- Hits: 130
මෙම සතිය ආරම්භ වූයේ සිංහල අලුත් අවුරුදු උණුසුමත් සමගිනි. වසරේ වෙන කවරදාකටත් වඩා භාණ්ඩ හා සේවා සඳහා ඉහළ ඉල්ලුමක් ජනිත වෙනුයේ මෙම කාලසීමාවේදීය. සිංහල හා හින්දු සංස්කෘතිය හා බැඳුණු සූර්ය මංගල්‍යයේ චාරිත්‍ර වාරිත්‍ර අතර තෑගි භාණ්ඩ හා සුහදතාව හුවමාරු කරගැනීම අනිවාර්ය අංග ලක්ෂණයකි. සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් සිත් සේ කා බි විනෝද වීම අලුත් අවුරුදු සමයේ සුලභ අත්දැකීමකි. මේ සඳහා වන සූදානම මෙම සතිය තුළ උපරීම වශයෙන් දැකිය හැකිවන අතර එහි ප්රතිඵලයන් වශයෙන් වෙළෙඳ පොළ මුදල් සංසරණය හා භාණ්ඩ හුවමාරුව වේගවත් වෙයි.
රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අලුත් අවුරුදු අත්තිකාරම් (උත්සව අත්තිකාරම්) හිමිවන අතර පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා උත්සව අත්තිකාරම්වලට අමතරව ප්‍රසාද දීමනා හා තිළිණ ප්‍රදානයන් හිමිවේ. මේ සියල්ල සමග මෙම සතිය ඇතුළත වෙළෙඳ පොළ තුළ වැඩි මුදලක් සංසරණය වන අතර ආර්ථිකයේ සමස්ත ඉල්ලුමෙහි විශාල ප්රසාරණයක් දැකිය හැකි වෙයි.
සහල්, එළවළු, මස්, මාළු වැනි ආහාර ද්‍රව්‍ය වලට අමතරව රෙදිපිළි, තෑගි භාණ්ඩ, රස කැවිලි, රතිඤ්ඤා වැනි පාරිභෝගික භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් නිතැතින්ම ඇතිවේ. අනෙක් පැත්තෙන් ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය වැනි සේවා සඳහාද විශාල ඉල්ලුමක් ඇතිවන අතර ආර්ථිකයෙ ඇතිවන කෙටි කාලීන ප්‍රසාරණය තුළින් නිෂ්පාදන හා සේවා අංශයේ පිබිදීමක් ඇතිවේ.
වෙළෙඳපොළ
මිල ගණන්
බක් මාසය සැලකෙන්නේ ඵල බර මාසය ලෙසටය. මෙම මාසයේදී අඹ, කජු වැනි පලතුරු වර්ග වලට අමතරව කාලගුණික සාධක මත එළවළු අස්වනුවලද ඉහළ යාමක් දැකිය හැකිවෙයි. සාමාන්‍යයෙන් සෑම අලුත් අවුරුදු සමයකදිම
එළවළුවල මිල ගණන් සාපේක්ෂව පහළ අගයක් ගනු ලබයි. එහෙත් ලීක්ස්, වම්බටු, කැරට්, රතු ලූනු වැනි එළවළු වර්ග කිහිපයක පමණක් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය. ඒ වෙළෙඳුන් විසින් නිර්මාණය කරනු ලබන වෙළෙඳ පොළ තත්ත්වයකි. එසේම බිත්තර, කුකුළු මස් ආදියෙහිද සාපේක්ෂ මිල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය.
ඒ එම ආහාර ද්‍රව්‍ය සඳහා වෙනදාට වඩා වැඩි ඉල්ලුමක් ජනිත වීම නිසාය. එහෙත් සමස්තයක් වශයෙන් මෙවර අලුත් අවුරුදු සමයේ එළවළු, බිත්තර හා මස් යනාදියෙහි මිල ගණන් පාරිභෝගිකයාට දරාගත හැකි මට්ටමේ පැවැතියද මාළු, කරවල, ආදියෙහි මිල ගණන් විශාල වශයෙන් වැඩි වී තිබේ. කෙසේවෙතත් රජය මැදිහත් වී උත්සව සමයේ ලංකා සතොස හරහා ලොකු ලූනු, අර්තාපල්, සහල්, මුං ඇට, පරිප්පු, සීනි ආදි වියළි ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයාට දරාගත හැකි මිලකට අලෙවි කිරීමට පියවර ගෙන තිබිම අගය කළ යුත්තකි.
මෙවර සිංහල අලුත් අවුරුදු සමයේදීද ජනතාවට පරිභෝජනය කිරීමට සිදුව ඇත්තේ මෙරට නිෂ්පාදිත භාණ්ඩ හා සේවා නොව ආනයනික භාණ්ඩ හා සේවාවන්ය. සහල් ලොකු ලූනු, වියළි මිරිස්, අර්තාපල්. වියළි හාල් මැස්සන්, සීනි, මුංඇට මේ ආදි සියලු ආහාර ද්‍රව්‍යයන් ආනයනය කරනු ලැබූ ඒවාය. අතීතයේදී අප අවුරුදු සමරනු ලැබුවේ අටුකොටු දේශීය බව බෝග වලින් පුරවා ගැනීමේන් අනතුරුවය. ආනයන සීමා කරමින් අපනයන ඉහළ
නංවාගත යුතු බව රජය හැම විටම කියා සිටියත් අපට තවමත් ආහාර වලින් ස්වයං පෝෂිත වීමට නොහැකි වී තිබේ.
ඉහළ ආර්ථික වර්ධන වේගයන් ලබා ගැනීමකින් තොරව රටේ සමාජ ආර්ථීක ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කළ නොහැකිය. ඒ සඳහා යන ගමනේදී කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන අංශ තුනෙහිම වර්ධනයන් සිදුවිය යුතු අතර ජාතික ආදායමින් පරිභෝජන කටයුතු සඳහා කරනු ලබන වියදම් සාපේක්ෂව පහළ මට්ටමක පවත්වා ගැනීමට සමත් විය යුතුය. එය වෙනත් වචනවලින් කිවහොත් ආදායමින් ආහාර ඇතුළු පරිභෝජන භාණ්ඩ සඳහා කරනු ලබන වියදම සාපේක්ෂව අඩු ප්‍රතිශතයක් ගත යුතුව ඇත. ඒ සඳහ අප ආහාර සඳහා විදේශ ගතවන විනිමය ප්‍රමාණය රට තුළ ඉතිරි කර ගැනීමේ ප්‍රයෝජන වැඩ පිළිවෙළක් වෙත ප්‍රවේශ විය යුතුය. උදාහරණයන් ලෙස කිරෙන් ස්වයං පෝෂිත වීම යන කරුණු සැලකිල්ලට ගනිමු. කිරිපිටි ආනයනය කිරීමකින් තොරව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ හැකියාව යථාර්ථයක් කරගත යුතුය. දේශීය කිරි නිෂ්පාදකයන් කියා සිටින්නේ තමන්ට ජාතික කිරි අවශ්‍යතාව සැපිරිය හැකි වුවත් කිරිපිටි ආනයනය නිසා එම සත්‍යතාව සාධනය කරගැනීම අසීරු වී ඇති බවකි. රජයට මේ සම්බන්ධයෙන් ස්ථාවර ප්‍රතිපත්තියක් තිබිය යුතුය.
