Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහියංගනයත් සමඟම වැඳ පුදා ගත හැකි නාගදීපයක්

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgඅප කවුරුත් දන්නා සොළොස්මස්ථාන වඳින ගාථාව ඇරඹෙන්නේ ‘මහිංයංගනං නාගදීපං’ යනුවෙන්.  එහි නාගදීපය යනු අප කවුරුත් දන්නා උතුරු පළාතේ පිහිටි නාග දීපය බවයි පහසුවෙන් වටහා ගත හැක්කේ.

 නමුත් ඒ ගාථාවෙන් පැවසෙන නාගදීපය වියහැකි යැයි සාධාරණ ලෙස අනුමාන කළ හැකි තවත් ඉපැරණි නාගදීපයක් මහියංගනයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ගිය පසු  හමුවන බව ඔබ මෙතෙක් දැන සිටියාද? බොහෝ විට ඔබ  තවමත් මේ සිද්ධස්ථානය ගැන නොදැන සිටිනවා වන්නට පුළුවන්. අප එසේ කියන්නේ තවමත් මේ පෞරාණික නාගදීප රජමහා විහාරය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී නොමැති නිසයි.

මහියංගනයේ සිට බිබිල පාර ඔස්සේ කිලෝමීටර් 18 ක් පමණ ගිය විට ආඳාඋල්පත නගරය හමුවෙනවා. එය පසුකොට තව මඳ දුරක් යන විට හමුවන හන්දිය නම් කොට ඇත්තේ නාගදීප හන්දිය යනුවෙනුයි. ඒ හන්දියෙන් වමට හැරී මඳ දුරක් ගිය විට නාගදීප වැවේ වේල්ල දැක ගන්නට පුළුවන්. ඉන්පසු ඒ බැව් කණ්ඩිය ඔස්සේම තවත් කිලෝමීටර් කිහිපයක් පසුකරන ඔබට මේ පුරාණ නාගදීප විහාරය වෙත පැමිණිය හැකියි.

බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කරන ලද්දේ යක්ෂයන් දමනය කිරීමට බව මහා වංශය ඇතුළු පැරණි මූලාශ්‍ර රැසක සඳහන්. නමුත් මහියංගනයේ යක්ෂයන් සිටින්නා සේ පැරණි හෙළයේ මෙහි නාගයන් විසූ බව සාධාරණ ලෙස අනුමාන කළ හැකියි.

ආඳාඋල්පත පිහිටි නාගදීප වැව දුරාතිතයේ ඔවුන්ගේ ශිෂ්ඨාචාර ලක්ෂණ පළ කරන්නක් බවට සාධාරණ ලෙස අනුමාන කළ හැකියි. නමුත් අතීතයේ ඒ නාග ජනාවාසය පසුව බුදුදහම හා සම්බන්ධ වූ බව පසුව එහි විහාරයක් ඉදිකිරීමෙන් පෙනීයනවා.මේ නාගදීප විහාරයේ ආරම්භය දෙවනපෑතිස් රජු යුගය දක්වා අතීතයට දිවයන බවක් පැවසෙනවා.මේ ස්ථානයේ පුරාණ දාගැබ් දෙකක් දක්නට ලැබෙන අතර විහාරයට ඉහළින් ඇති දාගැබ ඉතා පැරණි එකක් බව පැහැදිළියි. දැනට කඳු ගැටයක් සේ දිස්වන මෙම දාගැබ අතීතයේ සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කොට තැනූ එකක්  බවයි ජන විශ්වාසයේ සඳහන් වන්නේ. එමෙන්ම මෙය කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද්දක් බවත් පැවසෙනවා.ඊට අමතරව දැනට අඩක් ප්‍රතිසංස්කරණය කර ඇති දාගැබ දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දක් බවයි ජන විශ්වාසයේ පැවසෙන්නේ.දැනට මෙහි කොත් කැරැල්ලක් දක්නට ලැබුණ ද අතීතයේ ඒ වෙනු‍වට සෙල්මුවා චත්‍රයක් සවිකොට තිබූ බව සාධාරණ ලෙස අනුමාන කළ හැකියි. මෙම පුරාණ නාගදීප විහාරයේ බෝධිය අෂ්ඨඵල බෝධීන්වහන්සේ නමක ලෙස හැඳින්වෙන අතර එහි දෙවි දේවතාවුන් වැඩ වාසය කරන බවත් එය ජනතාවට ලෞකික සම්පත් හිමිකර දෙන බෝධියක් බවත්  ප්‍රදේශවාසීන් පවසනවා.මේ පුරාණ නාගදීප විහාරයේ පැරණි විහාර මන්දිර දෙකක් තිබෙනවා. ඉන් පැරණිතම විහාර මන්දිරය මේ වන විට පොලොවට යට වී ඇති බව 1989 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගවේෂණයක දී තහවුරු වී තිබෙනවා.  මහියංගනයේ පැවැති ගම්උදාව වැඩසටහනට සමගාමීව මෙම පුරාණ නාගදීප රජමහා විහාරය කෙරෙහි විශේෂ අවධානයක් නොමුවී තිබුණ ද එය අද වන විට නැවතත් අප්‍රකට තත්ත්වයට පත්වී තිබෙනවා.අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහන් ඇතුළු ශිලා කර්මාන්ත රාශියක් මේ විහාර භූමියේ දැක ගන්නට පුළුවන්. නමුත් මේ දක්වාත් ඒවා නිසි ගවේෂණයකට, සංරක්ෂණයකට ලක් වූ බවක් පෙනෙන්නට නැහැ. ඒ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට නොගොස් මහියංගන විහාරය වැඳ පුදා ගන්නා ගමන්ම නාගදීපයත් වැඳ පුදා ගැනීමට අදහස් කරන ඔබට මේ හෝඩුවාව මහඟු වරප්‍රසාදයක් වනවාට සැක නැහැ.


පී.එස්.පී වීරසිංහ/  ඡායාරූප - රන්මුතු ස්ටූඩියෝ - වේයන්ගොඩ

Comments  

0 #1 සිරි ඇලපාත 2017-08-21 17:48
පුරාවිද්‍යා බලධාරීන් නිදාගෙන සිටින රටක,මෙවැනි ගවේෂණ කලයුතු ස්ථාන බොහොමයක් ඇත.මෙම ස්ථානයට මම ගියෙමි.මා සමග වැඩිය ස්වාමින්වහන්සේ ද සනාථ කලේ,නියම නාගදීපය මෙම ස්ථානය බවයි. නමුත් දෙසපලන හා ආර්ථික වාසිවලින් යැපෙන පාලකයන් හා ආගමික නායකයන් සිටින රටක මෙවැනි පුර්ණ ස්ථාන නොසොයන තරමට පැවැත්ම තහවුරුවේ.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.