Coss Ear2
lakbima.lk
COSS Ear 1

අරුන්දික උදයංග පින්තූරය ආණ්ඩුව කළඹයි

katha Medaජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා උදෑසන ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී රැස්වූ විට වැඩි අවධානයක් යොමු වූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෙරෙහිය. ගුවන් යානා තුනක් මිලදී ගැනීමට අදාළ ගිවිසුම අවලංගු කිරීම ගැන දීර්ඝ සංවාදයක් ඇති විය.
“ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රැකියා 1250ක් ලබා දී තිබෙනවා. පාඩු ලැබිමට ඒක හේතුවක් වෙලා තියෙනවා”
ශ්‍රී ලංකන් ගුවන් සමාගම අයත් කබිර් හෂීම් ඇමැතිවරයා කරුණු පැහැදිලි කරන්න විය.
ශ්‍රී ලංකන් එක ඇතුළේ වෙන්නේ ඥාති සංග්‍රහයක්. ගෝඨාභය රාජපක්ෂගෙන් පත්වීම් ගනිපු අය මේ සමාගමේ තවම ඉන්නවා.
ආරක්ෂක ප්‍රධානියා ලක්ෂ හතරක පඩියක් ගන්නවා. අධ්‍යක්ෂ මණ්ඩලයත් හිටපු ආරක්ෂක ‍ලේකම් එක්ක වැඩ කරනවාද කියලා අපිට සැකයි” රාජිත දැඩි හ¾ඩින් කියන්න විය.
“රාජිත කියන කතාව හරි. හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාගේ නියෝජිතයෝ තවම ශ්‍රී ලංකන් එක ඇතුළේ ඉන්නවා” සරත් ෆොන්සේකා කීවේ ගෝඨාභය රාජපක්ෂගේ හිතවතුන්ගේ නාම ‍ලේඛනයක් ඉදිරිපත් කරමිනි.
“මම තීන්දු ගන්නවා. ඒත් ඒවා ශ්‍රී ලංකන් එකේ අය ක්‍රියාත්මක කරන්නේ නෑ” කබිර් අභ්‍යන්තර කරුණු හෙළි කළේය.
“ශ්‍රී ලංකන් එක එමිරේට්ස්ලා මිලදී ගන්න කැමැත්ත දක්වලා තියෙනවා” රනිල් එය විදේශ සමාගමකට ලබා දීමට ඇති හැකියාව පෙන්වා දුන්නේය.
“ලබන සතියේ කැබිනට් රැස්වීමෙන් පස්සේ ශ්‍රී ලංකන් එකේ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන්වනවා. එතැනදී අපි මේ ගැන කතා කරමු. කැබිනට් එකේ ඉන්න ඇමැතිවරුන්ට මේ සාකච්ඡාවට එන්න පුළුවන්” මෛත්‍රී කීවේය.
බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට අයත් පූගොඩ ඉඩම සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ගැන මේ සතියේ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාගේම අවධානය යොමුවිය.
“මේක අනවසර ඉදිකිරීමක්. ඒ මාලිගාව හදන්න කිසිම අනුමැතියක් අරගෙන නැහැ. අනවසර පදිංචිකරුවන්ට වන්දි ගෙවීමට කිසිම අවශ්‍යතාවක් නෑ” පාඨලී කීවේය.
“මේ අයට සත පහකවත් වන්දියක්වත් ගෙවන්න එපා” රාජිත පැවැසුවේය.
“මේ ඉඩම නඩු නිමිත්තක්” අනුර ප්‍රියදර්ශන යාපා කීවේය.
“ඒක නඩු නිමිත්තක් නිසා රජයට පවරා ගන්න බෑ. මේ ගැන නීතිපතිගෙන් වාර්තාවක් කැඳවන්න ඕන” සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා කීවේය.