දේශපාලන අවිනිශ්චිතතාව
දේශපාලන තලයේ ඇතිවී ඇති උණුසුම සිංහල අවුරුදු උත්සවයේ සූදානම නිසා තරමක් යටපත් වී පැවැතියද සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට යනවාද නැතහොත් ඉන් ඉවත්ව එජාපය ප්රමුඛ ආණ්ඩුවක් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් පවතී. සාමාන්‍ය ජනතාව දේශපාලනය සම්බන්ධයෙන් ඇල්මැරුන ස්වභාවයක් දැරුවද දේශපාලනය ඔවුන් බුක්ති විදින බත්පත තුළද ඇති බව ඇතැම් විට ඔවුන් නොදනී. ඕනෑම දේශපාලන පක්ෂයක අරමුණ බලය ලබා ගැනීම, පවත්වා ගැනීම හා එය ආරක්ෂා කර ගැනීමයි. එම අර්ථයෙන් බලන කල්හි වත්මන් දේශපාලන නායකයන්ටද අවශ්‍යව ඇත්තේ ස්ථාවර ආණ්ඩුවක් බිහි කරගැනීම කෙසේ වෙතත් කෙසේ හෝ බලය පවත්වා ගෙන යාමය. නමුත් මෙමගින් රටට සහ ආර්ථිකයට සිදුවන්නේ විශාල හානියකි. ස්ථාවර ආණ්ඩුවක් නොමැති වූ විට එම රටේ සිටින ආයෝජකයන් පවා ස්වකීය ආයෝජන අරමුණු ප්‍රමාද කරගැනීමට යොමුවන අතර ඇතැම් ආයෝජකයෝ කලාපයේ වෙනත් ස්ථාවර ආර්ථිකයන් ඇති රටවල් කරා යොමු වෙති.
අනෙක් පැත්තෙන් ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවැසි විදේශ මූල්‍යාධාර සහ ණය ලබාගැනීම දැඩි අර්බුදයකට ලක්වනු ඇත. ඕනෑම රටකට ණය ලබාදීමේදී එම රටේ ආණ්ඩුවේ ඇති ස්ථාවරත්වය, ජනතා කැමැත්ත ආර්ථික ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී දක්වන දක්ෂතාව ආදිය පිළිබඳව දැඩි අවධානයෙන් යොමු කරනු ලබයි.
පවතින තත්ත්වය යටතේ එවැනි ස්ථාවර බවත් ජාත්‍යන්තරයට පෙන්වීමේ හැකියාවන් ආණ්ඩුවට ලැබේද යන්න සැක සහිතයි. ආණ්ඩුව දේශපාලනික වශයෙන් ශක්තිමත් නොවන විට උද්ඝෝෂණ, වැඩ වර්ජන හා විරෝධතාවන්ගේ අඩුවක්ද අපේක්ෂා කළ නොහැකිය. මෙම උද්ඝෝෂණ වැඩ වර්ජන දෙස් විදෙස් ආයෝජකයෝ දැඩි ලෙස අධෛර්යමත් කරන සාධකයෝ වෙති. මෙම විරෝධතා බැටන් පොල්ලෙන්, කඳුළු ගෑස්වලින් මර්දනය කිරීමට ගියහොත් ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙන ජන රැල්ල තවදුරටත් වැඩිවනු ඇත.
විදේශ ආයෝජන, කොටස් වෙළෙඳපොළ වැනි සංවේදී ආර්ථීක සාධක කෙරෙහි ඕනෑම රජයක පවත්නා ආර්ථික ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී දක්වන ස්ථාවරත්වය දැඩි ලෙස බලපෑම් කරනු ලබයි. ආණ්ඩුවත් දේශපාලනික වශයෙන් බෙලහීන වන විට ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති හා තීරණයන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත. මක්නිසාදයත් ඒවාට එරෙහිව හැගෙන විරෝධතාවන් හා උද්ඝෝෂණයන් ඉදිරියේ පසුබෑමකට ලක්වන නිසාය. උදාහරණයන් ලෙස ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ඉන්දියාවට පැවැරීම හෝ බදුදීම යන කාරණාව අරභයා ඇතැම් දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව රතු එළි දල්වා තිබිම දැන්විය හැකිය.
ආර්ථිකය දේශපාලනයට නතුවුවහොත් එහි ඉදිරි වර්ධනයන් අපෙක්ෂා කළ නොහැකිය. ඉහළ ආර්ථික වර්ධනයන් සඳහා ස්ථාවර ආණ්ඩුවක් පැවැතීම අත්‍යවශ්‍ය කොන්දේසියන් ලෙස ආර්ථීක විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ එම නිසාය. එය අවුරුදු උණුසුමින් යටපත් කළ නොහැකි මහ පොළොවේ යථාර්ථයකි.
රටේ පවතින දේශපාලන සුළි කුණාටු හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළට සිදුවී ඇත්තේ කුමක්ද? කොටස් වෙළෙඳපොළේ ඉහළ යාමක් හෝ පහළ යාමක් තිබෙනවාද? අපි ඒ පිළිබඳව කොටස් වෙළෙඳපොළ කොළඹ කාර්යාලයේ ශාඛා කළමනාකාර නිශාන්ත බටගල්ල මහතාගෙන් විමසුවෙමු.
- මේ වනවිට රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ කොටස් වෙළෙඳපොළ කිසියම් බිඳවැටීමකට ලක්වී තිබෙනවාද?
ඇත්තටම කොටස් වෙළෙඳපොළේ එහෙම බිඳවැටීමක් තිබෙනවා කියලා කියන්න බැහැ. පසුගිය කාලේ සලකා බැලුවොත් කොටස් වෙළෙඳපොළේ පිරිවැටුම. ඒ කියන්නේ ෙදෙනිකව ගනුදෙනු වන කොටස් ප්‍රමාණය ඉතාම ඉහළ තත්ත්වයක පැවැතුණා. මේ අවුරුද්දේ පසුගිය මාස 3 ඇතුළත පමණක් රුපියල් මිලියන හැත්තෑ තුන්දහස් දෙසීය විසිතුනක කොටස් ගනුදෙනු වෙලා තියෙනවා. ඒ වගේම විදේශීය ආයෝජකයනුත් මේ වනවිට කොටස් වෙළෙඳපොළ දෙසට විශාල වශයෙන් නැඹුරු වෙලා තියෙනවා. මේ අවුරුද්දට විතරක් විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන තිස් දෙදහක පමණ කොටස් මිලදී ගැනීම් සිදුකරලා තියෙනවා. වෙළෙඳපොළ ඇතිවෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. ඉල්ලුම හා සැපයුම එක් එක් නිර්ණායක නිසා කාලයෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. ඕනෑම වෙළෙඳපොළක ඉහළ පහළ වැටීම් සිදුවෙන්න පුළුවන්. මේක සමාගමකට ආවේනික කාරණයක් වෙන්න පුළුවන්. කොටස් වෙළෙඳපොළක හැලහැප්පීම් සිදුවීම සාමාන්‍ය දෙයක්.
