Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආණ්ඩුවේ අර්බුද ඔඩු දුවයි ඉල්ලා අස්වූ ශ්‍රීලනිප මන්ත්‍රීහු 16 විපක්ෂයට

ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගය ගෙනාවේ රනිල් එලවන්නටය. එහෙත් එහි වැඩිම බලපෑම දැන් එල්ල වී ඇත්තේ එජාපයට නොව ශ්‍රීලනිපයටය.
ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග සුළු කුණාටුවෙන් උදුරා වැටුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්ත වෘක්ෂයන් දහසයකි. විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කිරීමත් සමග පැවැති දේශපාලන තත්ත්වයන් වෙනස් වන්නට විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ඇමැතිධුරවලින් ඉවත්ව යන ලෙස දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමෙන්ය. පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම දිගින් දිගටම පවසන්න වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ඉවත්විය යුතු බවය. ඊට හේතු වූයේ ශ්‍රීලනිප ඇමැතිවරු ඇමැති ධුරවලින් ඉවත් වූ පසු පුරප්පාඩු වන ධුරවල වාඩි වීමට තනතුරු නොලැබුණු එජාප මන්ත්‍රීවරු බලා සිටි බැවිණි. ඔවුහු ඇමැතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්ද අත්සන් කළ අතර එය කථානායක කරු ජයසූරියටද භාරදුන්හ. එම විශ්වාසභංගය භාරදී තිබුණේ එක් එක් ඇමැතිවරුන්ට වෙන වෙනමය.
මේ වන විට විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු දහසය දෙනා තමන් දරමින් සිටින තනතුරුවලින් ඉවත්වීමට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අතට පත් කර තිබුණි.
“මේක මට දැන් භාරගන්න බෑ. මේ වගේ ඉල්ලා අස්වීමක් මට දුන්නා කියලා කාටවත් කියන්න එපා”මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට කියා තිබුණි. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාව භාරදීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ ගියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවීමටය. ආණ්ඩුවේ ඉදිරිය ගැන කතා කිරීමට රනිල් ගියේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු කණ්ඩායමක් සමගය. තලතා අතුකෝරළ, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, කබිර් හෂීම්, අකිල විරාජ් කාරියවසම් එසේ රනිල් සමග මෛත්‍රී හමුවීමට ගොස් තිබුණි.
“විශ්වාසභංගයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ඇමැතිධූරවලින් අයින් කරන්න ඕන” එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු යෝජනා කළහ.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් භාරදීම සම්බන්ධයෙන් මෛත්‍රී සිටියේ තරමක කෝපයෙන් යුතුවය. ඒ නිසා මෛත්‍රී මේ යෝජනාවට උත්තර දුන්නේ තරමක් තදිනි.
“මට එහෙම කරන්න බෑ” මෛත්‍රී කෙටි තද උත්තරයක් දුන්නේය.
එහෙත් එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ගේ ඉල්ලීම එයම විය.
“මට ඒ අය අයින් කරන්න බෑ. එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වෙනවා” මෛත්‍රී තර්ක කරන්න විය.
“ඇමැතිවරුන්ට විරුද්ධව ගෙනවිත් තිබෙන විශ්වාසභංගය පක්ෂයක්  විදියට තීරණය කරලා ගෙනාපු එකක් නමෛයි” රනිල් පැහැදිළි කළේය.
“මම මේ විවාදය මුල ඉදලා බලාගෙන හිටියේ. මම ගැන කියපු දේවලුත් මම දැක්කා” මෛත්‍රී කීවේ අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා දෙස බලමිනි.
“ආයුබෝවන් - මට සමාවෙන්න” අකිල මෛත්‍රීගෙන් සමුගෙන ඒමට පෙර පවසා තිබුණේ දෑත් එක්කරමය.
මෙම සාකච්ඡාව ආරම්භ කළේ ආණ්ඩුවේ ඉදිරිය ගැන අවසන් තීරණයක් ගැනීමෙන් තොරවය. මේ සාකච්ඡාව අවසන් කළ රනිල් දුරකතන ඇමතුමක් ගත්තේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාටය.
“මුජිබර්, මේ විශ්වාසභංග දහසය අයින් කරගන්න. ඒවා වෙන වෙනම භාරදීලා හරියන්නේ නෑ. මේවා එකක් විදියට භාරදෙන්න” රනිල් කීවේය.
“එහෙම නම් අපි සති අන්තයේදී හමුවුණාම මේක අත්සන් කරලා සඳුදා භාරදෙමු” කියූ මුජිබර් රහුමාන් විශ්වාසභංග යෝජනා ඉවත් කරගත්තේය.
 