රවි - සජිත් ගැටේ

රාජ්‍ය ඉදිකිරීම් ගැන මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිලි දෙකක් ඉදි කිරීම ගැන අවධානය යොමු වීම නිසාය.
“මේ ගොඩනැගිලි දෙක රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ඉදි කළ යුතුයි” රාජිත යෝජනා කළේය.
“එහෙම බැහැ. මේ ගොඩනැගිලි ඉදි කිරීමේදී තරගකාරී ආයතනවලටත් ඉදිරිපත් වීමට අවස්ථාව තියෙන්න ඕන” මුදල් අමාත්‍යාංශයෙන් නිරීක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබුණි.
“තරගකාරී ආයතනවලට දෙන්න බැහැ. රාජ්‍ය සංස්ථාවලට ඉදි කිරීම් දුන්නම ඒවායින් ලැබෙන ලාභයෙන් සංස්ථාවේ දියුණුවට යොදාගන්න පුළුවන්” රාජිත කීවේය
“එහෙම බැහැ. පාඩු ලබන ආයතන  තිබෙනවානම් ඒවා වසා දැමිය යුතුයි” රවි කරුණානායක ඇමැතිවරයා කීවේ සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යාංශය ඉලක්ක කරගෙනය.
“ඉංජිනේරු සංස්ථාවට ආණ්ඩුවෙන් බිලියන 1.2ක් ගෙවන්න තියෙනවා. ඒවා ගෙවනවා නම් පාඩු ලබන්නේ නෑ” සජිත් රවිගේ කතාවට විරෝධය දැක්වූවේය.

කසළ ප්‍රශ්න

මේ සතියේ කැබිනට් රැස්වීමෙන් පසුව ආපදා කළමනාකරණය ගැන කරුණු සොයා බැලීම සඳහා වන කමිටුව රැස්විය. එහිදී මෛත්‍රී කීවේ නිවාස ඉදි කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් මිලියන පන්දහසක් ලබාදෙන බවය.
“දැන්  ඩෙංගු ප්‍රශ්නයත් ඇවිත් තියෙනවා. නාගරීකරණය නිසා ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙනවා” රාජිත කීවේය.
“ඒකට කුණු ප්‍රශ්නයත් බලපානවා. කසළ කළමනාකරණය කිරීමටත් අවධානය යොමු කළ යුතුයි” සුසිල් කීවේය.
“ගෝඨා හමුදාව යොදාගෙන කසළ ඉවත් කිරීමට කටයුතු කළා. ඒ ආකාරයේ වැඩසටහනක් අපිත් ක්‍රියාත්මක කරන්න ඕන” රාජිත යෝජනා කළේය.
මේ අතර ආර්ථික කමිටුවත් මේ සතියේදී රැස්විය. එහිදී වැඩි අවධානයක් යොමු වූයේ රබර් ආනයනය කිරීම කෙරෙහිය. සමාගම් කිහිපයක් කර තිබූ ඉල්ලීම ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යාංශයේ උපදේශක පාස්කරලිංගම්ය. එහෙත් එයට නවීන් දිසානායක ඇමැතිවරයා වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.
“රබර් ආනයනය කරනවානම් සෙස් බද්දක් දාලා ඕන ආනයනය කරන්න ඕන. අනෙක රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවෙන් තමයි ඒක ගෙන්වන්න ඕන” නවීන් යෝජනා කළේය. එයට රනිල්ගේ අනුමැතියද හිමිවිය.

ජපන් ගිය ඇමැති

අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමැතිවරයා ජපානයට ගොස් තිබුණේ පසුගිය සතියේදීය. ඔහුට ජපානයේදී මහින්දගේ ඥාතියෙක් වන උදයංග වීරතුංග හමු වී තිබුණේය. ඒ බව ඔහු සිය ෆේස් බුක් ගිණුමේද සඳහන් කර තිබුණි.
උදයංගගේ ෆේස් බුක් ගිණුමේ දෙදෙනාගේම ඡායාරූපයක් පළ වූ විට ලංකාවේ දේශපාලනය උණුසුම් වන්නට විය.
“අරුන්දික ඔයාලාගේ කවුද හමුවුණේ” මහින්ද සමග ජපානයට ගිය පියල් නිශාන්ත මන්ත්‍රීවරයාට කතා කළ ආණ්ඩුවේ ඇමැතිවරු විමසූහ. මේ අතර මහින්ද අමරවීරද අරුන්දිකට කතා කර මේ ගැන විමසා තිබුණේය.
“ඔයා මොකද හමුවුණේ, මොකද වුණේ කියලා කියන්න. ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ කතාව කියන්න” අමරවීර අරුන්දිකට උපදෙස් දුන්නේය.

