Coss Ear2
lakbima.lk
COSS Ear 1

මල්ලීගේ ඡන්ද පැරදුමත් සමඟ අක්කාගේ කන් නෑසී ගිහින්!

පසුගිය පළාත් පාලන මැතිවරණ සමය රූපිකාට අතිශය කාර්යබහුල කාලයක් විය. ඊට හේතුව ඇගේ මලනුවන්ට එක්තරා දේශපාලන පක්ෂයකින් එම මැතිවරණය සඳහා නාමයෝජනා හිමිවීමය. එහෙත් ඒ සමඟම ඔහුගේ හොඳම මිතුරෙකුට ද වෙනත් පක්ෂයකින් නාමයෝජනා ලැබී තිබිණි.

එකම මිතුරු වළල්ලක සගයන් දෙදෙනෙකු වන තම මලනුවන්ටත් ඔහුගේ මිතුරාටත් මෙසේ පක්ෂ දෙකකින් නාම යෝජනා ලබා දීම නිසා එම මිතුරු වළල්ල තුළ නොයෙක් ගැටුම් මතභේද පැණනැගින.

එමෙන්ම රූපිකාගේ මලනුවන්ට එම නාමයෝජනා පත්‍රය දීම එම ප්‍රදේශයේ තරුණ කැල අතර ‍බෙදීමක් ඇති කිරීමට එම ප්‍රදේශයේ දේශපාලන බලවතෙකු ගත් යටිකූට්ටු උපක්‍රමයක් බවට ප්‍රදේශයේ කටකතා ඇති විය. එමෙන්ම ඒ තත්ත්වය යටතේ ඇතැම් පිරිස් රූපිකාගේ මලනුවන්ගෙන් ඉල්ලා සිටියේ මිතුරු වළල්ලේ සමගිය රැකගැනීම සඳහා එම නාමයෝජනා පත්‍රය බාර නොගන්නා ලෙසය. එහෙත් තම මලනුවන්ට හිමිව ඇති මේ අනගි අවස්ථාව එසේ පහසුවෙන් අතහැර දමන්නට රූපිකා කැමතිවූයේ නැත. එබැවින් එම අවස්ථාව පැහැර නොහරින මෙන් තම මලනුවන්ගෙන් ඉල්ලා සිටි ඇය ඔහුගේ ඡන්ද ප්‍රචාරක කටයුතු වලදී පෙරමුණ ගෙන ක්‍රියා කළාය. ඒ කලින් තමන්ට හිතවත්ව සිටි බොහෝ දෙනෙකුගේ නොසතුට මැදිනි.

කෙසේ හෝ ඡන්දය හමාර වී ප්‍රතිඵල නිකුත් කිරීමද ඇරඹිණ. තම මලනුවන් අපේක්ෂකත්වය දැරූ පක්ෂය එම මැතිවරණ බල ප්‍රදේශය තුළ දරුණු පරාජයකට ලක්වන බව අසන්නට ලැබෙත්ම රූපිකා දරුණු සිත්තැවුලකට පත්වූවාය. එම පරාජයත් සමඟ සමාජයට මුහුණදීමේ දැඩි අපහසුවක් පැනනැගී ඇති බවද ඇයට වැටහිණ.

එබැවින් නිවසේ එදිනෙදා කටයුතු පවා අතහළ ඇය නිවස තුළ යහන මතට වී කඳුළු සලමින් කල්ගත කරන්නට විය.

ප්‍රතිඵල නිකුත් වූ දින රාත්‍රියේ එක්වරම ඇගේ සවන අද්දරින් දරාගත නොහැකි ශබ්දයක් නැඟිණ. ඇයට එක්වරම  වැටහී ගියේ තම නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවකි. ඉන් ඇය අන්දමන්ද වූවාය. එහෙත් අවසානයේ ඇයට වැටහීගියේ එය ඔවුන්ගේ දේශපාලන විරුද්ධ වාදීන් විසින් ඔවුන් සරදමට ලක්කිරීම සඳහා නිවස අද්දරම අධික ශබ්දයක් විහිදුවන රතිඤාවක් පුපුරුවා ඇති බවය. මෙම හඬින් තිගැස්සීමටත් කම්පනයටත් ලක්වූ රූපිකා පසුව යථා තත්ත්වයට පත්වුවද ඉන් පසු තම දෙසවනින් හෝ හෝ හඬක් නැ‍ගෙන අයුරක් ඇයට හැඟිණ.