 රාජිත - චතුර රනිල්ගේ සාක්කුවට 
 
එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට සති අන්තයේ කොළඹ රැඳී සිටින ලෙස රනිල් දැනුම් දී තිබුණේ සති අන්තයේදී පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමට නියමිතව තිබූ නිසාය. සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකේදී අරලියග මන්දිරයේදී පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ගැන සකාච්ඡා කිරීම ඔවුන්ගේ අරමුණ විය. අවශ්‍ය නම් රාත්‍රියේත් සාකච්ඡා කර ඉරිදා දිනයේදීත් සාකච්ඡා කිරීම මුල් සැලසුම විය. එහෙත් සෙනසුරාදා දිනයේදී සියලුම සාකච්ඡාවන් අවසන් වූයේ දොළොස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් තෝරා පත් කරගනිමිනි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් නොවන මන්ත්‍රීවරු දෙදෙනෙක්ද එහි පැමිණ සිටියහ. ඒ රාජිත සේනාරත්න ඇමැතිවරයා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාය. රාජිත පැමිණ අසුන්ගත්තේ පසුපස අසුනකය. ඔවුන් දෙදෙනා පැමිණ සිටියේ එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නටය.
“යමු ඉස්සරහට. ඉදිරිපෙළ ආසනයක් ඔබතුමාට තියලා තියෙනවා” මලික් සමරවික්‍රම ඇමැතිවරයා පැමිණ රාජිත ඉදිරියට කැඳවාගෙන ගියේය.
සෙනසුරාදා උදෑසන අරලියගහ මන්දිරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයත් රැස්වූ අතර එහිදී මුලින්ම සාකච්ඡාවට ලක්වූයේ පක්ෂ නායකත්වය පිළිබඳවය.
“නායකතුමා තවදුරටත් පක්ෂ නායකත්වයේ ඉන්න ඕන. ඒ විතරක් නමෛයි අගමැති ධුරයෙත් කටයුතු කරන්න ඕන” මංගල සමරවීර යෝජනා කළේය. වජිර අබේවර්ධන ඇමැතිවරයාත්, සරත් ෆොන්සේකා ඇමැතිවරයාත් මංගලගේ කතාවට පක්ෂව අදහස් දක්වන්න වූහ.
“පක්ෂයේ නායකත්වය වෙනස් වෙන්න ඕන. නායකත්වය වෙනස් කරන ගමන් තවදුරටත් නායකතුමාට අගමැතිධුරයේ කටයුතු කිරීමේ අවස්ථාව දෙන්න ඕන” මංගලගේ කතාවට විරුද්ධ අදහසක්ද මතුවිය.
“අපේ පක්ෂයේ අටදාහක් විතර පිරිසක් ඝාතනය වෙලා තියෙනවා. පක්ෂයේ නායකයින්ගේ, ‍ලේකම්වරුන්ගේ සිට ගමේ ඡන්ද‍පොළ නියෝජිතයා දක්වා මරලා දාලා තියෙනවා. මේ මියගිය අයට තවම සාධාරණය ඉටු කරන්න අපිට බැරිවුණා. ඒ පවුල් ගැන බලාගන්න අපිට බැරිවුණා. මේ වෙලාවේ ආණ්ඩුව ඇවිත් අපිට මේ දේවල් කරන්න බැරිවුණ නිසා අපේම මිනිස්සු අපිට බණිනවා. මේ අයට සාධාරණයක් ඉටු කරන්න නිශ්චිත වැඩපිළිවෙළක් හදලා තියෙනවා. ඒ ගැන අදහස් අරගෙන ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕන. අපි විතරක් නමෛයි උතුරේ මිනිස්සුන්ගේත් මානව හිමිකම් උල්ලංඝනය වෙලා. මේ ගැනත් විශේෂයෙන් සොයා බලන යාන්ත්‍රණයක් හදන්න ඕන” වජිර අබේවර්ධන ඇමැතිවරයා යෝජනා කළේය.
“ඒක ඇත්ත. මේවා ඉක්මනට කරන්න ඕන” ගාමිණී ජයවික්‍රම පෙරේරා කීවේය.
 
අජිත් - වජිර ගැටුමක් 
 
“පක්ෂය දුවන්න පුළුවන් මහ ‍ලේකම් කෙනෙක් පත් කරගන්න ඕන” අජිත් පෙරේරා යෝජනා කළේය.
“හැමදාම එක්සත් ජාතික පක්ෂයේ මහ ‍ලේකම් වුණේ පක්ෂ නායකයාට හිතවත් කෙනෙක්. ඉදිරියේදීත් එහෙම වෙන්න ඕන. ජේ.ආර්. ජනාධිපතිතුමාගේ කා‍ලේ තමන්ට හිතවත්ම ආනන්ද තිස්ස ද අල්විස්, හර්ෂ අබේවර්ධන වගේ අය මහ‍ලේකම් ධුරයට පත් කරගත්තා. ප්‍රේමදාස ජනාධිපතිතුමා බලයට ආවම සිරිසේන කුරේ මහ‍ලේකම් කළා. විජේතුංග ජනාධිපතිතුමා ගාමිණී විජේසේකර මහ ‍ලේකම් කළා. නායකතුමා ආවම ගාමිණී අතුකෝරළ මහ‍ලේකම් කළා. පස්සේ තිස්ස අත්තනායක මහ ‍ලේකම්කමට පත් කළත් පස්සේ විශ්වාසය කඩකළා. අපි මේ ප්‍රතිසංවිධානය කරන්න ඕන බොහෝම ප්‍රවේශමෙන්. තියෙන ටික නැතිකරගන්නේ නැතිව තමයි අපි මේවා කරන්න ඕන” වජිර කීවේය.
“අජිත්ට පළාත් පාලන ක්‍රමය හදන්න නිදහස දුන්නා. අන්තිමේදී එකෙන් මහා විනාශයක් වුණා. මේ ක්‍රමය හරියන්නේ නෑ කියලා මම කබිර් හෂීම්ට කිව්වා. මේක ජාතික අපරාධයක් වගේම පක්ෂයටත් විශාල හානියක් කියලා මම කිව්වා. ඒත් අජිත්ලා මේවා හිතන්නේ නැතිව වැඩ කළා. නොදන්න දේවල් කරන්න ගියාම ඔහොම වෙනවා” වජිර කී කතාවෙන් අජිත් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයාට තරමක් කේන්ති ගියේය.
“මම කළේ අගමැතිතුමා කියපු දේ. මේ විනාශයට මම වගකියන්න ඕන නෑ” අජිත් පෙරේරා ඇඟ බේරාගැනීමට උත්සාහ ගත්තේය.
“වැඩේ හරිගියා නම් කරපු අය ඉන්නවා. වැඩේ වැරදුනාම නායකතුමා තමයි ඒකට වගකියන්න ඕන” එතැන සිටි මන්ත්‍රීවරු කියන විට අජිත්ගේ මුහුණ රතු විය
“අජිත් මේක වැරදියට තේරුම් ගන්න එපා. වාදයක් අවශ්‍ය නෑ. මම කිව්වේ දෙයක් කරනකොට ඒ ගැන හොයලා බලලා වැඩ කරන්න කියලා විතරයි. මට කියන්න ඕන දේ මම කිව්වා” වජිර කීවේය.
 
