Coss Ear2
lakbima.lk
COSS Ear 1

එජාපයේ මැයි රැලි වර්ජනය වසන් කරන්න රනිල් ගහපු අලුත් ගැටේ

වෙසක් උත්සවය නිසා ප්‍රධාන දේශපාලන පක්ෂවලට මැයි දිනය මැයි පළමුවැනිදා සැමරීමට නොහැකි විය. එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරුවේ මැයි හය වැනිදාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මැයි දිනය සැමරුවේ මැයි හත් වැනිදාය.
මැයි දින සමරුවට සහභාගි වීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‍පොළොන්නරුට ගියේ විවේකීව දින කිහිපයක් ගත කිරීමටය. එහෙත් ‍පොළොන්නරුවේ සිටත් දේශපාලන වැඩ කටයුතු කිහිපයක යෙදීමට ඔහුට සිදුවිය. ඒ අතර ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින උත්සවයද ‍පොළොන්නරුවේ සංවිධානය කර තිබුණි. ජනාධිපතිවරයාගේ දියණිය චතුරිකා සිරිසේනද එහි පැමිණ සිටියාය. ජනපතිවරයා රාජිත සමග කොළඹ සිට ‍පොළොන්නරුවට පැමිණියේ හෙලිකොප්ටරයෙනි. එතැන් සිට මෛත්‍රීගේ නිවසට ගොස් ටික වේලාවක් සිට උත්සවයට පැමිණියහ.
“අපි ගෙදර ගිහිල්ලා කෑම ටිකක් කාලා ටිකක් කතා කරලා යමු” මෛත්‍රී යෝජනා කළේය. ඒ අනුව රාජිත මෛත්‍රීගේ ගෙදරට ගියේ මෛත්‍රී සමගය.
“ජනාධිපතිතුමනි, අපි එකට එකතුවෙලා වැඩ කරමු. ඒ විදියට එකට වැඩ කළොත් ඊළඟ මැතිවරණ දිනන්න පුළුවන්. බෙදිලා වැඩ කළොත් ඡන්ද දිනන්න නම් බෑ” රාජිත දීර්ඝ දේශපාලන විග්‍රහයක් කළේය.
“ගෝඨා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඒකාබද්ධ විපක්ෂය තීරණය කරලා තියෙනවා” මෛත්‍රී තමන්ට ලැබුණු විශ්වාසදායක තොරතුරක් තහවුරු කළේය.
“ගෝඨා එනවා නම් හොඳයි. සුළු ජාතික ඡන්ද ගෝඨට ලැබෙන්නේ නෑ. එයා ආරක්ෂක ‍ලේකම් විදියට වැඩ කරපු කා‍ලේ කරපු දේවල් සුළු ජාතීන් දන්නවා. ඒ නිසා තමයි දැන් සෝෂල් මීඩියාවලින් ගෝඨාභය ගැන කතා කරන්නේ. සුළු ජාතීන්ගේ ඡන්ද නැති නිසා පරාජය අතට අරගෙන තමයි එයා එන්නේ. අපි එකට එකතුවෙලා වැඩ කරමු. තනියෙන් යන්න බෑ. මම පළාත් පාලන මැතිවණයේදීත් කිව්වේ අපි එකට එකතුවෙලා වැඩ කරමු කියලයි. ඒත් ඔබතුමාගේ ‍ලේකම්වරු අවබෝධයකින් තොරව ප්‍රකාශ කළා. වෙන් වෙන්ව තරග කරන්න ඕන එතකොට කරමු කියලා ඒ අය කිව්වා. මම කිව්ව දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. ඔබතුමා අගමැතිතුමා එක්ක  කතා කරලා වැඩ ටික කරගෙන යන්න” රාජිත දීර්ඝ විග්‍රහයක් කළේය.
මේ අතර රවි කරුණානායකට ඇමැති ධුරයක් දීම ගැනත් අවධානය යොමුවිය. රවි මීට පෙර අවස්ථා කිහිපයකදීම රාජිත හමුවී තමන්ට ඇමැති ධුරයක් ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබුණි. මෛත්‍රී සහ රනිල් හමුවී මේ ගැන සාකච්ඡා කිරීමට රාජිත ‍පොරොන්දුවී තිබුණේය.
“රවි මට නිතරම මට කතා කරනවා. ඒක නිසයි මම ඔබතුමාගෙන් ඇහුවේ” රාජිත කීය.
“රවිට ඇමැතිකමක් දෙනවාට එක්සත් ජාතික පක්ෂයම විරුද්ධයි. මම හම්බවෙන්න එන එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු කියන්නේ රවිට ඇමැතිකමක් දෙන්න එපා කියලයි. එක්සත් ජාතික පක්ෂයට රට තුළම විරෝධයක් තියෙනවා. එක දවසක් රනිල් එක්ක ඇමැතිවරු දෙන්නෙක් ආවා. මේ ගැන කතා කරන්න. ඒ දෙන්නත් රවිට ඇමැතිකමක් දෙනවට විරුද්ධයි. රවිට ඇමැතිකමක් දෙන එක ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දුවක් අරගෙන පක්ෂයේ මතය දැනුම් දෙන්නම් කියලා කිව්වා. එහෙම කියනකොටත් ඒ පක්ෂයේ ඇමැතිවරු විරෝධය දක්වනවා”මෛත්‍රී කීවේ රවිට ඇමැතිකමක් ලබාදීමේ ගැටලුව ගැන පැහැදිලි කරමිනි.
 
