Coss Ear2
lakbima.lk
COSS Ear 1

අන්තර්ජාලය ඔස්සේ ඊයේ උදේ මට කුඩා වීඩියෝවක් ලැබී තිබුණා. එය හැකිතරම් බෙදාහරින්න කියලා ඉල්ලීමකුත් සමඟයි එවලා තිබුණේ. රාත්‍රී කාලයේ හෝටලයක් තුල සිදුවූ සිදුවීමක කොටසක් එහි ඇතුලත්ව තිබුණා. කඩහිමි මුදලාලිට යම් අයෙක් තර්ජනය කරමින්  ‘කෑමට වඳ බෙහෙත් දානවා නේද?‘ යනුවෙන් අසනු ඒ විඩියෝවේ සටහන්ව තිබුණා .ඔහුගේ සහායට තවත් පිරිසක් ද වටාපිටා වේ සිටින බවත් පැහැදිලිව පෙණුනා. කඩේ මුදලාලි බියට පත්ව ඇති බවත් මට පෙනීගියා. පිරිසේ තර්ජන මැද තමන් ඒ ගැන නොදන්නා බව කියනවිට ඔහු වෙත එල්ලවන තර්ජනය වැඩිවන බවත් පෙනුණා. ඉහත ප්‍රශ්නයම නැවත නැවත උච්ච ස්වරයෙන් ඔහුගෙන් ඇසීම මත ඔහු "ඔව්" යනුවෙන් පැවසුවා. ඒ ඇසූ ප්‍රශ්නයට දෙන නියම පිළිතුර නොව ගුටිනොකා බේරීම සඳහා දුන් පිළිතුරක් බවයි මට පැහැදිලි වුණේ. ඔහුගේ එම පිළිතුරත් සමඟ වීඩියෝ පටිගතකරගන්නා එම පුද්ගලයන් "ඒ ඇති" යනුවෙන් පවසන හඬත් එහි පටිගතව තිබුණා.

මෙය මීට දින කිහිපයකට පෙර අම්පාරේ සිදුවූ සිදුවිමක කොටසක්. මෙම සිද්ධිය පාදකකරගනිමින් එම ප්‍රදේශය පුරා කළබලකාරී සිදුවීම් ද ඇති වූ බව පසුව දැන ගන්නට ලැබුණා.

මීට පෙරදී ද කාන්තා තිසරපට තුළත් වඳ බෙහෙත් අඩංගුකර ඇති බවට පසුගිය කාලයේ රට ප්‍රචාරයක් ගියා .විදෙස් රටක සේවය කරන කාන්තාවක් තමන් එම රටින් මිලට ගත් තිසරපටයක් තුළ යම් දියරයක් අඩංගු කුඩා පැකැට්ටුවක් ඇති අයුරු විඩියෝ කොට මාවෙත එවා තිබුණේ ඒ කුමක් දකියා මගෙන් විමසමින්.

විද්‍යාත්මක ඇසකින් විමසිය යුතු මෙවන් කරුණු දෙස බොහෝ දෙනා බලන්නේ ජාතිවාදී කෝණයෙන්. ඒ නිසාවෙන්ම කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව මේවායේ අඩංගු වන්නේ වඳ භාවය ඇති කරන ඖෂධ බවට ඔවුන් ප්‍රචාරය කරනවා. සාමාන්‍ය මහජනයා පමණක් නොව සමහර බටහිර වෛද්‍යවරුන් පවා මේබව විශ්වාස කරන එක තමා පුදුමේ.

මෙයින් සිද්ධ වන්නේ විද්‍යාවේ ආලෝකයෙන් නැණ නුවණ පාදා ගත යුතු නවීන සමාජය තව දුරටත් අවිද්‍යා අන්ධකාරය තුළම ගිලී යාමයි.

වෛද්‍ය විද්‍යාත්මකව මේ අයුරින් කෑමට මිශ්‍රකර හෝ සම මතුපිට තැවරීම මගින් මිනිසුන්ගේ දරු ඵල  සාපල්‍යතාව  අහිමි කළ හැකි කිසිදු ඖෂධයක් මේ දක්වා ලෝකයේ නිපදවා නැහැ. එසේ එවන් ඖෂධයක් විශාල මුදලක් වියදම්කර පරීක්ෂණ අත්හදා බැලීම් කර සොයා ගැනීමට කිසිදුකෙනෙක් ඉදිරිපත් නොවන්නේ එය ඵලදායි ආයෝජනයක් නොවන නිසයි.

දරුවෙකු බිහිකිරීම සඳහා ගැහැනු සහ පිරිමි ජන්මානුවල එකතුවීමක් අත්‍යවශ්‍ය වනවා.එහිදී ගැහැනු සිරුර තුළ ඇති ඩිම්බයක් පිරිමි අයෙකුගේ  ශුක්‍රානුවක් සමඟ සම්මිශ්‍රණය වීම මගින් දරු පිළිසිඳගැනීමක් සිදුවෙනවා. ස්ත්‍රී ප්‍රජනකපද්ධතිය ක්‍රියාත්මක වන්නේ ඊස්ට්‍රජන්(estragon) සහ ප්‍රොජෙස්ටරෝන් (progestogen) කියන ප්‍රධාන හෝමෝනවල ක්‍රියාකාරිත්වයෙන්. පුරුෂ ප්‍රජනක පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ටෙස්ටොස්ටෙරෝන් (testosterone) කියන හෝමෝනයේ බලපෑමෙන්. එනම් මේ පද්ධති දෙක හරියට ඩීසල් කාර්එකක් සහ පෙට්‍රල් කාර් එකක් වගේ. සම්පූර්ණයෙන්ම වෙනස් "ඉන්ධන" මත ක්‍රියාත්මක වන වෙනස් පද්ධතීන් දෙකක්. යමෙක් වඳ භාවයට පත්කිරීමට නම් මේහෝමෝන වල ක්‍රියාකාරිත්වය ස්ථිරවම අඩාල කළයුතු වනවා. එසේ කිරීමට නම්ස්ත්‍රීන්ට වෙනම රසායන ද්‍රව්‍යයක් සහ පුරුෂයන්ට වෙනම රසායන ද්‍රව්‍යයක්භාවිතාකළ යුතු බව මේ අනුව පැහැදිලි වනවා. නොඑසේ නම් මොළයේ පිටියුටරිග්‍රන්ථියේ හෝ හයිපොතැලමස නම් කොටසේ ක්‍රියාකාරිත්වය ස්ථිරව අඩාල කළ යුතුවනවා. මෙය කිසිසේත්ම ඉහත කී අයුරින් කිසිදු ඖෂධ පෙත්තකින් හෝ පියයුරු මත තබන රසායනද්‍රව්‍ය ඇතුලත් පැකැට්ටුවක් මගින් කළ නොහැකි දෙයක්.