 එමෙන්ම එම ශබ්දය නිසා තම කන් ඇසීමද මඳක් අඩුවී ඇති බවක් රූපිකාට වැටහිණ. එබැවින් දින කිහිපයකට පසු ඇය මහ රෝහලකින් ප්‍රතිකාර පැතූ අතර එහිදී ඇය ශ්‍රවණ පරික්ෂාවකට ලක් කරන ලදී. එහිදී අනාවරණය වූයේ ඇගේ කන් ඇසීමෙහි කිසිදු දෝෂයක් නොමැති බවය. පසුව ඇය පැවසූ කන් වලින් නැගී එන බව පැවසෙන ශබ්දය පිළිබඳවද විමසුමට ලක් කරන ලදුව එවැන්නක් සඳහා බලපාන කායික තත්ත්වයක් ද නොමැති බව වෛද්‍යවරුන්ට වැටහිණ. අවසානයේ රූපිකා එම රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත යොමු කෙ‍රිණ. එහිදී ඇගෙන් ඒ පිළිබඳ විස්තර විමසා සිටි මනෝ වෛද්‍යවරයා ඇය තුළ ඇත්තේ විඝටන ආබාධ (Dissociative disorder) තත්ත්වයට ගැනෙන අපවර්තන ආබාධයක් (Conversion disorder) බව නිගමනය කළේය.

තම මලනුවන්ගේ මැතිවරණ පරාජයත් සමඟ ඇතිවූ දැඩි සිත් පීඩාව සමාජයට මුහුණදීගත නොහැකි ලැජ්ජාව වැනි පරාජිත හැඟුම් වලින් යුතුව සිටි අවස්ථාවක එක්වරම තමන් සමීපයේ රතිඤ්ඤා කරලක් පිපිරීම නිසා  දැනුණු කම්පනය මුල්කොට ගෙන හටගත් මෙම තත්ත්වය කායික රෝගයක් නොවන බවත් එය හුදු මානසික බලපෑමක් මත හටගත් අර්බුධ කාරී තත්ත්වයක් බවත් වෛද්‍යවරයා පහදාදෙන ලදී.

එහිදී තමන්ට කන් නොඇසෙන බව ඇය විශ්වාස කරන ලද්දේ ඒ සම්බන්ධයෙන් මනැස තුළ ඇතිකරගත් දැඩි මානසික ඇනවුම් නිසා බව වටහා දුන් වෛද්‍යවරයා එය කායික රෝග තත්ත්වයක් නොවන බවට නිකුත් කළ වෛද්‍ය වාර්තාව පදනම් කරගනිමින් ඇයට මෝහනමය මානසික ඇනවුමක් ලබාදී ඇගේ සිත තුළ ඇතිවූ එම මානසික ගැටුම නිෂේධ කොට දැමීය.  ඒ මොහොතේම තමන් ගේ කන් වලින් නැගෙන එම හෝ ගාන ශබ්දය නොඇසෙන බව පිළිගත් රූපිකා පෙරපරදි තමන්ට කන් හොඳින් ඇසෙන බවද පිළිගත්තාය.

මෙහිදී එම මනෝ වෛද්‍යවරයා මෝහන චිකිත්සාව සිදුකරන ලද්දේ හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක පදනමක් යටතේ වන අතර වෘත්තීය වෛද්‍යමය සුදුසුකම් නොමැති පුද්ගලයන් ලවා මෝහනය කරවීමෙන් රෝග සුවය වෙනුවට අතිරේක මානසික ගැටලු අර්බුද ඇතිවිය හැකි බවද අවසානයේ  සඳහන් කළ යුතුවේ.

ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අවධාරණය කරයි.

සැකසුම - දමයන්ති ගමගේ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.