- මේ වනවිට කොටස් වෙළෙඳපොළේ පවතින ගිණුම් ප්‍රමාණය කොපමණද?
කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන හැම ආයෝජකයෙක්ම තැරැව්කාර ආයතනයකට ඇවිත් ගිණුමක් ආරම්භ කළ යුතුයි. එවැනි ගිණුම් ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට තියෙනවා.
- කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්නට සපුරාගත යුතු සුදුසුකම් මොනවාද?
වයස අවුරුදු 18ට වැඩි ජාතික හැඳුනුම්පතක් හෝ විදේශීය බලපත්‍රයක් තියෙන ඕනම කෙනෙකුට ආයෝජනය කරන්න පුළුවන්. ඇත්තටම කොටස් වෙළෙඳපොළ පටන් ගන්නේ 1985දී. ඒ මුල්කාලීනව බොහෝ දෙනා හිතපු දෙයක් තමයි කොටස් වෙළෙඳපොළ ඉහළ පැලැන්තිය. එහෙම නැත්නම් මූල්‍යමය වශයෙන් පොහොසත් පිරිසකට පමණක් ආයෝජනය කරන්න පුළුවන් තැනක් කියන එක. නමුත් 1999 ඉඳලා අපි ශාඛා ජාලයක් පටන් ගත්තා දිවයින පුරාවටම විහිදෙන. මේ අනුව මුදල් විශාල වශයෙන් තිබුණත් අඩුවෙන් තිබුණත් ඕනෑම තරාතිරමක කෙනෙකුට කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වෙන්න පුළුවන් තමන්ගේ ගමේ ඉඳලම. මෙතනදී කියවෙන්නේ නැහැ කොටස් ගනුදෙනු කරනකොට මුදල් විශාල වශයෙන් අවශ්‍ය බව. තමන්ට ඕනේ නම් එක කොටසක් වුණත් ගන්න පුළුවන්. සමාගම් 299 කොටස් විවිධ මිල ගණන්වලට තියෙනවා. තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණයෙන් වෙළෙඳපොළේ ආයෝජනය කරලා හැකියාව අනුව ඉදිරියට යන්න පුළුවන්. මේ වනවිට දිවයින පුරා කොටස් වෙළෙඳපොළට අනුබද්ධ ශාඛා 8ක් තියෙනවා. මාතර, හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, අනුරාධපුරය සහ රත්නපුර ශාඛා තියෙනවා. රුපියල් 5ට, රුපියල් 10ට, 50ට, 100ට කොටස් ගනුදෙනු වෙන සමාගම් තියෙනවා. ඒ වගේම රුපියල් 10,000ටත් සමහර කොටස් ගනුදෙනු වෙනවා. එතකොට ආයෝජකයන්ගේ අවශ්‍යතාව, හැකියාව අනුව ඕනෑම කොටස් ප්‍රමාණයක් වෙළෙඳපොළෙන් ඕනම මිලකට ගන්න පුළුවන්. මෙහිදී වඩා වැදගත් වෙන්නේ ආයෝජකයකු වෙළෙඳපොළට පැමිණෙන විට ඒ ගැන දැනුවත් වීම. සමාගම් වල ලාභ ඉපැයීම්, පාඩු ආදී සාධක මත තමයි කොටසක මිල වෙළෙඳපොළ තුළ තීරණය වෙන්නේ. එතකොට ආයෝජකයා බලන්න ඕන වටිනාකමක් තියෙන හොඳ කොටස් සඳහා තමන්ගේ ආයෝජන යොමු කරන්න.
- කොටස් වෙළෙඳපොළ හා රාජ්‍ය මැදිහත්වීම අතර ඇත්තේ කුමන ආකාරයක අන්තර් සම්බන්ධතාවයක්ද?
කොටස් වෙළෙඳපොළේ අධ්යක්ෂ මණ්ඩලයේ නව දෙනෙක් ඉන්නවා. ඉන් පස් දෙනෙක්ව පත් කරන්නේ තැරැව්කාර ආයතනවලින්. හතර දෙනෙක් පත් කරන්නේ ඒ අදාළ අමාත්‍යාංශය තුළින්. ඒ වගේම ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළට පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලබාදෙන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මීට අවශ්‍ය ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉදිරියට ගෙනයාමටද පසුබිම සපයන්නේ මෙම කොමිෂන් සභාව හරහායි.
- කොටස් වෙළෙඳපොළේ බිඳවැටීමක් නැතිනම් ඒ හරහා ආයෝජනය කිරීමට කැමති අයට ඔබ දෙන පණිවුඩය කුමක්ද?
අලුත් ආයෝජකයකු කොටස් වෙළෙඳපොළට එකතු වෙනවා නම් මුලින්ම කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ තැරැව්කාර ආයතනයක් වෙතට යොමුවෙන්න ඕනේ. මේ වෙනකොට තැරැව්කාර ආයතන 31ක් තියෙනවා. මේ අතරින් තැරැව්කාර ආයතන 27ක් කොටස් ගනුදෙනු කරන ආයතන. ඒ අතරින් විශ්ලේෂිත වූ ණය සුරැකුම්පත් ගනුදෙනු කරන ආයතන 4ක් තියෙනවා. යම් අලුත් ආයෝජකයකුට කොටස් ගනුදෙනු කරන්න අවශ්‍ය නම් මේ තැරැව්කාර ආයතන 27න් එක් ආයතනයක් හා සම්බන්ධ වෙලා ඔවුන් හරහා අපේ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කරන්න පුළුවන්.
සමන්මලී නැලිගම
ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් පසු උතුරු පළාතේ අලූත්ම තත්ත්වය සහ දෙමළ ජනතාවගේ ගැටලූ විසඳීම කෙරෙහි ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුවීද යන්න පිළිබඳව ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා හා සමග කළ සාකච්ඡාවකි මේ.
ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් බහුතර පළාත් පාලන ආයතන කිහිපයක් ජය තහවුරු කර ගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වුණා. එයින් ජනතාව ආණ්ඩුවට කරන අනතුරු ඇඟවීම ගැන ඔබේ අදහස කීවොත්?
ජනතාවගෙන් බොහෝ පිරිසක් තමන් බලයට පත් කළ ආණ්ඩුව කෙරෙහි තමන්ගේ අතෘප්තිකරභාවය පෙන්වලා තියෙනවා. මේ රජය බලයට එනකොට ජනතාවට කිව්වේ මොනවාද? ඒ කියපු දේවල් නොකිරීම පිළිබඳ ගැටලූවක් තමයි ඇති වෙලා තියෙන්නේ. බොහොම සරළම කාරණය නම් දුන් පොරොන්දු ඉෂ්ට නොකිරීමයි.
ඔබ කියන විදියට රජය ඉෂ්ට කරපු නැති ඔබ කියන පොරොන්දු මෙනවාද කිව්වොත්?
ප්‍රශ්න එකක් දෙකක් කියලා කියන්න බැහැ. ප්‍රධාන වශයෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දෙනවා කියූ දේශපාලන විසඳුම එ් ගැන තවම කිසිම විසඳුමක් නැහැ. ඒවාට විසඳුම් නොදීම ගැන මම රජයට දොස් පවරන්නේ නැහැ. මේ ආණ්ඩුව බලයට ගෙන එන්න වැඩ කරපු දෙමළ පාර්ශ්වයන් මේ සඳහා වග කිව යුතුයි.
