Coss Ear2
lakbima.lk
COSS Ear 1

මස් මාළු පිසෙන සුවඳ දරාගත නොහැකි තරුණ මවක්

නිර්මාංශාහාරයෙන් යැපෙන පවුලක වැඩිමල් දියණිය වූ විවේකා විවාහ වී දැනට වසර දෙකකි. එහෙත් ඇය විවාහ වූ පවු‍ලේ සාමාජිකයෝ සාමාන්‍යය පරිදි මස් මාළු අනුභවයට පෙළඹී සිටියහ. මේ තත්ත්වය මත මුලදී විවේකාට තම සැමියාගේ නිවසේ ජීවත්වීම බෙහෙවින් අසීරු වූයේ ඇයම පවසන අන්දමට එම නිවසේ පිඟන් කෝප්පවල පවා මස්මාළුවල ‘පිළීගඳ’ රැඳී තිබූ නිසාය.  එහෙත් පසුකාලීනව සැමියාගේ දැඩි පෙරැත්තය  මත විවේකා එම ගන්ධය දරා සිටීමට පෙළඹුණ මුත් ඒවා සම්බන්ධ කිසිදු ප්‍රියමනාප බවක් ඇගේ සිත තුළ නොවිණි.
තම විවාහ දිවිය පරිපූර්ණත්වයට පත් කරමින් විවේකා ගැබ් ගන්නේ ඔය අතරය. ඇගේ එම ගැබ් ගැනීමත් සමග උදෑසන වමනය ඔක්කාරය ආදී මුලික ගැබිනි ලක්ෂණ පහළ වූ අතර ගැබිනි බවේ මූලික ලක්ෂණයක් වන ආහාර අරුචියද ඇය කෙරෙන් දක්නට ලැබිණ. එහෙත් එම ආහාර අරුචියේ විශේෂිත ලක්ෂණයක් වූයේ මස් මාළු කරවල ආදී මාංශමය ආහාර  ගන්ධය ‘මුළුමනින්ම ඇයට පිළිකුල් සහගත වීමය. එම පිළිකුල කොතෙක්ද යත් අහල පහළ නිවසක එවන් මාංශමය ආහාරයක් පිසීමේදී  දැනෙන ආඝ්‍රාණය පවා ඇයට දැරිය නොහැකි විය. මේ තත්ත්වය කතෛක් බරපතළ වීද යත් විවේකාගේ මෙම තත්ත්වය සලකා බලා එම නිවසේ මස් මාළු, කරවල ආදිය පිසීම පවා මුළුමනින්ම අත්හිටුවන ලදී.
කෙසේ හෝ ගැබිනි කාලය සම්පූර්ණ වීමෙන් පසුව විවේකා හුරුබුහුටි නිරෝගී පුතණුවකු මෙලොවට බිහි කළාය. ඒ සම්බන්ධයෙන් විවේකාගේ මව පවසා සිටියේ දරුවා කුස තුළ සිටි අවදියේදී විවේකාට මස් මාළු කරවල ආදි මාංශමය ආහාර මුළුමනින්ම පිළිකුල් සහගත වීමට හේතුව එම දරාවා මහා පින්කාරයකු වීම නිසා බවය.
කෙසේ හෝ දරු ප්‍රසූතියෙන් පසුවද විවේකා තුළ පැවැති එම මස් මාංශ පිළිකුල එලෙසින්ම පැවැතීම ඇගේ සැමියාට සේම ඔහුගේ පවු‍ලේ සාමාජිකයන්ට තරමක ගැටලුවක් විය. ඊට හේතු වූයේ දීර්ඝ කාලයක් තිස්සේ සාමාන්‍ය පරිදි මස් මාළු අනුභවයට පෙළැඹී සිටි විවේකාගේ සැමියාගේ පවු‍ලේ හිතවතුන්ට විවේකා නිසා අකමැත්තෙන් වුව නිර්මාංශාහාර වීමට සිදුවීමටය.
එහෙත් දරුවාට වසරක් සපරීමෙන් පසුවද විවේකා තුළ මස්, මාළු, කරවල ආදිය සම්බන්ධයෙන් පවතින ආසාමාන්‍ය පිළිකුල කිසියම් රෝගී තත්ත්වයක් නිසා බවට අනුමාන කළ විවේකාගේ සැමියා ඇතුළු ඔහුගේ පවු‍ලේ සාමාජිකයෝ ඇය කායික රෝග විශේෂඥයකු වෙත යොමු කළහ. එහිදී ඒ සඳහා ඉවහල්වන හෝමෝන පරීක්ෂාවක් කර වූ කායික රෝග
විශේෂඥවරයා විවේකා තුළ එවන් අසාමාන්‍යතාවයක් නොමැති බව තහවුරු කිරීමෙන් පසුව ඇය මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළේය.
