Coss Ear2
lakbima.lk
COSS Ear 1

උදයංගිට දිගින් දිගටම නරක සිහින පෙනුණේ ඇයි?

සිහින පෙනීම අප කාටත් උරුම පොදු ධර්මතාවයකි. ඒ සිහින පෙනීම් අතරේ සිහිනයෙන් බියවීමද සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් උදයංගි හට සිහින පෙනීම සහ සිහිනයෙන් බිය වීම ඉන් ඔබ්බට පැතිර ගිය තත්ත්වයක් විය.

උදයංගිගේ මව මිය‍ ගියේ ඇගේ වයස යන්තරම් අවුරුදු හයක් පසුවීමටත් පෙරය. ඉන්පසුව ඇගේ පියා තවත් බිරිඳක විවාහ කරගත්තේ උදයංගිට නැතිවූ මව් සෙනෙහස යළි ලබා දීමේ අරමුණිනි.

එහෙත් ‘පරිස්සමට තැබූ දේ ඈලියාවට ගියා’ කියන්නාක් මෙන් කුඩම්මාගේ පැමිණීමත් සමඟ උදයංගිගේ ජීවිතය තවත් අඳුරු විය. කලක් ඇවෑමෙන් ඇයටද දියණියන් දෙදෙනෙකු ලැබුණු අතර ඉන් පසු උදයංගිගේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරුණි.

ඉන්පසු ඇයට එම පවුලේ දියණියකගේ භූමිකාව වෙනුවට හිමිවූයේ  මෙහෙකාරියගේ භුමිකාවය.

උදයංගිට වයස අවුරුදු දහසය සම්පූර්ණ වීමත් සමඟම හදිසි අනතුරකට ලක් වූ පියා අකල් මරණයකට පත් වූ අතර ඉන් පසු ඇයට නැන්දම්මාගේ තාඩන පීඩන දැඩිව දැනෙන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ උදයංගි වයස අවුරුදු විස්ස සම්පූර්ණ වීමත් සමඟම හන්දියේ සුළු ව්‍යාපාරයක් කළ තරුණයෙකු හා හොර රහසේම විවාහ වීමය.

දැනට ඇගේ විවාහයට වසර විස්සකි. මේ වන විට උදයංගි දෙදරු මක්ද වේ.

තම පියාගේ දේපළ වලින් කොටසක් තමන්ටද උරුමව ඇති බව උදයංගි දනී. එහෙත් මේ වන විට ඒ කිසිවක් තමන්වෙත ලබා දීමට කුඩම්මා සහ ඇගේ දියණිවරු කැමති නැත. එමෙන්ම කුඩම්මාගේ වැඩිමල් දියණිය පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ අයථා ඇසුරක් පවත්වන බව කවුරුත් දනිති.

වරක් කුඩම්මාගේ වැඩිමල් දියණියට  අතරමඟකදී හමුවූ උදයංගිගේ සැමියා උදයංගිට ඇති එම දේපළ හිමිකම ගැන පවසා තිබේ. එය බෝම්බයක් ගැසුවාක් බඳු තත්ත්වයක් වූයේ එම දියණිය ඒ බව තම පාතාල පෙම්වතාට කී පසුවය. ඉන් දින කිහිපයකට පසු එම පාතාල පෙම්වතා උදයංගිගේ නිවසට පැමිණ මින් පසු ඒ පිළිබඳව වදනක් වත් නොදොඩන ලෙස උදයංගිගේ සැමියාට පවසා තිබුණේ පිස්තෝලයක් ඔහුගේ මුව තුළට ඔබමිනි.

මෙම සිද්ධියෙන් පසුව උදයංගි නිති පතා දුටු සිහිනයක් විය. එනම් තමන් පසු පස සතුරු කණ්ඩායමක් ලුහු බඳින බවය. එමෙන්ම තමන් වෙසෙන නිවස හොරුන් බිඳින අයුරුත්, තමන් සැමියා සහ දරු දෙදෙනා සමඟ මහ මඟ සිඟා කන අයුරුත් ඇය නිතර නිතර සිහිනෙන් දුටුවාය. එමෙන්ම කවුරුන් හෝ තමන් පසු පස ලුහුබඳින විට තමන්ට දුව ගත නොහැකිව දෑත් දෙපා අප්‍රාණිකව තමන් බිම වැ‍ටෙන අයුරුත් ඉන් පසු ඒ ලුහුබඳින්නාගේ ග්‍රහණයට ලක් වන අයරුත් උදයංගි නිතර සිහිනෙන් දුටුවාය.

