Coss Ear2
lakbima.lk
COSS Ear 1

දුම්බර කඳුවැටියේ සොභාදම් රජදහන පිටවල පතනට යමු

ශ්‍රී ලංකාවේ දක්නට ඇති අසිරිමත් ස්වභාවික පරිසර පද්ධතීන් අතර පතන් වලට හිමිවන්නේ විශේෂ තැනක් ඒ පතන් අතරිනුත් මාතලේ දිස්ත්‍රිකයේ නකල්ස්; දුම්බර කඳුපන්තියට අයත් පිටවල පතන අපේ රටේ විතරක් නොවේ ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රසිද්ධියක් උසුලන අගනා පරිසර පද්ධතියක්. පතන යන්නෙන් අදහස් වන්නේ කඳු වළල්ලකට මැදි වූ තැනිතලා ප්‍රදේශයක්.

නකල්ස් කඳු වලල්ලට මැදිව පිහිටි සුවිසල් තැනිතලා ප්‍රදේශයක් වන පිටවල පතන පතන යන්නට දිය හැකි විශිෂ්ට උදාරණයක්. මුළුමනින් කලුගල් තලාවක් වන මේ පතන් බිමේ ඇත්තේ අගල් කිහිපයට සීමා වුණු තුනී පස් තට්ටුවක් විතරයි. එනිසා මෙහි කිසිම උස් ශාකයක් වැඩෙන්නේ නැහැ. බොහෝ විට මේ පතන් වල දැකිය හැක්කේ තෘණ පඳුරු පමණයි. වැසි කාලයට මෙම ගල්තලාව මතට නොමදවම ලැබෙන ජලයෙන් පෝෂණය වීම නිසා පිටවල පතන ජෛව විවිධත්වයෙන් අනූන පරිසර කලාපයක් ලෙස ප්‍රසිද්ධයි.

දැනට අධ්‍යාපනික පර්යේෂණ සහ සංරක්ෂණ කලාපයක් ලෙස නම් කොට ඇති මෙය මුළු මනින් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින පරිසර පද්ධතියක්. පිටවල පතනට පමණක් සීමා වූ 'පතන් අල' මෙලොව වෙන කිසිදු තැනකින් දක්නට නොලැබෙන බව පැවසෙනවා. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් ආදී මාස වල පවතින නියඟය නිසා මුළු පිටවල පතනම වියලි බවට පත්වන අතර එහිදී මේ පතන් අල ශාකයද මුළු මනින් වියලී ගියත් නැවත ඊසාන දිග මෝසම් වරුෂාවත් සමඟ එම අල වලින් නැවත එම ශාකය වැඩෙනවා. ඊට අමතරව කඳුලැස්ස, නිල්මොණරැස්ස, වටැස්ස ආදී දුර්ලභ ශාක සහ දුම්බර ගල්පර මැඩියා ආදී දුලභ සතුන් මේ අගනා පරිසර පද්ධතියේ දී ඔබට දැක ගන්නට පුළුවන්.

පිටවල, රත්කින්ද,ඇටැන්වල ආදී ගම්මාන ආශ්‍රිතව පිහිටා ඇති පිටවල පතනට මානිගල ඇතුළු කඳුවැටි මනාව දර්ශනය වෙනවා. එමෙන්ම වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අලි ඇත්තු වියළි කාල වලදී මෙම පතන් බිමේ දී දැකගන්නට පුළුවන්. මෙම පිටවල පතනේ කෙලවරක් ප්‍රපාතයකින් නිමාවට පත් වන අතර එය හැඳින්වෙන්නේ පුංචි ලෝකාන්තය නමින්. මුහුදු මට්ටමින් අඩි 4000 ක් පමණ උසින් පිහිටි මෙහි වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 පමණ වනවා. එමෙන්ම දුම්බර ප්‍රදේශයට ආවේනික ‍මිහිදුම ඇතැම් උදේ සහ රාත්‍රී කාලවල මේ පිටවල පතන මුළුමනින් වැළඳගෙන සිටිනු දක්නට පුළුවන්.

නමුත් මෑත කාලයේ සිට අප ර‍ටට බලපාන දේශගුණික විසමතාවයන් නිසා මේ පිටවල පතනත් දැඩි නියගයන්ට ගොඳුරුවූ බව කණගාටුවෙන් වුවද කිව යුතුයි. නමුත් වැසි කාලවලදී ජල මූලාශ්‍ර රැසකින් පෝෂණය වන මේ පිටවල පතන අප ‍රටේ ඇති ස්වබාවදමේ විශිෂ්ටතම තිළිණයක් බව කිව යුතුමයි.

නමුත් අනවසර වගා කරුවන්ගෙන් සහ පරිසරය කෙරෙහි තැකීමක් නොමැති දේශීය සංචාරකයන්ගෙන් මේ පරිසර කලාපයට සිදුවන හානිය අවමකොට මෙය රැක ගැනීම අපකාගේත් මහඟු යුතු කමක්. මාතලේ සිට රත්තොට නගරයට පැමිණ කිලෝමීටර් 15 ක දුෂ්කර මංපෙතක් ඔස්සේ පැමිණ රිවස්ටන් සම්ප්‍රේෂණ කුළුන මාර්ගය ඔස්සේ ඔබට මෙහි ළඟා විය හැකියි. නමුත් මිහිකතට අමිල මෙහෙවරක් ඉටුකරන මෙවන් පරිසර පද්ධතීන් වලට කිසිදු අයහපත් බලපෑමක් සිදු නොකිරීම මෙහි එන ඔබ කාගේත් වගකීමක් බවද නොකියාම බැහැ.

සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.