වෛද්‍ය විද්‍යාවේ දී යම් අයෙකුට ස්ථිරව තව දුරටත් දරුවන්  බිහිකිරීමේ හැකියාව අවශ්‍ය නොවේ නම් ඒ සඳහා ශල්‍යකර්මයක් මගින් කාන්තාවන්ගේ නම් ඩිම්බ ගර්භාෂයට රැගෙන එන පැලෝපීය නාල දෙක කපා ගැටගැසීම සිදුකර ඩිම්බ ගර්භාෂයට පැමිණීම වැලක්වීමත් පිරිමි අයෙකුගේ නම් වෘෂණ කෝෂ වලින් ශුක්‍රානු පිටතට රැගෙන එන ශුක්‍ර ප්‍රනාල කපා අවහිර කිරීමත් සිදුකරනු ලබනවා. අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රම තාවකාලික ක්‍රම වන අතර ඉන් ස්ථීර වඳ භාවයක් ඇතිවන්නේ නැහැ. පිරිමි පුද්ගලයන්ගේ ශුක්‍රානු නිරතුරුව නිපදවෙන අතර එය නවතාදැමීම සඳහා කිසිදු ඖෂධයක් මෙතෙක් ලොව නිපදවා නැහැ. කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වලින් ඩිම්බයක් මුදාහැරීම සඳහා හෝමෝන ගණනාවක රිද්මයානුකූල ශ්‍රාවය වීමක් අවශ්‍යවනවා. ඒ වගේම ගැබ් ගැනීම සඳහා ශුක්‍රානුව සමග එක්වූ ඩිම්බය ගර්භාෂය තුළට කිමිද  තැන්පත්වීමක් අවශ්‍යවනවා.  මෙම හෝමෝන ශ්‍රාවය කිරීමේ රිද්මය වෙනස්කිරීම හෝ ගර්භාෂයේ ඇතුලත බිත්තියේ ස්වභාවය වෙනස්කිරීම මගින්  ගැබ් ගැනීම තාවකාලිකව නවතාගැනීම සඳහා කාන්තාවන්ට ඖෂධ ලබාදෙන්න පුලුවන්. උපත් පාලන පෙති වල අඩංගුවන්නේ මෙම ඖෂධයි. ඒ අනුව මෙම ඖෂධ මගින් ද ඩිම්බ වර්ධනය නවතා දැමීමක් සිදු නොකරන බවපැහැදිලියි.

වෛද්‍ය විද්‍යාවේ ඖෂධ රාශියක්භාවිතාකරන්නේ දරුවන් නොමැති, සාඵල්‍යතාව අඩු අයට කෙසේ හෝ දරුවන් ලබාගැනීමේ හැකියාව වැඩිකිරීම සඳහා බව අවධාරණය කළයුතු වනවා.

සූදුරුවලට සමාන හැඩයෙන් යුතු ද්‍රව්‍යයක් මගින් මිනිසුන් වඳ බවට පත්කිරීමේ හැකියාවක් ඇතිබව පසුගියදා ප්‍රසිද්ධ ජනමාධ්‍යයක ප්‍රවෘත්ති ප්‍රකාශයක ප්‍රචාරය කළදඑහි කිසිදු විද්‍යාත්මක සත්‍යතාවයක් නැහැ.

අවාසනාවකට මෙන් බොහෝ දෙනා තමන් නිසි කරුණු නොදැන මෙවන් කතා පැතිරවීම සඳහා දායකවන අයුරු දක්නට ලැබෙනවා. කෑම වලට කවලම් කරන්නේ  බොහෝවිට විවිධ හැඩයේ කැට හෝ පෙති ලෙස ඇති රසකාරක වියහැකියි. යමෙක් හිතා මතා" වඳ" පෙත්තක් කියා දෙයක් ආහාරයකට එකතු කරන්නේ නම් එය කුඩුකර එකතුකරනවා මිස පෙති පිටින් එකතු කරනවායැයි කීම සිනාවට කරුණක්.

මෙවැනි කරුණු පිළිගන්නා පිරිස් පිළිබඳව අප පුදුම විය යුත්තේ අනුකම්පාක් පෙරදැරිවයි.

තිසරපට තුළ ඇති ද්‍රව්‍යයඅපේ රටේ විතරක් නෙවෙයි ලොවපුරා රටවල විකුණන තිසරපට වලත් අඩංගු නම් එය මුලුලෝකයේම කාන්තාවන් වඳකිරීම සඳහා එක් කරන ලද්දක් විය යුතුයි. සැබවින්ම මෙහි අඩංගුව ඇත්තේ දහදිය නිසා ඇතිවන තෙතමනය උරාගැනීම සඳහා භාවිතා කරන සිලිකාජෙල් වැනි දෙයක් වියයුතුයි.

කෙසේ වෙතත් මෙවන් මිථ්‍යාමත ප්‍රචාරයවීම නිසා අවිද්‍යාව පැතිරයාමට අමතරව රට තුළ නොසන්සුන් ගතියක් සහ ජාතීන් අතර අසමගියක් වර්ධනයවීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන්ද අපේ රටට විශාල බලපෑමක් වියහැකි නිසා මෙවන් මිථ්‍යාමත සහ බොරු ප්‍රචාරයන් වැලැක්වීම සඳහා රජය මැදිහත්ව හැකි ඉක්මනින් අදාල ද්‍රව්‍යයන් පරීක්ෂාකර එහි සැබවින්ම ඒවායේ අඩංගු ද්‍රව්‍යයන් මොනවාද යන්න ප්‍රකාශයට පත් කිරීම සුදුසු වනවා.

මේ සඳහා විශේෂඥ සහාය ලබා ගැනීමට කිසිදු අපහසුවක් නෑ

කෙසේ වෙතත් ලෝකයේ කිසිදු රටක මේ දක්වා නිපදවා නැති "වඳ පෙත්තක්" කාට හරි නිපදවන්නට හෝ සොයා ගැනීමට හැකිනම් එයට නියත වශයෙන්ම නොබෙල් ත්‍යාගය ලබාගැනිමට හැකියාව ලැබෙන බව සටහන් කරන්නේ හැකිනම් කවරෙකු හෝ එවැන්නක් නිපද වීමට උනන්දු කර වීම  සඳහායි.

නීතිවේදී, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

MBBS, LLB, වෛද්‍ය නිලධාරී , ශික්ෂණ මහ රෝහල , මහනුවර

යුරේනි ඔබ කාලෙන් කාලෙට අලුත් පුවත් මවනවා. ලස්සන කොණ්ඩයක් තිබුණු ඔබ ඇයි හදිසියේම නළ‍ලේ කෙස් ගස් හිටවන්න සිතුවේ.
 
මම කොණ්ඩය හිටවන්න හිතුවේ මට පළල් නළලක් තිබුණු නිසා. මොකද මට ඒ පළල් නළල විශාල වදයක් වුණා. මම කැමරාව ඉස්සරහට ගියත් පාරට බැස්සත් මගේ නළල කැතට පෙනෙනවා කියලා තමයි නිතරම හිතුවේ. ඒ නිසා හැම වෙලාවෙම කොණ්ඩෙන් නළල වහපු එකයි, කොණ්ඩේ හදපු එකයි තමයි මම කළේ. මොකද මට මගේ නළල හරිම හිසරදයක් වෙලයි තිබුණේ. අනේ... දැන් තමයි මගේ හිතට නිදහසක් දැනෙන්නේ. 
 
කොහොමද මේ කොණ්ඩය හිටවන තැන සොයා ගත්තේ?
 