එස්. බි. දන්න දේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ජනපති මෛත්‍රීගේ නිල නිවසට කැඳවීමක් ලැබි තිබුණි. ආණ්ඩුව නියෝජනය කරන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට කැඳවීමක් ලැබි තිබුණේ කාලයකට පසුවය.
“කාලයකට පස්සේ තමයි අපි හමුවෙන්නේ. රටේ තියෙන දේශපාලන තත්ත්වය වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනත් අපි අද කතා කරමු. හැමෝටම නිදහසේ අදහස් දක්වන්න පුළුවන්. අපි හැමෝම විවෘතව කතා කරමු” මෛත්‍රී කීවේය.
ඒ අනුව මුලින්ම නැගී සිටියේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔහු කතා කළේ ප්‍රධාන කරුණු තුනක් ඔස්සේය.
“විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, බලය බෙදීම සහ ඒකීය භාවය යන කරුණු සම්බන්ධයෙන්නේ ප්‍රශ්න තියෙන්නේ. අපි මේ ගැන කතා කරන්න දවස් දාගන්නවා. ඒත් තවම අපිට හමුවෙලා මේ ගැන කතා කරන්න වුණේ නෑ” නිමල් සිරිපාල ද සිල්වා කීවේ ව්‍යවස්ථා සංශෝධනය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබිම ගැන කනගාටුව පළ කරමිනි.
“අද අපි මේ ගැන කතා කරමු” මෛත්‍රී යෝජනා කළේය.
“ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයා විදියට ජනාධිපතිතුමා ‍පොරොන්දු වුණේ ජනමත විචාරණයකට නොයන සංශෝධන කිරීමටයි. ජනමත විචාරණයක් නොපවත්වා ජනාධිපති ධුරය සංශෝධනය කිරීමට තමයි ‍පොරොන්දු වුණේ. එහෙම බැලුවම විධායක බලය අඩු කරලා තියෙනවා. කොහොමත් ඒකීය භාවය කියන වචනය ඉවත් කරන්න අපි කැමැති නැහැ. බලය විමධ්‍යගත කිරීමට අපි කැමැතියි” සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා කරුණු පැහැදිලිි කළේය.
“මට ඕන විදියට මේවා වෙනස් කරන්න ඕන නැහැ. මම ජනාධිපති ධුරයේ ඉන්නවාය කියලා හිතාගෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා. පුද්ගලයින් ගැන හිතන්නේ නැතිව අවශ්‍ය වෙනස්කම් ටික කරන්න” මෛත්‍රී කීවේය.
මේ අතර මැතිවරණ නොපැවැත්වීම ගැනත් මැති ඇමැතිවරුන්ගේ අවධානය යොමු කළේ ඩිලාන් පෙරේරාය.
“මැතිවරණ පවත්වන්නේ නැති එක ගැන නොයෙක් චෝදනා එල්ලවෙනවා” ඩිලාන් කීවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවීම ගැනය.
“ඒ පනතේ ප්‍රශ්න තියෙවානම් පාර්ලිමේන්තුවට දාලා ඒ ටිකත් විසඳාගන්න. අපිට ඡන්ද කල් දැමීමට අවශ්‍ය නෑ” මෛත්‍රී කීවේය.
මේ අතර පළාත් සභා මැතිවරණ සියල්ල එකට පැවැත්විය යුතු යැයි මැති ඇමැතිවරුන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් විය.
“එහෙම සේරම පළාත් සභා එක වෙලාවක තියන්න බැහැ. ෆයිසර් මුස්තෆා ඇමැතිවරයා පැහැදිළි කළේ පළාත් සභාවල කාලය අවසන් වන දින වකවානුද ඉදිරිපත් කරමිනි.
“ජනතා විමුක්ති පෙරමුණටයි, රවුෆ් හකීම්ගේ පක්ෂයටයි තමයි මේ ඡන්ද කල් දාගැනීමට අවශ්‍ය වෙන්නේ. පළාත් පාලන ඡන්දය නම් පැරණි ක්‍රමයටම තියන්න කියලත් සමහරු යෝජනා කරනවා” නිමල් සිරිපාල ද සිල්වා කීවේය.
මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමෙන් ලැබන වාසි සහ අවාසි ගැනත් මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමුවිය.
