Coss Ear2
lakbima.lk
COSS Ear 1

නවාස් ෂරීෆ් සිරගත කරයිද

NS

පකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් පසුගිය දිනවල විශාල වශයෙන්  කතාබහට ලක්වූ චරිතයක් විය. ඊට හේතු වූයේ ඔහුගේ පවු‍ලේ උදවිය සම්බන්ධයෙන් එල්ල වූ වංචා දූෂණ චෝදනායි. මෙම චෝදනා මුල්වරට කරළියට ආවේ 2016 වසරේ ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ පැනමා ‍ලේඛන (Panama Papers)  නැමැති හෙළිදරව්ව හරහාය. ලෝකයේ දේශපාලන නායකයන් ඇතුළු විවිධ ප්‍රභූන් විසින් විදෙස් රටවල පවත්වාගෙන යන ලද සමාගම් සහ බැංකු ගිණුම් ආදිය පිළිබඳව මෙම පැනමා ‍ලේඛන විසින් හෙළිදරව් කරනු ලැබිණි. නීති විරෝධී ලෙස උපයා ගන්නා  මුදල් සඟවා තැබිම සඳහාත්, මුදල් විශුද්ධිකරණය සඳහාත් ඇතැමුන් මෙම විදේශීය සමාගම් සහ ගිණුම් යොදාගන්නා බවට නිතර චෝදනා නැගෙන බව රහසක් නොවේ. නවාස් ෂරීෆ්ගේ පවු‍ලේ උදවියටද එල්ල වූයේ මීට සමාන චෝදනාය.