මංගල උත්සව 
 
මඩකලපුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට ආණ්ඩුවෙන් ඉවත්වූ මැති ඇමැතිවරු කිහිපදෙනෙක්ද පැමිණ සිටියහ. ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරික වූ එස්.බි. දිසානායක වේදිකාවට ගොඩ වුවත් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල ඇතුළු මන්ත්‍රීහු ක්‍රීඩාංගණයට වී සිටියෝය. ඔවුන් එහි සිටිනු දුටු ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිවරයාත් එහි පැමිණ සුහදව කතා කරමින් සිටියේය.
මේ අතර මැයි දිනය අවසන් කර කඩිනමින් කොළඹ ඒමට මෛත්‍රීට අවශ්‍යවී තිබුණි. ඒ ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු ඇමැතිවරයාගේ බාල පුතාගේ විවාහ මංගල උත්සවය පැවැති නිසාය. එම විවාහ මංගල උත්සවයට ආණ්ඩුවෙන් ඉවත්වූ ඇමැතිවරු පැමිණ සිටි අතර ඒ නිසාම ඇතැම් අය මැයි දිනයට සහභාගී වී තිබුණේ නැත. 
විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කිරීමට තිබුණේ ගෝඨාභය රාජපක්ෂට හා මෛත්‍රීටය. ඒ සඳහා නැකැත යෙදී තිබුණේ සවස හතට පමණය. නැකැතට විනාඩි දහයක් පමණ පෙර මෛත්‍රී ලක්ෂ්මන්ට දුරකථන ඇමතුමක් දුන්නේය.
“මට මේ නැකැත් වෙලාවට එන්න විදියක් නැතිවේවි. මම රත්මලානෙන් ගුවන් යානයක් ගෙන්වගෙන තමයි කොළඹ එන්නේ. තවත් ටික වේලාවකින් නැකැතක් තියෙනවානම් බලන්න”මෛත්‍රී කීවේය
ඒ අනුව ලක්ෂ්මන් යාපා කඩිනමින් නැකැත් වේලා ගැන සොයා බලන්න විය. ඒ අනුව සවස හතයි හතළිහට පමණ තවත් නැකැත් වේලාවක් යෙදී තිබුණේය. ඒ නිසා මෛත්‍රීට ඒ වෙලාවට එන්නැයි ලක්ෂ්මන් යාපා දැනුම් දුන්නේය. මෛත්‍රී හතයි හතළිහට පැමිණෙන විට ගෝඨා එහි සිටියේ නැත. ඒ මුල් නැකැත් වේලාවට විවාහයේ සාක්ෂිකරුවෙක් ලෙස අත්සන් කර ඔහු පිටත්ව ගොස් තිබිම නිසාය.
මෛත්‍රී විවාහයට අත්සන් කිරීමට එන විට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මුහුණට හමුවිය.
“කොහොමද බන්දුල”මෛත්‍රී ඇසුවේය.
“සර් තමයි කොහොමද කියලා දන්නේ”බන්දුලත් කීවේ සිනාසෙමිනි.
 