මේරියන්ස් බෑන්ඩ් එකේ නලින් පෙරේරා අයියව තමයි මට ඒ වෙලාවේ මතක් වුණේ. එයත් ඊට කලින් ඔය වගේ වැඩක් කරලා තිබුණා. මම නලීන් අයියට කතා කළාම එයා ච්ඩ්ඹ් ශ්‍රී ලංකා ආයතනය ගැන මට කිව්වා. මම ඒ ආයතනයට ගියාම මට ඒ ආයතනය ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. පස්සේ මමත් කොණ්ඩේ හිටවන්න තීරණය කළා.
 
මේ අත්දැකීම ඔබට වේදනාකාරී වුණාද? 
 
අත්දැකීම නම් තරමක් වේදනාකාරීයි. හරියට පැළයක් හිටවනවා වගේ ක්‍රියාවලියක්. ඒත් වෛද්‍යවරු ගොඩක් හොඳට වැඩේ කළා. ඒ නිසා වේදනාවක් දැනුණේ නැහැ. පැය 6ක් විතර ගියා කොණ්ඩේ හිටවන්න.
 
කොණ්ඩේ හිටවන්න කලින් ඔබ ප්‍රේක්ෂකයන්ගෙන් අදහසුත් විමසුවා නේද?  
 
ඔව්, මම මගේ මුහුණු ‍පොත හරහා ලයිව් වීඩියෝ එකකින් ඇහුවා මගේ කොණ්ඩේ හිටවන්න යනවා මොකද කියන්නේ කියලා. කට්ටියක් කිව්වා අක්කි... ඔයාගේ කොණ්ඩේ දැන් තියෙන විදිහ හොඳයි කියලා. තවත් පිරිසක් කිව්වා. අක්කි ඉතිං ඔයාගේ රූපේ ගැන ඔයා දන්නවනේ. ඔයා කැමති දෙයක් කරන්න කියලා. මම හිතනවා මාස 6ක් විතර ගියාට පස්සේ මගේ කොණ්ඩේ වෙනස ගැන දැකලා ප්‍රේක්ෂකයෝ සතුටු වෙයි කියලා. මට හොඳ ප්‍රතිචාර ලැබේවි කියලත් මම හිතනවා.  
 
 
කවුරු හරි කිව්වද දැන් තියෙන කොණ්ඩේ කැතයි කියලා?
 
අ‍පොයි නැහැ. කවදාවත් මට එහෙම කවුරුත් කියලා නැහැ. මට ‍පොඩි කා‍ලේ ඉඳලම තිබුණේ පුදුම ලස්සන කොණ්ඩයක්. හැමෝම මගේ කොණ්ඩෙට ආශා කළා. සමහර ‍පොඩි කට්ටිය අක්කි අනේ ඔයාගේ කොණ්ඩේ මට දෙන්නකෝ කියලා මගේ කොණ්ඩේ අත ගාපු අවස්ථාත් තිබුණා. මගේ අම්මගේ වගේම ඝනකම් හොඳ කොණ්ඩයක් මට තිබුණේ. මගේ නළල කැතට පේන හින්දා තමයි මම කොණ්ඩේ හිටෙව්වේ.
 
අලුතින් හම්බවුණු විශේෂ පිරිමි ළමයා නිසා යුරේනි කොණ්ඩේ හිටෙව්වේ කියලත් සමහරු කියනවා නේද?
 
සමහරු එහෙම කිව්වට මට තාම එහෙම විශේෂ කෙනෙක් හම්බ වෙලා නැහැ. මට එහෙම කෙනෙක් හම්බවුණොත් මම ඔයාලට ඒක හංගන්නෙත් නැහැ. ඇත්තම කිව්වොත් අදටත් මම තනිකඩ යුරේනිම තමයි. 
 
සමන්මලී නැලිගම

දවසක් මම දන්න කියන හිතවතෙකුගේ ආපනශාලවකට ගියා රාත්‍රී ආහාරය ගන්න; කෑම පිළියෙළ කරන අතරතුරේ අපනශාලාවේ හිමිකාර මගේ මිතුරා එක්ක ටිකක් කතා බහේ ඉන්න කොට කඩේ එක බිත්තියක අලවලා තිබුණ දැන්වීමක් දැක්කා MSG අඩංගු නැත කියලා. එම ආපනශාලාවේ ආහාරවල MSG (Monosodium glutamate)- මොනෝ සෝඩියම් ග්ලුටමේටේ, එහෙමත් නැත්තන් අජිනමොටෝ අඩංගු නෑ කියලා තමයි ඔහු කියන්න උත්සාහ කරලා තිබුණේ. මම ඒ ගැන ඔහුගෙන් බොහොම සුහදව විමසන කොට ඔහු බොහොම ආඩම්බරයෙන් මට කිව්වා

"අපි අජිනමොටෝ දාන්නේ නෑ, අපි පාවිච්චි කරන්නේ අසවල් සුප් පවුඩර් එක."

"ඒක හොඳයිනේ"

"ඉතිං අයියේ ඒකේ MSG තියෙනවනේ" මම කිව්වා.

"නෑ ???"

"ඔව්; ගේන්නකෝ බලන්න පැකට් එක"

"ආහ් මේ තියෙන්නේ ingredients වල"

මගේ මිතුරාගේ නළලේ රැළි මතු වුණා.

"ඔය සුප් කැටවලත් MSG තියෙනවා. සැක නම් පැකට්ටුවක් අරන් බලන්න". 

අපේ රටේ මිනිස්සු වැඩිදෙනා ලෙඩ වෙන්නේ වැරදි ආහාර පුරුදු නිසා. අවිවේකි ජීවන රටාව එක්ක ගොඩක් දෙනාට නිවසින් පිට තැනකින් ආහාර ගන්න සිද්දවෙලා තියෙනවා. ආප්ප, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේ ආහාර තමයි මේ ආහාර වර්ග අතර ප්‍රමුඛ වෙලා තියෙන්නේ. පිටි, ලුණු, තෙල්, සීනි, රසකාරක, කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය තමයි වැඩිපුරම මේවායේ අඩංගු වෙලා තියෙන්නේ. අපේ රටේ අතිශය බහුතරයකගේ උදේ ආහාරය එක එක රසට හදපු තිරිඟු පිටි නිෂ්පාදන. අඩු වැඩි වෙලා තියෙන්නේ තෙල්, ලුණු හා සීනි. 

