Coss Ear2
lakbima.lk
COSS Ear 1

අද මම කියන්න යන මේ රහස සමහර විට තවත් කෙනෙකුට ‘‍පොදු භීතිකාවක්” වෙන්නත් පුළුවන්. ඒත් මට හිතෙන්නේ නැහැ මේ තරම් අසාමාන්‍ය විදියට ඒ භීතිකාව කාටවත් ඇති කියලා. ඒ තමයි ඉගිල්ලෙන කැර‍පොත්තන්  දකින කොට ඇතිවෙන බිය.
කැර‍පොත්තන්ව ගොඩක් අය පිළිකුල් කරනවා. ඒ පිළිකුල හින්දම ගොඩක් අය කැර‍පොත්තන්ට හරි බයයි. මමත් ඒ වගේ කෙනෙක්. ඒත් මේ බය අනිත් අයට වඩා ටිකක් වෙනස් කියලා කිව්වොත් වැරදි නැහැ. සාමාන්‍යයෙන් කැර‍පොත්තන්ට බයක්, පිළිකුලක් දක්වන ගොඩක් දෙනාට ඒ හැඟීම ඇතිවෙලා තියෙන්නේ පුංචි කා‍ලේදීනේ. ඒත් මට පුංචි කා‍ලේ ඒ වගේ බයක් තිබුණේම නැහැ. 
නුවර අපි හිටපු පළාතේ කැර‍පොත්තෝ හිටියේම නැහැ. ඒත් ඉස්කෝ‍ලේ කැඩෙටින් කරද්දී, කෑම්ප් ගියාම ගෙදර තියෙන පහසුකම් නැහැ. ඒ වගේ තැන්වල මැස්සෝ කැර‍පොත්තෝ වගේ සත්තු ඉන්නවා. ඒත් ඉස්කෝ‍ලේ යන කා‍ලේ මට ඒ වගේ සත්තු මහ ලොකු ප්‍රශ්න නමෛයි. 
ඒත් අද වෙද්දී ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අද මම කැර‍පොත්තන්ට පුදුමාකාර බයක්, පිළිකුලක් දක්වන කෙනෙක්. මට හිතෙන හැටියට ඒක නුවරින් කොළඹ ආවට පස්සේ ඇති වූ හැඟීමක්. පුදුමේ කියන්නේ කැර‍පොත්තෙක් කොතැන හරි වහලා ඉන්නවා දැක්කට මට ලොකු තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒත් කැර‍පොත්තෙක් ඉගිලෙනවා දැක්කොත් නම් මට උන් හිටි තැන් අමතක වෙලා යනවා. කැර‍පොත්තන් කොහෙට හරි ඉගිලෙනවා දකිද්දී මට හිතෙන්නේ ඌ දැන් මම ඉන්න පැත්තට හැරිලා, මම ළඟට ඉගිලිලා එයි, මගේ ඇඟේ වහයි කියලා. ඒ මේ අත ඉගිලෙන කැර‍පොත්තෝ ඒ විදිහට මිනිසුන්ගේ ඇඟවල්වලට පනින්නේ නැහැනේ. ඒත් මගේ මේ මානසික කැලඹීම දැනෙන හින්දද මන්දා ඉගිලෙන කැර‍පොත්තෝ මගේ ඇගේ අනිවාර්යයෙන්ම වහනවා. ඒක වෙන්නේ කොහොමද කියන එක මටත් ප්‍රශ්නයක්. 
මම කැර‍පොත්තන්ට තියෙන මේ පිළිකුල හා බය හින්දා සිදුවීම් ගණනාවකට මුහුණ දීලා තියෙනවා. 
ඔන්න එක දවසක් මම තාත්තගේ වාහනයෙන් ගමනක් යමින් හිටියා. ඊට කලින් රන්මිණිතැන්නේ ෂූටිං ගිහිල්ලා දවස් ගාණක් ඉඳලා තමයි මම ගෙදර ආවේ. දැන් ඔන්න මම වාහනේ පදවාගෙන යනවා. ඔය වෙලාවේ එක පාරටම පුංචි සතෙක් පිටි පස්සේ සීට් එකට පැන්නා. මම බලද්දී ගස් ගෙම්බෙක්. සාමාන්‍යයෙන් වෙන කෙනෙකුට එහෙම වුණා නම් කලබල වෙනවනේ. ඒත් මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ.  මම ඔය කියන ගස් ගෙම්බට බය වුණේම නැහැ. ඔන්න දැන් ඌ පිටිපස්සේ සීට් එකේ ඉන්නවා. මම වාහනේ පදවාගෙන යනවා. වාහනේ නතර කරලාම ගස් ගෙම්බව වාහනෙන් එළියට දානවා කියලා මම හිතා ගත්තා. 
ඔහොම ටික දුරක් යද්දී එක පාරටම කැර‍පොත්තෙක් මගේ ඔළුව ගාවින් පියාඹලා පිටිපස්සට ගියා. ඒ වෙලාවේ මට උන් හිටි තැන් අමතක වුණා. ගස් ගෙම්බට බය වුණේ නැති මම කැර‍පොත්තා දැක්ක හැටියේ එතැනම වාහනේ නතර කරලා වාහනෙන් බැස්සා. එතකොට පිටිපස්සෙන් ආපු වාහන මට හෝන් ගහනවා. බැලින්නම් මම වාහනේ නතර කරලා තියෙන්නේ බොරැල්ල ටවුම මැදමයි. මම ඉක්මනටම වාහනේට නැගලා පාගලා ගියා. 
මට මාලබේ ගෙදර තනියෙන් රැයක් ගෙවන්න වූ දවසකත් මේ වගේම දෙයක් වුණා. එදා හැමෝම නුවර ගිහින්. මම රෑ නින්දට කලින් ඇඟපත හෝදගන්න නාන කාමරයට යද්දී එතන කැර‍පොත්තෙක්. ඒ වෙලාවේ එතැන තිබුණු කැර‍පොතු නාශකය විදලා ඒකත් අරගෙන කුස්සියට යද්දී එතැනත් කැර‍පොත්තෙක්. ඌටත් විදලා බලද්දී තමයි දැනගත්තේ කැර‍පොතු නාශකයත් ඉවර වෙලා කියලා. ඒත් එක්කම කැර‍පොත්තෝ හතර දෙනෙක් කුස්සියේ පියාඹනවා. මට දැනුණේ ත්‍රස්තවාදීන් රංචුවක් මට පහර දෙන්න එනවා වගේ. ඒ හින්දා මම කාමරේට දුවලා ගිහින් දොර වහගත්තා. පෙනෙන හරියක කැර‍පොත්තෙක් නැති වුණත් මට නිදාගන්න හිත හදාගන්න බැරිවුණා. මම මෙහෙම කිව්වට මේ කතාව කියවන කවුරු වුණත් විශ්වාස කරයිද දන්නේ නැහැ. මම එදා පාන්දර දෙක හමාර වෙනකල් ඇහැරලා හිටියා කියලා. කැර‍පොත්තෙක් නෑ කියලා ස්ථීර වශයෙන් දැනගෙන කුකුල්ලුත් හඬලන පාන්දර ජාමේ තමයි එදා මම නින්දට ගියේ. 
 
ආරියවංශ කුලතිලක 
ඡායාරූප - මංජුල පෙරේරා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.