 තෙල් මිල වැඩි කළ හැටි 
 
මේ සතියේ කැබිනට් මණ්ඩලය සුපුරුදු පරිදි අඟහරුවාදා පැවැත්වුණේ නැත. සති දෙකකින් කැබිනට් රැස්වීම නොපැවැත්වීම නිසා මේ සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ බදාදාය. ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම ගැන සාකච්ඡාව ආරම්භ කිරීමත් සමග කැබිනට් මණ්ඩලය උණුසුම් මුහුණුවරක් ගත්තේය.
“මේ වෙලාවේ තෙල් මිල ඉහළ දැම්මොත් ආර්ථිකයට බලපාන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ගමට යන්න බැරිවෙනවා” ඇමැතිවරු තෙල් මිල ඉහළ දැමීමට විරෝධය දැක්වූහ.
“අපි අද රෑට කැබිනට් ඇමැතිවරු කැඳවලා දීර්ඝ ලෙස මේ ගැන සාකච්ඡා කරමු”මෛත්‍රී තවත් රැස්වීමක් කැඳවූවේය.
ඒ අනුව බදාදා රාත්‍රියේදී කැබිනට් ඇමැතිවරු සමග මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා හා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීහු කැඳවා තිබුණහ.
“තෙල් මිල වැඩි කරන්න ඕන. වෙනත් විකල්පයක් මේකට තියෙනවාද?” තෙල් ඇමැතිවරයා ඇසුවේය.
“දැන් තෙල් බැරලයක මිල ඩොලර් හැත්තෑ පහක් විතර වෙලා තියෙනවා. ඒ නිසා තවත් පාඩුවට තෙල් දෙන්න බෑ” මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් කීය.
“ඉන්ධනවලට අය කරන බදු අඩු කරලා තෙල් මිල පාලනය කරන්න පුළුවන්ද. මේවාට ලොකු බද්දක් ගහනවානේ” මෛත්‍රී කීවේ තරමක නොරුස්සනා ස්වභාවයෙනි. ඔහු කීවේ බදු නොගසා මහජනතාවට සහන දිය යුතු බවය.
කෙසේ වෙතත් අවසානයේදී තීරණය වූයේ බ්‍රහස්පතින්දා සිට ඉන්ධන මිල ඉහළ දැමීමටය. නැවත මාස දෙකකින් ඉන්ධන මිල සංශෝධනය ගැන සමාලෝචනය කිරීමට තීරණය විය.
 