දෙමළ පාර්ශ්වයන් මීට වගකිව යුතු බව ඔබ කියන්නේ ඇයි ?
උතුරේ දෙමළ දේශපාලනඥයන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න නිසි ලෙස හා ක්‍රමානුකූලව ආණ්ඩුවට තේරුම් බේරුම් කරලා දුන්නේ නැහැ. ඒ අය ආණ්ඩුවත් එක්ක හරියටම වැඩ කෙරුවේ තමන්ට තනතුරු තානාන්තර ගන්නම විතරයි. යහපාලන ආණ්ඩුවට උතුරේ දෙමළ ජනතාවගෙන් ඡුන්ද අරන් දුන්නේ උතුරේ දෙමළ දේශපාලන නායකයින්. ඒ නිසා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඒ අයට යම් කිසි වගකීමක් තියෙනවා. යහපාලන රජය ගෙන එන්නේ අපියි අපිට ඕන ප්‍රශ්නයක් විසඳා ගන්න පුළුවන් කියලා උතුරේ දෙමළ ජනතාවට කිව්වේ උතුරේ දෙමළ දේශපාලන නායකයින්. ඒ නිසායි අපි කියන්නේ මේවාට වග කියන්න ඕනේ මේ රජය නොවේ රජය පත්කරන්න වැඩ කළ දෙමළ දේශපාලන පක්ෂයි.
උතුරේ අතුරුදහන් වූවන් ගැන හොයන්නත් කාර්යාලයක් ඇති කළේත් මේ ආණ්ඩුව නේද?
අතුරුදහන්වූවන්ගේ කාර්යාලය සහ එයින් සිදුවන වැඩ ගැන අපට වගේම උතුරේ දෙමළ ජනතාවටත් අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ටත් කිසිම පැහැදීමක් නැහැ. ඒ ගැන මම පාර්ලිමේන්තුවේදී ඉතාම පැහැලිවම කිව්වා තමන්ට මේ කාර්යාලයෙන් යහපතක් වෙයි කියලා අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට කිසිම විශ්වාසයක් නැහැ. ආණ්ඩුව කරන බොහෝ දේ ගැන ජනතාවට පැහැදිළි නොකිරීමේ ප්රතිවිපාකයක් ආණ්ඩුවට තියෙනවා.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවගේ කටයුතුද?
අතුරුදහන්වූවන්ගේ කාර්යාලයෙන් අතුරුදහන්වූවන් ගැන තොරතුරු හොයලා විතරක් මදි. අතුරුදහන් වූවන්ගේ සිද්ධීන් මගින් සත්‍යතාවය හෙළිකරගත යුතුව තිබෙනවා. එමගින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට හා ඔවුන්ගේ පවුල්වලට යම්කිසි සහනයක් අවශ්‍යයි. මේ කර්යාලයේ වැඩ රටේ ජාතික සංහිඳියාවට මොනම ආකාරයේවත් හානියක් නොවිය යුතුයි. මේ කාර්යාලය නිසා ආයෙත් අපි යුදමය තත්ත්වයකට යායුතු නැහැ. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට කාර්ය මණ්ඩලය පත්කළ දාට පසුදාම පාර්ලිමේන්තුවේදී මම කිව්වේ 1971 අවුරුද්දෙ ඉඳලාම අතුරුදහන්වුවන් ගැන හොයන්න බලන්න අවශ්‍ය බවයි. 1971 ඉඳලා අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් හා ඥාතීන් අදටත් ඉන්නේ හැ`ඩූ කඳුලින්.
මහනුවර ඇති වූ කලහකාරී සිද්ධීන් ගැන ඔබ හිතන්නේ මොනවාද?
එම සිද්ධීන් අපි තරයේ හෙළා දකිනවා. මේ වගේ සිද්ධි ආරම්භයේදීම නවතා දමන්න කටයුතු කළයුතුව තිබෙනවා.
ඔබ කියන්නේ මේ සිද්ධිය වර්ධනය වුණා කියලාද?
යම් කිසි දින කිහිපයක් මේ සිද්ධිය වර්ධනය වුණා ඒකත් වැඩියි.
උතුරේ අලූත්ම තත්ත්වය කොහොමද?
පැවැති පළාත් පාලන මැතිවරණයත් එක්ක මේ වෙනකොට යම් කිසි කලබලකාරී වාතාවරණයක් තියෙනවා. උතුරු පළාතේ පළාත් පාලන ආයතන 34ක් තියෙනවා. අලූතින් ඇති කළ මැතිවරණ ක්රමයේ අඩුපාඩුත් තියෙනවා. කලින් තිබූ මැතිවරණ ක්රමයේ අඩුපාඩු තිබෙන නිසායි අලූත් ක්‍රමයක් ගෙන ආවේ අලූත් ක්‍රමයත් තවත් අවුල්කාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බවක් තමයි අපට පෙනෙන්නට තියෙන්නේ.
අලූත් මැතිවරණ ක්රමයේ ඔබ කියන අවුල්කාරී තත්ත්වයන් මොනවාද කිව්වොත්?
පළාත් පාලන ආයතනයක එක් පක්ෂයකට බහු ආසන සංඛ්‍යාවක්
ලැබිලා නැහැ. ඒ පක්ෂ අතර එකඟතාවයකට එන්න වාතාවරණයකුත් නැහැ. එකිනෙකාට විවාදාත්මක මතභේදකාරී තත්ත්වයක් තියෙනවා ඒ නිසාම මේ තත්ත්වය අවුල් වෙලා. පළාත් පාලන ආයතන සුදු අලියෙක් වගේ. දෙමළ ජාතික සංධානය දෙමළ ජාතික ප්රගතිශීලි පෙරමුණට විරුද්ධයි. අපිත් සාමාන්‍යයෙන් එයාලාත් එක්ක විරුද්ධයි. මොකද එයාලා ජනතාවට වැඩක් කරන අය නොවෙයි. එයාලා දැන් බලයට පත් වෙලා උතුරේ ජනතාවට කිසිම වැඩක් කෙරුවේ නැහැ.
ඔබේ පක්ෂයට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව දුන් ප්‍රතිචාරය ගැන සෑහිමකට පත්වෙන්න පුළුවන්ද?
උතුරේ ඡුන්ද බැංකුව කැඩිලා දෙකට බෙදුනා. ඒ ඡුන්දයෙන් අපිට ලැබුණු ප්‍රතිචාරයට වඩා වැඩි යමක් අපි බලාපොරොත්තු වුණා. එහෙත් අපට අපේ ඡුන්ද ප්‍රමාණය පැහැදිලිවම වැඩි වෙලා තියෙනවා.
ඔබේ ඡුන්ද ප්‍රමාණය වැඩි වුණා කියන්නේ ඔබ විරුද්ධ දෙමළ පක්ෂයක ඡුන්ද අඩුවුණා කියන එකද?
ජනතාව එයාලා ගැනත් අපි ගැනත් හොඳ නිිරීක්ෂණයකින් හිටියා. එයාලා කවුද අපි කවුද කියලා හොඳටම දන්නවා. ඒ දැනුවත්භාවය උඩ ජනතාව අපිට ඡුන්දය පාවිච්චි කරලා තියෙනවා.
