Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආයෝජකයන් අධෛර්ය කරන සම්මුතික ආණ්ඩුවේ මත ගැටුම්

මෙම සතිය ආරම්භ වූයේද දේශපාලනික උණුසුමත් සමගිනි. පළාත් පාලන මැතිවරණයේදී මනාප සටනක් දක්නට නොලැබුණද වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් මෙදා දැකිය හැකිය. වෙනදා පුංචි ඡන්දය වෙනුවෙන් ජනාධිපති, අගමැති ඇතුළු  ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් වෙහෙස මහන්සි වන්නේ නැත. නමුත් මෙවර, පුංචි ඡන්දයකට එහා ගිය දේශපාලනයේ ඉදිරි ගමන තීරණය කෙරෙන ඡන්දයක් බවට මෙම මැතිවරණය පත්කොට ගෙන ඇති සෙයක් පැහැදිලිවම පෙනී යයි. මැතිවරණ සටන මෙහෙයවීමට ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්ද, ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පෙරමුණ ගෙන තිබිමෙන් පෙනී යන්නේ  මැතිවරණයේ උණුසුම වඩාත් දැනී ඇත්තේ පහළට නොව ඉහළට වන බවය. තම තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කරගන්නා ජාතික තලයේ මැතිවරණයක් බවට මෙය පත්වෙන විට එය සාමාන්‍ය ජනතාවට දැනෙන ආකාරය කෙබඳුදැයි විමසා බැලීම වෙසෙසින්ම වැදගත්ය.

මනාප ක්‍රමය අහෝසි වීම තුළින් පක්ෂය තුළම එකිනෙකා ගහ මරා ගන්නා නිර්ලජ්ජිත තත්ත්වය වැළකීයාම මහජනතාවට සහනයකි. කෙසේ වෙතත් පක්ෂය ජයග්‍රහණය කරවීම එකම අරමුණ කොටගෙන මේ දිනවල කටයුතු කරන ඉහළම මට්ටමේ දේශපාලනඥයන්ගෙන් සාමාන්‍ය ජනතාවට සේවයක් සැලසෙනවාද යන්න විවාදාත්මකය. දේශපාලන සදාචාරය, කැබිනට් සාමුහිකත්වය, තීන්දු තීරණ ගැනීම රට හමුවේ  විහිළුවක් වන තරමට දේශපාලන විගඩම් වේදිකාවල  දැකිය හැකිය. උදාහරණයක් ලෙස හිටි ගමන් මුදල් අමාත්‍යවරයා නිවේදනයන් නිකුත් කරමින් කියා සිටියේ තැබෑරුම් විවෘත කරන වේලාව පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දීර්ඝ කරන බවත් කාන්තාවට මත්පැන් මිලදී ගැනීමේ තහංචි ඉවත් කරන බවත්ය.

මෙම තීරණයේ හොඳ සහ නරක කුමක් වුවත් දින කිහිපයක් රට තුළ ප්‍රධාන මාතෘකාවක් බවට එය පත්ව තිබුණි. ජනතාව සිතුවේ එය කැබිනට් මණ්ඩලයේද අනුමැතිය සහිතව ගනු ලැබූ තීරණයක් වන බවය. මෙමගින් රජයේ සුරාබදු ආදායම ඉහළ යාමක් සිදුවන අතරම  මධු ලෝලයන් සඳහා රාත්‍රිය තවදුරටත් දිගුවීමක් සිදුවන බැවින් ඒ පිළිබඳව සාධනීය හා නිශේධනීය මට්ටමින් සමාජ කතිකාවක් නිර්මාණය වෙමින් පැවැතුනි.  එහෙත් ජනාධිපතිවරයා ඉකුත් 14 වෙනිදා අගලවත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ චක්‍ර‍ලේඛය වහාම අවලංගු කිරීමට  මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදුන් බවයි.