වැඩි වැඩ කරන්න හදන සංවිධායක 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම බ්‍රහස්පතින්දා සවස රැස්වුණේ මෛත්‍රීගේ නිවසේදීය. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වූ ඇමැතිවරු දහසය දෙනාද එහි පැමිණ සිටියහ. 
“මම හෙට ඉරානයේ සංචාරයකට යනවා. ගිහින් ආවම 17 වැනිදා රෑට මධ්‍යම කාරක සභාව තියමු. පක්ෂ සංශෝධනය ගැන තියෙන අදහස් ඊට කලින් අවශ්‍යයි. 15 වැනිදා වෙනකොට යෝජනා ඉදිරිපත් කරන්න. මම ලංකාවට ආවට පස්සේ මේ ගැන අවධානය යොමු කරලා අවශ්‍ය කටයුතු කරන්නම්” මෛත්‍රී පැවැසුවේය.
“රජික කොඩිතුවක්කු කියන සංවිධායකයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තියෙනවා. ඇමැති ධුරවලින් ඉවත්වූ ඇමැතිවරුන්ගෙන් සමහරු ජාතික ලැයිස්තුවෙන් ආපු අය නිසා ඒ අය මන්ත්‍රීධුරවලින් අයින් කරන්න ඕන කියලා යෝජනා කරලා තියෙනවා. එයා කවුද එහෙම දෙයක් කියන්නේ” දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇසුවේ තරමක ආවේගයෙන් යුතුවය.
“ඒක ඇත්ත. එයා නිකම් සංවිධායකවරයෙක් විතරයි. එයාට එහෙම කියන්න බෑ. එහෙම දේවල් කියන්න ඒ කවුද” නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාත් කීවේත් තරමක ආවේගයෙන් යුතුවය.
“එහෙම කියන්න බෑ. සමහර අයට ඕනෙ මේ දැන් ඉන්න අය අයින් කරලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්නනේ මේ හදන්නේ” මෛත්‍රීත් කීවේ රජික කොඩිතුවක්කුගේ කතාවට විරෝධය දක්වමිනි.
කෙසේ නමුත් මේ සාකච්ඡාව අවසන් වූයේ දින හතළිස්පහක් ඇතුළත පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීමේ එකඟතාවය මතය.
 
රනිල්ගේ කළමනාකරණය 
 
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය පැවැත්වුණේ ඉරිදාය. එහෙත් ඊට පෙර පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු රනිල්ට රතු එළියක් දල්වා තිබුණි.
“නායකත්වය වෙනස් වෙන්නේ නැතිනම් අපි නායකතුමා එන රැස්වීම්වලට එන්නේ නෑ. ඒ සියල්ල වර්ජනය කරනවා” පසුපෙළ මන්ත්‍රීවරු රනිල්ට දැනුම්දී තිබුණි. ඒ අනුව මැයි දිනයට මන්ත්‍රීවරු පිරිසක් නොපැමිණෙන බව රනිල් දැනුවත්ව සිටියේය. ඒ නිසා ඔහු තමන්ගේ හිතවත් ඇමැතිවරු කිහිපදෙනෙක්ට දැනුමදී තිබුණේ මැයි දිනයට නොපැමිණෙන ලෙසය. ඔවුන්ද මැයි දිනයට නොපැමිණි විට වර්ජනයක් ගැන කතාවක් ඉදිරියට ගෙන යාමට නොහැකිවන තත්ත්වයක් ඇතිකිරීම රනිල්ගේ අරමුණ විය.
මේ අතර සාගල රත්නායක ඇමැතිවරයාද රනිල්ට ඇමතුමක් දී තිබුණි.
“සර් මැයි දින රැලිය තියෙන දවසේම තමයි ගැටබරු දේවාලයේ පින්කම පැවැත්වෙන්නේ” සාගල කීවේය.
“සාගල ඒකට සහභාගී වෙන්න” රනිල් සාගලට එයට සහභාගීවීමට අවසර දුන්නේය. එහෙත් රවි කරුණායක උප නායකයාට විශේෂ ආරාධනාවක් විය. එය කර තිබුණේ පක්ෂ මහ‍ලේකම් අකිල විරාජ් කාරියසම්ය.
“රවි කරුණානායකට මම විශේෂයෙන්ම ආරාධනා කළා. ඒ විතරක් නමෛයි කතාවකුත් වෙන් කරලා තිබුණේ. ඒත් ආවේ නැත්තේ ඇයිද කියලා නම් දන්නේ නෑ. ගිය ජනාධිපතිවරණය දිනවල මේ ආණ්ඩුව හදන්න අපි කට්ටිය එකතුවෙලා කරපු වැඩ ගැන පාක්ෂිකයන්ට කියලා ලොකු ජනතා ප්‍රසාදයක් ගන්න තිබුණ අවස්ථාව රවි නැති කරගත්තා” අකිල විරාජ් කාරියවසම් නොපැමිණි මන්ත්‍රීවරු ගැන විමසූ විට රනිල්ට කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම පැවැත්වුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය. වෙනදාට බස්රථ පිටින් සෙනඟ ගෙන එන නමුත් මෙවර බොහෝදෙනා බස් පිටින් පාක්ෂිකයන් ගෙන ආවේ නැත. එහෙත් ඇතුළට පැමිණීමට නොහැකිවූ පාක්ෂිකයන් සුගතදාස ක්‍රීඩාංගණයට ඇතුළුවීමටවත් නොහැකිව පිටත්ව ගියේය.
මේ අතර බැසිල් රාජපක්ෂ ගැනත් මැයි දිනයට පැමිණ සිටි ඇමැතිවරු කතා කරන්නට වූහ.
“බැසිල් 2020 එනවා නම් හොඳයි. මට එතකොට හොඳට බැසිල් ගැන කියන්න පුළුවන්. එදා මගේ පියා ළඟට ඇවිත් මහවැලියේ රුපියල් හත්දහස් පන්සියයක වැටුපට රස්සාව ගත්ත හැටි පුංචි නවීන්ට හොඳට මතකයි. එහෙම කෙනා අද කෝටිපතියෙක් වුණේ කොහොමද කියලා මම අහනවා” නවීන් කීවේ ඒ ගැන වූ කතාබහ අතරේදීය.
 