 සජිත් ගොළුවෙයි 
 
මේ අතර පක්ෂයේ ඇතිකළ යුතු වෙනස්කම් ගැනත් විවිධ අදහස් මතුවන්න විය. පක්ෂ අභ්‍යන්තරයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන අදහස් දක්වන්ට වූ අතර පක්ෂ සභාපතිත්වයට තලතා අතුකෝරළ ඇමැතිවරියගේ නම යෝජනා වීම ගැනත් මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වී තිබුණි.
දිවා ආහාරයෙන් පසුවත් නැවත මන්ත්‍රීවරු සාකච්ඡාව ආරම්භ කළ අතර නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කියන දේවල් සියල්ල අසා සිටියා මිස කිසිවක් කියන්න ගියේ නැත. 
“එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායකයින් කීප දෙනෙක් හා උප නායකයින් කීප දෙනෙක් පත් කරමු” එතැනට යෝජනාවක් ආවේය. මතෛක් වෙලා එක වචනයක් වත් කතා නොකර සිටි සජිත්ගේ කටට පණ ආවේ ඒ අවස්ථාවේදීය. 
“නියෝජ්‍ය නායකයින් හා උප නායකයින් කීප දෙනෙක් පත් කරනවා නම් මම ඒ ගොඩට දාන්න එපා. මම වෙන තැනකින් තියන්න”සජිත් කීවේ එම යෝජනාවට සිය විරෝධය දක්වා නැගී සිටිමින්ය.
“මේක නියෝජ්‍ය නායකයින් දෙන්නෙක් පත් කරනවා  කියලා කරන යෝජනාවක් නමෛයි. නියෝජ්‍ය නායක, උපනායක වගේ තනතුරු පත් කරන්න ඕන කියලානේ යෝජනා කරන්නේ” රනිල් සජිත්ගේ කතාවට මැදිහත් විය.
“එතුමා සම මට්ටමේ තරග කරන්න බයයි”රනිල් හිතවාදී මන්ත්‍රීවරයෙක් කීවේ අසල සිටි වජිරගේ කනට කොඳුරාය.
මේ අතර ප්‍රතිසංවිධානය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය විය. එතැන සිටි මන්ත්‍රීවරුන්ගේ නම් කොළ කැබලිවල ලියමින් ඡන්දයෙන් මෙම කමිටුව තෝරාගැනීමට නියමිත විය.
“ඔය කමිටුවට මගේ නම දාන්න එපා” වජිර කීය.
“එහෙම කියන්න එපා. අපි මේකේ ඉඳලා අවසානයක් දකිමු” මංගල කීවේය.
මේ කමිටුවලට රාජිත පත් කර තිබුණේ නැත.
“තවම පක්ෂ සාමාජිකත්වය ගත්තේ නැති නිසා තනතුරුවලට දැන් දාන්නේ නෑ කියලා නායකතුමා කිව්වා” මලික් රාජිතගේ කනට කර කීවේය.
 
 මෛත්‍රී රාජිතගේ බිරිඳට පිටුපායි 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හැත්තෑවැනි සංවත්සරය පවත්වන්නේ ලංකාවේය. එම සංවත්සරයට සහභාගිවීමට පැමිණ සිටි නියෝජිතයින් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණේ ජනාධිපති මන්දිරයේය. මෛත්‍රී සහ රාජිත එයට පැමිණ සිටියේ ලා කහ පැහැයට හුරු ඇඳුම් දෙකක් ඇඳගෙනය.
“ඩොක්ටයි මායි එක පාට ඇඳුම් ඇඳගෙන නේ ඉන්නේ” මෛත්‍රී කීවේ රාජිතගේ ඇඳුම දෙස බලමිනි 
“කොහොමද අපි දෙන්නා එක පාට වගේ එකට වැඩ කරන්නේ” රාජිත ඇසුවේ සිනාසෙමිනි.
රාත්‍රී භෝජනය අතරවාරයේදී මෛත්‍රී සහ රාජිත රටේ දේශපාලනය ගැනත් අවධානය යොමු කළේය.
“එක්සත් ජාතික පක්ෂය එක්ක විරසක වෙන්න එපා. ඔබතුමා ජනාධිපති පුටුවේ වාඩිකරන්න ඒ අය උදව් කළා. දැන් වුණත් එක්සත් ජාතික පක්ෂයේ අය ඔබතුමාට ආදරෙයි. අගමැතිතුමා ඔබතුමාව විවේචනය කරන්නේ නෑ. මලික් සමරවික්‍රම ඇමැතිතුමාත් ඔබතුමා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕන කියලා කියනවා. පක්ෂ දෙකම එකතුවෙලා රජය ගෙනියන්න ඕන. විශ්වාසභංගයේදී අගමැතිතුමාට විරුද්ධව ඡන්දෙ දුන්න ඇමැතිවරු අයින් කරන්න ඕන” රාජිත කීවේය.
“ඒ අය අයින් කරන්න බෑ. එහෙම වුණොත් පක්ෂයේ හැමෝම අයින් වෙලා යාවි. මම කොහොමද පක්ෂය කරගෙන යන්නේ” මෛත්‍රී තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න විය.
මේ අතර රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ බිරිඳ මෛත්‍රීට තවත් රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කර තිබුණි. ඒ වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වන ලෙසය. එහෙත් මෛත්‍රී රාජිතගේ බිරිඳගේ භෝජනයට පැමිණ සිටියේ නැත. 
 