තිරිඟු පිටි වලට යොදන විරංජනකාරක (Beaching)ගැන ඔබ දන්නවද? ඔය තරම් සුදු පාටක් ලබාගන්න මොන තරම් රසායනික ද්‍රව්‍ය යොදනවා කියලද හිතන්නේ? ඉන් ප්‍රමුඛ රසායනික ද්‍රව්‍යක් තමයි ක්ලෝරීන් වායුව. මේ ක්ලෝරීන් වායුව යොදාගෙන කෙරෙන රසායනික ක්‍රියාවලියේදී හැදෙනවා Alloxan කියලා කාබනික අතුරු ඵලයක්. එය බොහෝවිට පිටි සමග මුසු වෙනවා. Alloxan වලට පුළුවන් ඉතාම පහසුවෙන් මුක්ත ඛණ්ඩක (Free radicals) හදාගෙන අපේ අග්න්‍යාශයේ බීටා සෛල විනාශ කරන්න. ඔබ දන්නවා අග්න්‍යාශයෙන් තමයි ඉන්සියුලින් නිපදවෙන්නේ. වැඩියෙන් පාන් පිටි කනවා කියන්නේ ඔබ කඩිනමින් දියවැඩියාවට ළඟා වෙනවා කියන එකයි. වෛද්‍ය විද්‍යාවෙන් මේ වෙද්දී තහවුරු කරගෙන ඉවරයි විරංජන කාරක යෙදු තිරිඟු පිටි හා දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාවය අතර සම්බන්ධය. ඒ පිළිබඳ ඕනෑතරම් විද්‍යාත්මක ලිපි, පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාලයේ තියෙනවා.
ඔබ දන්නවා තවමත් ලෝකයේ අංක එකේ ඝාතකයා හෘදයාබාධ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව අපේ රටේ මරණවලට 26%ක් වගකියන්න ඕන කිරීටක හෘදයාබාධ. ලෝකයේ හෘදයාබාධ වලින් වැඩිපුරම මිය යන රටවල් අතර අපි ඉන්නේ 31වෙනියට. ඔබ දන්නවා කොලෙස්ටරෝල් තමයි හෘදයාබාධ වලට ප්‍රධාන වගකිවයුත්තා. ඇත්තටම කොලෙස්ටරෝල් නිපදවන්නේ අපේ ශරීරයමයි. කිසිම ශාක තෙල් වර්ගයක කොලෙස්ටරෝල් අඩංගු නෑ. ඒ කියන්නේ පොල්තෙල්වල කොලෙස්ටරෝල් නෑ. හැබැයි සත්ව තෙල් වල කොලෙස්ටරෝල් තියෙනවා. ඒ කියලා වැඩිපුර පොල් තෙල් කෑම හොඳ වෙන්නේ නෑ. ඕනෑම තෙලක් වැඩිපුර කනකොට ශරීරයේ කොලෙස්ටරෝල් නිපදවෙනවා. ඒ විතරක් නෙමෙයි වැඩිපුර පිටි කනකොටත් කොලෙස්ටරෝල් හැදෙනවා. වෛද්‍ය විද්‍යාවේදී de novo lipogenesis කියන්නේ අන්න ඒ ක්‍රියාවලියටයි. කොලෙස්ටරෝල් වලින් අපේ ශරීරයේ වැදගත් කෘත්‍යයන් රැසක් ඉටුකරනවා. සෛල ව්‍යුහය පවත්වා ගන්නත්, හෝමෝන ක්‍රියාකාරීත්වයට, මේද ද්‍රාව්‍ය විටමින් අවශෝෂණයට වගේම ආහාර ජීර්නයටත් කොලෙස්ටරෝල් උපකාරී වෙනවා. ඒ නිසා වැදගත් වෙන්නේ රුධිරයේ තිබිය යුතු කොලෙස්ටරෝල් ප්‍රමාණය නොඉක්මවන ලෙස ආහාර පුරුදු සකස් කරගැනීමයි. 

තෙල් ගැන කතා කරද්දී තවත් වැදගත් දෙයක් තමයි Trans Fat කියන්නේ. Trans fat අපේ ශරීරයට එතරම් හිතකර නෑ. වරක් පිසූ (බැදපු) තෙල් වලින් නැවත නැවත ආහාර සකස් කරන කොට තෙල් වල CIS ව්‍යුහය trans බවට පරිවර්තනය වෙනවා. Trans fat වල අමුතු සුවඳක් වහනය වෙනවා. ඔය වඩේ බදින තැනක් ලඟින් යන කොට අපිට දැනෙන්නේ ඒ සුවඳ තමයි. (ගෙදර හදන කොට අලුත් තෙල්වල බදින නිසා එක එතරම් දැනෙන්නේ නෑ). ඒ වගේම මේවා තරමක් කල් තියාගන්නත් පුළුවන්. නමුත් මේවායේ තියෙන නරක තමයි ඒවාට පිළිකා කාරක වෙන්න පුළුවන් මුක්ත ඛණ්ඩ නිපදවීමේ හැකියාව. ඒ නිසා හැකිතරම් ඒ වගේ ආහාර මඟ හැරීම නුවණට හුරුයි. 
අපිට හිතකර මේද අම්ලයක් තමයි ඔමේගා 3 කියන්නේ. මාළුවල යහමින් ඔමේගා 3 අඩංගු වෙනවා. 

බත් වුණත් පමණට කන්න ඕන. ඉස්සර සමාජය වගේ නෙමෙයි, අද අපි බොහෝ දෙනා කය වෙහෙසා වැඩ කරනවා අඩුයි. නමුත් කාබෝහයිඩ්රේට් වැඩියෙන් අඩංගු ආහාර ගැනීමෙන් අපේ ශරීරයට විශාල ශක්තියක් එකතු වෙනවා. ඒ ශක්තිය හරියට යෙදෙව්වේ නැත්තම් ඒ ශක්තිය අපේ ශරීරය ඇතුලේ වෙනත් ආකාර වලට හැරෙනවා. බොහෝවිට එහෙම හැරෙන ආකාරයන් ශරීරයට අහිතකරයි. පිටි සහිත ආහාර වලින් රුධිරයට ග්ලුකෝස් එකතුවන ශීඝ්‍රතාවය පදනම් කරගෙන ග්ල්යිසීමික දර්ශකය නිර්මාණය කරලා තියෙනවා. එයට අනුව සුදු සහල් වල සහ රතු සහල් වල එම අගයේ විශාල වෙනසක් නෑ. නමුත් නිවුඩු සහල් වල විටමින් B, ජීර්ණය කළහැකි තන්තු හා Phytosterol (හිතකර ශාක තෙල්) අඩංගු වෙනවා. තන්තු සහිත ආහාර වගේම කහට රසැති පළතුරු වල ප්‍රති ඔක්සිකාරක ඔබව මුක්ත ඛණ්ඩ පිළිකා කාරක වලින් ආරක්ෂා කරදෙනවා. 

සමබල ආහාර වේලක් යන්නෙහි සරල අදහස තමයි, අපි ගන්නා ආහාරයෙන් අපිට ශක්තිය ලැබෙන්න ඕන, වර්ධනය හා අලුත් වැඩියාවට සහයක් වෙන්න ඕන. ඒ වගේම ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට උපකාරී වෙන්න ඕන. ඔය කාරණා ටික අපේ බත් පිඟානට ආදේශ කළොත් දැන් ඔය කන බත් ප්‍රමාණය සෑහෙන අඩු කරන්න වෙනවා (බොහෝ කය වෙහෙසා වැඩ කරන්නෙකු නම් අවශ්‍ය නොවේ). මස්, මාළු, කරවල, බිත්තර හෝ වෙනත් ප්‍රෝටීන ප්‍රභවයක් ලබාගන්න වෙනවා. නැවුම් එළවලු යහමින් මීට වඩා වැඩි ප්‍රමාණයක් කන්න වෙනවා.

