තේය.
රාජිත අලුත් අවුරුද්ද වෙනුවෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට හා මාධ්‍යවේදීන්ට සුහද හමුවක් සංවිධානය කර තිබුණි. එහිදී මාධ්‍යවේදීහු පිරිසක් විශාල කේක් ගෙඩියක් රැගෙන ආහ. ඔවුන් කේක් ගෙඩිය ගෙනවිත් තිබුණේ රාජිතගේ මාධ්‍ය ‍ලේකම් නිපුන් ඒකනායකගේ උපන්දිනය වෙනුවෙන්ය. නිපුන් කේක් ගෙඩිය කපද්දී රාජිත ඇතුළු පිරිස “හැපි බර්ත් ඩේ ටූ යූ”යැයි  ගායනා කරන්නට විය.
“දැන් වයස කීයද” රාජිත නිපුන්ගෙන් ඇසුවේය. එහෙත් නිපුන් උත්තරයක් දුන්නේ නැත.
“වයස පිටේ ගහලා තියෙනවා”එතැන සිටි මාධ්‍යවේදියෙක් නිපුන් ඇඳ සිටි ටී ෂර්ටයේ ගසා තිබූ අනූවේ ඉලක්කම පෙන්විය. රාජිත ඒ දෙස බැලුවේ සිනා සෙමිනි.
මේ අතර මාධ්‍යවේදීන් කීප දෙනෙක් රාජිතගේ ඇසුවේ ඩොක්ටර් නවරියන් චිත්‍රපටය බැලුවේද කියාය.
“මට නම් තවම බලන්න බැරි වුණා. ඒත් දොස්තරවරු කරන විවිධ විෂමාචාර ගැන ඒකේ තියෙනවා කියලා මට ආරංචි වුණා. හොඳ සිංදුවකුත් තියෙනවාලු නේද” රාජිත ඇසුවේය.
එවිට මාධ්‍යවේදියෙක් තමන්ගේ ජංගම දුරකථනයේ තිබූ ඩොක්ටර් නවරියන් චිත්‍රපටයේ දර්ශන පෙන්වන්න විය. ඒ කොටස් බැලූ රාජිතට සිනහව නවතා ගැනීමට නොහැකි විය
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2151

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3108

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3397

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1378

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3297

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2428

Please publish modules in offcanvas position.