ෆොන්සේකාගේ විවේචන 
 
මැයි දිනයේදී සරත් ෆොන්සේකාටද කතාවක් වෙන්ව තිබූ අතර ඔහු එහිදී මෛත්‍රී දැඩි ලෙස විවේචනය කළේය. 
“වැරදි පුද්ගලයෙක් රටේ නායකත්වයට පත් කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයට වගේම රටටත් මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී පිටස්තර අය ඉදිරිපත් කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂයේ අයෙක්ම ඉදිරිපත් කරන්න ඕන” ෆොන්සේකා පැවැසුවේය.
මේ ප්‍රකාශය මෛත්‍රීටද ආරංචිවී තිබූ අතර දුමින්ද දිසානායක ඇමැතිවරයා ඒ ගැන මලික් සමරවික්‍රම ඇමැතිවරයාගෙන් විමසා තිබුණේය. මලික් කියා තිබුණේ ෆොන්සේකාගේ ප්‍රකාශය රනිල් අනුමත කර නොමැති බවය.  
“මේ ගැන අගමැතිතුමා ෆොන්සේකාගෙන් අහලා තිබුණා. මේ වගේ කතා මින් ඉදිරියට කරන්න එපා කියලා අවවාද කරලා තිබුණා” මලික් දුමින්දට කියා තිබුණේය.
මේ අතර කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව රාජිත, මලික්, ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර රනිල් සමග මෛත්‍රී හමුවී තිබුණේය. ඒ කලින් කළ ප්‍රකාශය ගැන කනගාටුව පළකර සමාව ගැනීමටය.
එහෙත් මේ ගැන ෆොන්සේකා පසුව කීවේ වෙනත් කතාවකි. එනම් තමන් මෛත්‍රීගෙන් සමාව නොගත් බවය.
“ෆොන්සේකා මෛත්‍රීගෙන් සමාව ගත්තා” රාජිත ප්‍රසිද්ධියේම කීවේ ෆොන්සේකාගේ සමාව ගැනීමේ කතාව නිවැරදි බව කියමිනි.
 