 ඔන්න ඊළඟට කෘෂි රසායන ගැන ගැටළුවක් එනවා. ඇත්තටම අපි කෘෂි රසායන අවභාවිතයේ ඉහළින්ම ඉන්න රටක්. නමුත් අපි මේ තරමින් හරි ඔය හැම රසායනයකින්ම බේරිලා ඉන්නේ හේතු 2ක් නිසා. පළමුවෙනි එක තමයි අපේ ආහාර පිසින උෂ්ණත්වය. ඒ උෂ්ණත්වයට ආහාරයේ තියෙන බොහෝ නරක දේවල් විතරක් නෙමෙයි බොහෝ විටමින් වර්ගත් විනාශ වෙනවා කියන එක අපි මතක තියාගන්න ඕන. දෙවෙනි හේතුව තමයි අපේ කුළුබඩු. ඇත්තෙන්ම අපි භාවිතා කරන කුළුබඩු වට්ටෝරුව කියන්නේ ඖෂධ ගබඩාවක්. නමුත් අවාසනාවකට මෑතකදී අපිට දැකගන්න පුළුවන් වුණා කුළුබඩු බාල කිරීම ගැනත්. ඇත්තෙන්ම එය නම් විශාල අපරාධයක් බව කිව යුතුමයි. ඒ නිසා විශ්වසනීය තැනකින් හැර කුළුබඩු මිලට ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසුයි. ඔබට හැකිනම්, ඔබට තියෙන ඉඩකඩ හා කාල වේලාව කළමනාකරණය අනුව හැකි යමක් ගෙවත්තේ වගා කරගැනීම ඔබට වඩාත් විශ්වසනීය වනවා වගේම සාක්කුවටත් ඉතුරුවක් වේවි. හැකි සෑම විටකම නිවසින්ම ආහාර ගන්නත් පිටතින් අහාර මිලදී ගන්නා විට වඩාත් විශ්වසනීය තැනකින් ආහාර ලබාගන්නත් කල්පනාකාරී වන්න. අධික තෙල් සහිත ආහාර, ලුණු, සීනි හා පිටි ආහාර නොගැනීමට උත්සහ කරන්න. එය ඔබ 'මිහිපිටින් වඳ වීම' ප්‍රමාද කරාවි.

සන්ජන රවිඳු



 

 

ඉන්දියානු සිනමාවේ සුපිරි නිළියක වූ ශ්‍රීදේවි (කපූර්)ගේ හදිසි අභාවය මෙම කලාපයේ සිනමා රසික රසිකාවන් මහත් කම්පනයට පත් කළ සිදුවීමක් විය. නවසිය අසූව, අනූව දශකවල අතිශය ජනප්‍රිය නිළියකව සිටි ඇය පසුගිය 24වෙනි දින හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට 54වෙනි වියේ පසු වූ අතර මෙම සිද්ධිය සිදු වෙද්දී ඇය සිටියේ  ඩුබායිහි,  පවු‍ලේ ඥාතියෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට ගොසිනි. එදින රාත්‍රි 11 ට පමණ හෘදයාබාධය වැලඳෙද්දී ඇය සිට ඇත්තේ ඇයගේ හෝටල කාමරයේ බවටද, නාන කාමරය තුළ ක්ලාන්තව ඇද වැටී ඇති බවටද තොරතුරු පළ වී තිබිණි. එම අවස්ථාවේ ඇයගේ සැමියා බොනී කපූර් ද, දියණියද එහි සිටි බව සඳහන් වේ. ශ්‍රීදේවි මෙයට පෙර කිසි විටෙක හෘද රෝගී තත්ත්වයකින් නොපෙළුණු බවද ඇයගේ පවු‍ලේ උදවිය සඳහන් කර ඇත.
මෙම සටහන ලියන අවස්ථාව වනවිට ශ්‍රීදේවිගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඩුබාහි දී සිදුකර තිබූ අතර ඇයගේ දේහය ඉන්දියාව බලා ගෙන ඒමට කටයුතු සූදානම් කෙරෙමින් තිබිණි. අවමඟුල් උත්සවය මුම්බාහිදී පැවැත්වෙනු ඇති බවද සඳහන් විය. 
ශ්‍රී දේවි යනු ඉන්දියානු සිනමාවේ වැජඹුණු අතිශය ප්‍රබල චරිතයක් බව විවාදයකින් තොරව පිළිගැනෙන්නකි. ඇය සැලකෙන්නේ බොහෝ දුරට පිරිමි නළුවන්ගේ ආධිපත්‍යයට නතුව පැවති ඉන්දියානු සිනමාව තුළ බිහි වූ පළමු සුපිරි නිළිය වශයෙනි. අසූව, අනූව දශකවල වැඩිම ගාස්තුවක් අය කළ නිළිය ලෙස ද ඇය සැලකේ. පිරිමි නළුවෙකුගේ සහයෙන් තොරව චිත්‍රපටයක් ආදායම් අතින් සාර්ථක කළ හැකි නිළියන් අතර ශ්‍රීදේවි ද ඉහළම ස්ථානයක් හිමි කරගෙන සිටියාය.
ඉතා කුඩා වියේදී සිනමාවට පිවිසීම ද ශ්‍රීදේවි සම්බන්ධයෙන් කියැවෙන තවත් විශේෂත්වයකි. ඇය සිනමාවට පිවිස ඇත්තේ වයස අවුරුදු 4 දීය. හින්දි, දෙමළ, මලයාලම්, කන්නඩ, තෙලිඟු ආදී විවිධ භාෂාවන්ගෙන් නිමැවුණු චිත්‍රපටවලට ඇය රංගනයෙන් එක් වූවාය. මේ ආකාරයෙන් පුළුල් පරාසයක කටයුතු කිරීම ඇයගේ සුවිශේෂි ජනප්‍රියත්වයට හේතුවක් වී යැයි සැලකිය හැකිය. එමෙන්ම ඇයගේ සුරූපී බව, රංගන කුසලතාව ඉන්දියාවේ පමණක් නොව මෙම කලාපයේම සිනමා ලෝලීන් වසඟ කරගත් ගුණයන් වූ බවද අමුතුවෙන් කිව යුතු නැත.
ශ්‍රීදේවි යනුවෙන් ප්‍රසිද්ධියට පත් වුවද ඇගේ සම්පූර්ණ නම ශ්‍රී අම්මා යාන්ගර් අයියපාන් ය. ඇගේ පියා නීතිඥයෙකු වූ අතර ඇගේ පවු‍ලේ තවත් සොහොයුරියක ද සිටියාය. චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන බොනී කපූර් සමග ශ්‍රීදේවි විවාහ වූයේ 1990 වසරේ දීය. බොනී කපූර් ජනප්‍රිය සිනමා නළු අනිල් කපූර්ගේ වැඩිමල් සොහොයුරා වේ. ශ්‍රීදේවි-බොනි යුවළට ජන්වි සහ කුෂි යනුවෙන් දියණියෝ දෙදෙනෙක්ද වෙති. 
ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ හිමාත්වාලා, මිස්ටර් ඉන්ඩියා, චාන්ද්නි, චාල්බාස්, නාගීනා, සාද්මා වැනි චිත්‍රපට තුළිනි. නාගීනා චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීන් අතරද මහත් සේ  ජනප්‍රිය වූ චරිතයක් විය. 1997 දී ශ්‍රීදේවි ටික කලකට සිනමාවෙන් සමු ගත්තාය. වසර 15 ක විරාමයකින් පසු ඇය නැවත  සිනමාවට ආවේ 2012 වසරේ තිරගත වූ ‘ඉංග්ලිෂ් වින්ග්ලිෂ්’ චිත්‍රපටයෙනි. ඇය අවසන් වරට ප්‍රේක්ෂකයන් හමුවට ආ චිත්‍රපටය වූයේ පසුගිය වසරේ ප්‍රදර්ශනය කෙරුණු ‘මාම්’ (ර්ර්)  සිනමාපටයයි. නමුත් එය ඇය රඟපෑ අවසන් චිත්‍රපටය නොවන බවත්,  ‘සීරෝ’ නමැති තව එක් චිත්‍රපටයක් තිරගත වීමට ඉතිරිව තිබෙන බවත් වාර්තා වෙයි. එහි ෂාරුක් ඛාන් සහ කත්‍රිනා කයිෆ් ද ඇය සමග රඟපාති. 
මේ වනවිට, ඇගේ අභාවය නිසා කම්පනයට පත් බොහෝ දෙනා ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කරනු සමාජ මාධ්‍ය හරහා ද දැකිය හැකි වෙයි. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ද මේ පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇයගේ අකල් වියෝවෙන් දැඩි ශෝකයට පත්ව සිටින බවයි. ඇය රඟපෑ විවිධත්වයෙන් යුතු අමතක නොවන චරිත සම්බන්ධයෙන්ද ඔහු එහි සටහන් කර තිබේ. සුප්‍රකට නිළි මධුරි ඩික්සිත් පවසා තිබුණේ ලෝකයට ඉතා දක්ෂ පුද්ගලයෙකු අහිමි වූ බවයි. එදින උදෑසන අවදි වෙද්දී ලැබුණු පුවතින් තමා මහත් කම්පනයට පත් වූ බවද ඇය සඳහන් කර ඇත.  ඇය රංගනය පිළිබඳ පාසලක් හා සමාන බවද,  තමා ඇයගෙන් බොහෝ දේ උගත් බවද තවත් සුපිරි නිළියක වන කාජල් ඇගේ ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබේ. ඇය සමුගත් පුවත තමාට අදහා ගැනීමටත් අපහසු බව ඇය පවසා තිබිණි. මේ අතර සුප්‍රකට දකුණු ඉන්දියානු නළු රජ්නිකාන්ත් පවසා ඇත්තේ තමාට  ඉතා හොඳ යෙහෙළියක අහිමි වූවාක් මෙන්ම සිනමාවටද අති දක්ෂ පුරාවෘත්තයක් අහිමි වූ බවයි. මෙම පුවතින් තමා දැඩි ලෙස නොසන්සුන් වූ බවද රජ්නිකාන්ත් පවසා තිබිණි. 
 