“එක්සත් ජාතික පක්ෂයට චෝදනා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය එක්ක ඉන්න නිසා අපිටත් චෝදනා එල්ලවෙනවා. මේ නිසා වෙනම බලවේගයකට මේ සියල්ලම යන්න පුළුවන්” අනුර ප්‍රියදර්ශ යාපා ඇමැතිවරයා අලුත් විග්‍රහයක් කළේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුවක් නොමැතිවීමේ වාසිය යන්නේ එක්සත් ජාතික පක්ෂයට තමයි” ඩිලාන් පෙරේර කීවේ පක්ෂයේ ඇතිවී තිබෙන බෙදීම ගැන අදහස් දක්වමිනි.
“ඡන්දයක් ආවම පක්ෂය දිනවන්න ඕන දේවල් මම කරනවා. කාටවත් හිතන්න බැරි දෙයක් ඡන්දයක් එන වෙලාවේදී වෙන්න පුළුවන්” මෛත්‍රී කීවේ තමන්ගේ අනාගත දේශපාලන සැලසුම් පිළිබඳ ඉඟියක් පළ කරමිනි.
“රනිලුයි චන්ද්‍රිකයි දෙන්නම වලව්වල අය. මහින්දගේ ගෙයත් ‍පොඩි වලව්වක් කියලා කිව්වොත් වලව්වල අය හිතන්නේ එක විදියකට. එකම තැනකට තමයි මේ අය යන්නේ. මහින්ද හිතන්නේ මේ වෙලාවේ ගෝඨා හරි බැසිල් හරි ආවොත් ඉස්සරහට නාමල්ට අවස්ථාවක් නැති වෙනවා, ඒ නිසා මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට අවස්ථාවක් දෙන්න හිතේ තියෙන්නේ.
ඩිලාන් කතා කරමින් සිටින විට එස්.බි. දිසානායක ඇමැතිවරයා සිටිනු දුටුවේය.
“එස්.බි. ඇමැතිතුමා එහෙම මේවා හොඳට දන්නවා. කෝ මුකුත් කියන්නේ නැහැනේ” ඩිලාන් එස්.බි. දෙස බලමින් කීවේය.
“මම මුකුත් කියන්නේ නැත්තේ මම කතා කළොත් මොනවා කියාවිද කියලා දන්නේ නැති නිසයි” එස්.බි. කීවේ සිනාසෙමින්ය.
මේ අතර මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයා  සාකච්ඡා කාමරයෙන් එළියට ගියේ “සර් අද රූපවාහිනී වැඩසටහනකට යන්න තියෙනවා”යැයි කියමිනි. මනූෂ නැගිට යන විට අමරවීර කීවේ සියලුම මැති ඇමැතිවරු රූපවාහිනී වාද විවාදවලට සහභාගි වියයුතු බවයි.
මෛත්‍රීට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සොයා ගැනීමට නොහැකිවූ කතාවක්ද මේ අතරවාරයේ මෛත්‍රී හෙළි කළේය. ඒ කුණු ප්‍රශ්නය මතුවූ අවස්ථාවේදීය. කුණු ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට කටයුතු කිරීමේදී ඇතැම් මැතිඇමැතිවරු දක්වන විරෝධය ගැනද මෛත්‍රී කරුණු පැහැදිළි කළේය.
“දැන් ඩෙංගු හැමතැනම. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්න තියෙනවා. සෞඛ්‍ය ඇමැතිතුමා හොයා ගන්න මම බැලුවා. අමාත්‍යාංශයේ ‍ලේකම්තුමාට කතා කළා. ඇමැතිතුමාගේ නෝනට කතා කළා. පුතාටත් කතා කළා. ඒ කවුරුවත් ඇමැතිතුමා කොහේද කියලා දන්නේ නෑ. කොයි රටේ හිටියත් මට කතා කරන්න කියලා මම පණිඩුයක් තිව්ව අන්තිමේදී” මෛත්‍රී කීවේය.
මේ අතර දයාසිරි ජයසේකර ඇමැතිවරයා ගැනද මෛත්‍රී සිය අවධානය යොමු කළේය.
“දයාසිරි දැන් සුසන්තිකත් එක්ක තිබුණ ප්‍රශ්නය ඉවරයි නේද” මෛත්‍රී ඇසුවේය.
“ඔව් සර්. ඊයේ අමාත්‍යාංශයට ඇවිත් මාස දෙකක පඩි අරගෙන ගියා” දයාසිරි කීවේය
“ඔයත් ඕවට පැටලෙන්න කලින් දන්න කෙනෙකුගෙන් අහන්න එපායැ. මේ එස්.බි. ඇමැතිතුමාගෙන් ඇහුවනම් ඔහොම ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ” මෛත්‍රී කියනවිට සියල්ලෝම සිනාසුනහ.
දේශපාලන කතාවලින් සහ ආගිය රස කතාවලින් පිරි සාකච්ඡාව අවසන් වූයේ රාත්‍රී නමයයි තිහට පමණය. මැති ඇමැතිවරු මෛත්‍රීගේ නිවසින් පිටත්ව ගියේ පරාටා සහ නාන් රොටි ආහාරයට ගැනීමෙන් පසුවය.