ඔබ කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය හොඳ නැහැ කියලාද?
දෙමළ ජාතික සංධානය මැතිවරණයේදී දෙමළ ජනතාවට දෙන්නේම ප්‍රායෝගික කරන්න පුළුවන් පොරොන්දු නොවෙයි. දෙමළ ජාතික සංධානය දෙන පොරොන්දු දෙමළ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කර ගන්නට හැකිවෙයිද කියලා දෙමළ ජාතික සංධානයටම විශ්වාසයක් නැහැ. ඒ අය දෙමළ ජනතාවට පොරොන්දු දෙන්නේ මැතිවරණ සටන් පාඨ හැටියට මිසක දෙමළ ජනතාවගේ යහපතට නොවෙයි. හැකි තරම් පොරොන්දු දීලා ඒවා ඉෂ්ට නොවෙන කොට ජනතාව ඒ ගැන කල්පනා කරනවා. එයාලාගේ බොරු පොරොන්දුවලින් බැටකාපු ජනතාව අපිට මෙදා සැරේ ඡුන්දය දීලා තියෙනවා.
ආණ්ඩුවත් එක්ක එකතු වී ඉන්න දෙමළ ජාතික සංධානයට උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් බොහෝ දේ කරගන්න තිබුණා. එහෙත් ඒ කිසිම දෙයක් නොකර ප්‍රසිද්ධ රැුස්වීම් කරනවා මීඩියාවලට කතා කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ.
දැන් තියෙන්නේ යුද්ධය පවත්වාගෙන ගිය රජයක්වත් යුද්ධය ජයග්‍රහණය කරපු රජයක්වත් නොව ජාතික සංහිඳියාව කරා ගමන් කරන රජයක්.
යුද්ධය පවත්වාගෙන ගිය සහ යුද්ධය ජයග්‍රහණය කරපු ඔබ කියන ආණ්ඩුව ගැන උතුරේ දෙමළ ජනතාවට තිබුණේ අප්‍රසාදයක් නේද?
යුද්ධයක් පවත්වාගෙන ගිය සහ යුද්ධයක් ජයග්‍රහණය කරපු ආණ්ඩුවක් ගැන ජනතාවට අප්‍රසාදයක් තියෙන්න පුළුවන්. යුද්ධයක් කරපු ආණ්ඩුවක් එක්ක යම්කිසි ජන කොට්ඨාසයක්
අප්‍රසාදයට පත් වීම ලොකයේ ඕනෑම රටකදී සිදුවෙන කාරණයක්. ලංකාවේ යුද්ධය පැවතුණේ කොට්ඨාස දෙකක් අතර එක් කොට්ඨාශයක් මහ ජාතියක්වන සිංහල ජාතිය සහ අනිත් කොට්ඨාසය සුළු ජාතිය වන දෙමළ ජාතීන් එක්ක යුද්ධයක් සිද්ධ වුණා. ඒ නිසා පැවැති ආණ්ඩුවත් එක්ක දෙමළ ජනතාවට අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. 71’ දී සහ 89’ දීත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාප නිසා තරුණ ඝාතන සිද්ධ වුණා. එකම කොට්ඨාසයක් අතර ඇති වූ මේ මිනිස් ඝාතන නිසා දකුණේ සිංහළ සමාජයත් දෙකට බෙදුණා.
ඔබ කියන විදිහට දෙමළ ජාතික සංධානය ආණ්ඩුවත් එක්ක එකතු වෙලා උතුරේ දෙමළ ජනතාවට කිසි වැඩක් කරන්නේ නැත්නම් දෙමළ ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න ආණ්ඩුවට එකතු වෙන්න ඔබ කැමති නැද්ද?
දෙමළ ජාතික සංධානය ආණ්ඩුවත් එක්ක හිටියාට කිසිම වැඩක් නොකරන නිසා උතුරේ ක්‍රියා පටිපාටිය එහෙම් පිටින්ම අඩපණ වෙලා. අප ආණ්ඩුවත් එක්ක දිගටම හිටියානම් උතුරේ දෙමළ ජනතාවට මොනවා හෝ කරන්න තිබුණා. වැඩක් නොකරන පිරිසක් ඉන්න තැනකට එකතු වෙලා අපි ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්වෙන්න කැමති නැහැ. එ් අය වැඩක් කරනවා නම් අපේ උදව් අවශ්‍ය නම් එළියේ ඉඳලා සහය දෙන්න කැමතියි. අපිට තියෙන්නේ සමාජමය අරමුණු සමාජයට සේවයක් ඉටුකරන්න අපි බැඳිලා ඉන්නවා. අපි දී තිබෙන පොරොන්දුත් සමාජයට සේවයක් කළ හැකි පොරොන්දු. ජනතාවගේ ඡුන්ද උදුරා ගැනීමට අපි පොරොන්දු දෙන්නේ නැහැ. අපි ඉස්සර ආණ්ඩුවේ ඉන්නකොටත් ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කෙරුවා. ජනතාවට යමක් කරන්න බැරි තැනක අපි ඉන්නෙත් නැහැ.
මේ දිනවල පැවැත්වෙන ජිනීවා සමුළුවත් එක්ක දෙමළ ජනතාවගේ ගැටලූවට දෙන විසඳුම ගැන ආයෙත් සාකච්ඡුාවට බඳුන් වී තියෙනවා. ජිනීවා ගිහින් ඉන්න සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියන්නේ උතුරේ දෙමළ ජනතාවට වෙනම පාලනයක් අවශ්‍ය බව. දෙමළ ජනතාවට දෙන විසඳුම ගැන ඔබ හිතන්නේ මොනවාද?
එ් අයට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අවංක වුවමනාවක් නැහැ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න පාවිච්චි කරලා හැමදාම බලයේ ඉන්න ලොකු වුවමනාවක් තියෙනවා. ඉතිහාසයේ ඉඳලම දෙමළ දේශපාලන නායකයින්ට මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරි වුණේ සිංහල ආණ්ඩුවලට මේ ප්‍රශ්න නියම පිළිවෙළට ඉදිරිපත් නොකරපු නිසයි. එ් නායකයින් ගියේ සම්පූර්ණයෙන්ම වැරදි දේශපාලන ගමනක්.
මම කතා කරන්නේ මගේ අත්දැකීමක්වලින්. තවමත් මේ අය බලන්නේ මේ ප්‍රශ්න වර්ධනය කරගන්න මිසක් විසඳාගන්න නොවේ. දෙමළ ජනතාවගේ විසඳුමට මම අලූතින් යමක් කියන්නේ නැහැ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. එයින් පටන් අරන් ක්‍රමානුකූලව ඉදිරියට යනකොට සිංහල හා දෙමළ ජනතාව අතර තියෙන සැකයන් දුරුකර ගන්නත් පුළුවන්.