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය පැවැත්වුණේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදීය. මැයි දින රැලියට සූදානම් වන අයුරු නිරික්ෂණය කිරීමට බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හදිසියේම සමනල ක්‍රීඩාංගණය අසලට පැමිණියේ පෙරදා රාත්‍රියේය. රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා සමග එහි පැමිණි ඔහු වේදිකාවේ ඉදිකිරීම් ගැන සොයා බැලුවේය.
“වැඩ ටික හොඳට කෙරීගෙන යනවා” බැසිල් වේදිකාව දෙස බලමින් කීවේය.
“ඔබතුමා හැම දේම හොඳට සප්ලයි කරලා තිබුණාණේ. ඒක නිසා අපිට මේ වැඩ ටික පහසු වුණා” රමේෂ් කීය.
පැය දෙකක් පමණ බැසිල් එතැන රැඳී සිටිමින් කටයුතු ගැන සොයා බැලුවේය. 
මැයි දින පෙළපාළියේ පිළිගැනීම් ස්ථානයේ සිටියේ බැසිල්ය. රැලියට එක්වන පිරිස් ගැන නිරීක්ෂණය කළ ඔහු මෙවර සෙනඟ ගෙනවිත් ඇති අය ගැන තක්සේරුවක් ගැනීමට උත්සාහ කළේය. පෙළපාළිය ආරම්භ කරන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටියේ තංගල්‍ලේය. තංගල්‍ලේ සිට හෙලිකොප්ටරයෙන් ගාල්ලට පැමිණි ඔහු වේදිකාවට පැමිණීමට පෙර ගාල්ල කොටුව තුළට ගියේය. ඒ කොටුව තුළ සිටින සිය ඥාතියකුගේ නිවසටය. එහි ටික වේලාවක් ගත කළ මහින්ද වේදිකාවට පැමිණියේ සංවිධායකයින්ගෙන් ඇමතුමක් ලැබුණ විටය.
මැයි දින රැලිය අවසන්වීමෙන් පසුව මහින්ද වේදිකාවෙන් පහළට බැස්සේ සංවිධායකයන්ට ස්තුති කරමිනි.
“මේක හොඳට සංවිධානය කරලා තිබුණා. හැබැයි මට ‍පොඩි ඉල්ලීමක් තියෙනවා” මහින්ද කීය.
“ඒ මොකක්ද සර්” අවට සිටි සියලුදෙනාම මහින්ද වෙත අවධානය යොමු කළේය.
“මීට පස්සේ මේ වගේ උත්සවලට එන අපේ ජනතාව බස් රථවලින් පුළුවන් තරම් ළඟටම ගෙන්වා ගන්න. කිලෝමීටර ගණනාවක් ඈත ඉඳලා පයින් එන්න සිද්ධවුණා කියලා මට ආරංචි වුණා. එහෙම කරන්න එපා. හැම තැනකින්ම මිනිස්සු එද්දී මේ විදියට කරන්න අමාරුයි කියලා මම දන්නවා. හැබැයි මිනිස්සුන්ට කරදර අඩුම විදියට අපි වැඩ කරන්න ඕන” මහින්ද කීය.
එදින රාත්‍රී ආහාර සූදානම් කර තිබුණේ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ කිතුලම්පිටියේ නිවසේය. එහෙත් මහින්දගේ සහෝදරියක අභවප්‍රාප්තවී වසරක් ගතවීම නිමිත්තෙන් වන ආගමික වැඩකටයුත්තක් දෙණියායේ සංවිධානය කර තිබුණි.
“රමේෂ් මට පිරිතකට දෙණියායේ යන්න වෙලා තියෙනවා. ඒ නිසා වෙන වෙලාවක එන්නම්” මහින්ද පිටත්ව ගියේය.
 