චන්ද්‍රිකා - මෛත්‍රී වචන හුවමාරුවක 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ලවෙමින් තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූයේ තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීමටය. මධ්‍යම කාරක සභාවේදී ගන්නා තීරණය අනුව කටයුතු කිරීමට පක්ෂයේ මැති ඇමැතිවරු තීරණය කර තිබුණි.
මේ වන විට විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් එස්.බි. දිසානායක ඇමැතිවරයාත් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාත් අතර කිසියම් නොහොඳ නෝක්කාඩුවක් ඇතිවී තිබුණි. විශ්වාසභංගයෙන් පසුව විදේශගතවූ සුසිල්ට කිසියම් අයෙකු කියා තිබුණේ එස්.බි. ආණ්ඩුවෙන් ඉවත්වීමට අකමැත්තෙන් සිටින බවය.
“කෝ මේ එස්.බි ආණ්ඩුවෙන් යන්න බෑ කියලා කියනවානේ. මම ලබන සතියේ ලංකාවට එනවා. ලංකාවට ආවම මේක එළියේ කියනවා”සුසිල් තමන්ට දුරකතන ඇමතුම් දෙන අයට කීවේය.
ඉරිදා රාත්‍රී හතට මෛත්‍රීගේ පැජට් පාරේ පිහිටි නිවසේ මධ්‍යම කාරක සභාව කැඳවා තිබුණි. පැය බාගයක් පමණ ප්‍රමාදවී එය ආරම්භ විය. මෙවර මධ්‍යම කාරක සභාව පැය තුනකට අධික කාලයක් තිස්සේ ඇදී ගියේ විවිධ තර්ක විතර්ක මැදය. තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න ගැන අදහස් මතුවන්න ගත්තේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා ගෙන ආ යෝජනාව සමගින්ය.
“බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ගෙනාපු විශ්වාසභංග යෝජනාවට පක්ෂව
ඡන්දය දීමෙන් පස්සේ අපිට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බෑ. අපි ආණ්ඩුවෙන් අයින් වෙන්න ඕන. අගමැතිවරයා එක්ක අපිට එක කැබිනට් මණ්ඩලයක ඉන්න බෑ. අපි ඇමැතිධුරවලින් ඉවත් වෙන බව කියලා ජනාධිපතිතුමාට ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා. එම ඉල්ලා අස්වීම භාරගෙන අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියලා මම යෝජනා කරනවා”අනුර ප්‍රියදර්ශන යාපා යෝජනාව ගෙන ආවේය.
එම යෝජනාව ස්ථිර කිරීමට නැගී සිටියේ එස්.බි. දිසානායක ඇමැතිවරයාය. එස්.බි.ත් නැගී සිටිමින් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව පැවසුවේය. ආණ්ඩුවෙන් ඉවත්විය යුත්තේ මන්දැයි යන්න ගැන ඔහු දීර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කළේය. 
“අපේ පරාජයට හේතු කිහිපයක් තිබුණා. එකක් තමයි බැඳුම්කර ප්‍රශ්නය. අනෙක් එක තමයි අපි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක වැඩ කළේ. ඉදිරියේදී තියෙන ඡන්දවලින් ජයගන්න නම් අපි ආණ්ඩුවෙන් අයින් වෙන්න ඕන. ආණ්ඩුවෙන් අයින් වෙලා ඡන්දවලට ගියොත් විතරයි අපිට දිනන්න පුළුවන් වෙන්නේ”එස්.බි. තමන්ගේ විග්‍රහය ඉදිරිපත් කළේය
“මොන තීරණය ගත්තත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම එක තීන්දුවකට එන්න”මෛත්‍රී තමන්ගේ තීන්දුව කුමක්දැයි නොකියා ‍පොදු තීන්දුවක් ගැනීමට අවස්ථාව විවෘත කළේය.
මේ අතර චන්දිම වීරක්කොඩි ඇමැතිවරයාත්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයාත් නැගී සිටිමින් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කිරීමෙන් ඉවත් විය යුතු බව පැවසුවේ දීර්ඝ විග්‍රහයන් දෙකක් කරමිනි.
එහෙත් මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක අදහස් දක්වන්න වූයේ ඊට එරෙහිවය. 
“පළාත් පාලන මැතිවරණයේ පරාජයට හේතුව අපි එක මතයක ඉඳගෙන කටයුතු නොකිරීමයි. වගකීම් දරපු පාර්ශ්ව මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කොයි තරම් වැඩ කළාද කියන ප්‍රශ්නයත් තියෙනවා”දුමින්ද අදහස් දක්වමින් කීවේය.
