Coss Ear2
lakbima.lk
COSS Ear 1

නැකත් යනු කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති හුදෙක් ගුප්ත විශ්වාස ගණයට අයත්වන්නකි. එහෙත් විද්‍යාත්මක වශයෙන් සනාථ කළ හැකි සුබ ඵල ‍ දෙන නැකතක්  හෙට (මාර්තු 20) ප.ව 9.45 ට  උදා වෙයි.

අතීත යුගවල විශ්වය පිළිබඳ මිනිසාගේ අවබෝධය ගොඩනැගුණේ ඇසට දුටු දර්ශන මත පදනම් වූ සංකල්පයන් රැසක් සමඟිනි. පැතලි ලෝකය වටා  පරිභ්‍රමණයවන සූර්යයා ඇතුළු ග්‍රහවස්තුවල බලපෑම් සහ පිහිටීම් මෙන්ම සංක්‍රමණයන් අනුව සුබ වේලාවන් තීරණය කළ ජ්‍යොතිෂවේදීන් ඒවා නැකත් වේලාවන් ලෙස හඳුන්වා දී තිබේ. නමුත්  ක්‍රි.පූ. 550 පමණ කාලයේ සිට පයිතගරස්, ඇරිස්ටෝටල්, ටොලමි, කොපර්නිකස් සහ ගැලීලියෝ වැනි දාර්ශනිකයන් සහ විද්‍යාඥයන් විසින් අපේ විශ්වය සහ අප සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව ඔවුන්ගේ මත සහ විග්‍රහයන් නිර්භීතව සමාජ කරළියට ගෙන එන ලදී. ඉන් පසුව බොහෝ පැරණි සංකල්පවල මිථ්‍යාව ලොවට හෙළිදරව් විය. ඒ විප්ලවයත් සමඟ තාරකා විද්‍යාව පිළිබඳ අවබෝධය අද වන විට සෑම රටකම පාහේ පාසැල් විෂය මාලාවලට පවා එක්ව තිබේ. විශ්වය සහ අප සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව බොහෝ කරුණු ඊට අඩංගුවී ඇත. ග්‍රහලෝකාගාර වල සංවිධානයවන ප්‍රායෝගික පාඩම් හරහා දූදරුවන්ගේ අවබෝධය තවතවත් වර්ධනය වෙමින් තිබේ.

අද වන විට තාරකා විද්‍යාව නිවැරදි ගණනය කිරීම් සහ අනාවැකිවලින් විශ්වයේ සිදුවීම් ලොවට පැහැදිළි කරන බව අපි දනිමු. හිරු සහ පෘථිවිය අතර සිදුවන සාපේක්ෂ චලිතය අනුව සූර්යයා වටා දින 365.24 ක් තුළ එක් ඉලිප්සීය ගෙවන  පෘථිවිය සිය අක්‍ෂය එම ගමන් තලයට ලම්භක දිශාව සමඟ අංශක 23.05 ක කෝණයකින් ආනතව තබාගෙන පැය 23 මිනිත්තු 56 තත්ත්පර 4.1 ක කාලයක දී (දවසක්) අක්‍ෂය වටා එක් පරිභ්‍රමණයක් සිදු කරයි. මෙම සිදුවීම බැලූ බැල්මට සරල සේ හැඟුණද එය විශ්වයේ සිදුවන තවත් සංකීර්ණ චලිතයකි.

පෘථිවිය හිරුවටා ගෙවන සාපේක්ෂ ගමනේ එක් සංකීර්ණ ප්‍රතිඵලයක් නම්, සූර්යයා මුදුන්වන, පෘථිවිය මත වූ ස්ථානය එනම් උප සූර්ය ලක්‍ෂය (Sub Solar Point), සෑම මොහොතක් පාසාම වෙනස් වීමය. එනම් උතුරු හෝ දකුණු දිශාවට සංක්‍රාන්ති වීමය. මෙම සංක්‍රාන්තියේ ඉතා වැදගත් අවස්ථා සතරක්වන අතර ඉන් එක් වැදගත් අවස්ථාවක් වනුයේ උප සූර්ය ලක්‍ෂයය සමකය මත පිහිටමින් දක්‍ෂිණ අර්ධ ‍ගෝලය පසුකොට උත්තර අර්ධ‍ගෝලයට සංක්‍රමණය වීමය.

මේ වසරේ, එනම් 2018 වසරේ හිරු සමකයට මුදුන්වන ප්‍රථම අවස්ථාව මෙම මාර්තු මස 20 වන දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව.9.45 ට එනම් 21 වන හෝරාව පසුවී විනාඩි 45 ට උදාවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පහදා දෙයි. අප අර්ධගෝලයේ පාරිසරික තත්ත්වයන් හෙවත් කාළගුණ රටාවන් පාලනය වන්නේ අර්ධගෝල දෙකේ, සමකය වෙත හමා එන සුළංධාරා එකතුවන අන්තර්  නිවර්තන අභිසාරී කලාපය (අ.නි.අ.ක) මඟින් බව ඔබ දන්නා යථාර්ථයකි. මෙම අ.නි.අ.ක සංක්‍රමණය වන්නේද උප සූර්ය ලක්‍ෂ්‍යයේ සිදුවන සංක්‍රමණය හා සමඟය.

මාර්තු 20 වනදා ප.ව. 9.45 ට සූර්යා සමකයට මුදුන්වී ඉන්පසුව ක්‍රමයෙන් උත්තර අර්ධගෝලයේ ඉහළ අක්‍ෂාංශවෙතට සංක්‍රමණය වීම ඉතාම වැදගත් සාධකයක් වන්නේ, අ.නි.අ.ක උතුරු දෙසට සංක්‍රමණය වීමට එය හේතුසාධක වන නිසාය.

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ උතුරු දිශාවේ විස්ථාපනයත් සමඟම මාර්තු මස තුන්වන සතියේ පමණ සිට මැයි මස දෙවන සතිය පමණ වනතෙක් දිවයිනේ ප්‍රථම අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයද මැයි මස තුන්වන සතියෙන් පසුව නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයිනේ ස්ථාපිතවීම, දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ඇඳහැලීමට හේතු වෙයි.  එය මෙම නැකත මුල්කොට සිදුවන සුබ ඵලයකි.

දිවයිනේ ප්‍රදේශ ගණනාවකම පවතින නියඟ තත්ත්වය පහවී අවශ්‍ය භූගත ජල සුපයුම සාර්ථක වන තරම් වර්ෂාව ලැබීම දිවයිනේ ප්‍රදේශ රැසකට මෙම සූර්ය සංක්‍රාන්තියෙන් සිදුවන මහා සේවයකි. ඒ අනුව මෙම විද්‍යාත්මක නැකත ජ්‍යොතිශයේ එන 'පුහු නැකත්' මෙන් අරුත් සුන් නොවන බව පැහැදිළිවම කිව යුතුය.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ

කේ.ආර්.අභයසිංහ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.