නාමල් කේක් කන හැටි

ජපානයේ සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවට ආවේ පසුගිය ඉරිදාය. එදින රාත්‍රියේදී මහින්දගේ විජේරාම නිල නිවසේ පිරිතක් සංවිධානය වී තිබුණේ ඔහු නිල නිවසේ පදිංචියට යාමට කටයුතු සූදානම් කරගෙන තිබූ නිසාය. ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමැතිවරු මෙන්ම රාජපක්ෂ පවු‍ලේ සාමාජිකයෝද එක්ව සිටියේ පිරිත් පමණක් නොව පසුදින යෝෂිත රාජපක්ෂගේ උපන් දිනයද තිබුණ නිසාය. පිරිත් දේශනය පැවැත්වෙන අතරවාරයේදී කේක් ගෙඩියක් ගෙනවිත් යෝෂිතගේ උපන් දිනය සමරන්න විය.
යෝෂිත  මහින්දටත්, ශිරන්තිටත් කේක් කවා නාමල්ට කේක් කෑල්ලක් කැවීමට සූදානම්විය. එහෙත් නාමල් කේක් කෑම ප්‍රතික්ෂේප කළේය
“එහෙනම් කේක් කෑල්ලක් කනවා වගේ ඉඳගෙන පින්තූරයක් ගනිමු”ඉදිරිපත්වූ යෝජනාවට නාමල් කැමැත්ත පළ කළේය.
“මෙයා ඉතින් හැමදාම කේක් කනවා වගේ ඉඳගෙන ‍පොටෝ ගැහුවට කේක් කන්නේ නෑනේ” මහින්ද නාමල්ට විහිළු කළේය.
“මම කේක් කන්නේ නැත්තේ බිත්තරදාන නිසා” නාමල් කේක් නොකෑමේ රහස හෙළිකළේය.
ඉන් පසුදා මහින්දගේ නිල නිවසේ සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. ඒකාබද්ධ ස්වාමීන් වහන්සේට දන්
පිළිගැන්වීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දිවා ආහාරය ගන්නට විය. ‍පෝලිමේ ගොස් මන්ත්‍රීවරු ආහාර බෙදාගත් අතර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට පිටුපසින් සිටියේ බැසිල් රාජපක්ෂය. ආහාර බෙදාන්නා විට පිඟානක් ඉතිරිවී තිබුණේ ප්‍රමිතට පමණය. පිටුපසින් සිටි බැසිල්ට පිඟානක් නැති බව දුටු ප්‍රමිත වහාම සිය පිඟාන බැසිල්ට පිරිනැමුවේය.
“මට නැතිවට කමක් නැහැ. පුතා බෙදාගන්න. මම පිඟානක් ගෙන්වා ගන්නම්” බැසිල් කීවේය. පසුව බැසිල් පිඟානක් ගෙන්වාගෙන ආහාර ගන්නට විය. බැසිල් තමන්ගේ පිඟානට කොස් ඇට මාලුවක්ද බෙදාගත් අතර ඒ දෙස ප්‍රමිත බැලුවේය.
“දේශපාලනය කරන එකත් කොස්ඇට මාලුවක් කනවා වගේ වැඩක්. කොස් ඇට මාලුව හරියට නොකෑවොත් වෙන්නේ හත් ‍පො‍ලේ ගාගන්න. ඒ වගේ තමයි දේශපාලනේත්. බොහොම පරිස්සමට කල්පනා කරලා කරන්න ඕන දෙයක්” බැසිල් සිය පිඟානේ තිබූ කොස් ඇට මාළුව ප්‍රමිතට පෙන්වමින් පැහැදිලි කළේය.
දානය අවසන් වන විට මහින්දගේ නිවසේ කොත්තු දමන හඬක් ඇසුණේය. කොත්තු හඬට සියල්ලෝම විමසිලිමත් වූහ. පිරිස වටවී කොත්තු හඬ කුමක් දැයි සොයන්නට වූ අතර කොස් කොත්තු ලබාදීමට සූදානම් වන බව දැනගත්තේ ඒ අනුවය.
“දැන් මහින්ද මහත්තයා ආප්ප දෙන එක නතර කරලා කොත්තු දෙන්න පටන් අරගෙනද කොහෙදැයි” මන්ත්‍රීවරු සිනාසෙමින් කීහ.
මන්ත්‍රීවරු කොත්තු කමින් සිටින අතරවාරයේදී දේශපාලන ලෝකයේ ආගිය කතාද කතා කරන්න විය. ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වූයේ කැබිනට් සංශෝධනය කෙරෙහිය.
“මොකක්ද මේ විෂයන් බෙදපු විද්‍යාත්මක ක්‍රමය? ලොතරැයි මණ්ඩල දෙකම විදේශ අමාත්‍යාංශය යටතට දාලානේ තියෙන්නේ” පවිත්‍රා කීවාය.
“දැන් ඉතිං රවිට තියෙන්නේ සුද්දන්ට ලොතරැයි විකුණන එක තමයි”ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේය
“ඇමැතිකම් බෙදන කොට දේශපාලන තීන්දු ගත්තත්
විෂයන් බෙදීමේදී දේශපාලන තීන්දු ගන්න බැහැ. හැම තිස්සේම අමාත්‍යාංශවල ගැටලු ඇති නොවන විදියට තමයි මේවා බෙදන්න ඕන” මහින්ද පෙන්වා දුන්නේය.