“ඡන්ද කාලයේ එකිනෙකාට පරස්පර අදහස් මතුවුණා. මේවා අපේ පරාජයට හේතු වුණා”මහින්ද අමරවීර කීවේය.
“පළාත් පාලන මැතිවරණය වෙලාවේදී පක්ෂයට නිශ්චිත දර්ශනයක් තිබුණේ නෑ. එක දර්ශනයක් නැතිව වැඩ කරන්න ගිය නිසා තමයි අපිට මේ වගේ පරාජයක් ඇතිවුණේ”රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයා පැවසුවේය.
“මේ වෙලාවේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියන එකට කිසිම පදනමක් නෑ. පසුගිය පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වීමට හේතු තිබුණා. බැඳුම්කරය නිසා මේක පැරදුණා කියලා  කියනවානම් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමත් අඩු වෙන්න ඕන. ඒත් එක්සත් ජාතික පක්ෂයට ඒ වගේ ප්‍රශ්නයක් වෙලා නෑ. අනෙක මේ ආණ්ඩුව හදන්න විශාල බලවේග එකට එකතුවුණා. ජනවාරි අට වැනිදා විවිධ සංවිධාන, විවිධ බලවේග එකට එකතුවෙලා තමයි ආණ්ඩුව හැදුවේ. මම තමයි ඒ දේවල් කළේ. මම තමයි ඒවාට මැදිහත්වුණේ. මේවා රාජපක්ෂලා ගෙදර යවපු බලවේග. කවුරු දැම්මත් ඒ වෙලාවේ දිනනවා. ඒකාබද්ධයට හරි ‍පොහොට්ටුවේ අයට හරි ඕන දේ නෙමයි අපේ පක්ෂය කරන්න ඕන. ජනතාවට විශ්වාසයක් ඇතිවෙන විදියට එක මතයක ඉන්න එක තමයි දැන් කරන්න තියෙන්නේ” වේගවත් කතාවක් කළ චන්ද්‍රිකා එතැනින් නැගිට ගියාය. 
චන්ද්‍රිකා නැගිට ගිය පසුව මෛත්‍රී තමන්ගේ කතාව කරන්න විය.
“මේ කතාව කියනකොට චන්ද්‍රිකා මැතිනියත් මෙතැන හිටියා නම් තමයි හොඳ. මගේ කතාවත් අහගෙන යන්න හිටියා නම් තමයි හොඳ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම හෑල්ලු කරන්න හොඳ නෑ. එදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද තිබුණා තමයි. රාජපක්ෂලාට විරුද්ධව තිබුණ විරෝධය තමයි ප්‍රකාශයට පත්වුණේ. ඕනම කෙනෙක් දාලා දිනන්න පුළුවන් නම් එක්සත් ජාතික පක්ෂයේ ‍පොල්පිත්තක් වගේ කෙනෙක් දාලා දිනන්න තිබුණානේ. මම හොයාගෙන ඇවිත් කරදර වුණේ මොකටද?” මෛත්‍රී කීවේ චන්ද්‍රිකාගේ කතාවෙන් ඇතිවූ හිත් රිදීමක් ඇතිවිය.
මේ අතර මහ ඇමැතිවරුද පළාත් සභාවල කටයුතු කරන ආකාරය ගැන අදහස් දක්වන්න විය..
“පළාත් පාලන මැතිවරණ පරාජය සුනාමියක් කියලා තමයි පත්තර බැලුවාම තේරුණේ. ඒත් ඒක සුනාමියක් නමෛයි. ‍පොඩි කුණාටුවක් වගේ එකක්. මේක තේරුම්යන වෙලාවේ තමයි විශ්වාසභංගයක් ඇවිත් ප්‍රශ්න ඇතිවෙන්න ගත්තේ”සරත් ඒකනායක මහ ඇමැතිවරයා කීවේය.
“තවදුරටත් අපි ආණ්ඩුවේ ඉන්නවාද කියලා තීරණය කරන්න ඕන. මහරගමදී අපි පැරදුණේ නිකම්ම නිකං දාපු ස්වාධීන කණ්ඩායමකට. එක්සත් ජාතික පක්ෂයත් එක්ක කරන ජාතික ආණ්ඩු මගුල නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මේකෙන් පක්ෂ දෙකෙන් එකකටවත් වැඩක් වෙන්නේ නෑ. ජනාධිපතිතුමා ‍පොදු අපේක්ෂකයා වුණ එක ඇත්ත. ඒත් ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. ජාතික ආණ්ඩුව ඇතුළේ ඉන්න ඉන්න එතුමාට තියෙන අනන්‍යතාවය නැතිවෙනවා. ඒ නිසා 
පක්ෂයක් විදියට අපි විපක්ෂයට ගිහින් ඉමු” ඉසුර දේවප්‍රිය මහ ඇමැතිවරයා යෝජනා කළේය.
මේ අතර තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න ගැන අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ අතර අවසානයේදී තීරණය වූයේ අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමටය.
“අපි බදාදාට අයිමත් හමුවෙමු. ආණ්ඩුවේ ඇමැති ධුර දරමින් ඉන්නවාද නැද්ද යන්න ගැන බදාදායින් පස්සේ තීරණයක් ගනිමු” මෛත්‍රී සාකච්ඡාව අවසන් කරමින් කීවේය.
 