වෙනත් විසඳුම් සෙවීම ප්‍රායෝගිකව කරන්න අපහසු වෙයි. පාර්ලිමේන්තුවට යෝජනා ගෙන එන්නයි. එ්වාට ඡුන්දයක් තියන්න සහ එ්වා වැඩි ඡුන්දයෙන් සම්මත වෙන්න වගේම ක්‍රියාත්මක කරන්න ජනමත විචාරණයකට යන්නත් සිදුවෙයි. එ්වා බොහොම සංකීර්ණයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තියෙන දෙයක්. එය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ගැන සළකා බැලීම දුෂ්කර නැහැ වගේම මේ කාරණයට එරෙහි වෙන්න කවුරුත් එන්නේත් නැහැ.
මේ ගැන හිතලා එදාම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව කටයුතු කරලා තිබුණා නම් අද දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳිලා.
පළාත් පාලන ඡුන්දය අවසන් වුණත් එ් ආයතන තවමත් පිහිටුවා නැහැ. එ් සඳහා එකතු වීමට ඔබට කවුරුන් හෝ ආරාධනා කළොත් ඔබේ ප්‍රතිචාරය?
නිල වශයෙන් පක්ෂ නායකයින් තවම කවුරුත් එ් ගැන සාකච්ඡුා කරලා නැහැ. නැති නිසා එ් ගැන කිසිවක් කියන්න
අමාරුයි.
සාකච්ඡාව : රුක්මාල් සිල්වා
ජාතිය හෙවත් පුද්ගලයකුගේ උපත මිණුම් දණ්ඩ කොට ගෙන මනුෂ්‍යත්වය වර්ග කොට සැලකීම අනාදිමත් කාලයක සිට මානව සමාජයෙහි පවතින පුරුද්දකි. අතීත භාරතීය සමාජයෙහි මෙබඳු වර්ග කිරීමක් ඇරඹෙන්නේ පුද්ගලයාගේ උපතට ආගමික මුහුණුවරක් දීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මහාබ්‍රහ්මයාගේ සිරුරෙහි මුඛය උරහිස, කලවා හා දෙපතුල යන අවයවවලින් උපන් පිරිස් බව සලකා ඒ ඒ අවයවයන්ගේ උසස් පහත් බව අනුව මිනිසාගේ ද උසස් පහත් කොට සැලකීම ඇරඹී ඇත. මෙසේ උපත පදනම් කොට මිනිසාගේ උසස් පහත් බව මැනීම නිසා සමාජ අයිතිවාසිකම් හා වරප්‍රසාද උසස් පිරිසට පමණක් සීමා කිරීමට පටන් ගැනිණ. කිසියම් ජන කොටසක ඉපදීම නිසා උසස් පහත් බව සලකමින් පහත් යයි පිළිගැනුණු ජන කොටස්වලට මානව අයිතිවාසිකම් අහිමි කිරීම ජාතිවාදය ලෙස සැලකෙයි. උපත පදනම් කොට ගෙන බිහි කර ගැනුණු ජාතිවාදය වාර්ගිකත්වයක් කරා යොමු වීම අනිවාර්ය ප්රතිඵලයකි. ඒ ඒ ජන වර්ගයට ආවේණික වූ ආගම, භාෂාව, සංස්කෘතිය වැනි කරුණුවලින් එක් එක් ජන වර්ගයක අනන්‍යතාවක්ද ගොඩනැගෙයි. මෙම අනන්‍යතාව ඒ ඒ ජන වර්ගයේ අභිමානය වර්ධනය කිරීමට හේතු වෙයි.
ජාතිවාදයට අතිරේකව ජාතිකත්ව වාදය නමින් එන තවත් වර්ගවාදයක් නූතන සමාජයෙහි කරළියට පැමිණ තිබේ. නැෂනලිසම් යන ඉංග්‍රීසි පදයෙහි අරුතින් තනාගෙන ඇති ජාතිකත්ව සංකල්පයෙන් මූලික වශයෙන් අදහස් වන්නේ රටක සමස්ත සමාජයෙහි අනන්‍යතාව පදනම් කොට ගෙන මුළු රට පිළිබඳවම අභිමානය ගොඩ නගා ගැනීමකි. ඒ තුළින් ජාතික ධජය ජාතික ගීතය වැනි රට තුළ සිටින මුළු ජනතාව නියෝජනය කරන අනන්‍යතා සංකේතයක් වටා ජනතා සහභාගිත්වය හෝ සහයෝගිත්වය ගොඩ නැගීම අපේක්ෂා කෙරෙයි. මෙම ජාතිකත්ව වාදය වූ කලි රටක සංවර්ධනය සඳහා උපයෝගී වන්නකි. රටක ජනවර්ග රාශියක් පැවැතිය හැකිය. ඒ ඒ ජනවර්ග එකිනෙකා කා කොටා ගන්නා විට, ජීවිත හා දේපළ හානි සිදු කර ගන්නා විට ඒ රට කිසිවිටෙක නගා සිටුවිය නොහැක. ජාතික දේහය සුවපත්ව පෝෂණය කර ගැනීමට නම් ඒ ඒ ජනවර්ගය සතු වෙනස් කම් හා අනන්‍යතා ලක්ෂණ එසේම තිබියදී සැමට පොදු ලක්ෂණ උපයෝගී කොට ගෙන මුළු රට පොදුවේ නියෝජනය කරන ජාතික අනන්‍යතාවක් ගොඩ නැගිය යුතු වෙයි. ජාතිය ආරක්ෂා වන්නේත් එකිනෙකා සතු අනන්‍යතාවන් ආරක්ෂා වන්නේත් එවිටය. එක් වර්ගයක් පරයා අනෙක් වර්ගයක් නැගී සිටින්නට උත්සාහ දැරෙයි නම් දෙවර්ගයේම පරිහානිය මිස දියුණුවක් නම් බලාපොරොත්තු විය නොහැක.