ආයෝජක විශ්වාසය

මුදල් අමාත්‍යවරයාගේ තීරණය හෝ ජනාධිපතිවරයාගේ තීන්දුව විවේචනාත්මකව හෝ විචාරාත්මකව විමසා බැලීම මෙම ලිපියේ අරමුණ නොවේ. අප සාකච්ඡා කරනුයේ දේශපාලනයේදී ගනු ලබන තීන්දු තීරණ මෙරට ආර්ථීකයට කවරාකාරයේ බලපෑමක් සිදුවෙනවාද යන කාරණය ගැන පමණි. ඕනෑම රටක දේශීය හා විදේශීය ආයෝජන වැඩිවී නිෂ්පාදනය හා සේවා නියුක්තිය ඉහළ යන්නේ එම රටේ ස්ථාවර ආර්ථීක හා දේශපාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක  වන්නේ නම් පමණි. ස්ථිර තීන්දුවක් ගැනීමට පෙර කවරාකාරයේ මත ගැටුම් විවේචන පැවැතියත් තීරණයන් ලෙස රට හමුවට පැමිණිවිට  එහි ස්ථිරසාර බවක් පැවැතිය යුතුය. අද රට හමුවට ඉදිරිපත් කරන කිසියම් තීරණයක් හෙට වෙනස් වන්නේනම් එම අර්ථ ක්‍රමය පිළිබඳව දෙස් විදෙස් ආයෝජකයන් තුළ විශ්වාසයක් ගොඩනැගෙන්නේ කෙසේද?

මෙහිදී වඩාත් වැදගත් වනුයේ කිසියම් තීන්දුවක් රට හමුවට පැමිණීමට පෙර කැබිනට්  මණ්ඩලය  තුළත් දේශපාලන ක්ෂේත්‍රය තුළත් සංවාදයකට බදුන් කිරීමෙන් අනතුරුව ස්ථිර තීරණයක් ලෙස ජනතාව හමුවට පැමිණවීමේ වැදගත්කමයි. දේශපාලන විද්‍යාවේදී ‍පොදුවේ පිළිගනු ලබන සිද්ධාන්තයක්  වෙයි. එනම් “ජනප්‍රිය දේ නිවැරදි නොවේ.” යන්නය. මෙය ආර්ථීක විද්‍යාවටද අදාළ කරගත හැකිය. මක්නිසාදයත් ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටවල ආර්ථිකය හා දේශපාලනය අතර අවියෝජනීය සබඳතාවයක් දැකිය හැකි නිසාය.

ආර්ථීක ප්‍රතිපත්ති

පුංචි ඡන්දය මහා මැතිවරණයක් බවට පරිවර්තනය කර ගැනීමට උත්සාහ දරන මේ රටේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ  බලය තහවුරු කරගැනීම හා බලය ලබාගැනීම පිළිබඳව කල්පනා කරනු විනා ආර්ථීකය ගොඩ ගැනීමට සමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට නොමැත. මේ වන විට ආර්ථීකය දැඩි අර්බුදයකට  ලක්වී තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. භාණ්ඩ හා සේවා මිල මට්ටම් අඛණ්ඩවම ඉහළයාම හෙවත් උද්ධමනය, ඉතිරි කිරීම් අඩුවීම, ‍පොලී අනුපාතය ඉහළයාම, නිෂ්පාදනය හා සේවා නියුක්තිය පහළ වැටීම, ආර්ථිකමය වශයෙන් අසහනකාරී තත්ත්වයක් ඇතිවී තිබිම ආර්ථික ගැටලු අතරින් ප්‍රධානය.

මේ ගැටලු අද ඊයේ ඇතිවූවක් නොව දශක ගණනාවක් මේ රට පාලනය කළ හා කරමින් සිටින දේශපාලනඥයන් නිවැරදි තීන්දු තීරණ නොගැනීම නිසා ජනතාවට විඳීමට සිදුවී ඇති පීඩාවන්ය.  මේ රටේ දේශපාලනඥයන්ට කිසිදු පීඩාවක් ඇති බවක්  අපට නම් නොපෙනේ. ඔවුනට යාන වාහන, ඉහළ ආදායම්, පඩි නඩි, ආරක්ෂාව මේ සියල්ල හිමිය. නමුත් සාමාන්‍ය ජනතාවට හාල් කිලෝවක්, ‍පොල් ගෙඩියක් මිලදී ගැනීම බරපතළ ගැටලුවකි. මෙවැනි තත්ත්වයන් රට තුළ නිර්මාණය වී ඇත්තේ මන්ද?

පිළිතුර ඉතා පැහැදිලිය. එසේ වන්නේ නිෂ්පාදනය කඩා වැටී ඇති නිසාය. නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් වෙනුවට ආනයනය කොට බෙදා හැරීමේ ක්‍රමවේදයක් දිගින් දිගටම අනුගමනය කිරීමේ ආදීනව දැන් අපි බුක්ති විඳින්නෙමු. සහල්, අල, ලූනු, වියළි මිරිස්, කව්පි, මුංඇට, කුරහන්, බඩඉරිඟු, වියළි හාල්මැස්සන්, ඉඟුරු, කහ මෙකී නොකී සෑම ආහාර භෝගයක්ම ආනයන කිරීමට අපට සිදුවී ඇත්තේ  එම ක්ෂේත්‍රය පිළිබඳව අපට ජාතික ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නොතිබුණු නිසාය.

