තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව නොරහසකි. ඒ අතර ඔවුන්ගේ සිත් තුළට කිසියම් බියක් හෝ චකිතයක් නොදැනෙන්නේම නොවේ. විශේෂයෙන් වැඩිවිය පත් තරුණ දැරියක පාසල් ගොස් නිවසට එනතුරු දෙමපියන් නොඉවසිලිමත්ව පෙරමඟ බලා හිඳිනුයේ අද සමාජයේ අසන්නට දකින්නට සිදුවන කොතෙකුත් අතිශ්‍ය අවාසනාවන්ත සිදුවීම් නිසාය.
එවන් දියනිවරුන් අතර මඟ දී කාම රකුසන්ට, මඟමරුවන්ට හෝ කප්පම් කරුවන්ට ගොඳුරු වූ අවස්ථා අප කොතෙකුත් අසා තිබේ.
එහෙත් පාසල අවසන් වී නිවස බලා යාමට බස් නැවතුමේ සිටි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් හදිසියේ රෝගාතුරව ඇද වැටීමෙන් මියයාමේ දුක්මුසු පුවතක් යක්කල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.
සචිනි කෞෂල්‍යා වන දැරිය යක්කල අනුර මහ විදුහලේ ශිෂ්‍යාවකි. පෙරේදා (20) ඇය දහවල් බස්නැවතුම් පළේදී හිටිහැටියේ ඇද වැටෙනු දුටු සිසුන් දෙදෙනකු වහා ඇය ත්‍රිරෝද රථයක නංවා ගම්පහ රෝහලට ගෙනවිත් තිබේ. ඒ වන විටත් ඇය සිහිසුන් තත්ත්වයක පසුවී තිබේ.
රෝහලට ඇතුළත් කර ටික වේලාවකින් ඇය මිය ගොස් ඇති බව වෛද්‍යවරු පවසා තිබේ.
දැරියගේ ජීවිතය බේරා ගැනීමට ඒ රෝහලේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් පවා පැමිණ දැඩි වෙහෙසක් දරා ඇත. එහෙත් ඔවුන්ගේ එම උත්සාහයන් නිශ්පල වී තිබේ.
සිසුවියගේ මරණ පරීක්ෂණය ඊයේ (21) රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන ලද අතර එම මරණයට හේතුව හදිසි හෘදයාබාදයක් බව පෂ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය ලසන්ත සිල්වා මහතා නිගමනය කොට ඇත.
සිසුවිය ගොරකදෙණිය උඩුතුත්තිරිපිටිය පදිංචිකාරියකි.
සුසන්ත අබේරත්න - ගම්පහ
Comments