ජාතිකත්ව වාදය අප රටේ ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසා බැලීම ද මෙහිදී වැදගත් වෙයි. මෑතක සිට අප රටේ ඇතැම් වියතුන් ජාතිකත්ව වාදය හඳුන්වා දෙමින් එය පෝෂණය කිරීමට දරන උත්සාහයන් දක්නට ලැබේ. එහෙත් මෙම උත්සාහයන් තුළ දක්නට ඇත්තේ ජාතිකත්ව වාද්‍යට හිමි පුළුල් අර්ථය නොවේ. බෙහෙවින් පටු අර්ථයකින් ගෙන ඇති සැටියක් ඒවායේ භාවිතය තුළින් දක්නට ලැබේ. තම රටේ පොදු ජාතිකත්වය සැලකිල්ලට නොගෙන එක් එක් වර්ගයකට හිමි ජාතිකත්වය පෙරට ගැනීමක් එහිදී දක්නට ලැබේ. මේ මගින් සිදුවන්නේ වෙනත් වර්ගයක ජාතිකත්වයට හිමිතැන් අහිමි කරමින් තම වර්ගය නගා සිටුවීමේ මානසිකත්වය කරා ඉබේම ඇදී යාමකි. එයින් තරගකාරිත්වයක් ඇතිවනු පමණක් නොව එකිනෙක වර්ගයා අතර නොරිස්සීම් ඇතිවනු ද නොවැළැක්විය හැකිය. තමන්ගේ දෙය උසස්ය අනුන්ගේ දෙය පහත්යයි පවසමින් මිනිසුන් අතර ගැටුම් ඇති වෙතැයි බුදුන් වහන්සේ පවසන්නේ මෙබඳු තත්ත්වයන් යටතේය. (සකං හි ධම්මං පරිපුණ්ණමාහු - අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු” එවම්පි විග්ගය්හ විවාදයන්ති)
එකිනෙක් වර්ගයා සතු භාෂාව, සංස්කෘතිය, ආගම, කලාශිල්ප ආදිය රැක ගැනීමත් දියුණු කර ගැනීමත් අවශ්‍යය. ඒවා එකිනෙක් වර්ගයා පවත්වා ගනු ලබන්නේ ඒවායේ උපයෝගිතාත්මක වටිනාකමක් ඔවුනට ඇති බැවිනි. සමස්ත මානව වර්ගයාගේ පොදු බව පිළිබඳව අන් කවරෙකුටත් වඩා කරුණු පහදා දුන් බුදුන් වහන්සේ පවා මෙම තත්ත්වය පිළිගෙන තිබේ. ඊට හොඳම නිදසුන උදුම්බරික සීහනාද සූත්‍රයෙන් ඉදිරිපත් වෙයි. එහිදී උන්වහන්සේ නිගේරා්ධ නමැති බමුණකු අමතා පවසා ඇත්තේ තමන් දහම් දෙසන්නේ හරිවැරදි පහදා දීමට හැර ඔවුනොවුන්ගේ මත විශ්වාස සම්ප්රදායයන් ආදිය වෙනස් කරවීමට නොවන බවයි. බුද්ධවචනය දූෂණය වීමේ අන්තරායෙන් මුදවා ගැනීම සඳහා වෛදික භාෂාවට නැගිය යුතුයැයි කළ ඉල්ලීමකදි උන්වහන්සේ පවසා ඇත්තේ බුද්ධවචනය කවරෙකුගේ වුවද භාෂාවකින් ඉගෙනීමට අවස්ථාව පැවැතිය යුතු බවයි. (අනුජානාමි භික්ඛවෙ සකාය නිරුත්තියා බුද්ධවචනං පරියාපුණීතුම්.)
මිනිස් සමාජය කවර පදනමක් යටතේ වුවද ජනවර්ගවලට බෙදීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුනොවුන් තුළ ඇතිවන අභිමානයෙන් තමන් අයත් වර්ගයට ආසක්ත වීමක් බැඳීමක් මානසික වශයෙන් ඇතිවීම බහුවාර්ගික සමාජයක
යහපැවැත්මට අතිශයින් අහිතකර වෙයි. සමාජයක යහපත රඳා පවතින්නේ වර්ග වශයෙන් බෙදී වෙන් වීම තුළ නොව වාර්ගික හැඟීම් පසෙක දමා හැම දෙනා ඒකරාශි වීම තුළය. රටක ආධ්යාමික දියුණුවේ හා භෞතික දියුණුවේ සංකලනයකින් පමණක් ජනතාවගේ යහපත සුබසිද්ධිය ළඟා කරගත හැකි බව අවිවාදයෙන් පිළිගැනුණකි. ආධ්‍යාත්මික දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා මිනිසා පිළිබඳව ගොඩනගාගෙන ඇති වැරදි මත ඉවත් වී මිනිසුන් අතර සුහදතාව ගොඩ නැගෙනයි. මිනිසුන් අතර සුහදතා ආකල්පයකින් තොරව ජන සහභාගික්වයෙන් හා ජන සහයෝගීත්වයෙන් ඇති කරගත යුතු භෞතික දියුණුව උදා කරගත නොහැකිය.
මෙම සන්දර්භයෙහිදී ආධ්‍යාත්මික දියුණුව යනුවෙන් අදහස් කරන්නේ මිනිසාගේ යථාර්ථය වටහා ගැනීමෙන් මානසිකව ඇතිවන සුහදශීලී භාවයයි. වර්ගවාදීව තමන් අනුන්ගෙන් වෙනස්ය යන හැඟීම නැතිව අනුන්ට වෛර කිරීමෙන් හිංසා කිරීමෙන් හා ඊර්ෂ්‍යා කිරීමෙන් බැහැරව අවිහිංසක වූ සුහදශීලිත්වය ගොඩ නැගෙන්නේ මිනිසාගේ යථාර්ථය අවබෝධ කරගත විටයි. මිනිසා විවිධ කරුණුවලින් එකිනෙකාට වෙනස් වුවත් මූලික කරුණුවලින් සමානත්වයක් දරයි. බුදුදහම තරම් මිනිසාගේ යථාර්ථය තුළින් ඔහුගේ මූලික සමානකම් විවරණය කරමින් ඔවුනොවුන් අතර සුහදශීලීත්වයක් ගොඩනැගීමට සාර්ථක ව්‍යායාමයක යෙදුනු වෙනත් ඉගැන්වීම් පද්ධතියක් තවත් දක්නට නැත. එබැවින් ඒ පිළිබඳව සැකෙවින් හෝ කරුණු දැන ගැනීම මෙහිලා වැදගත් වනු ඇත.
මෙහිදී එක් කරුණක් මුලදීම අවධාරණය කළයුතුය. එනම් බුදුදහමේ එන මෙම ඉගැන්වීම් කිසියම් එක් ආගමික ජනවර්ගයනට සීමා නොවන බවයි. මේවා පොදුවේ මනුෂ්‍යත්වය නගා සිටුවීමට ඉදිරිපත් කොට ඇති බැවින් ආගමික භේදයකින් තොරව කාගේත් අවධානයට යොමු විය යුතු කරුණුය. වර්ගවාදී හැඟීම් ඉවත් විය යුත්තේ බෞද්ධ ජනවර්ගයාගේ පමණක් නොවේ. බහුවාර්ගික සමාජයක එක් වර්ගයක් සුහදශීලී වුවත් අනෙක් වර්ගයන් එසේ නොවන්නේ නම් එක් වර්ගයක් අනෙක් වර්ගයක් අබිබවා යාමට තැත් කරන්නේ නම් එක් වර්ගයක් තවත් වර්ගයකට කෙනෙහිලි කම් කරන්නේ නම් ඊට එරෙහිව ප්‍රතික්‍රියා ඇතිවීම නොවැළැක්විය හැකිය. එමගින් සමස්ත සමාජයටම භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇත. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව අප කවුරුත් උපත ලබන්නේ කාටත් පොදු වූ හේතුකාරණා සමූහයකිනි. පටිච්ච සමුප්පා නම් වූ දහමින් කියවෙන සත්‍යය එයයි. හේතු මගින් උපදින හැම කෙනෙකුගේම පොදු ලක්ෂණය වන්නේ ඉපදීම හා මරණයයි. උප්පාද-වය ධම්ම යනුවෙන් කියවෙන්නේ එයයි. අපේ ජීවිත කෙටි කලකට සීමා වී මරණයට ගොදුරු වෙයි. එසේ නම් නොමැරෙන මිනිසුන් ලෙස ආත්මාර්ථකාමීත්වයෙන් තමන් හා තම වර්ගයා පමණක් ගැන සිතමින් කලහකාරීව හැසිරීමේ නිරර්ථක බව පැහැදිලි වෙයි.