දැන් මේ සම්බන්ධයෙන් තවත් අලුත් ප්‍රවෘත්තියක් මාධ්‍ය හරහා වාර්තා වෙයි. එනම් ඉහත කී චෝදනා සම්බන්ධයෙන් නවාස් ෂරීෆ් ඇතුළු ඔහුගේ පවු‍ලේ කිහිප දෙනකුට එරෙහිව නිල වශයෙන් නඩු පැවැරීමට යන බවට වන පුවතයි. මෙහිදී හිටපු අගමැතිවරයාට එරෙහිව මෙන්ම ඔහුගේ දියණිය වන මාර්යම් ෂරීෆ්, ඇයගේ සැමියා වන  මුහම්මද් සෆ්දාර් දෙදෙනාට එරෙහිවද නඩු පවරා ඇති බව සඳහන් වෙයි. ෂරීෆ්ගේ පුතුන් දෙදෙනකුගේ නම්ද පැනමා ‍ලේඛනවල සඳහන්ව තිබූ නමුත් ඔවුන්ට එරෙහිව නඩු පැවැරීමට පියවර ගෙන නැත. කෙසේ හෝ වේවා මෙම නඩු විභාගය අවසානයේ නවාස් ෂරීෆ් ඇතුළු චුදිතයන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට සිර දඬුවම් නියම වීමට විශාල ඉඩකඩක් ඇති බව බැහැර කළ හැකි නොවේ.
ෂරීෆ් ඇතුළු පවු‍ලේ උදවියට එරෙහිව එල්ල වූ චෝදනාවලදී ප්‍රධාන වශයෙන්ම සඳහන් වූයේ ලන්ඩනයේ පිහිටි, ඔවුනට අයත් යැයි සැලකුණු සුඛෝපභෝගී නිවාස වගයක් ගැනය. එම නිවාස මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව නිසි ආකාරයෙන් ප්‍රකාශයට පත්ව නැති බව සඳහන් වූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ සැකසංකා මතු වන්නට විය. මේ ආකාරයෙන් එල්ල වූ චෝදනාවලට අදාළව මූලික විමර්ශනයක් පැවැත්වීමට  පාකිස්තාන අධිකරණය මෙයට මාස කිහිපයකට ඉහත නියෝග කළේය. පසුගිය ජූලි මාසයේ එහි වාර්තාව නිකුත් වීමෙන් පසු අධිකරණය තීරණය කළේ එවකට අගමැති ධුරය දැරූ ෂරීෆ් තවදුරටත් එම ධුරය දැරීමට සුදුසු නොවන බවයි. ඒ අනුව අගමැතිවරයාට එම ධුරයෙන්ද, මන්ත්‍රීකමෙන්ද  ඉවත් වීමට සිදු විය. දැන් ඔහුටත්, පවු‍ලේ අයටත් එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවැරීමට කටයුතු කර ඇත්තේ මෙම ක්‍රියාදාමයේම ඊළඟ පියවර වශයෙනි. මෙම චුදිතයන් ඉහත කී චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන්ද, නිවැරදිකරුවන්ද යන්න නඩු විභාගය මගින් තීන්දු කෙරෙනු ඇත.
මෙම නඩු පැවැරීම සිදුවන අවස්ථාවේ
ෂරීෆ් පාකිස්තානයේ සිටියේ නැත.  ඔහුගේ බිරිඳ වන කුල්සූම් ෂරීෆ් පිළිකා රෝගයට ගොදුරුව ලන්ඩනයෙහි ප්‍රතිකාර ගනිමින් සිටින අතර නවාස් ෂරීෆ්ද ඇයගේ සුවදුක් බැලීමට එහි ගොස් සිටියේය. කෙසේ වෙතත් ෂරීෆ් මෙන්ම ඔහුගේ දියණියද දිගින් දිගටම මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් සිටිති. ඔවුන් පෙන්වා දීමට උත්සාහ කරන්නේ ඔවුන්ට එරෙහිව දේශපාලන පලිගැනීමේ ක්‍රියාවලියක් දියත්ව ඇති බවයි.
පාකිස්තානය තුළ කවදත් ඉතා බලවත් පාර්ශ්වයක් වන හමුදාව ෂරීෆ්ට එරෙහිව කටයුතු කරමින් සිටින බවටද මේ අතර අදහස් පළවෙමින් තිබේ. එයට හේතුව ෂරීෆ් පාකිස්තානය තුළ හමුදාවේ බලය අඩු කර සිවිල් පාලනය ශක්තිමත් කිරීමට යම් උත්සාහයක් ගනිමින් සිටීමයි. ෂරීෆ්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්ව සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට දැන් හමුදාවේ වැඩි සහයෝගයක් ලැබෙමින් ඇති බවටද මේ වනවිට ඇතැම්හු අදහස් දක්වමින් සිටිති.
ෂරීෆ්ගෙන් පසු පාකිස්තාන දේශපාලනය තුළ ඔහුගේ තැන ගනු ඇතැයි බොහෝ දෙනා බලා‍පොරොත්තු වන්නේ ෂරීෆ්ගේ දියණිය වන මාර්යම් ෂරීෆ් ය. මෙම චෝදනා සහ නඩු විභාග හරහා ඇයගේ ජනප්‍රියත්වයට සහ ආකර්ශනීයත්වයටද බොහෝ දුරට පහර වදිනු ඇති බව රහසක් නොවේ. එයද ෂරීෆ්ලාගේ ප්‍රතිවාදීන්ට වඩාත් වාසිදායක පසුබිමක් නිර්මාණය කරනු ඇති අතර ෂරීෆ් පවු‍ලේ දේශපාලන අනාගතය කිසියම් අර්බුදයක හෙලන්නක් වනු ඇත.
ජූලි මාසයේ ෂරීෆ් අගමැති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවේ ඔහුගේ පාර්ලිමේන්තු ආසනයද අහිමි වූ අතර ඉන්පසු ඒ වෙනුවෙන් අතුරු මැතිවරණයක් පවත්වනු ලැබිණි. එම අතුරු මැතිවරණය වෙනුවෙන් ෂරීෆ්ගේ පක්ෂය වන පාකිස්තාන මුස්ලිම් ලීගයෙන් ඉදිරිපත් වූයේ ඔහුගේ බිරිඳ කුල්සූම් ෂරීෆ්ය. එහිදී ඉම්රාන් ඛාන්ගේ තෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයෙන් තරග වැදුණු යස්මින් රෂීඩ් පරදවා ජය ලබන්නට කුල්සූම් සමත් වූ නමුත් ඇයට හිමි වූයේ 2013 වසරේ නවාස් ෂරීෆ් ලැබූ ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකි. මේ පිළිබඳව අදහස් දක්වමින් දේශපාලන
නිරීක්ෂකයන් සඳහන් කළේ වංචා දූෂණ චෝදනා විසින් ඇති කරන ලද  බලපෑම ඔවුන්ගේ ඡන්ද පදනම කමෛන් දිය කර හරිමින් ඇති ආකාරයක් පෙනෙන බවයි. මේ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත පාකිස්තාන මහා මැතිවරණයේදී ෂරීෆ්ගේ පක්ෂයට ඉම්රාන්ගේ පක්ෂයෙන් විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කළ හැකි වෙයි. මෙම තත්ත්වය තුළ බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ ඉම්රාන් ඛාන් පාකිස්තානයේ මීළඟ අගමැතිවරයා බවට පත්වීමට ඇති ඉඩකඩ පුළුල් වෙමින් ඇති බවයි.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.