කිත්සිරි මල්වත්ත

මේ දිනවල විකාශය වන ජේ. ශිවගුරුනාදන්ගේ “කෝටිපතියෝ..” ටෙලි නාට්‍ය තුළින් ඔබ හමුවට එන ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත් වුයේ “ඇන් කොම්පැනි..” දේශපාලන ප්‍රහසනය තුළිනි. පුංචිම සන්දියේදීම කලාවට පිවිස වේදිකාව, ටෙලි නාට්‍ය සේම සිනමාව තුළත් සිය කුසලතා පළකළ මේ ප්‍රවීණ රංගන ශිල්පියා “උපතිස්ස බාලසූරිය “ වේ. මෙවර අප සමග කතාබහකට එක් වූ ඔහු සිය දිගුකාලීන කලා දිවිය පිළිබඳ ආවර්ජනය කළේ මෙලෙසිනි. 
 
මේ දිනවල ඔබගේ කලා දිවියේ තොරතුරු මොනවාද.. ?
 
මේ දවස්වල “කෝටිපතියෝ..” සඳහා එක් වී සිටිනවා.  ඊට අමතරව ගිරිරාජ්ගේ නවතම සිනමා පටයට එක්වුණා. එය ළඟදීම ආරම්භ වේවි.. “උතුරේ රාහුල හිමි..” වේදිකා නාට්‍ය නැවත වේදිකාගත කරන්නට යනවා. එහි රංගනයටත් එක්වනවා. 
 
“හාරකෝටිය..” සාර්ථක වීම නිසා එහි දිගුවක් ලෙස “කෝටිපතියෝ..” නිර්මාණය වුණා. මේ ආකාරයට නිර්මාණ අනවශ්‍ය විදියට දීර්ඝ කිරීම ඇතැමුන් විවේචනය කරනවා. 
 
නිර්මාණයක් අනවශ්‍ය විදියට දීර්ඝ කිරීම විවේචනයට ලක්වන්නට පුළුවන්. ඒත් ටෙලි නාට්‍යක්  දීර්ඝ වූ පමණින් .. එහෙම නැත්නම් දෙවැනි කොටසක් නිර්මාණය වූ පමණින් එය වරදක් වන්නේ නැහැ.. හාරකෝටිය ගැඹුරු තේමාවක් යටතේ නිර්මාණය වූ ගුණාත්මක නිර්මාණයක්. එය සාර්ථක වුණා.. කෝටිපතියෝ තුළත් එම ගැඹුර සහ ගුණාත්මක බව තියෙනවා.. ඒ නිර්මාණ දෙකම හොඳනම් එවැනි නිර්මාණ කිරීම වරදක් කියන්නට බැහැනේ.. 
 
උපතිස්ස “ඇන් කොම්පැනි..” නාට්‍යයේ රඟපෑ චරිතයත්  බොහෝ කතාබහට ලක්වුණා..
 
“ඇන් කොම්පැනි” දේශපාලන ප්‍රහසනයක්. ඇත්තම කියනවා නම් මම වඩාත්ම ජනප්‍රියත්වයක් ලැබුවේ එහි රඟපෑම නිසා කිව්වත් වැරදි නැහැ..
 
ඔබ දිගු ඉතිහාසයක් තියෙන කලාකරුවෙක්.. 
 
 1975 දී “ නීල් ශ්‍රී විජේසිංහ..” අධ්‍යක්ෂණය කළ “ රන් කුකුළු වත..” වේදිකා නාට්‍ය තුළින් තමයි මම මුලින්ම රංගනයට පිවිසුණේ .. එදා මෙදා තුර වේදිකා නාට්‍ය රැසක් කළා, තිලක් 
ගුණවර්ධනගේ “තරුණයෙකුගේ කතාවක්..” ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය කලාවට එකතුවුණේ  අසූව දශකයේ මුල් භාගයේදී.. 70 දශකයේදීම තමයි  “ මඩොල් දූව“ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණේ.. ඒත් ඊට පස්සේ වැඩියේ චිත්‍රපටවලට දායක වුණේ නැහැ..   පසු කාලයේ “කුලගෙය” චිත්‍රපටයට ආයෙම එකතු වුණා.. මේ වනවිට චිත්‍රපට කිහිපයකට දායක වී තියෙනවා..
 
පුංචිම සන්දියේදී පටන් කලාවට ඇල්මක් දැක්වූවාද.. ?     
 