මිනිසාගේ මූලික අපේක්ෂාව අතින් මිනිසුන් අතර ඇති සමානතාව ද බුදුදහමින් අවධාරණය වෙයි. සියලු මිනිසුන්ගේ මූලික අපේක්ෂාව වන්නේ දුකින් තොරව සුවසේ විසීමයි.(සුඛකාමා හි මනුස්සා දුක්ඛපටික්කූලා) සැප කැමති වීමත් දුක පිළිකුල් කිරීමත් හැම මිනිසෙකුගේම ස්වභාවයයි. සැප දුක කෙරෙහි එකම ආකල්පයකින් සිටින මිනිසුන් අතර බලු බළලුන් අතර මෙන් කවර කරුණක් උදෙසා හෝ කුලල් කා ගැනීමේ නිරර්ථක බව මිනිසාටම වැටහී යා යුතුය. මිනිසාට අනතුරු විය හැකි කවර කරුණකදී වුවද අනුන් තමන්ට සමාන කොට බැලීමේ වැදගත් කම බුදුදහමින් අවධාරණය වන්නේ මේ නිසාය.
මිනිසාගේ මෙම සමානාත්මතාව පදනම් කොට ගෙන බුදුදහමින් ඉදිරිපත්වන සමාජ ආචාර ධර්ම රාශියකි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන ගුණ ධර්මයන්ගේ සමාජමය වටිනාකම මිනිසා විසින් වටහා ගතයුතු වෙයි. දාන, ප්‍රියවචන, අර්ථචර්යා සමානාත්මතා යන ගුණධර්ම බුදුදහමින් පැනවී ඇත්තේ මිනිසා නිවන් දැක්වීමට නොවේ. සමාජයක ජීවත් විය යුතු පිළිවෙත එය බව දැක්වීමටය.
මානව සමානාත්මතාවත් එය සමාජ ආචාර ධර්ම මගින් ක්‍රියාත්මක වියයුතු ආකාරයත් රටක සමාජ දේහයට කාවද්දන තුරු වාර්ගික ගැටුම් නවතාලිය නොහැක. දෙව්ලොව ගොස් සුරසැප විඳින විදියත් අපාගතව කටු ඉඹුලේ නගින විදියත් දිනපතා උදේ හවා රූපවාහිනී බණවලින් පැහැදිලි කළාට වාර්ගික ගැටුම් නොනවතින බව දැනටමත් ප්රත්යක්ෂ වී හමාරය.
මේ සඳහා ක්‍රියාමාර්ග සතරක අවශ්‍යතාව බුදුදහම අනුව වටහා ගත හැකිය. ඒවා දෙමාපිය වගකීම අධ්‍යාපනයේ වගකීම පූජ්‍ය පූජක පක්ෂවල වගකීම හා රජයේ වගකීම යනුවෙන් පෙළ ගැස්විය හැකිය.
අන් මිනිසුන් ගැන පමණක් නොව සතා සිවුපාවා ගස්වැල් කෙරෙහි පවා සුහදශීලී ආකල්පයක් ඇතිවන සේ ළදරු වියේ සිටම ළමා මනස හැඩගැස්වීමේ වගකීමෙන් දෙමාපියන්ට නිදහස් විය නොහැක. බුද්ධ ක්රිෂ්ණ, ක්‍රිස්තු හා මොහමද් චරිතවලට වඩා ඒ ඒ ආගම්වලින් කියවෙන මිනිසා, මිනිසා අතර සුහද සබඳතාව වර්ධනයට අදාළ කරුණු ආගමික අධ්‍යාපනයෙන් අවධාරණය විය යුතුය. මරණයෙන් පසුව ලැබෙන සැපසම්පත් හෝ දුක්දොම්නස් අවධාරණය කරනුවට වඩා ජීවත්ව සිටියදී සමාජ ජීවිතය සුවපත්ව තබාගත හැකි පිළිවෙත තම අනුගාමිකයන්ට වටහා දීමේ වගකීම පූජ්‍ය පූජක පක්ෂවලට පැවැරෙයි.
මේ අතරින් රජයක වගකීම සුවිශේෂි වෙයි. රටක පාලන කටයුතු පැවැරී ඇති ආයතනය රජය වන බැවින් එහි වගකීම විය යුත්තේ මුළුමහත් ජනතාවම එක මවකගේ දරුවන් සේ සලකා ක්‍රියා කිරීමයි. තමන් බලයට පත් කිරීමට කිසියම් පිරිසක් වැඩි සහයෝගිත්වයක් දැක්වුවද ඒ පිරිසෙන් අනෙක් පිරිස්වලට අසාධාරණයක් වේ නම් ඒ දෙස බිරි අලි න්‍යායයෙන් සිටීමට කිසිම පාලකයකුට අයිතියක් නැත. මෙහි ලා රාජ්‍ය පාලකයකුට බුදුදහමින් දෙන එක් අවවාදයක් පමණක් අවධාරණය කරනු ප්රමාණයත්ය. රට තුළ කිසිදු තැනක අසාධාරණයක් වීමට ඉඩ නොතබනු (මා ච ඛො තාතා විජිතෙ අධම්මකාරො පවත්තිත්ථ)
රාජ්‍ය පාලනය ධාර්මික පාලනයක් විය යුතු බව බුදුදහමේ අවධාරණයයි. රාජ්‍ය පාලකයා ධාර්මික විය යුතුයයි (රාජා භවතු ධම්මිකො) ජනතාවගේ ද අපේක්ෂාවයි. මෙහි ධර්මය යනු යුක්ති ධර්මයයි. එය ක්‍රියාත්මක වන්නේ පාලකයාගේ අපක්ෂපාතිත්වයෙනි. ඡන්ද, දෝෂ භය, මොහ යන සතර අගතියෙන් දුරුව අපක්ෂපාතී වීමම පාලකයකුගේ ධාර්මිකත්වය යනුවෙන් අදහස් වෙයි. වරප්‍රසාද හා අයිතිවාසිකම් බෙදී යාමේදී මෙන්ම නීතිය ක්‍රියාත්මක කරවීමේදීද යුක්ති ධර්මය මුල් තැනට පත්විය යුතුය. පාලකයන් බල අරගලවල පැටලී එකිනෙකා කා කොටා ගන්නා විට ජන කොටස් ද ඒ මග ගැනීම අරුමයක් නොවනු ඇත. යහපාලනය ලිච්ඡවී පාලනය ආදී නම්වලින් හංවඩු ගසා ගත්තත් පාලකයන් අතර භේද භින්නතා පවතී නම් එතැන ලිච්ඡවී පාලනයක් ඇතැයි පැවැසීම බුදුන් වදාළ අපරිහානීය ධර්මවලට කරන නිග්රහයකි. ලිච්ඡවී පාලනයේ පැවතුනු තවත් වටිනා
ලක්ෂණයක් අවසාන වශයෙන් පැවසිය යුතුය. එනම් ජනවර්ග සතුව මෙතෙක් පවත්නා නීතිරීති සිරිත් විරිත් එසේ තිබෙන්නට හැර එබඳු නව නීතිරීති චාරිත්‍ර වාරිත්‍ර ආදියට ඉඩ නොතැබිමත්ය. එය බහුවාර්ගික රටක ජනවර්ගයන් අතර ගැටුම් ඇති වීමේ හේතු නැති කිරීමකි.
මහාචාර්ය - කපිල අභයවංශ