Coss Ear2
lakbima.lk
COSS Ear 1

පමණට වඩා දොඩමලු වීම මානසික රෝග ලක්ෂණයක්ද?

ප්‍රදේශයේ ප්‍රභූ පවුලක සාමාජිකාවක වන සිරිවර්ධන මහත්මිය තම යෙහෙළියන් විසින් හැඳුන්වනු ලැබූ උපහාසාත්මක නමක් විය. ඒ ‘කෝච්චිය’යන්නය.
මිසිස් සිරිවර්ධන කතා කරන්න ගියාම හරියට කෝච්චියක් වගේ එක දිගටම කියවාගෙන යනවා. ඒත් එයා මොනවා කියනවද කියන්න අපි තියා එයාවත් දන්නේ නැහැ. කියන්න ඕනේ දේවලුයි එපා දේවලුයි  තොරතෝංචියක් නැතුව ඔහේ කියාගෙන යනවා. එයාට කොහොම වුණත් ඒවා අහගෙන ඉන්න අපිටත් පිස්සු හැදිලා තමයි අන්තිමට නතර වෙන්නේ.
සිරිවර්ධන මහත්මිය ‘කෝච්චිය’ නමින්  හැඳින්වීමට හේතුව පිළිබඳව ඇගේ මිතුරියෝ එසේ කියති. කවුරුත් දන්නා අන්දමට සිරිවර්ධන මහත්මිය ප්‍රද්ශයේ ප්‍රභූවරයකුගේ දියණියකි. ඇය විවාහ වී ඇත්තේ ඇයට වඩා වසර විස්සකින් වැඩිමල් ඉඩම් හිමි වැවිලි කරුවෙකු සමගිනි. ඔහු මියගොස් දැනට වසර විස්සක් පමණ වන අතර එම ධනයේ පූර්ණ හිමිකමද දැන් සිරිවර්ධන මහත්මිය සතුව තිබේ. එමෙන්ම එම දෙපළගේ එකම දියණියද උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවන ලදුව  එරටින්ම විවාහයක් කරගෙන දැන් එහිම පදිංචිව සිටියි. ඒ අනුව සිරිවර්ධන මහත්මිය දැනට ගත කරනුයේ නිදහස් දිවි පවෛතකි.
බොහෝ දෙනකු පවසන අන්දමට සිරිවර්ධන මහත්මිය මෙලෙස කරනුයේ කිසිදු තේරුමක් නොමැති නන් දෙඩවීමකි. එම නන් දෙඩවීම ඇයට අවාසි සහගත වන අවස්ථාද කොතෙකුත් තිබේ. එහෙත් ඇයට ඒ පිළිබඳ වගේ වගක් නොමැත.
එලෙස අසීමාන්තික ලෙස නන් දෙඩවීම හැරුණු කොට අන් කිසිදු අසාමාන්‍යතාවක් ඇය කෙරෙහි දක්නට නොමැත. දවසේ සියලු වැඩකටයුතු ක්‍රමානුකූල අයුරින් කරන පිරිසිදුවට සහ අලංකාරවත් ලෙස අඳින පළඳින අය තම නිවසේ කටයුතු සේම සේවක කාරකාදීන්ගේ කටයුතුද ඉතා ක්‍රමානුකූලව සිදු කරන  ඇය කතා නොකර හිඳින තාක්කල් කිසිදු අඩුපාඩුවක් නොමැති කාන්තාවකැයි බොහෝ දෙනෙක් කියති. සැබැවින්ම මෙලෙස පමණ ඉක්මවා අසීමාන්තික ලෙස කතා කිරීම මානසික රෝගයක්ද? අපි ඒ පිළිබඳව විමසා බලමු.
කිසියම් කෙනෙකුගේ ඕනෑම හැසිරීමක පමණ ඉක්මවීමක් හෝ අසාමාන්‍යතාවයක් පෙනේ නම්  ඒ පුද්ගලයා තුළ කිනම් හෝ මානසික අසාමාන්‍යතාවක් පවතින බව මූලිකව අනුමාන කළ හැක. එහෙත් සෑම මානසික අසාමාන්‍යතාවක්ම මානසික රෝග වශයෙන් සැලකිය නොහැක. ඊට හේතුව එම අසාමාන්‍යතාවයන් සඳහා මානසික රෝග නොවන මානසික අර්බුද සේම කායික, සමාජ සහ මානසික ගති ලක්ෂණ (Traits) මතද යම් යම් චර්යාත්මක විෂමතා ඇති වීමය.
මාන රෝගී පෞරුෂය (Histrionic personality) නම් මානසිකත්වයෙන් යුතු අයද තම සිත තුළ උපදින හැඟීම ආවේග එලෙසින්ම එළි දක්වන අතර ඒ අතින් ඔවුහු කිසියම් විවෘත ස්වභාවයක් පළ කරති. සෙසු පුද්ගලයන්ට වඩා හැඟීම්බර සහ ආවේගකාරී බවක් පළ කරන ඔවුහු තම ජීවිතයට එළැඹෙන සියලු දුක්ඛ දායක සහ සතුටුදායක අත්දැකීම් සෙස්සන් හමුවේ විවෘත අයුරින් මුදා හැරීමට පසුබට නොවෙති. 
මීට අමතරව තමන් පිළිබඳව පම්‍පෝරි ගැසීම  යනුවෙන් හඳුන්වන තමන් පිළිබඳ අසීමාන්තිකව වර්ණනා කිරීම අබිමාන මෝහ (grandiose delusion) සහ ආත්මරාගී පෞරුෂ ආබාධය යන මානසිකත්වයන් මත ද සිදු කෙරේ. මේවා සම්බන්ධයෙන්  වැඩිදුර විමසීමේදී ඒවා මානසික රෝග, මානසික අර්බුද සහ පෞරුෂ ලක්ෂණ ලෙස සායනික වශයෙන් හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට පුළුවන.  ප්‍රකෘති ජීවිතයේදී තමන්ට අහිමි  දෑ සම්බන්ධයෙන් සිත තුළ හට  ගෙන ඇති ආතතිය නිසා ඒ පිළිබඳව  වැඩිපුර කතා කිරීමේ  තත්ත්වයක් ඇති අතර එය හැඳින්වනුයේ අධිහානි පුරනය  (Overcompensation) නමිනි. (Psendologia Fantastica)නම් මානසිකත්වයක්ද ඇතැම් පුද්ගලයන් තුළ පවතින අතර මන්ද (Hypomanig) නම් මානසික රෝගයේ ලක්ෂණයක් ලෙස මෙසේ අසීමාන්තිකව කතා කිරීම් දැක්විය හැක. ඒ කෙසේ හෝ මෙබඳු පමණ ඉක්මවා කතා කරන පුද්ගලයන් ඒ මුල් කොට මනෝ වෛද්‍ය සායනවලට යොමු කළහොත් ඔවුන් එසේ පවසන කරුණු, ඒවා පවසන ස්වරූපය සහ ඒ අශ්‍රිතව ඔවුන් කෙරෙහි පළවන සෙසු ගති ලක්ෂණද විමසා බලා  ඔවුන් තුළ ඇත්තේ මානසික රෝගයක්ද මානසික අර්බුදයක්ද නැතහොත් එය ඔවුන් තුළ පවත්නා ගති ලක්ෂණයක්ද යන්න නිවැරදිව වටහා ගැනීමටත් ඉන් පසු  අවශ්‍ය පරිදි ඖෂධ සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා දීමෙන් එම තත්ත්වය සමනය කිරීමටත් හැකිවනු ඇත.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් M.B.B.S. M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සටහන දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.