ලොකුගේ ගේ චණ්ඩිකම් 
 
මේ සතියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූයේ ජී.එල්. පීරිස් හිටපු ඇමැතිවරයාගේ නිවසේදීය. ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ගැන එහිදී වැඩි අවධානයක් යොමුවිය.
 “මේ දහසය දෙනා සෘජුව ඒකාබද්ධ විපක්ෂයේ සහ ‍පොහොට්ටුව එක්ක එකතුවෙන්න ඕන. මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම පවසා තිබුණි.
එදිනම සවස ගාමිණි ලොකුගේ ගේ හැත්තෑ පස්වැනි ජන්ම දිනය වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණි. රාජපක්ෂ පවු‍ලේ සහෝදරයෝ සිව් දෙනෙක් එයට එක්ව සිටියහ. මන්ත්‍රීවරුද එහි පැමිණ සිටි අතර බැසිල් මන්ත්‍රීවරු සිටි තැනට පැමිණ ටික වේලාවක් කතා කරමින් සිට එතැනින් පිටත්ව ගියේය.
“එක්කෙනෙක් නම් ඇවිත් ගියානේ. අනික් කෙනත් ආව නම් අපිට කවුද හොඳ කියලා හිතාගන්න තිබුණා” පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේ ගෝඨා දෙස බලමිනි. ඒ කතාව කියනවාත් සමගම ගෝඨාත් මන්ත්‍රීවරු සිටින තැනට පැමිණියේය.
“මීළඟ ජනාධිපතිවරණයට කවුරු ඉදිරිපත් වුණත්  එයාට අනිවාර්යෙන්ම මහින්ද මහත්තයාගේ ආශිර්වාදය තියෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට නම් අපේ කිසිම සහයෝගයක් නෑ” පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේය.
“ජනාධිපතිවරණයක් එනකම් අපි ඕවට කලබල වෙන්නේ නැතිව ඉන්න ඕන. ජනාධිපතිවරණයක් කිට්ටුවට ආවම අපිට පුළුවන් අපේ අපේක්ෂකයා කවුද කියලා කියන්න. එතකම් සද්ද නැතිව ඉන්න එක තමයි හොඳ” ප්‍රසන්නගේ කතාව සියල්ලෝම අනුමත කළහ.
මේ අතර මහින්ද ගාමිණි ලොකුගේගේ ‍ලේලියන් දෙදෙනා සිටි තැනට ගොස් ලොකුගේගේ දේශපාලන අතීතය ගැන සිහිපත් කළේය.
“ලොකුගේ මන්ත්‍රීතුමා නම් හරිම හිතුවක්කාරයා. කවුරුහරි ගහන්න ආවොත් එයා අරින්නේ නෑ. බැන්නොත් බණිනවා. ගැහුවොත් ගහනවා. ඒ වගේ චරිතයක් තමයි මේ”මහින්ද ලොකුගේ පෙන්වමින් කියන විට ‍ලේලියෝද ඒ කතාව අනුමත කළෝය. 
“මතක නැද්ද එදා මරික්කාර්ගේ කනට ගහපු හැටි. කොල්ලෙක් වගේ නැගිටලා දුවගෙන ගියේ” මහින්ද සිනාසෙමින් සිහිපත් කළේ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුමක් ගැනය.
ලොකුගේ ගේ උපන්දිනය වෙනුවෙන් කේක් කපන අවස්ථාව පැමිණි විට මහින්ද ප්‍රසන්න රණවීර පෙන්වමින් තවත් උපන්දින කුමාරයෙක් ගැන කීවේය.
“අද අපිට තවත් උපන්දින කුමාරයෙක් ඉන්නවානේ. මේකට එයත් සම්බන්ධ කරගන්න” ඒ අනුව ලොකුගේ කේක් කැපුවේ රණවීරත් අසලින් තබාගෙනය.
 
ගෝඨාට අවස්ථාවක් නොදෙන හැටි 
 
පසුගිය සතියේදී ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් හමුවීමට බටහිර තානාපති රටක තානාපතිවරයෙක් පැමිණියේය. ඒ රටේ පවතින දේශපාලන තත්ත්වය ගැන සුහදව අදහස් හුවමාරු කරගැනීමටය.
“ඔබතුමා හිතන්නේ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් කවුරු ජනාධිපති අපේක්ෂකයා වේවි කියලාද”තානාපතිවරයා ඇසුවේය.
“ගෝඨා තමයි ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ” ඇමැතිවරයා උත්තර දුන්නේය.
“ඒක වෙන්න බෑ. තවම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගෝඨාගේ පුරවැසිභාවය අහෝසි කරලා නෑ. ඒක අහෝසි කරන එකක් නැහැ. ඒ නිසා ගෝඨාට ඡන්දයට එන්න තියෙන අවස්ථාව අඩුයි” තානාපතිවරයා කීවේ ගෝඨාගේ මැතිවරණ බලා‍පොරොත්තු ගැන සැකයක් තබමිනි. 
 
තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.