මෙය කිසියම් ගුප්ත බලපෑමක් නිසා සිදුවන දෙයක් බව බොහෝ දෙනෙකුගේ මතය විය. එහෙත් උදයංගිගේ වැඩිමල් දියණිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් තම මව මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගතයුතු බවය. ඊට හේතුව ඒ වන විට උදයංගිගේ එදිනෙදා කටයුතු පවා බිඳවැටීමකට ලක්ව තිබූ බැවිනි.

ඇය මහ රෝහලක මනෝ වෛද්‍ය අංශයේ ප්‍රතිකාර සඳහා යොමු වූයේ ඒ අනුවය. එහිදී උදයංගි පිළිබඳ සම්පූර්ණ විස්තරය අසා සිටි මනෝ වෛද්‍යවරයා ඇය විශාද රෝගයෙන් පෙළෙන බව නිගමනය කළේය.

එමෙන්ම ඇය එම ‘නරක සිහින (Nightmare)’ පෙ‍නීම ඇයගේ එම ඉඩම් අයිතිය පිළිබඳ නොවිසඳුණු මානසික ගැටළුව සිහිනයෙන් ප්‍රතිනිර්මාණය වීමක් ලෙසද වෛද්‍යවරයා හඳුනා ගත්තේය.

මේවා හැඳින්වෙනුයේ සිතෙහි රැඳුණු හැඟීම් ආවේග මත පදනම් වන ‘චිත්තාවේග සිහින (Residual Dreams)’ යනුවෙනි.

“ එතකොට ඩොක්ටර් කවුරුහරි මාව එළවගෙන එනකොට දුවන්න බැරුව අත පය පණ නැතිව මාව ඇදගෙන වැටෙනවා වගේ පේන්නේ ඇයි ? ”

 උදයංගී මනෝ වෛද්‍යවරයා ගෙන් ඇසීය.

“ නින්දේ ඉන්නකොට අපිව ඇහැරෙන්නේ ඒ සඳහා මොළයෙන් ලැබෙන විධානයත් එක්කමයි. එතකොට තමන්ව කවුරු හරි එළවගෙන එනවා පේනකොට එකපාරටම කෙනෙක් බය වෙලා අවදිවෙන්න පුළුවන්. නමුත් ඒ වෙනකොට ශරීරයට නැඟිටින්න කියලා මොළයෙන් විධානයක් ලැබිලා නැහැ. එතකොට ශරීරය තිබෙන්නේ නින්දකට පත්වුණාම පවතින අප්‍රාණිකත්වයේමයි. නමුත් ඒ අප්‍රාණිකත්වය සිහිනයෙන් බය වෙන තැනැත්තාට පේන්නේ ඒ සිහිනයේම කොටසක් හැටියටයි. ඒකයි හුඟදෙනෙක් හීනෙන් බයවීමත් එක්ක කෑ ගහන්න හැදුවත් හඬ පිටවුණේ නෑ; දුවන්න හැදුවත් ඇඟ පණ නැතිවුණා; වගේ දේවල් කියන්නේ.”

කෙසේ හෝ මෙම තත්ත්වය දිගින් දිගටම සහ කරදරකාරී ලෙස පවතීනම් එය ‘නිදි ආඝාත (Sleep Paralysis)’ තත්ත්වයක් ලෙස හඳුනාගත හැකි බව කී වෛද්‍යවරයා මෙය නොවිසඳුණු මානසික ගැටලුවක් සිහින මඟින් ප්‍රතිනිර්මාණය වීමක් සේ සළකා මේ වන විට ඇය පෙළෙමින් සිටි විශාද රෝගය සඳහා  ඖෂධ නියම කළේය. ඉන් පසු මෙම සිහින දැකීම පිළිබඳව ඇය දැනුවත් කරන ලදී. උදයංගිගේ මෙම නරක සිහින පෙනීම සාමාන්‍ය තත්වයට පත්වූයේ ඉන්පසුවය.
 

සටහන - දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.