එහිදී විවේකාගේ වත්මන් මස් , මාළු කරවල අරුචිය සහ ඒ සම්බන්ධ අතීතය පිළිබඳව කරුණු විමසූ මනෝ වෛද්‍යවරයා කුඩා කාලයේ සිට පැවැති එම මස්, මාළු , කරවල ගන්ධය පිළිබඳ සංවේදීතාව ගැබිනි සමයේදී වඩාත් තීව්‍රව දැකීම සාමාන්‍ය තත්ත්වයක් බවද පැවැසීය. එහෙත් ඉතා කලාතුරකින් පසුව ගැබිනි සමයේ සිරුරේ ඇති වූ හෝමෝන විෂමතාවයක් නිසා ආහාර සම්බන්ධයෙන් පවත්නා අධි සංවේධී බව එලෙසම  පැවැතිය හැකි බව පෙන්වා දුන් වෛද්‍යවරයා විවේකා තුළ එවැනි තත්ත්වයක් නොමැති බවද පෙන්වා දුන්නේය.
එසේ නම් ඇය කෙරෙහි බලපෑ මස්, මාළු, කරවල ආදිය පිළිබඳ දැඩි පිළිකුලට හේතු වී ඇත්තේ කුමක්ද? විවේකා කුඩා කාලයේ සිට මස්, මාළු, කරවල පිළිකුල් කරන නිර්මාංශාහාරික පවුලක සාමාජිකාවක වීම මත ඒවායේ ආඝ්‍රානය පවා පිළිකුල් සහගත බවට මානසික පෙළඹුමක් කුඩා කාලයේ ඇගේ මනැසේ ධාරණය වී ඇත. එවිට ‘පිළී ගඳ’ යනුවෙන් හැඳින්වෙන   එම තත්ත්වයන් හිදී ඇය ඊට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කිරීම ස්වාභාවිකය. බාලවියේදී යම් යම් කරුණු සම්බන්ධයෙන් මෙලෙස දැඩි මානසික ඇනවුම් සිත  තුළ ධාරණය වීම මත වයසින් වැඩීමත් සමග ඒවා කෙරෙහි දැඩි මානසික විරෝධයක් ඇතිවීමද ස්වබාවිකය. එවන් තත්ත්වයක් යටතේ විවාහ දිවියට එළැඹීමෙන් පසු විවේකා තම සැමියාගේ රුචිය මත මස් මාංශ පිසෙන ගන්ධය සීමාන්තික දරා සිටීමට පෙළඹී ඇතත් ගැබිනි සමයේ ඇති වූ ස්වභාවික ෙජෙවමය තත්ත්වයන් යටතේ ඇයට යළිත් මස් මාංශ පිසෙන ගන්ධය දරා සිටීම එපා වී ඇති බව පෙනෙයි. එහෙත් දරු ප්‍රසූතියෙන් පසු ගැබිනි සමයේ ඇය තුළ පැවැති හෝමෝන විෂමතාව සමනය වුවද  එතෙක් තාවකාලිකව යටපත්ව තිබූ මස් මාංශ පිසීමේ ගන්ධය කෙරෙහි පැවැති ස්වභාවික පිළිකුල යළි ඉස්මතු වී ඇත. එහෙදී ඇයට ගැබිනි සමයේ මස් මාංශ මෙලෙස පිළිකුල් වීමට උපදින දරුවා මහා පිනැත්තකු වීම සහ සාම්ප්‍රදායික විශ්වාස ඇගෙ මනස තුළ පැලපැදියම්වීමද යම් අයුරකින් බලපාන්නට ඇත.
කෙසේ හෝ සෑම මිනිසකු තුළම තමන් කැමැති සහ අකමැති ආදී වශයෙන් ආහාර වර්ගීකරණය තිබේ. එය ස්වභාවික තත්ත්වයකි. එහෙත් කිසියම්  ආහාරයක සුවඳ දැනීමේදී පවා අධි සංවේධිතාවයක් පළ වීම  එම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යාමකි.
එබැවින් මස්, මාළු, කරවල ආදිය  ආහාරයට ගැනීම සහ නොගැනීම කෙසේ වෙතත් ඒවා පිසින සුවඳ දැනීමේදී මනසින් දැඩි ප්‍රතිරෝධයක් එල්ලවීම පෞරුෂ, පවුල්, ප්‍රජා සහ සමාජ සබඳතාවයන් පළුඳු කරවන්නක් බව විවේකාට වටහා දුන් මනෝ වෛද්‍යවරයා එම අධිසංවේදීතාවය දුරලන ඥානක චර්යාත්මක චිකිත්සාවක්  කෙරෙහි විවේකා යොමු කරවන ලදී. එම මානසික ගැටලුවෙන් අත්මිදුණු විවේකාට සාමාන්‍ය දිවි පවෛතක් ගත කළ හැකි වූයේ ඉන් පසුවය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.