කැබිනට් වර්ජනය 
 
සුපුරුදු පරිදි අඟහරුවාදා උදෑසන මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වුවත් කැබිනට් රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු ඇමැතිවරයෙක් සහභාගි වී තිබුණේ නැත. එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු පමණක් සහභාගි වී සිටි කැබිනට් රැස්වීමේදී සුපුරුදු පරිදි ඉදිරිපත්වී තිබූ සාමාන්‍ය කැබිනට් පත්‍රිකා සඳහා අනුමැතිය ලැබුණි. එහෙත් කිසිදු ආකාරයක බරපතල කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡාවට ගත්තේ නැත.
මේ අතර දුම්රිය වැඩ වර්ජන ගැන අදහස් මතුවී ආවේය. මෛත්‍රී කීවේ පසුගිය කාලයේදී ඇතිවූ වර්ජන පිටුපස රාජපක්ෂවරු සිටිය හැකි බවය.
“මමත් සරත් අමුණුගම ඇමැතිතුමාත් එකතුවෙලා දුම්රිය වැඩ වර්ජන විසඳලා තියෙනවා. දුම්රිය සේවාව සංවෘත සේවාවක් කරන්න ඕන. ඒ විසඳුම ක්‍රියාත්මක නොකිරීම නිසා සේවකයෝ කලබල වෙනවා. අපි විසඳුම් ලබාදුන්න වෙලාවේ සේවකයෝ ප්‍රසංශා කළා” රාජිත කීවේය.
“ශ්‍රී ලංකන් එකේ අයත් වැඩ වර්ජනයක් කළානේ. ඒ අය නම් ත්‍රස්තවාදීන් විදියට තමයි වැඩ කළේ”මෛත්‍රී සිහිපත් කළේය.
“මෙතැන පටු දේශපාලන අරමුණු තියෙනවානේ”රාජිත කීවේය.
ඉන් පසුව කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන අදහස් මතුවිය. 
“කැබිනට් මණ්ඩලය විද්‍යානුකූලව බෙදන්න ඕන. අලුත් අවුරුද්දට කලින් කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන්න ඕන”මෛත්‍රී කීය.
“එතකොට ශ්‍රී ලංකා එකේ ඇමැතිවරු ”ඇමැතිවරයෙක් ඇසුවේය.
“මම ශ්‍රී ලංකා එකේ ඇමැතිවරු දැනුවත් කරන්නම්. යන අය යාවි. ඉන්න අය ඉඳීවි. මගේ යටතේ තියෙන ජාතික ඒකාබද්ධතා කොටසත් මනෝ ගනේෂන් ඇමැතිතුමාට දෙන්න මම කැමැතියි” මෛත්‍රී කීය.
“එහෙම කරන්න එපා ජනාධිපතිතුමා. අපි ජාත්‍යන්තරයට ගිහින් කියන්නේ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ජනාධිපතිතුමාගේ යටතේ තියාගෙන සංහිඳියාව ගොඩනගනවා කියලයි” මංගල කීය.
“ජාතික වැඩපිළිවෙළක් අපි ඉක්මනට ක්‍රියාත්මක කරන්න ඕන. ශ්‍රී ලංකා එකෙන් යනවා කියන ඇමැතිවරුන්ට යන්න කියන්න. ඉතිරිවෙන විසි පස් දෙනත් එක්ක අපි වැඩ කරමු. කාටවත් දේශපාලන අනාථයින් වෙන්න බෑ”චම්පික රණවක පැවසුවේය.
 
 විසි තුන්දෙනාගේ වැඩ 
 
විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ නොකළ මැති ඇමැතිවරු විසි තුන් දෙදෙනා මහින්ද අමරවීරගේ නිවසට රැස්වූයේ අඟහරුවාදා රාත්‍රීයේදීය. ඒ ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමටය. 
“අපි දැන් තියෙන තත්ත්වය ගැන ජනාධිපතිතුමා එක්ක කතා කරමු”ඇමැතිවරු පැවසූහ. ඒ අනුව බදාදා සවස විසි තුන් දෙනා ගොස් මෛත්‍රී හමුවිය.
“කැමැති අයට ආණ්ඩුවේ ඉන්න පුළුවන්. කැමැති අයට ආණ්ඩුවෙන් යන්න පුළුවන්. මේක අගමැතිතුමාට කියන්න”මෛත්‍රී කීවේය. ඒ අනුව දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම රනිල් හමුවීමට ගියෝ්ය. ඒ මෛත්‍රීගේ පණිවුඩයද රැගෙනය.
“මට මේ ගැන තනියම තීන්දුවක් ගන්න බෑ. ශ්‍රී ලංකා එකේ සමහර අයට අපේ අය විරුද්ධයි. ඒ නිසා කතා කරලා තමයි තීන්දුවක් ගන්න වෙන්නේ”රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය.
ඒ අනුව බදාදා රාත්‍රී හතයි තිහට රනිල් සහ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු කණ්ඩායමක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු සාකච්ඡාවක් ආරම්භ 
කළේය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඇතැම් ඇමැතිවරු තවදුරටත් ආණ්ඩුවේ තබාගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම කැමැති වූයේ නැත.
“අපි මේ වෙලාවේ දොරටු විවෘත කරලා තියමු. එතකොට යන අයට යන්න පුළුවන්. ඉන්න අයට ඉන්න පුළුවන්”අවසානයේදී එම යෝජනාවට එකඟවූහ
 