මම පුංචිම කා‍ලේ ‍පොළොන්නරුව පුලතිසිගම විදුහලින් අධ්‍යාපනය ලබලා ඉන් පසුව ගණේමුල්ලේ ගලහිටියාව මධ්‍ය මහ විදුහලට ආවා. අපේ ගමේ හිටිය “සිරිවර්ධන ගුරුන්නාන්සේ” කියන නාට්‍ය කරුවාගෙන් කලාවට අත්‍පොත් තැබුවේ පුංචිම සන්දියේදීතමයි..
 
ඒ කාලෙදි මුලින්ම දායක වූ නිර්මාණය පිළිබඳ රසවත් මතක සටහන් තවමත් ඔබට සිහිවනවා ඇති..
 
1969 දී “ සඳ කිඳුරු..” නාඩගමේ “ සඳ කිඳුරා..” විදියට එක්වීම තමයි මගේ පළමු රංගන අත්දැකීම.. එතකොට මට වයස 10 ක් ඇති. “සඳ කිඳුරි..” වුණේ මගේ වයසේ පුංචි ගෑනු ළමයෙක්.. 
පන්ස‍ලේ තමයි නාට්‍ය පෙනවූයේ.. සල්පිල්.. මල් වෙන්දේසි .. ඉවර වෙලා නාට්‍යය පටන් ගනිද්දී පාන්දර වෙලා.. මට හොඳටම නිදිමතයි .. දැන් ඔන්න නාට්‍ය යනවා.. බඹදත් රජු මට විදලා මම මැරිලා වැටුණා.. “ සඳකිඳුරි” විලාප තියලා අඬලා සක් දෙවිඳු ආවට පස්සේ මට පැන් ඉසිනවා.. එතකොට මට ආයෙම පණ එන්න ඕන.. නාට්‍යය පවත්වන්නේ වේදිකාවේ ‍නෙවෙයි බිම ‍පොළවෙනේ.. වටේට මිනිස්සු වාඩිවෙලා ඉන්නවා.. මම බිම වැටිලා ඉන්නවා.. “සඳ කිඳුරි..” පැන් ඉහිනවා.. ඒත් මට පණ එන්නේම නෑ.. මට එහෙමම නින්ද ගිහින් ..බැරිම තැන “ සඳ කිඳුරි..” මාව කෙනිත්තුවා.. එතකොට තමයි “ සඳ කිඳුරාට’ගැස්සිලා පණ ආවේ..
 
ඔබේ සමකාලීනයන් රැසක් කලා ක්ෂේත්‍රයේ ඉන්නවා නේද.. ?
 
ඔව් .. ජැක්සන් ඇත්නතී , තිලක් සේනාසිංහ සහ මම ගලහිටියාව මහ විදුහ‍ලේ එකම පන්තියේ ඉගෙන ගත්තේ..  කැලණිය විශ්ව විද්‍යාලයේ දී ආරියරත්න ඇතුගල අපිට වඩා ඉහළ අවුරුද්දක ඉගෙනුම ලැබුවා.. අශෝක හඳගම හිටියේ අපට පහළ අවුරුද්දක.. 
 
ඔබේ විශ්ව විද්‍යාල ජීවිතය ගැන යමක් කිව්වොත්?
 
මට විශ්වවිද්‍යාල වරම් හිමිවීමත් එක්කම වගේ “ රාජ්‍ය දැව සංස්ථාවේ “ රැකියාව ලැබුණා.. මම  විශ්වවිද්‍යාල ගමන අතරම මඟ නතර කරලා රැකියාවට ගියා.. රැකියාවේ යෙදෙන අතරෙයි මම කලාවට සම්බන්ධ වුණේ.. ඒ හින්දයි මට කලා ජීවිතය තුළ හෙමින් ගමනක් එන්න වුණේ..
 
ඔබේ පුද්ගලික තොරතුරු දැනගන්න රසික පිරිස කැමති වේවි..
 
මම දැනට “ රාජ්‍ය දැව සංස්ථාවේ සහකාර ප්‍රාදේශීය කළමනාකරුවකු” ලෙස කටයුතු කරනවා.. මගේ බිරිඳ ශ්‍යාමා.. සංඛ සහ දිනුක පුතුන් දෙදෙනාම තවම අධ්‍යාපනය ලබනවා.. දිනුක පුතා නම් සංගීතයට දස්කම් දක්වනවා.. ඔහු ඒ තුළිින් ගමනක් යයි කියල හිතනවා.. මේ වසරේ  මම රැකියාවේ විශ්‍රාම යන්නට නියමිතයි.. ඊට පස්සේ නම්  මම පූර්ණ කාලීනව රංගනයට යොමුවන්න හිතාගෙන ඉන්නවා.. 
 
 ආරියවංශ කුලතිලක

භාරතීය සුපරි නිළි ශ්‍රීදේවිගේ මරණය ශ්‍රී ලාංකියන් වන අප ඇතුළු ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකගේ හදවත් සසල කිරීමට සමත් වූ ඛේදනීය සිදුවීමක්.

පසුගිය 24 වෙනි සෙනසුරාදා තම සැමියා වන බොනී කපූර්ගේ ඥාති පුත්‍රයකුගේ ඩුබායි හි පැවැති විවාහ මංගල්‍යයට එක් වූ ඇය තම සැමියා සහ දියණියන්ද සමඟ එදින රාත්‍රිය ගත කිරීම සඳහා ඔවුන් නැවතී සිටි ඩුබායි හි "එමිරේට් ටවර්" හෝටලයට පැමිණ මද වේලාවකින් ඇය නාන  කාමරය තුළ සිහිසුන්ව ඇද වැටී සිටි  බවත් පසුව කඩිනමින් ඇය රෝහල වෙත ගෙන යන විටත් ඇය මෙළොව හැර ගොස් තිබූ බවත් වාර්තා වල සඳහන්.

ඇගේ මරණයට හේතුව හෘදය වස්තුවේ ඇණහිටීමක් (Cardiac arrest) ලෙස ප්‍රකට වුවත් ඉට පසුදින ඇගේ සැමියාගේ බාල මළනුවන් වන සුප්‍රකට සිනමා නළු සහ චිත්‍රපට නිශ්පාදක සංජය කපූර් කාලිච් ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ ශ්‍රීදේවීට හෘද රෝග පිළිබඳ ඉතිහාසයක් නොතිබූ බවයි. එවැනි තත්ත්වයක පසුවූ ශ්‍රීදේවිට කිසිවෙකුත් නොසිතූ ලෙස හදිසි හෘදය ඇණහිටීමකින් මෙවන් අකල් මරණයක් අත්වූයේ ඇයි? මේ ඛේදවාචකය ඔබට හෝ මට එළෙසින්ම සිදුවිය නොහැකිද? ඒ පිළිබඳව අපි ශ්‍රී ලංකාවේ ප්‍රකට හෘද රෝග විශේෂඥ වෛදවරයෙකු වන රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ මහතාගෙන් අප කරුණු විමසීමක් කළා.ශ්‍රීදේවි මියගොස් ඇත්තේ හදිසි හෘදය ඇණහිටීමකින් බව ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙනවා. හෘදය ඇණහිටීම යනු කුමක්ද?

හෘදය වස්තුවේ හටගන්නා කිරීටක ධමණිවල රුධිර කැටියක් හිරවීම (Myocardial infarction (MI)) සහ හෘදය වස්තුවේ ආසාදිත තත්ත්වයන් නිසා හටගන්නා Myocarditis වැනි රෝග වලදී වගේම වෙනත් හේතු නිසාත් හෘදය  ඇණහිටීම (Cardiac arrest)  සිදුවන්නට පුළුවන්.