අද ‍පොහොර අරභයා මතු වී ඇති ගැටලුව ගැඹුරින් විමසා බැලුවහොත් අප වැටී සිටින භයානක තත්ත්වය පිළිබඳ යම් හෝ අදහසක් ලබාගත හැකිය. වත්මන් ‍පොහොර අර්බුදයට හේතු වී ඇත්තේ පාකිස්තානය ‍පොහොර ආනයනය සම්බන්ධයෙන් වෙනදාට වඩා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. වෙනත් වචනවලින් කිවහොත් ‍පොහොර අපනයනය සීමා කිරීමට පාකිස්තානය තීරණය කිරීමය. මේ අන්දමට ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් සහල්, අල, ලූණු, කුරහන්, බඩඉරිඟු ආදිය අපනයනය කිරීමද සීමා කළහොත් ශ්‍රී ලංකාවේ අපට යන කල දවස කුමක් විය හැකිද?

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ අප්‍රේල් මාසය දක්වා මාසිකව සහල් ආනයනය කරන බවටය. වෙළෙඳ ‍පොළේ සෙසු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාලනය කිරීම උදෙසා දිගින් දිගටම භාණ්ඩ හා සේවා ආනයනය කිරීමට තමන් නොපැකිලෙන බවටද හෙතෙම සහතිකයක් දී අවසන්ය. කෙසේ වෙතත් වෙළෙඳ ‍පොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් නම් ජනතාවට දරාගත හැකි මට්ටමකට අඩු වී නොමැත. සතොස හා සුපිරි වෙළෙඳසල් ජාලය ඔස්සේ තොග මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙන බව පැවැසුවද බොහෝ සතොස වෙළෙඳ සල්වල සහල්, අල, ලූනු ආදිය නොමැත.  අනෙක් පැත්තෙන් සුපිරි වෙළෙඳ සල්වල තොග මිලට භාණ්ඩ විකිණීමක් දැකිය නොහැකිය.

නිෂ්පාදකයා හා පාරිභෝගිකයා

නිෂ්පාදකයා හා පාරිභේගිකයා යන දෙදෙනාම ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක්  ඕනෑම රජයකට තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ අපට ජාතික ආර්ථීක ප්‍රතිපත්තියක් නොමැති නිසා මෙය යථාර්ථයක් කර ගැනීමට නොහැකි වී තිබේ. පවතින වෙළෙඳ‍පොළ මිල මට්ටම් යටතේ ජනතාවට භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමට ඔවුන්ගේ ආදායම් මට්ටම් ඉහළ යා යුතුය. ආදායම ඉහළ නැංවීමට නම් රටේ නිෂ්පාදනය හා සේවා නියුක්තිය ඉහළ යා යුතුය. රට තුළ නිෂ්පාදනය ඉහළ නැංවීමට සුදුසු පරිසරයක් ගොඩ නැංවී තිබේද? කෘෂිකර්මාන්තයට අවශ්‍ය ‍පොහොර, ජලය, වෙළෙඳ ‍පොළ හා අනෙකුත් යටිතල පහසුකම් සැපිරී තිබේද? අනෙක් පැත්තෙන් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට අවැසි ස්ථීර ප්‍රතිපත්තියක් හෝ  වැඩපිළිවෙළක් රටට තිබේද? මෙය දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු පාර්ශ්වයන් විසින් එකමුතුව සැලසුම් කළයුතුව තිබෙන වැඩ පිළිවෙළකි.  දේශපාලනඥයන් හා පක්ෂ නායකයින් ඒ සඳහා පෙරමුණ නොගන්නේනම් සිවිල් සංවිධාන පෙරට පැමිණිය යුතුය. රටට වෙනස් නොවන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක්  හා වැඩපිළිවෙළක් සැකසීමේ වගකීමෙන් මේ රටේ සිවිල් සංවිධානවලට මග හැර යා නොහැකිය.

මක් නිසාද යත් අප කුමක් පැවැසුවද ආර්ථික සාධනය අතහැර දේශපාලන සදාචාරය, යහපාලනය නීතිය හා  සාමය යන මේ කවර දෙයක් වුවද සපුරා ගත නොහැකිය. මන්දයත් ඒ සියල්ල යථාර්ථයක් බවට පත් කිරීමේ හැකියාව ඇති අදෘශ්‍යමාන බලවේගය ආර්ථික සාධනය වන බැවිනි. අපේ දේශපාලනඥයන් තේරුම් ගත යුතුව ඇති මහ ‍පොදු සාධකය වන්නේ එයයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.