ලෙන් දොර ඇරෙයි - ඇමැතිවරු යති 
 
මේ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ ඇමැතිවරු බදාදා රාත්‍රී හත වන විට මෛත්‍රී හමුවීමට ගියහ.
“කවුරු මොනවා කිව්වත් බ්‍රහස්පතින්දාට කැබිනට් සංශෝධනයක් කරනවා. ඔය අයත් ඇවිත් දිවුරුම් දෙන්න.අපි ප්‍රශ්නය විසඳාගනිමු. එක්සත් ජාතික පක්ෂය එක්ක මම කතා කළා. ඒ අයට අපේ පක්ෂයේ දේවල්වලට අත ගහන්න බෑ”මෛත්‍රී කීවේය.
“ආණ්ඩුවෙන් යන්න කියන එකට අපිට තවම මධ්‍යම කාරක සභාවෙන් අනුමැතියක් ලැබුණේ නෑ. ජනාධිපතිතුමා රට ගිහිං ආවට පස්සේ මධ්‍යම කාරක සභාව රැස්වෙලා තීන්දුවක් ගනිමු”එස්.බි. කීවේය. 
එස්. බි. ආණ්ඩුවෙන් යෑම ගැන තද ස්ථාවරයක නොසිටින විට දයාසිරි, අනුර ප්‍රියදර්ශන යාපා නිහඬව සිටියත් ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් සිටියේ ඊට විරුද්ධවය. 
“අපි තවත් ආණ්ඩුවේ හිටියොත් සවුත්තු වෙනවා”ඩිලාන් විරෝධය දක්වන්න විය.
“මේ වෙලාවේ අපි වීරයෝ වෙලා ඉන්නේ. ජනමතයට විරුද්ධවීම ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ චරිතවලට තිබුණ කැත නම නැතිවුණා. මේ වෙලාවේ එළියට ගිහින් පක්ෂය වෙනුවෙන් දෙයක් 
කළොත් පක්ෂය ගොඩදාන්න පුළුවන්. නැතිනම් අයිමත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ”චන්දිම කීය.
“අපි මේ වෙලාවේ දිවුරුම් දීලා පස්සේ වෙන දෙයක් කරමු”මෛත්‍රී සහ එස්.බි. සිටියේ එකම මතයකය.
“අපි එළියට ආවේ අයිමත් යන්න නමෛයි. අපිට අයිමත් ඇතුළට ගිහින් රෙදි ඇඳන් ඉන්න බෑ. අපිට 
පක්ෂය ගොඩනැගීමේ වගකීම තියෙනවා. අගෝස්තුවලින් හවුල් ආණ්ඩු ගිවිසුම ඉවරයි. දෙසැම්බර් වෙනකම් ඉවසන්න කියලා ඔබතුමා කිව්වා. අපි දෙපැත්තෙන්ම දොස් අහ අහ හිටියා. ඒත් රටට වැඩක් වෙලා නෑ. ආර්ථිකයට වැඩක් වෙලත් නෑ. පක්ෂයට වැඩක් වෙලත් නෑ. ඒ නිසා අපි අයින් වෙනවා”දයාසිරි කීවේය.
“තව ටිකක් හිතන්න. මම හිස්තැන් තියලා තියන්නම්. මම අනික් අයට කැබිනට් එකේ දිවුරුම් දෙන්න කියන්නම්. මධ්‍යම කාරක සභාවෙන් තීන්දුවක් ආවට පස්සේ අපි කරන දේ ගැන තීරණයක් ගනිමු. හැබැයි ඔය අය පක්ෂය දාලා යන්න එපා. තවදුරටත් පක්ෂයේ ඉන්න. පක්ෂයේ අරටු ටික ඔය අය”මෛත්‍රී කීවේ දුමින්ද ගැන අදහස් මතු කරමිනි.
දුමින්දගේ නම් කකුල් දෙකම ඒ පැත්තේ. ඒත් අමරවීරගේ එක කකුලක් ඒ පැත්තේ. අනික් කකුල මේ පැත්තේ. එයාට ඔබතුමා කොච්චර දේවල් දුන්නාද. එයා පක්ෂය 
ගොඩනගන විදියට නමෛයි වැඩ කළේ” දයාසිරි සහ චන්දිම කියන විට ඩිලාන් පෙරේරාද තදින් පහරදුන්නේය.
“ඔයාලා එකට ඉන්න. මම ඔයාලා ගැන බලාගන්නම්” මෛත්‍රී සහතික විය.
මේ සාකච්ඡාව අවසන්වීමෙන් පසුව ඇමැතිවරු පිරිස ගියේ ඔලිම්පික් හවුස් වෙතය. ඒ රාත්‍රී ආහාර ගැනීමටය. මධ්‍යම රාත්‍රිය පසුවන තෙක්ම ඔවුහු එහි සිටියහ.
 
අවසානයේදී ඔවුන් තීරණය කළේ ඇමැති ධුරවලින් ඉවත් වීමටය.
ඒ අනුව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සිය ධුරයෙන් ඉල්ලා අස්වූවේය. විද්‍යා හා තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සේවා ඇමැති එස්. බි. දිසානායක සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති චන්දිම වීරක්කොඩි යන කැබිනට් ඇමැතිවරු හයදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වූහ.
ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා, ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බි. ඒකනායක, රාජ්‍ය පරිපාලන රාජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ යන මහත්වරුන්ද, ජල සම්පාදන හා නගර සැලසුම් රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මහත්මියද ඉල්ලා අස්වූ අතර මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්නායක යන මහත්වරු සහ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියද ඊයේ රාත්‍රියේ සිය ධුරවලින් ඉල්ලා අස්වූහ.
මෙම පිරිස අමාත්‍යංශවලින් සිය බඩු බාහිරාදිය සිකුරාදා සවස් වනවිට ඉවත් කරගෙන තිබේ.
ආණ්ඩුවෙන් අස්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව ඇත. එනමුත් ඔවුන් දිගටම ජනපතිවරයාගේ ශ්‍රීලනිප නායකත්වය පිළිගනිමින් ඔහුට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
කෙසේ නමුදු පාර්ලිමේන්තුවේ මෙම බලතුලනය හේතුවෙන් දේශපාලනය දැන් ඇත්තේ අස්ථාවර තත්ත්වයකය. ඉකුත් බ්‍රහස්පතින්දා කැබිනට් සංශෝධනයක් වන බව පැවැසුණත් එය සිද්ධ වූයේ  සිකුරාදා සවසය. ඒ අනුව සරත් අමුණුගම, රංජිත් සියඹලාපිටිය, ෆයිසර් මුස්තාපා හා මලික් සමරවික්‍රමට ඉල්ලා අස් වූ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩබලන ඇමැතිවරු ලෙස පත්කර ඇත. මේ අතර සති අන්තයේ ජනපතිවරයා එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය. බොහෝ විට ඔහුගේ සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන විට කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට නියමිතය.
 