යෝෂිත ගී ගයයි

මහින්දගේ බාල පුත් රෝහිතගේ 27 වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දාටය. මධ්‍යම රාත්‍රියේදී කේක් කැපූ රෝහිත උපන් දිනය සැමරුවේ ඔහුගේ පෙම්වතියත් සමගය.
රෝහිත ගිටාරයක් රැගෙන විත් ගීත ගයමින් උපන්දිනය සමරන්න විය.
“යෝෂිතටත් සින්දු කියන්න පුළුවන්නේ. යෝෂිත දැන් සින්දුවක් කියන්න” මහින්ද යෝෂිතට ගී ගායනා කිරීමට ආරාධනා කළේය.
ඒ අනුව යෝෂිත ගමෙන් ලියුමක් ඇවිල්ලා යන ගීතය ගායනා කළේය.
මහින්ද ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී මහ රජාණෙනි ගීතය ගායනා කළ සහේලිගේ විවාහ මංගල උත්සවය පැවැත් වුණේ පසුගිය සතියේදීය. මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් මහින්දත් මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් ගෝඨාත් සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබුණි. සහේලි මහරජාණෙනි ගීතය මංගල උත්සවයේදී ගායනා කළේ මහින්ද උත්සව සභාවේ සිටියදීමය.

රනිල්ට කාලගුණය  හරස් වෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරය නිමකර ලංකාවට ආවේ සෙනසුරාදාය. ලංකාවට පැමිණෙන රනිල් පිළිගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු පිරිසක් පැමිණ සිටියහ.
“අගමැතිතුමා කාර් එකෙන් බහිනකොටම ඔබතුමා මුලින් ගිහින් පිළිගන්න. අගමැතිතුමා නැති කාලයේදී සභානායක විදියට ඔබතුමානේ සේරම වැඩ ටික කළේ” සාගල රත්නායක ඇමැතිවරයා කීවේ
ලක්ෂ්මන් කිරිඇල්ලටය.
“අපි හැමෝම ගිහින් පිළිගනිමු” කිරිඇල්ල කීවේය. එහෙත් අනෙක් ඇමැතිවරු කීවේ කිරිඇල්ල මූලිකත්වය ගත යුතු බවය. ඒ අනුව කිරිඇල්ල ගොස් රනිල්
පිළිගත්තේය.
“මම ගියපු රෝහල ලෝකයේ දියුණුම රෝහලක්. අති නවීන උපකරණ දැක්කම පුදුමයට පත් වෙනවා” රනිල් කීවේය.
“කෝකටත් සර් ඒ හොස්පිටල් එකේ ඇඩ්‍රස් එක අපිට දෙන්න” කිරිඇල්ල කීවේ සිනා හඬ මැදය.
මේ අතර රනිල් සිය සුපුරුදු රාජකාරී වැඩ කටයුතු ආරම්භ කරමින් ආපදාවලින් පීඩාවට පත් පුද්ගලයන් ගැන සොයා බැලීමට ගියේය. කළුතරට සහ මාතරට ගිය ඔහු ගාල්ලේ නෙළුවට යාමට සූදානමින් සිටියේ හෙලිකොප්ටරයෙන්ය. එහෙත් අයහපත් කාලගුණයට එයට බාධා වීම නිසා ඔහුට සාගලගේ සොයුරාගේ නිවසේ රැය පහන් කිරීමට සිදුවිය.

තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1100

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2206

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2709

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1106

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2803

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2089

Please publish modules in offcanvas position.