Coss Ear2
lakbima.lk
COSS Ear 1

සුරතල් බළලාගේ වියොවින් මාස ගණනක් 'ගොළු වූ' දැරියක්

නව හැවිරිදි පාසල් සිසුවියක වූ තියුනි ගේ ජීවිතය එක්වරම මහත් විපර්යාසයකට ලක්විය. ඒ ඇය කුඩා කාලයේ සිට ඇගේ උණුසුමේ සිටි සුරතල් බළලා ඇයට අහිමිවීමත් සමඟය.

එම සිදුවීමට මුල පිරුවේ මෙලෙසිනි.

සොයුරු  සොයුරියන් කිසිවෙකුත් නොසිටි පවුලේ එකම දියණිය වූ තියුනි කුඩා කල සිටම සුරතලයට බළලෙකු ඇති කළාය. මෙම බළලා කෙමෙන් ඇගේ ජීවිතයට කෙතරම් සමීපවූයේද යත් පාසල් ගොස් පැමිණි මොහොතේ සිට එළඹෙන සෑම මොහොතකම එම සතා සුරතල් කිරීම තියුනි‍ගේ එකම විනෝදාංශය විය.  බළලාට කෑම කැවීමට සේම, වරින් වර ඌ නෑවීමටද උනන්දු වූ තියුනි රාත්‍රියට එම බළලා තමන් නිදාගන්නා ඇ‍ඳේම කොටසක නිදිකරවීමට ද උත්සුක වූවාය.

ඇගේ මෙම පමණ ඉක්මවන බළල් සුරතලය පියාට කෙසේවෙතත් තියුනිගේ මවට බලවත් හිසරදයක් විය. ඒ ඇය ඉදිරියේ මුහුණ දිය යුතු පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඉගෙනුම් කටයුතු සඳහා මෙම බළලා සෘජු බාධකයක් වූ බැවිනි.

"ඔය බළලා නිසා ඔයා ශිෂ්‍යත්ව විභාගෙ ෆේල් වෙන් නැද්ද කියලා බලන්න;  ඇත්තටම ඔයාට ඔය බළලගෙන් තොර ලෝකයක් නැද්ද? ඔන්න ආයි නොකිව්වයි කියන්න එපා ඔය බළල් හුරතලේ දැන්ම නතර නොකළොත් මම ඕකව කොහෙ හරි ගිහින් දානවා."

මව අපේක්ෂා කළ පරිදි තියුනි අධ්‍යාපනයට උනන්දුවක් නොදැක්වීම මත ඇය කිහිපවරක්ම එසේ අනතුරු අඟවා තිබිණ.

මේ අතර ඇගේ අධ්‍යාපන දක්ෂතාවය අනුව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වීම සැක සහිත බවත් අධ්‍යාපනය සම්බන්ධයෙන් තියුනි මීට වඩා උනන්දු කළ යුතු බවත් ඇගේ ගුරුවරියක් තියුනි ගේ මවට පවසා තිබුණි. එවිට එක්වරම ම‍වගේ සිතට පිවිසියේ තම දියණියගේ අධ්‍යාපන නොහැකියාවට එකම හේතුව බළලා බවය. එනිසා ඇගේ එම අධ්‍යාපන උදාසීනත්වය දුරලනු පිණිස තියුනිගේ මව එක්තරා උපායක් යෙදුවාය. එනම් තියුනිට නොදන්වා එම බළලා ඇගේ ඥාති සොයුරියකගේ නිවසට යැවීමය.

එදින පාසල නිමවී නිවසට පැමිණි තියුනි තම සුරතලා නොමැති සොවින් මහත් කම්පනයට පත්වූවාය. එදින රාත්‍රිය වන විට ඇගේ හැසිරීම් සියල්ල අසාමාන්‍ය විය. තම බළලා නැවත ලැබෙන තුරු තමන් කිසිදු කෑමක් බීමක් නොගන්නා බව පැවසූ තියුනි යහනට වී නිදාගත්තාය.