නාමල් අමාරුවේ දාන්න හදන අය 
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේදී තංගල්‍ලේ කාල්ටන් නිවස බලා පිටත්ව ගියේ සිංහල අවුරුද්ද කාල්ටන් නිවසේ සිට සැමරීම ඔහුගේ පුරුද්ද නිසාය. තංගල්ලට ගිය මහින්ද සවස් කාලය ගත කිරීමට තංගල්ල මුහුදු තීරයට ගියේය. ඒ යෝජනාව රෝහිතගේ යෝජනාවකි. ඒ වන විට රෝහිතගේ පෙම්වතියත් කාල්ටන් නිවසට පැමිණ සිටි  නිසා සියල්ලෝම එහි ගියහ.
කාල්ටන් නිවසේ සිට මුහුදු වෙරළ දක්වා වාහනය පදවාගෙන ගියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. මහින්ද පැමිණි ආරංචියට තංගල්ල වෙරළ තීරයේ සිටින ඔහුගේ පාක්ෂිකයෝද එහි පැමිණ මහින්ද සමග වචනයක් කතා කිරීමට අමතක කළේ නැත. මේ අතර නාමල් ඇතුළු පිරිස දෙපිලකට බෙදී වොලිබෝල් ක්‍රීඩා කළ අතර මහින්ද ටික වේලාවක් ක්‍රීඩා කිරීමට එක් විය.
මේ අතර නාමල්ගේ තිස් දෙවැනි උපන්දිනය යෙදී තිබුණේද පසුගිය සතියේදීය. එදින උදෑසන නාමල්ට සෙත්පතා පිරිත් දේශනාවක් පැවැති අතර පසුව නාමල් උපන්දින කේක් ගෙඩිය කැපුවේය. මුලින්ම මහින්දටත් ශිරන්තිටත් කේක් කැවූ නාමල් පසුව සිය කාර්යමණ්ඩලයේ තරුණයින් දෙදෙනකුට කේක් කැව්වේය.
“මෙයාලා තමයි අපිට බලය නැතිව ගිය දවසේ ඉඳලා අපි බලාගත්තේ. එයාලට මුලින්ම කවලා ඉන්න ඕන” නාමල් කීවේය.
“ඒක නමෛයි මට මාර වැඩක්නේ වෙලා තියෙන්නේ. කවුද කෙනෙක් මගේ පුද්ගලික ‍ලේකම් කියකිය යනවානේ” නාමල් කීවේය.
“ඕක නම් මොකද මට වේච්ච වැඩත් එක්ක බලනකොට? මම මුලින්ම මන්ත්‍රීකමට තේරුණාට පස්සේ මරු වැඩක් වුණානේ. මම මන්ත්‍රී වුණාම කාල්ටන් එකට මිනිස්සු එනවා මාව බලන්න. මාව මුණගැහෙන්න. එක දවසක් මාව මුණගැහෙන්න ආපු කෙනෙක් ඇවිත් මට මහින්ද රාජපක්ෂ හමුවෙන්න ඕන කියලා. මම කිව්වා මම තමයි මහින්ද රාජපක්ෂ කියලා. මිනිහා කියනවා බොරු කියන්න එපා, මට මහින්ද රාජපක්ෂ හමුවෙන්න ඕන කියලා. මම කිව්වා මම තමයි මහින්ද රාජපක්ෂ කියලා. මිනිහා අයිමත් කියනවා බොරු කියන්න එපා, මට ගිය සතියෙත් මහින්ද රාජපක්ෂ හමුවුණා. මට හමුවුණේ වෙන කෙනෙක්නේ කියලා. බැලින්නම් මගේ ඔෆිස් එකේ කෙනෙක් මහින්ද රාජපක්ෂ විදියට පෙනී ඉඳලා. බොහොම අමාරුවෙන් තමයි අර මනුස්සයට මම මහින්ද රාජපක්ෂ කියලා තේරුම් කළේ” මහින්ද කීවේ සිනාසෙමිනි.
“දැන් මේ අවුරුද්දේවත් නාමල් මන්ත්‍රීතුමා පිළිවෙළක් වෙනවාද” ඩී.වී. චානක මන්ත්‍රීවරයා ඇසුවේය.
“ඒක තමයි දැන් තිස් දෙකත් ලැබුවා. මොනවා හරි කළොත් හොඳයි” ජොන්ස්ටන් කීවේය.
“අනේ මේ මාව අමාරුවේ දාන්නේ නැතිව ඉඳපල්ලා” නාමල් කීවේ සිනාසෙමිනි.
“අපිත් මේ බලන් ඉන්නවා මොනවා හරි දෙයක් කරගනීවි කියලා. කෝ මේ යෝධයාගේ කිසිම උනන්දුවක් නෑනේ” මහින්ද කීවේය. 
 
තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1096

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2203

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.