ඒ සඳහා බලපාන වෙනත් හේතු මොනවාද?

ඒ සඳහා නොයෙක් හේතු නිසා ස්වසන පද්ධතිය ඇණහිටීම. උදාහරණයක් හැටියට ආසාත්මිකතා කම්පන තත්ත්වයන් ( anaphylactic shock ) ඇතුළු  gastrointestinal bleeding, aortic rupture, intracranial hemorrhage  රෝගී තත්ත්වයන් මුල්වන්නට පුළුවන්.

හෘදයාබාධයක් ඇතිවීම සඳහා අවදානම් සාධක කිහිපයක් බලපානවා නේද?

ඔව්; අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධි කොලෙස්ට්‍රෝලීයතාව, වැනි වගේම ඒවාට ඉවහල්වී ඇති වැරදි ආහාර රටා කායික ව්‍යායාම මද වීම, ස්ථුලතාවය, පවුල් ආරට යාම වැනි දේවලුත් හෘදයාබාධයක් හටගැනීමට මුල්වන්නට පුළුවන්.

ඉහත සඳහන් සාධක වල බලපෑමක් නොමැතිවත් හදිසි හෘදය ඇණහිටීමක් සිදුවිය නොහැකිද?

එසේද සිදුවිය හැකියි. අධික‍ රුධිර පීඩනය, දියවැඩියාව සහ අධිකොලෙස්ට්‍රෝලීයතාවය ආදී නොමැති කෙනෙක්  හෘදයාබාධයකට වුවත් ලක්විය හැකියි. නමුත් එහි සම්භාවිතාව එම සාධක සහිත පුද්ගලයන්ට වඩා ඉතා අඩුයි.

ඒ අනුව ශ්‍රීදේවිට හෘදරෝග ඉතිහාසයක් නැතත් හදිසි හෘදය ඇණහිටීමක් සිදුවිය හැකිද?

පැහැදිළිවම හෘදය ඇණහිටීමක් වගේම රෝග ඉතිහාසයක් නොමැතිව හදිසි හෘදයාබාධයක් වුවත් ඇති වන්නට පුළුවන්.

හෘදයාබාධයක් හෝ හදිසි හෘදය ඇණහිටීමක් සිදුවන පුද්ගලයන් කලින් හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට පුළුවන්ද?

යම් යම් අවදානම් සාධක මත එවැනි අය පහසුවෙන් හඳුනාගත හැකි වුණත් යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් එවැනි අනාවැකි කීමක් හෘදරෝග සම්බන්ධයෙන් පළ කළ නොහැකියි. එක්තරා කතාවක් තිබෙනවා ‍මේ හෘද රෝග තත්ත්වය යටතේ ඔබට තව වසර පහක් ජීවත් විය හැකි යැයි රෝගියෙකුට කී වෛද්‍යවරයා හෘදය ඇණහිටීමෙන් ඒ මොහොතේම මැරී වැටීමේ සිද්ධියක් පිළිබඳව. මෙය උපහාස කතාවක් වුවත් එහිත් එක්තරා සත්‍යයක් තිබෙනවා.

නමුත් සමහර රෝග තත්ත්වයන් පිළිබඳව එසේ කල් තියා අනාවැකි කිව හැකියි නේද?

ඔව්; වකුගඩු වලට සිදුවන හානි සහ අක්මාවට සිදුවන හානි මත එය මුළුමනින් අකර්මන්‍ය වීමක් පිළිබඳව එක්තරා අන්දමකින් විද්‍යාත්මකව අනාවැකි කීමට වෛද්‍යවරුන්ට හැකියි. නමුත් හෘද රෝග සම්බන්ධයෙන් එසේ අනාවැකි කීමට හැකියාවක් නැහැ. කීවත් ඒවා සත්‍ය වීමට ඇත්තේ එක්තරා සම්භාවිතාවක් පමණයි.

ඔබ එසේ කියන්නේ ඇයි?

කිසිදු අවදානම් සාධකයක් නොමැති මතුපිටින් ඉතා නිරෝගී බවක් පළ කරන තරුණ තරුණියන්ගේ පවා එන්ජියෝග්‍රෑම් (angiogram) පරීක්ෂණ  වලදී ඔවුන්ට හෘද රෝග ඇති බව ඉදහිට නිරීක්ෂණය වන අතර වසර 30 කට වැඩි කාලයක් දියවැඩියාව වැළදීමෙන් වකුගඩුවක් බද්ධ කිරීමට නිර්දේශ කළ වයස අවුරුදු 60 පමණ පුද්ගලයන්ට සිදුකරන එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ වලදී ඔවුන්ගේ හදවත් හොඳ ක්‍රියාකාරීත්වයෙන් පසුවන බව ‍හෘදරෝග වෛද්‍යවරුන්ට ඒත්තු වන අවස්ථා තිබෙනවා.

එය හෘදරෝග වෛද්‍යවරුන් පවා වික්ෂිප්තකරවන්නක් නොවේද?

හෘද රෝග ඇතිවීමේ සහ හෘදය ඇණහිටීමේ තත්ත්වයන් පිළිබඳ සම්භාවිතාවක් මිස නියතයක් නොමැති බව වටහා ගන්නා ඒ පිළිබඳව විද්‍යාත්මක දැනීමක් වගේම සායනික අත්දැකීම් සහිත වෛද්‍යවරුන් එසේ වික්ෂිප්ත වන්නේ නැහැ.

ශ්‍රීදේවීට වැනි හදිසි හෘදය ඇණහිටීමක් සිදු නොවීමට කුමක් කළ යුතුද?

ප්‍රධාන වශයෙන් ඇගේ මරණය හදිසි හෘදය ඇණහිටීමක් නිසා එයට නිශ්චිත හේතුව තවමත් කිව නොහැකියි. නමුත් හෘදයාබාධයක් වලක්වා ගැනීම සඳහා‍ ඊට ඉවහල්වන අවදානම් සාධක පිටුදැකීමෙන් හෘදයාබාධයක් වැලදීමට ඇති ඉඩකඩ බොහෝ දුරට අවමකරගත හැකියි.

ඒ සඳහා ගත හැකි මූලික පියවර මොනවාද?

සාමාන්‍ය නිරෝගී කෙනෙකු වුවත් වයස අවුදුරු 40 ට වැඩිනම් වසරකට වරක් වත් අධික රුධිරපීඩනය, දියවැඩියාව  සහ අධිකොලෙස්ට්‍රෝලීයතාවය පිළිබඳ  රුධිර පරීක්ෂණ සිදුකරගැනීමත් හෘද රෝගයක් යැයි අනුමාන කෙරෙන මූලික ලක්ෂණ පළවූ සැනින් ඒ පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවී අදාල පරීක්ෂණ සිදුකරගැනීම මගිනුත් එම අවදානම් සාධක පිටුදැකිය හැකියි.

 

තිලක් සේනාසිංහ

 

 

 

 

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 919

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1700

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3492

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2820

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4044

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5020

Please publish modules in offcanvas position.