තම දියණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්කරවීම සඳහා තමන් දැරූ මෙම උපක්‍රමය එතරම් නුවණට හුරු නොවන බව ඇගේ මවට වැටහීගියේ ඉන්පසුවය. ඒ අනුව ඊට පසු දින එම බළලා ඇයට නැවත ලබාදීමට කටයුතු කළද ඒ වන විට ඌ එම නිවසින්ද පැන ‍ගොස් තිබුණි. එම සිද්ධියෙන් පසු තියුනි මහත් මානසික කම්පනයට පත් වූ අතර ඇය ප්‍රකෘති තත්ත්වයට පත්වූයේ ඉන් මාස කිහිපයකට පසුවය.

එහෙත්  එම බළලා නොමැති බව දැනගත් මොහොතේ සිට සිය මව සමඟ කතා බහ කිරීමෙන් මුළුමනින් වැළකී සිටි තියුනි යළි ප්‍රකෘති තත්ත්වයට පත් වූ පසුවද තම මව සමඟ දිගින් දිගටම කතා කිරීමෙන් වැළකී සිටීම බෙහෙවින් ගැටළු සහගත විය.

මුලදී තම මව සමඟ පැවැති අමනාපය පසුව දුරුවූ අතර සිය මව සමඟ සිනාසීමටත් ඇය හා සුරතල්වීමටත් පුරුදුවූවාය. එහෙත් මව සමඟ එකම වදනක්වත් කතා නොකළ  ඇය හා තම මව හා අදහස් පළකළේ හස්ත මුද්‍රාවෙනි. නමුදු තියුනි තම පියා, වෙනත් ඥාතීන් සේම පාසලේ ගුරුවරුන් සහ සිසුන් සමඟ සාමාන්‍ය පරිදි කතාබස් කළාය.

ඇය මහ රෝහලක මනෝ වෛද්‍ය ඒකකය වෙත යොමු කරන ලද්දේ ඇය තුළ පැවැති මෙම අසාමාන්‍ය තත්ත්වය නිසාය. එහිදී  ඇය පරික්ෂා කළ විශේෂඥ මනෝවෛද්‍යවරයා එය වරණීය මුඛතාව (Selective Mutism) නමින් හඳුනාගන්නා ලදී. බළලා නැතිවීමෙන් හටගත් කම්පනයත් සමඟ මව සමඟ ඇති වූ දැඩි නොමනාපය පසුව කෙමෙන් අඩුවී ගියද මුල් අවස්ථාවේ මව මුල්කොට හටගත් ද්වේෂ සහගත මානසික ගැටුම (Hated Conflict) නිසා ඇය මෙම තත්ත්වයට පත්ව ඇති බව වෛද්‍යවරයාගේ නිගමනය විය.

එමෙන්ම තියුනි විසින් එය සිතා මතා නොකරන්නක් බවත් ඇයට කොතරම් අවශ්‍ය වුවද එම කතා කිරීමේ හැකියාව ලබා ගත නොහැකි බවත් මනෝ වෛද්‍යවරයා විසින් ඇගේ දෙමව්පියන්ට පහදා දෙන ලදී. ඉන්පසු ඇගේ එම මානසික ගැටුම දුරලීම පිණිස වන මනෝ චිකිත්සක ප්‍රතිකර්ම කිහිපයක් නියම කළ වෛද්‍යවරයා ඉන්පසු ඇය තුළ ක්‍ෂණික විස්මයාර්හ සතුටක්  ඇතිවන කටයුතු කිහිපයක් නියම කළ අතර ඇය චර්යාත්මක චිකිත්සා (Behavior Therapy) වෙත ද යොමු කරන ලදී.

පුරා මාස 06 ක් තිස්සේ සිය මව හා එකම වදනක්වත් කතා නොකර සිටි තියුනි යළි මව හා කතා කිරීමට සමත්වූයේ ඉන්පසුවය.

ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අවධාරණය කරයි.

සැකසුම - දමයන්ති ගමගේ

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.